රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ..

Mar 13th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන, වැකිය

pdff

 

 

 

 

පෙරවදන –
එදා කුංකුණාවේ හාමුදුරුවන් සිරගතව සිටිත්දී ලියූ කවියක්

අනේ කූඹින්නේ
තොපටත් රජෙකු ඉන්නේ…
අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ…
රජෙක් ලැබුනෝතින්…
කැවුම් කිරිබත් කඤ්ඤං..
පෙරහර කරඤ්ඤං…
සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං…

ගීතය –
කවදා පායන්ද අප දිනිසුරාණෝ…
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ…
මුඩුබිමකට සරිලන ජල කඳාණෝ…
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ…

කවදා පායත්ද අප පුන් සඳාණෝ…
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ…
නිදුකින් ඉන්ට මඟ සලසන වෙදාණෝ…
මුසා බසින් අප නොපෙළන රජාණෝ…

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ…
ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ…
අප සමබිමක රඳවන සොහොයුරාණෝ…
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ…

(පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය – නන්දා මාලිනී
පවන සංගීත ප්‍රසංගයේ ගීතයකි)

ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් ස්වාධීනත්වය ලබා ගත්තේ අදින් වසර 66කට එපිට එනම් 1948 පෙබරවාරි 04 වන දාය.

එම නිදහස එවකට සිටි අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් හඳුන්වන ලද්දේ ලේ බිඳුවක්වත් නොහෙළා ලබා ගත් නිදහස වශයෙනි. එහි තේරුම වන්නේ ලංකාව නිදහස ලබා ගත්තේ යටත්විජිත ස්වාමියාට විරුද්ධව ලේ හැලෙන සංග්‍රාමයකට නොගොස් සාමකාමී සාකච්ඡා මාර්ගයෙන් බවයි.

පළමු යුරෝපීය ආක්‍රමණිකයන් වූ පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට කුඩා රාජධානි ගණනාවකට බෙදී වෙන්ව තිබුණු ලංකා දූපත එක් සේසත් කරන ලද්දේ හෙවත් තනි පාලනයක් යටතට ගන්නා ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. ඉන් අනතුරුව මෙම භූමිය වෙළෙඳ භෝග වගාව සඳහා යොමු කළ ඔවුහු, නූතන රාජ්‍යයක තිබිය යුතු ආයතන පද්ධතියක්ද මෙහි පිහිටවූහ.

1948දී ලංකාවට නිදහස ප්‍රදානය කරන ලද්දේ එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත කළ ස්වාධීනතා පනත අනුවය. ඒ අනුව ලංකාවට පැමිණ නිදහස ප්‍රදානය කරන ලද්දේ එංගලන්තයේ රජතුමාගේ සොහොයුරු ග්ලොස්ටර්ෂයර්හි ආදිපාදවරයා විසිනි. තමන් විසින් එක්සේසත් කළ ලංකා දූපත තුළ සිටින් විවිධ ජන කොටස් සිලෝනීස්වරුන් හෙවත් ලාංකිකයන් සේ එක්සත් කළ බ්‍රිතාන්‍යයන් තමන් පිටව යනවිට එකී ජන කොටස්වලට සාමයෙන් සහ සමඟියෙන් වාසය කිරීම පිණිස සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පණවා සම්මත කළහ. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලද්දේද ඉංග්‍රීසිකාරයෙකු වන ශ්‍රීමත් අයිවර් ජෙනිංස්ය. එම ව්‍යවස්ථාව සහ ඒ යටතේ ඇති කරන ලද ආයතන පද්ධතිය විසින් නූතන සමාජයක පුරවැසියෙකුට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සැකසී තිබුණි. ඉතිරිව පැවතියේ සාමාජීය සහ සංස්කෘතික නිදහස අත්පත් කරගෙන සමාජයේ පීඩිත ජන කොටස් සවිබල කිරීමයි.

කෙසේ වුවද බ්‍රිතාන්‍යයන් වෙතින් අපට ලැබුණු පාලන ක්‍රමය සහ ආයතන පද්ධතිය වනාහි අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා සපුරාලීමට සාදන ලද්දක් බවත්, සැබෑ නිදහස ලබාගෙන දේශයේ නියම උරුමක්කාරයන්ට සැබෑ ශ්‍රී ලාංකික පාලන ක්‍රමයක් අවශ්‍ය බවත් කියන ජාතිකවාදී මැසිවිලි තැනින් තැන පැන නගින්නට විය.ඒ අනුව නිදහස සම්පූර්ණ කිරීම සහ දේශයේ ඊනියා උරුමක්කාරයන්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස වූ පියවර බලයට පැමිණි ආණ්ඩු විසින් 1956 දී, 1963 දී සහ 1972 දී ගන්නා ලදී. 1972 පනවන ලද නව ජනරජ ව්‍යවස්ථාව එහි උච්ච අවස්ථාවකි.

1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රමය නැවතත් වෙනස් කරන ලද්දේ ඊනියා ධර්මිෂ්ඨ සමාජයක් පිහිටුවනු පිණිසය. ඒ සඳහා ඔහු කළේ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රමයට යුරෝපීය සමානුපාතික ඡන්ද ක්‍රමයත්, ප්‍රංශ/ඇමරිකානු විධායක ජනාධිපති ක්‍රමයත් එකතු කොට හයිබ්‍රිඩ් ආණ්ඩු ක්‍රමයක් සෑදීමය. එසේ වුවද එකී ව්‍යවස්ථාව විසින් බ්‍රිතාන්‍ය සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගුව තිබූ සංවරණ සහ තුලන ක්‍රම යම් පමණකට ආරක්ෂා කළේය. පාර්ලිමේන්තුවත්, අධිකරණයත් විධායක බලයට සංවරණ සහ තුලන වශයෙන් ක්‍රියා කළ නිසා එහෙයින් ජේ. ආර්.ගෙන් පසු කාලයේදී බලයට පත්වූ ප්‍රේමදාසට, විජේතුංගට හෝ චන්ද්‍රිකාට අත්තනෝමතික පාලනයකට ඉඩ සැලසීම වැළැකිණි. 1987 දී ගෙන එන ලද 13 වන සංශෝධනය මගින් පළාත්වලට බලය පවරා මධ්‍යම ආණ්ඩුවෙහි බල පංගුකාරිත්වයක් හෙවත් බල බෙදීමක් ඇති කිරීම මගින්ද, 2001 දී ගෙන එන ලද 17 වන සංශෝධනය මගින් ජනාධිපතිගේ විධායක බලය පාර්ලිමේන්තුව සමඟ බෙදා හදා ගෙන රාජ්‍ය ආයතන නිර්දේශපාලනීයකරණය කිරීමෙන්ද තවදුරටත් සංවරණ සහ තුලන ඇති කරමින් ආණ්ඩුකරණය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියක මට්ටමට ගෙන එන ලදී.

නමුත්, 2005න් පසුව අලුත් යුගයක් බිහිවිය. එදා කුංකුණාවේ හාමුදුරුවන් කියූ ‛අනේ කූඹින්නේ – තොපටත් රජෙක් ඉන්නේ – අපට නැත ඉන්නේ’ ආදී වූ කවිය පැරාෆ්‍රේස් කොට මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියන ලදුව නන්දා මාලිනී ගැයූ ආකාරයට ‛රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ’ බිහිවිය. වෙනත් වචනයකින් කිවහොත් ජාතික නිදහස් අරගලයක යෙදී සිටි දෙමළ ජාතිය සහ සියලු ජාතීන්ට අයත් විමතිකයන් පමණක් බලහත්කාරය යොදා පාලනය කරන අතර සෙසු සියලු දෙනා ආධිපත්‍යයෙන් හෙවත් ස්ව-කැමැත්තෙන්ම පාලනය කෙරෙන කාලයක් උදාවිය. ඔවුන්ට පාලක රෙජීමය යනු ‛රජෙකැයි නොසිතෙන රජ කෙනෙකි’. බ්‍රිතාන්‍ය උරුමයෙන් සම්පූර්ණයෙන් නිදහස්වීමට සීන දුටු ජාතිකවාදීන්ගේ සහ සමාජවාදීන්ගේ මැදිහත්වීමෙන් බලයට පත් වර්තමාන රෙජීමය විසින් ඒ සියලුම සංවරණ සහ තුලන තූ තූ කොට විනාශ කරන ලද්දේය. ඊනියා ලිබරල් නිදහසේ නෂ්ටාවශේෂ සිඳ බිඳ දමන ලදී. අධිකරණයේ වංක සහයෝගය ඇතිව මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට සැලසීම මගින් ව්‍යවස්ථාදායකය පාලනය කිරීමේ මැජික් පොල්ල අතට ගත් විධායකය විසින් අනතුරුව 18 සංශෝධනය මගින් අධිකරණයද හීලෑ කරගෙන ජනාධිපති ධූරය සඳහා තරග කිරීමට තිබූ වාර දෙකේ බාධාව ඉවත් කොට යාවජීව ජනාධිපති ධුරයක් භාවිතයෙන් ඇති කරන ලදී. බ්‍රිතාන්‍යයන්ගේ උරුමය සිඳ නිදහස සම්පූර්ණ කරගන්නා ලදී. දැන් අපට උපරිම නිදහස ලැබී ඇත. එම ඊනියා නිදහස රැක ගැනීම සඳහා යැයි කියමින් ඊනියා සංවර්ධන මිථ්‍යාව සහ ඊනියා ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවද පතුරුවමින් ඇත. නමුත් ඒ සමගම එතෙක් අප සතුව තිබුණු, ශිෂ්ට සම්පන්න ලෝකයෙන් උරුම වූ නූතන දේශපාලන ක්‍රමය අහිමිව ගොස් ඇත. දැන් එළැඹ ඇත්තේ එකී ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නැවත දිනා ගැනීම සඳහා මහජන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගොඩනගා ගත යුතු අවදියයි. ඒ සඳහා අප එක්ව සටන් කොට එම සටන ජය ගත යුතුය. ඉන් අනතුරුව අපට අප විශ්වාස කරන විවිධ සහ විෂම මාවත් ඔස්සේ ගමන් කිරීම සඳහාවන හුස්ම ගැනීමේ අවකාශයක් ලබා ගත හැකිය.

(සමබිම පුවත්පතේ 2014 පෙබරවාරි කලාපයේ කතුවැකියෙන්.)

dr3

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment