සෑම මඟුල් ගෙදරකම මනමාළියක් සිටියි

Mar 10th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

pdff

දීප්ති කුමාර ගුණරත්න

පුරාණ රෝමය ජනරජයක සිට අධිරාජ්‍යයක් දක්වා අපෝහකව පරිවර්තනය වන විට සෙනෙට් සභාව බිය ගැන්වීම, ඝාතනය, අපවාදයට ලක්කිරීම වැනි සාධක දේශපාලන රංග භූමියට පැමිණියේය. එකල රෝම පාලක පන්තියත්, විපක්ෂයත් නියෝජනය නොකළ පන්ති ස්ථරයන් ගණනාවක් වූහ. ඔවුන් සමාජයේ ‛කොටසක්’ නොවූ කොටස්ය. මේ අය සමන්විත වූයේ දෛනික වේතනයක් ලැබෙන ශ්‍රමිකයන්, වහලුන් හෝ කුඩා පරිමාණයේ ගොවීන්, අපතයන් (ආර්ථික සහ සංස්කෘතික) යන අයගෙන්ය. ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ පාර්ලිමේන්තු නියෝජිතයන්ටත්, ප්‍රධාන විපක්ෂ බලවේගවලටත් විරුද්ධව උසි ගන්වන ලද වීදි සටන්කරුවන් සමන්විත වූයේ ඉහත සමාජ ස්ථරවලින්ය. මෙම වීදි සටන්වල ජවය නිසා ජනරජයේ ආකෘතිය ක්‍රම ක්‍රමයෙන් ඒකාධිපති ස්වරූපයක් අත්පත් කරගත් අතර එම ක්‍රියාවලියේ අවසානය සටහන් වූයේ හමුදා පාලකයින් (සීසර්වරුන්) ආදේශ වීමෙනුත්, ජනරජය අධිරාජ්‍යයක් දක්වා වර්ධනය වීමෙනුත්ය.

ලෝකය පුරා මේ අවස්ථාව හීන වන විට විවිධ මට්ටමේ මහජන නැගිටීම් සහ උද්ඝෝෂණ ක්‍රියාවලි අපි අත්දැක ඇත්තෙමු. ඊජිප්තුවේ තහීර් චතුරශ්‍රයේ ආරම්භ වූ මහජන උද්ඝෝෂණ මුළු මහත් මැදපෙරදිග කලාපයම අස්ථාවර කළේය. ඊජිප්තුවේ මුබාරක්, ලිබියාවේ ගඩාෆි, යේමනයේ අලි අබ්දුල්ලා සලේ වැනි දීර්ඝ කාලීන සමස්තතාවාදී නායකයන් බලයෙන් පහ විය. මේ මුළු ක්‍රියාවලිය ප්‍රගතිශීලි බලවේග විසින් හඳුන්වන ලද්දේ, ‛අරාබි වසන්තය’ නම් සංකල්පයෙනි. පසුව මෙය ඇමරිකාවේ නිව්යෝර්ක් සහ වෝල් වීදියට ද පැතිර ගිය අතර එය ලන්ඩනයට ද පැතිර ගියේය. මැදපෙරදිග මෙන් නොව බටහිරට ඇදී ගිය ‛අරාබි වසන්තය’ බිය ගැන්වූයේ දේශපාලකයන්ව සහ දේශපාලන ආයතන නොව මූල්‍ය ආයතන සහ බැංකුකරුවන් ය. මේ වන විට මෙම වසන්තය සිරියාවට ඇතුළු වූ අතර එය දැන් යුක්රේනයට ද ගමන් කර ඇත.

මහජන ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පත්වන විවිධ ආණ්ඩු මහා පරිමාණයේ වීදි සටන් සහ මහජන උද්ඝෝෂණ හරහා ඇති කරන පීඩනය මඟින් පෙරළා දැමීම හෝ අපවාදයට ලක්කිරීම අපි ඉතිහාසයේ අත්දැකීම් හරහා ඉගෙනගත යුත්තෙමු. බොහෝ විට මෙම මහජන උද්ඝෝෂණ සහ මහජන නැගිටීම්වල අවසාන ජයග්‍රාහකයන් වන්නේ කතිපයාධිකාරයන් ය. (Oligarchs – සුළු පිරිසක් තමන්ට අවශ්‍ය ආකාරයට රට පාලනය කිරීම) උදාහරණයක් වශයෙන් 90 දශකයේ අගභාගයේ ආරම්භ කරනු ලැබූ මහජන උද්ඝෝෂණ රැල්ල ජනතා විමුක්ති පෙරමුණ අවසාන කරන ලද්දේ මහින්ද රාජපක්ෂ කතිපයාධිකාරය ලංකාවේ තහවුරු කරමින්ය. එබැවින් මෙම මහජන උද්ඝෝෂණ යටින් සිදුවන දේශපාලන විපර්යාසය හොඳින් වටහා ගත යුතුය.

(1) මෙම උද්ඝෝෂණ අවසාන විග්‍රහයකදී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මක බව විනාශ කරයි.
(2) මෙම උද්ඝෝෂණ රැලිවලට මුදල් සපයන අය විසින් උද්ඝෝෂකයන්ගේ නායකයන් පාලනය කරයි.
(3) ප්‍රජාතන්ත්‍රවාදයේ සුජාතභාවය අභ්‍යන්තරයෙන් විඛාදනය කරයි.
(4) ව්‍යාජ බහුතරයකගේ නාමයෙන් ක්ර්‍‍රම විරෝධීව බලය ලබා ගැනීම සුජාතකරණය කරයි.

වාමාංශික ප්‍රකාශකයන් පසුගිය කාලයේ ඇති වූ මහා මහජන නැගටීම්වලට අර්ථ දෙකක් සම්පාදනය කරයි.
(A) කතිපයාධිකාරයන් විසින් බලය ඩැහැ ගැනීමට කරන වෑයම යනු ප්‍රධාන පක්ෂවල අභ්‍යන්තරයේ ප්‍රභූන් අතර ගැටුමකි.
(B) මහජන නැගිටීම් යනු මෙතෙක් පාලක සංස්කෘතිය තුළ වැජඹුණ ප්‍රභූ පන්තියට එරෙහි මහජනයාගේ දේශපාලන ප්‍රකාශනයකි.
එසේ නම් සටන්කාමී වාමාංශිකයන් කළ යුත්තේ කුමක්ද?

දැනටමත් මහජන උද්ඝෝෂණවලට ඇතුළු වී ඒවා මෙහෙයවමින් සිටින කතිපයාධිකාරයන් හඳුනාගත යුතුය. දෙවනුව මහජන උද්ඝෝෂණවලට අප ද සහභාගි වී මහජන බලවේගයේ නායකත්වය වෙනුවෙන් වාමාංශිකයන් ද සහභාගි විය යුතුය. දැනට වේදිකාගත කරමින් මාධ්‍ය සහ ජනයා වසඟ කරමින් යන උද්ඝෝෂණවලට තරගකාරී ප්‍රතිරෝධයක් එල්ල කළ හැක්කේ එවිටය. පසුගිය කාලයේ මහජන නැගිටීම්වලට උද්යෝගිමත් ලෙස සහයෝගය දුන් කිසිදු පාර්ශ්වයක් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරනවාට තදින් අකමැතිය. එපමණක් නොව ඔවුන් සාධාරණ මැතිවරණ ක්‍රමයකට ද තදින් විරුද්ධය. උදාහරණයක් වශයෙන් අල්ජසීරා සහ BBC විසින් මහත් ප්‍රහර්ශයකින් යුතුව වාර්තා කළ ඊජිප්තුවේ තහීර් චතුරශ්‍රයේ සිදු වූ මහජන විප්ලවයට සිදු වූ දෙය සලකා බලමු. ජනරාල් මුබාරක්ට විරුද්ධව වීථියට බැසි මහජනයා ආරම්භක අවස්ථාවේ සංවිධානය වූයේ ස්වේච්ඡාවෙනි. පසුව මුබාරක්ගේ පුද්ගලික හමුදාවන් මහජනයාට පහර දෙන විට ඔවුන්ව ඊට විරුද්ධව සංවිධානය කරන ලද්දේ මුස්ලිම් සහෝදරත්වයයි. එවිට හමුදාව සහ ඊජිප්තුවේ ක්‍රියාත්මක වූ CIA සංවිධානය හුදු නිරීක්ෂකයන් බවට පත් විය. එම අවකාශය තුළ ඉදිරියට ආ මුස්ලිම් සහෝදරත්වය ඊජිප්තු සමාජයේ නියමු හැඟවුම්කාරකය බවට පත්විය. ඉන්පසු ඡන්දයක් පවත්වා රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලදී. ජයග්‍රාහී මොහොමඩ් මෝර්සි මධ්‍යස්ථ ඉස්ලාම් ප්‍රතිපත්ති සහිත රජයක් පිහිටුවන ලදී. එම රාජ්‍යය ඊශ්‍රාලය සමඟ සබඳතා බුරුල් කරන ලද අතර පලස්තීනය සමඟ සබඳතා දැඩි කරන ලදී. ඊජිප්තු යුද හමුදාව සහ CIA සංවිධානය විසින් පසුව මෝර්සිගේ රජයට විරුද්ධව මහජන උද්ඝෝෂණ රැල්ලක් සංවිධානය කරන ලදී. එහි අවසන් ප්‍රතිඵලය ලෙස මෝර්සිගේ ආණ්ඩුව හමුදාව පෙරළා දමන ලද අතර ඊජිප්තුව රැඩිකල් ඉස්ලාම් සහ බටහිර ලිබරල්වාදීන් ලෙස පසමිතුරු විය. කලින් ඊජිප්තු පන්ති අරගලය පැවතියේ මුබාරක්වාදීන් සහ මහජනයා අතර නම් දැන් පන්ති අරගලය ඇත්තේ ඉස්ලාම්වාදීන් සහ ලිබරල්වාදීන් අතරය. මේ වන විට වීථි සටන්වලට අවතීර්ණ වූ නායකත්වය හමුදාව අත්අඩංගුවට ගනිමින් සිටින අතර රහසිගත ඝාතන ද සිදු කරයි. මිනිසුන් අතුරුදහන් කිරීම, වධහිංසා කිරීම, නීතියට පිටින් කටයුතු කිරීම නැවත ඇරඹී ඇත. ඊජිප්තු ප්‍රතිවිප්ලවය සම්පූර්ණ වී ඇති අතර මුබාරක් සමයේ පැවති නීතියා පර්යාය ද කඩා වැටී ඇත. යළිත් ඊජිප්තුවේ බලය තහවුරු කරගෙන ඇත්තේ කතිපයාධිකාරයන්ය.

මේ මොහොත වන විට යුක්රේනයේ සහ තායිලන්තයේ සිදු වෙමින් පවතින්නේ ද ඉහත ක්‍රියාවලියට සමාන තත්ත්වයකි. යුක්රේනයේ ජනාධිපතිවරයා පත් වී ඇත්තේ මහජන ඡන්දයෙන් මුත් ඔහුට විරුද්ධව ප්‍රධාන පක්ෂ තුනක් පාරට බැස ඇත. ඉන් එකක් පැහැදිලිව නවනාසිවාදී පක්ෂයකි. මේ පක්ෂ විසින් යෝජනා කරන්නේ ‛යුරෝපා සංගමය’ (EU) සමඟ එකතු වී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ආර්ථිකය ශක්තිමත් කරගන්නා ලෙසයි. අනෙක් පැත්ත නියෝජනය කරන්නේ රුසියාවයි. ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන්නේ රටේ ප්‍රභූ පැලැන්තියයි. ඔවුන්ට අවශ්‍ය තම ව්‍යාපාර රැකගෙන රුසියාව සමඟ ගනුදෙනු කිරීමයි. මෙම තත්ත්වය තුළ ඇමරිකාව ඍජුවම ගැටලුවට මැදිහත් වී ඇත. රටේ මීළඟ ආණ්ඩුවේ සාමාජිකයන් බවට පත්විය යුතු වන්නේ කවුද යන්න පවා පසුගිය දිනක යුරෝපය පිළිබඳ උපරාජ්‍ය ලේකම්වරිය වන වික්ටෝරියා නූලාන්ගේ දුරකථන සංවාදයකින් ලොවට හෙළි විය. මීට අමතරව තායිලන්තයේ මේ මොහොතේ සිදුවන්නේ ද සංකීර්ණ ක්‍රියාවලියකි. එහි අග්‍රාමාත්‍ය ශිනවත්‍රාට ප්‍රභූන්ගේ සහ ගමේ මිනිසුන්ගේ සහය ලැබී ඇත. ඔවුන් චීන හිතවාදීන්ය. නමුත් අගමැතිවරියගේ ආණ්ඩුවට විරුද්ධව වීථි බැස සටන් කරන්නේ හමුදාවට සහ ඇමරිකාවට පක්ෂපාතී ඍජු ලෙස නව ලිබරල්වාදී අදහස් පිළිගන්නා පිරිසකි. මෙවැනි තත්ත්වයක් කලක පටන් වෙනිසියුලාවේ ද පවතින අතර එහි වම මහජනයා දක්ෂ ලෙස සංවිධානය කරමින් කතිපයාධිකාරය පරාජය කොට ඇත.

අපි දැන් ලංකාවට නාභිගත වෙමු.

ලංකාවේදී ද බිහි වී ඇත්තේ සංකීර්ණ ඓතිහාසික මංසන්ධියකි. මීට ආසන්න තත්ත්වයක් ආර්ථික අතින් දියුණු බෙල්ජියමේ ද ඇත. එහි සමාජය ලන්දේසි භාෂාව සහ ප්‍රංශ භාෂාව කතා කරන අය ලෙස දෙකට බෙදී ඇත. මට කීමට ඇත්තේ ලංකාවේ ප්‍රශ්නය ද හුදු ආර්ථික ප්‍රශ්නයක් නොවන බවයි.

දැනට පවතින ධ්‍රුවීයකරණයන්ට අනුව ලංකාව බෙදී ඇත්තේ පහත පරිදිය.
(1) උතුර
(2) දකුණ

ඉන්පසු දකුණ නැවත පහත ආකාරයට බෙදී ඇත.
(1) මහින්ද චින්තනය
(2) පොදු විපක්ෂය
(3) ජනතා විමුක්ති පෙරමුණ
(4)ජනරාල්ගේ ලැයිස්තු පක්ෂය (Genaral’s List Party)
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පහත ආකාරයට බෙදී ඇත.

(1) චීනයට ලැදි මහින්ද චින්තනය – චීනය සමඟ ගනුදෙනු කිරීමට ජවිපෙට ද ප්‍රශ්නයක් නැත.
(2) ඇමරිකාව – යුරෝපය – ඉන්දියාව කේන්ද්‍ර කරගත් විපක්ෂය
(3) ආණ්ඩුවට ඊ සැලැස්මක් ද ඇත. එයට නෝර්වේ, දකුණු අප්‍රිකාව ඇතුළත්ය.
ඇමරිකාවට, ඉන්දියාවට, එක්සත් රාජධානියට අවශ්‍ය ලංකාවේ රෙජීමය මාරු කිරීමටය. එය චීනයට, රුසියාවට, නෝර්වේ රටට අවශ්‍ය නැත. දේශපාලන චෙස් පිටියේ ක්‍රීඩා කරන විවිධ ඉත්තන් තම තමන්ගේ ස්වාමියාට අනුව මඟුල් ගෙදර සිටිය යුතු මනමාලිය තීරණය කරයි.

ගැටලුව බොහෝ දෙනා සිතනවාට වඩා සංකීර්ණය. දකුණේ ආණ්ඩුව පත් වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීවය. (එය සිංහල ජාතිවාදී වීම අමතර සාධකයකි. මෝර්සි යනු ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ නායකයෙකි. නමුත් ඔහු ඉස්ලාම්ය. එය ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ සාධකයක් ද?) අනෙක් පසින් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව තමන්ගේ සුළු ජාතිය ඉදිරියේ හැසිරෙන්නේ ඒකාධිපති ආකාරයටය. දැන් අපට විරුද්ධාභාසයක් හමුවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව විග්‍රහ කළ විට ආණ්ඩුව පත්වී ඇත්තේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදයෙනි. ඒ නිසා එය ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළීම දෙමළ ජනයා සිටින තුරු අපහසුය. දෙමළ ජනයාට අනුව ආණ්ඩුව ෆැසිස්ට්ය. යුක්රේනයේදී සහ තායිලන්තයේදී ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරෙන ඇමරිකාව ලංකාවේ දෙමළ ජනයාගේ දෘෂ්ටිකෝණයෙන් නරඹන විට ප්‍රජාතාන්ත්‍රිකය. යුක්රේනයේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින රුසියාවත්, තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින චීනයත් ලංකාවේ දෙමළ ගැටලුව ඉදිරිපිට ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

‛ප්‍රජාතන්ත්‍රවාදය’ නම් වචනය පිළිබඳව මේ දක්වා දේශපාලන – විද්‍යා ශබ්ද-කෝෂයේ පැවති විමර්ශකය ඉහත මංසන්ධියේ සංකීර්ණත්වය නිසා අපට අහිමි වී ඇත. ලෝක ගෝලයේ පාලනය මේ වන විට බහු – කේන්ද්‍රීය වෙමින් පවතියි. මේ නිසාම කතිපයාධිකාරයන්ගේ සටන ද බහුමුහුණත් ගෙන ඇත. වාමාංශිකයන් කළ යුත්තේ බහුකේන්ද්‍රීය ලෝක දේශපාලනය තුළ ශ්‍රී ලංකාවට හැකිතාක් ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගැනීමට දේශපාලන පෙරමුණට ඇතුළු වී ඇතුළතින් සටන් කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හෙජමොනික අරගලය –
ප්‍රාග්ධනයේ සංකීර්ණ ගෝලීය සංසරණය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට මෙතෙක් ඊට හිමි වී තිබූ සංඥාව, ප්‍රපංචය සහ විමර්ශකය අහිමි වී ඇත. දැන් ප්‍රජාතන්ත්‍රවාදය යනු පාවෙන හැඟවුම්කාරකයකි. ඒ වෙනුවෙන් ජෙනරාල් ෆොන්සේකා සේම ව්‍යාපාරිකයකු වන රවී කරුණානායක ද පෙනී සිටියි. ලක්ෂ 6ක ඔරලෝසුවක් පළඳින දයා ගමගේ ද පුද්ගලික පාසැල් අයිති මොහාන් ලාල් ග්‍රේරු ද ඒ වෙනුවෙන් පෙනී සිටිති. සරලව කිවහොත් ප්‍රජාතන්ත්‍රවාදය යනු වමට භුක්තියට ලියා දුන් දෙයක් නොවේ. දැන් වමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නට වී ඇත. එහි තනි අයිතිය අපට පමණක් නැත. ඒ සඳහා කුඩුකාරයන්, ස්ත්‍රී දූෂකයන්, හොරුන්, මැරයන් ආදී මෙකී නොකී සියලු දෙනා පෙනී සිටිති. සිනහ ගියත් මහින්ද රාජපක්ෂ ද ඒ වෙනුවෙන් පෙනී සිටියි. මේ සියලුදෙනා සමඟ සටන් වැදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හෙජමොනික බලය අත්පත් කරගැනීමට වමට ඇති හැකියාව දේශපාලනය තුළ තවම නැති වී නැත. කෙනෙකුට බඩ අල්ලාගෙන හිනා ගියත් ‛ප්‍රාග්ධනය’ අපව රැගෙන විත් ඇත්තේ අලුත් ඓතිහාසික සැකසුමක් වෙතටය. පන්ති අරගලය මෙහෙයවන්නේ අප නම්, අපට තරම් සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදිය හැකි වෙන කිසිවෙකු නැත. ලෙනින් අරගල කළේද මෙම සටන් පාඨය සිත දරාගෙන ය. අප ප්‍රතිපදනම්වාදී විය යුතු නැත. අපට පශ්චාත්-පදනම්වාදී විය හැක∎

fr3

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment