ජිනීවා වන්දනාවක්ද? අරගලයක්ද?

Mar 12th, 2014 | By | Category: LEAD NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

සාමිනාදන් විමල්

දෙමළ ජාතිකවාදී මතවාදය මත යැපෙන ජනමාධ්‍ය මේ වසරේ මාර්තු මාසයෙහි පැවැත්වීමට නියමිත ජිනීවා සමුළුව පිළිබඳව පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කරනු ලැබුවේ ගිය වසරෙහි අග සිටය. මෙම ජාතිකවාදී මතවාදය විවේචනයට ලක්කරන විචාරකයන්ගේ හැඳින්වීමට අනුව නම් මෙය ජිනීවා මහෝත්සවයයි. ආගමික උත්සවයන් ආශ්‍රිත මානසික තත්ත්වයන් මෙම ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව ද ජනමාධ්‍ය තුළ ඇති කිරීමට දරන උත්සාහය දෙමළ ජාතිකවාදී මාධ්‍ය භාවිතාව තුළ පැහැදිලිවම දක්නට ලැබේ. එහෙයින් ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව දෙමළ සමාජය තුළ පතුරුවමින් පවතින අධිතක්සේරුමය අපේක්ෂා පිළිබඳවත් යථාර්ථවාදීව සිතා බලන විට එය ලාංකේය සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලයට දැක්විය හැකි දායකත්වය පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්ය.

ආණ්ඩුවේ යුද්ධමය ක්‍රියාකාරීත්වය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි සන්නද්ධ ක්‍රියාකාරීත්වය පරාජයට පත් කිරීමෙන් පසුව දෙමළ දේශපාලන වපසරිය මත නැවතත් ආධිපත්‍යය හිමිවන්නේ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලනයටයි. දකුණේ බොහෝ ජාතිවාදී මතවාදීන් මෙම දේශපාලන ප්‍රවාහයන් දෙකම එනම් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි සන්නද්ධ දේශපාලනය සහ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලනය එකක්මය යන මතවාදය තහවුරු කිරීමට දැඩි වෙහෙසක් ගත්තද ඇත්තෙන්ම එය එසේ නොවේ. එම දේශපාලන ව්‍යාපෘති දෙක වනාහි බරපතළ හරයාත්මක වෙනස්කම්වලින් යුක්ත වෙයි. එම වෙනස්කම් අතර ප්‍රධානම වෙනසක් වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි දේශපාලනය වනාහි භෞතිකමය වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයක් වන අතර මේ වනවිට පවතින සාම්ප්‍රදායික දෙමළ ජාතිවාදී දේශපාලනය වනාහි හුදු ප්‍රචාරාත්මක ව්‍යාපෘතියක් පමණි. එය පවතින තත්ත්වයන් තම දෘෂ්ටිවාදය මත හිඳ අර්ථ නිරූපණය කරනවා මිස පවතින තත්ත්වයන් වෙනස් කිරීම සඳහා වන ක්‍රියාකාරී දේශපාලනයක නිරත නොවෙයි. උදාහරණයක් ලෙස ගතහොත් පළාත් සභාව පවා වචන සාප්පුවක් බවට පත් කරගෙන සිටිනවා මිස උපක්‍රමික අරුතකින් භාවිතයට ගන්නා බවක් පෙනෙන්නට නොපවතී. සංක්ෂිප්තව පවසන්නේ නම් එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකාරීත්වය අනෙකුත් දේශපාලන ක්‍රියාකාරීත්වය තීරණය කරන ප්‍රබල සාධකය වූ අතර දකුණෙහි මෙන්ම උතුරෙහිද දේශපාලන ක්‍රියාවලීන් තීරණය වූයේ සහයෝගී හෝ ප්‍රතිරෝධී යන ස්ථාවරයන් මතය.

නමුත් මේ වනවිට පවතින තත්ත්වය එකී තත්ත්වයට හාත්පසින්ම වෙනස්ය. ටී.එන්.ඒ. සංවිධානයෙහි නායකත්වය තුළින් නියෝජනය වෙන දෙමළ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතිය උතුරෙහි හෝ දකුණෙහි තීරණාත්මක සාධකයක්ව නොපවතී. ඇතතෙන්ම දකුණේ ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතිවලට තම පැවැත්ම පිළිබඳ අර්බුදයක් ඇති නොවීමේ සුරක්ෂිත බව ලබාදෙන අයුරින් ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යාපෘතියක් බවට දෙමළ ජාතිකවාදී සාම්ප්‍රදායික දේශපාලනය පවතිනවා මිස එය කිසිසේත්ම අභියෝගයක්ව නොපවතියි.

එහෙයින් මෙම සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට මේ වනවිට කළ හැකිව ඇත්තේ පවත්නා තත්ත්වයන් තම පැවැත්මට වාසි සහගත වන ආකාරයට භාවිතයට ගැනීමේ හැකියාව මිස තත්ත්වයන් වෙනස් කිරීමේම දේශපාලන ක්‍රියාවලියක නිමග්න වීම නොවේ.

මෙවන් වාතාවරණයක් තුළ පිටත බලවේගයක් මත විශ්වාසය ජනිත කරවීම එසෙත් නැතිනම් විමුක්තිදායකයෙකුගේ පැමිණීම පිළිබඳව අනාවැකි පළ කිරීම දෙමළ ජාතිකවාදී දේශපාලනයෙහි අද දවසේ දේශපාලනය බවට පත්වී ඇත. මෙය දෙමළ සාම්ප්‍රදායික ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට අලුත් දෙයක්ද නොවේ.

එය ආරම්භයෙහි සිට එල්ගටීගටීගඊ. සංවිධානය සන්නද්ධව පරාජය කිරීම කරන තෙක්ම ඉන්දියාව තම විමුක්තිදායකයා වන්නේය යන අදහස දෙමළ ජන මනස තුළට කාවැද්දීමට ක්‍රියා කළ අතර එනයින් සිංහල ජන මනස තුළ ඉන්දියාව පිළිබඳව බිහිසුණු චිත්‍රයක් මැවීමට ද සමත් විය. එනම් ඉන්දියාව විසින් දෙමළ ජනයා වෙනුවෙන් ලංකාව දෙකඩ කර වෙනම රටක් ඇති කිරීමට කටයුතු කරන්නේය යන්න එම චිත්‍රයයි.

මේ වනවිට ජිනීවා ද ඇමරිකාව සහ බටහිර රටවල් ද එවැනි ගැලවුම්කාරයෙක්ගේ භූමිකාව ගෙන ඇති බව පෙන්වීමට දෙමළ සාම්ප්‍රදායික ජාතිවාදී දේශපාලනය දරන්නේ අපමණ වෙහෙසකි. ඒ අනුව ජිනීවා සමුළුව යනු සමස්තයක් වශයෙන් ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විෂයට වඩා යුද්ධ අපරාධ යන විෂය කරළියට ගෙන එන සහ එමගින් ආණ්ඩුවට දඬුවම් කරන උසාවි තීන්දුවක් දෙන්නක් බවට යන අදහස දෙමළ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතිය මගින් ව්‍යාප්ත කරමින් තිබේ∎

23

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment