දේශපාලනයේ කාන්තා හඬ බලගැන්වීමේ ඇන්ටිගනී මෙහෙයුම

Mar 14th, 2014 | By | Category: LEAD NEWS, ඇන්ටිගනී

pdff

 

 

 

කුමන පක්ෂයට ඡන්දය දුන්නත් එක මනාපයක් කාන්තාවකට දෙන්න
අශෝකා ලංකාතිලක,
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා

ආණ්ඩුව කියන්නේ ලංකාවේ කාන්තාවන් දැනටමත් පිරිමින් හා සමතැන සිටින නිසා කාන්තාවන්ට කෝටා එකක් ලබාදීමෙන් වෙනස්කොට සැලකීමක් වෙන බවයි.
ජනවාර්ගික අධ්‍යන සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා
චූලනී කොඩිකාර

ලිංගික හිංසනය නැති කරන්න බස් රථවල සී.සී. ටී.වී. කැමරා සවි කළ යුතුයි
ඩයනා ගමගේ – එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා

තමන් දේශපාලනයට එන්නෙ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න දේශපාලනයට එන කාන්තාවන්ට හැකි විය යුතුයි
කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපතිනි – සුලෝචනා සිගේරා

කාන්තාවක් ජනාධිපතිවරියක් වුණත්, අගමැතිවරියක් වුණත්, පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ ස්ත්‍රී-පුරුෂ අනුපාතය භාගෙට භාගෙ ගෙනාවත් එයින් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නෑ
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා – සමන්මලී ගුණසිංහ

දරුවෙක් ඉස්කෝලෙට දාන්න පවා ලිංගික අල්ලස් දෙන්න අද කාන්තාවට සිද්ධ වෙලා.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා – රන්මලී ගුණවර්ධන

2011දී කාන්තා අපේක්ෂිකාවන් 23කට සහාය දුන්නත් එක්කෙනෙක්වත් දිනවන්න බැරි වුණා.
කේ.වයි. යෝගේෂ්වරී –
කාන්තා අංශයේ ප්‍රධානී,
සමාජ සංවර්ධන ආයතනය, මහනුවර

කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ අරගලය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් අරගලයේම කොටසක්
ඇන්ටිගනී කණ්ඩායමේ සංවිධායක මණ්ඩලයේ චන්දිමා දුනුවිල

කාන්තා නියෝජනය සඳහා වන සටන සාධාරණ මැතිවරණයක් දිනාගැනීමේ අරගලය සමග සම්බන්ධ කළ යුතුයි
රයිට්ස් නව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන

ඩයනා ගමගේ, චූලනී කොඩිකාර, සමන්මලී ගුණසිංහ, අශෝකා ලංකාතිලක, සුලෝචනා සිගේරා, චන්දිමා දුනුවිල සහ තුෂාරා විතාරණ මුලසුන දරමින්....

ඩයනා ගමගේ, චූලනී කොඩිකාර, සමන්මලී ගුණසිංහ, අශෝකා ලංකාතිලක, සුලෝචනා සිගේරා, චන්දිමා දුනුවිල සහ තුෂාරා විතාරණ මුලසුන දරමින්….

කාන්තාවන්ද පුරුෂයන් හා සමතැන්හිලා සැලකීම සංවර්ධනයේ අත්‍යවශ්‍ය වූ මූලික අංගයක් බැව් බොහෝ රටවල් අවබෝධ කොටගෙන තිබේ. මානව සමාජය ආරම්භයේ පටන් ස්ත්‍රිය ආර්ථික, සමාජයීය සහ දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් අසමාන සැලකුම් ලැබීම හේතු කොටගෙන 1979දී ස්ත්‍රීන්ට එරෙහිව සියළු ආකාර වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය (Convention on Elimination of all form of Discrimination Against Women) සම්මත කරගන්නට යෙදුණු අතර ලංකාවද එය පිළිගනිමින් එයට අත්සන් තබා අපරානුමත කිරීමෙන් නොනැවතී කාන්තා ප්‍රඥප්තියක්ද සම්මත කර ඇත. නමුත් එකී ප්‍රඥප්තියෙහි අඩංගු ප්‍රතිපත්ති නීතිගත කිරීමක් තවමත් සිදු වී නොමැත.

නීති මඟින් පමණක් අගතීන් හා දුර්මත තුරන් කළ නොහැකි බව අපි දනිමු. ඒ සඳහා ආයතන ව්‍යුහය මෙන්ම පවත්නා සංස්කෘතියද අභියෝගයට ලක් කළ යුතුය. එසේ නමුත් අපගේ ක්‍රියාකාරකම්වලට නීතිය මඟින් අවශ්‍ය මඟ පෙන්වීම කළ හැකිය.

පසුගිය මාර්තු 08 වන දින පැවති ලෝක කාන්තා දිනයට සමාන්තරව ‛සමබිම-ඇන්ටිගනී කණ්ඩායම’ විසින් දේශපාලනය තුළ කාන්තා හඬ බලගැන්වීම” යන තේමාව මත පදනම් වෙමින් මාර්තු 10 වන දින කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවාද මණ්ඩපයක් පවත්වන ලදී. විවිධ පක්ෂ නියෝජනය කරමින් එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරග කිරීමට නියමිත අපේක්ෂිකාවන් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සමාජය තුළ හඬක් නඟන සමාජ ක්‍රියාධාරිනියන් සම්බන්ධ කර ගනිමින් මෙම සංවාද මණ්ඩපය පැවැත්විණි.

අපේ රටේ ජනගහණයෙන් බහුතරය හෙවත් 53%ක්ම කාන්තාවන් වුවද දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය ඉතාම අවම මට්ටමක පවතී. CEDOW සම්මුතියෙහි 7 වන වගන්තිය තුළ ස්ත්‍රීන්ගේ දේශපාලන අයිතිය තහවුරු කර තිබෙන අතර සුසාන් බී ඇන්තනී නම් කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය දක්වන ආකාරයට නීති සම්පාදන ක්‍රියාවලිය තුළ කාන්තාවන් සක්‍රිය ලෙස නියැලෙන තුරු කාන්තාවන් ඡන්ද බලයෙන් ජනතා නියෝජිතවරියන් ලෙස පත්වන තුරු කාන්තාවන් සඳහා පූර්ණ සමානාත්මතාවයක් දැකිය නොහැකිය. මන්ද කාන්තාවන්ගේ ප්‍රශ්න නිසි ලෙසම ආමන්ත්‍රණය කිරීමට සුදුසුම තැනැත්තා තවත් කාන්තාවක් බැවිනි. මෙම ලිපිය සංවාද මණ්ඩපයට සහභාගී වූ කාන්තා මැතිවරණ අපේක්ෂිකාවන් හා සමාජ ක්‍රියාකාරී කාන්තාවන්ගේද, සහභාගී වූවන්ගේද අදහස් අනුසාරයෙන් සකස් වේ.

‛‛මේ රටේ ජනග්‍රහණයෙන් 53%ක් ඉන්නේ කාන්තාවන්. ඡන්දදායකයන් අතරින් 56%ක්ම කාන්තා ඡන්දදායිකාවන්. නමුත් ඇයි ඉල්ලන කාන්තාවෝ පරදින්නෙ? අපි ඒ පිළිබඳව සංවාදයක් ගොඩනගා ගත යුතුයි. ඔබ කුමන පක්ෂයකට ඡන්දය දුන්නත් කාන්තාවට එක ඡන්දයක් දෙන්න.”

ASHOKA

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා අශෝකා ලංකාතිලක මහත්මිය සංවාද මණ්ඩපය අමතා එසේ ප්‍රකාශ කළාය. දෙවරක් ප්‍රාදේශීය සභාව නියෝජනය කළ ඇය පිට පිට තෙවරක්ම බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ පළපුරුදු දේශපාලන නායිකාවකි. මෙවර ඇය මැතිවරණයට මුහුණ දෙන්නේ සිව්වන වරටය.

‛‛දේශපාලනය තුළ කාන්තාවට හිමි තත්ත්වය ලබාගැනීම ඇය විසින්ම කළ යුතු දෙයක්. ඒකට අධිෂ්ඨානයක් මෙන්ම තමන් කරන වැඩේ හරි කියලා විශ්වාසයක් තිබිය යුතුයි. කාන්තාවන් දේශපාලනයට එනවා නම් මුලින්ම ඔවුන් සමාජය තුළ පිළිගැනීමක් ඇති, සමාජය වෙනුවෙන් යමක් කරන කෙනෙක් බවටපත්විය යුතුයි. සමාජයේ තියෙන ව්‍යසනවලදී අවංකව නායකත්වය දෙන්න ඕනෑ. සමාජයට අවශ්‍ය කෙනෙක් වෙන්න ඕනෑ. අපි සමාජයේ ප්‍රශ්න හඳුනාගෙන ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනෑ. මේ සමාජ සංවිධානවලින් පාසල් යන වයසේ දක්ෂ, නායකත්වයට සුදුසු හැකියාවක් තියෙන අය තෝරගෙන මොන දේශපාලන පක්ෂයකින් වුණත් කමක් නැහැ හරි එයාලව නායකයො කරන්න වැඩසටහන් දියත් කරන්න. එයාලට අත්දැකීම් බෙදාහදා ගන්න ඉඩ දෙන්න.” අශෝකා ලංකාතිලක මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.

සංවාද මණ්ඩපයට සහභාගී වූ ජනවාර්ගික අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ජේ්‍යෂ්ඨ පර්යේෂිකාවක වන වන චූලනී කොඩිකාර මහත්මිය විසින් ‛ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය’ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණය ඇසුරෙන් කාන්තා සමානාත්මතාවය පිළිබඳ අදහස සහ පළාත් පාලන ආයතන තුළ කාන්තාවන්ට කෝටා ක්‍රමයක් ලබාදීම යන කාරණා පිළිබඳව ඇගේ අදහස් දැක්වූවාය.
CHULANI‛‛1931දී ශ්‍රී ලාංකීය කාන්තාවට සර්වජන ඡන්දබලය හිමි වුණා. නමුත් තවමත් දේශපාලනය තුළ කාන්තා නියෝජනය පවතින්නේ ඉතාමත් අඩු මට්ටමකයි. පාර්ලිමේන්තුව තුළ පවතින්නේ 6.9% වැනි කාන්තා නියෝජන ප්‍රතිශතයක්. පළාත් සභා තුළ 5%ක් වන විට ප්‍රාදේශීය සභා තුළ 2.03%ක් වැනි ප්‍රමාණයක් තමයි පවතින්නේ.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩුවීමට හේතු ලෙස, වසර 30ක් පුරා පැවති සිවිල් යුද්ධය, සමානුපාතික මැතිවරණ ක්‍රමය සහ ඒ මඟින් කාන්තා නියෝජනය ඉහළ දැමීමට නිශ්චිත යෝජනා නොමැති වීම, පක්ෂ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවීම වැනි හේතු හඳුනාගන්න පුළුවන්.

පළාත් පාලන ආයතන සඳහා කාන්තාවන්ට නාම යෝජනා දීම අවම මට්ටමක පැවතීම නිසා කාන්තා සංවිධාන විසින් 2003දී කෝටා ක්‍රමයක් ඉල්ලා සිටියා. ඒ අනුව ප්‍රාදේශීය සභා මැතිවරණ පනත තුළ 40%ක් ලෙස තිබූ අනිවාර්ය තරුණ සහභාගීත්වය යන්න සංශෝධනය කරමින් ඒ තුළට කාන්තා හා තරුණ සහභාගීත්වය යන්න එකතු කළා. නමුත් එය පිළිගත හැකි විසඳුමක් වුණේ නෑ. ඉන්දියාව, බංගලාදේශය, පාකිස්ථානය වැනි රටවල් කෝටා ක්‍රමය පිළිගත හැකි මට්ටමකින් ක්‍රියාත්මක කරනවා. මේ කෝටා ක්‍රමය නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුව කියන්නෙ ලංකාවේ කාන්තාවන් දැනටමත් පිරිමින් හා සම තත්ත්වයක් ලබාගෙන තිබෙන නිසා කෝටා එකක් ලබා දුන්නොත් ඒක වෙනස්කොට සැලකීමක් වෙනවා කියලයි.

රටේ ආර්ථිකය තුළ කාන්තාවන් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවත් ඔවුන් කාන්තාවන් වූ නිසාම ඔවුන්ට විවිධ කතාවලට මුහුණදීමට සිදුවන බවත් මහජන ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන අපයෝජනයන් වැළැක්වීමට සියළුම බස්රථවල සී.සී.ටී.වී.කැමරා සවි කිරීමට තමා බලාපොරොත්තු වන බවත් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා ඩයනා ගමගේ මහත්මිය මෙලෙස තම අදහස් ගොනු කළාය.

DIANA

‛‛මුළු ලෝකයේම කාන්තාවන්ට තියෙන්නේ එකම හැඟීම්. ඒ අය එකම විදිහට හිතන්නෙ. එතනදී ජාතිභේද, පක්ෂ භේද, ආගම්භේද ඇතිවෙන්න විදිහක් නෑ. කාන්තාවන් විදිහට ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න එක හා සමානයි. අද මම මගේ පෞද්ගලික ධනය යොදල කිසියම් වැඩක් කළත් මට සිද්ධවෙලා තියෙනවා දේශපාලනඥයන්ගෙන් අවසර ගන්න. දේශපාලනඥයෙක්ව ගේන්න ඕනි ඒක විවෘත කරන්න. ඒ වගේම රටේ ආර්ථිකයත් එක්ක කාන්තාවට දේශපාලනයට එන්න තරම් මානසිකත්වයක් නෑ. ලංකාවේ කාන්තාව ජීවත් වෙන්නේ පුදුමාකාර පීඩනයකින්. කාන්තාවන් ඉදිරියට ගේන්න නම් අපි මුලින්ම ඒ අයගේ මනස හදන්න ඕනි. එහෙම වෙන්න නම් රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න විසඳිය යුතුයි. අද තියෙන කාන්තා හිංසනය තුළ කාන්තාව වෙළඳ භාණ්ඩයක් විදිහටයි සමාජය සලකන්නෙ. පසුගිය කාලෙ නාමයෝජනා භාරදීපු නිළියන් ගැන රටේ වගකිවයුතු ආයතනයක් වන කැෆේ සංවිධානය යම් තැනක කියල තිබුණා නිළියන්ට, ගායිකාවන්ට නාමයෝජනා දෙන්න එපා, ඒ අය ‛ලිංගික සංකේත’ කියල. මම හිතන විදිහට එහෙම වුණෙ නිළියක්ද, ගායිකාවක්ද, වෛද්‍යවරියකද කියන ප්‍රශ්නය නිසා නෙමෙයි. ඒ අය කාන්තාවන් වුණ නිසායි. 20%ක කාන්තා නියෝජනයක් තිබිය යුතු රටේ අද වෙද්දි තියෙන්නෙ 4%ක ප්‍රමාණයක් විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කාන්තා නියෝජනය වැඩි විය යුතුයි.

අද කාන්තාව රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඔවුන් ගෘහ සේවිකාවෝ විදිහට වැඩ කරල ඩොලර් බිලියන 6ක් මේ රටට හොයල දෙනවා. ඒ වගේම ඇගළුම් සේවිකාවන් විදිහට වැඩ කරල ඩොලර් බිලියන 4ක් මේ ආර්ථිකයට ලබා දෙනවා. ඒත් ඔවුන් ඒ විඳින දුක, ඔවුන්ගෙ ශ්‍රමය මේ රටේ අය අගය කරනවද?

අද කාන්තාවන් මුහුණදෙන බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන බස්රථවල කාන්තාවන්ට සිදුවෙන අපයෝජනයන් අඩු කරන්න සියළුම බස් රථ වල සී.සී.ටී.වී. කැමරා සවි කළ යුතුයි කියල මම මගේ ප්‍රතිපත්ති මාලාවේ යෝජනාවක් ඉදිරිපත් කරල තියෙනවා. එසේ කිරීම තුළින් කාන්තා අපයෝජන පමණක් නෙමෙයි පික්පොකට් ගැහීම්, හොරකම් කිරීම් වගේ සියල්ලක්ම නැතිකරගන්න පුළුවන්. මොකද කිසිම පිරිමියෙක් කැමති වෙන්නෑ ටීවී එකේ තමන්ගේ මුහුණ ඒ විදිහට රවුම් කරල පෙන්වන්න.

Women in Management  ආයතනයේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන සුලෝචනා සිගේරා මහත්මිය ඇයගේ ආයතනය තුළ සිදුකරන ලද පර්යේෂණවලදී ලබාගත් දේ අප සමඟ මෙසේ බෙදා ගත්තේ මෙලෙසිනි.

SIGERA

ලංකාවෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් 60%ක් කාන්තාවෝ. නමුත් ඉහළ පෙළේ ඉන්නේ 7.2%යි. අද ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ළමා මව්වරු ඉන්නේ. කොළඹ දිස්ත්‍රික්කෙ ගණිකා වෘත්තියේ යෙදෙන බහුතරය අවුරුදු 18ට අඩු තරුණියන්. යුනිසෙෆ් ආයතනය පෙරේදා (8) කළ අනාවරණය අනුව ළමා අපචාර සම්බන්ධයෙන් 05 වෙනි ස්ථානයේ ඉන්නේ. අපි මේවා ගැන ලැජ්ජා වෙන්න ඕනෑ. දේශපාලන විසඳුමකින් තොරව මේ කාන්තාවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ. මුලට සාත්තු නොකර අතුවලට මොන තරම් සාත්තු කළත් වැඩක් නෑ. ඇයි අපි දේශපාලනයට කාන්තතාවන් පත් කරන්නේ? ඒ දේශපාලනයට එන කාන්තාවන්ට පුළුවන් වෙන්න ඕනෑ ඇයි තමන් දේශපාලනයට එන්නෙ කියන එකට පිළිතුරක් දෙන්න. නායකයෙක් කියන්නෙ කතා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ කෙනා දිහා බලලා තවතත් කෙනෙක්ට හැදෙන්න පුළුවන් නම් එයා නායකයෙක්. අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කාන්තා දේශපාලන නායිකාවන් තමයි රටට ඕනැ වෙලා තියෙන්නෙ.
අද වන විට රටෙහි මුල්බැසගෙන සිටින කුඩු, කැසිනෝ, එතනෝල් වංචාව නිසා මිනිසුන්ගේ ජීවිත පවා අහිමි වී තිබෙන අතර මේ සියළු අසාධාරණයන්ට එරෙහිව කාන්තා හිඩ අවදි කළයුතු බව දක්වමින් ජනතා විමුක්ති පෙරමුණෙහි අපේක්ෂිකා සමන්මලී ගුණසිංහ මෙසේ අදහස් දක්වා සිටියාය. දේශපාලනයේ පළපුරුදු නායිකාවක වන ඇය දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ද වේ.

SAMANMALEE

අපි දේශපාලනය කරන්න ඇවිත් තියෙන්නෙ එක එක නායකයන්ට කඩේ යන්නවත්, කාගෙවත් අරමුණු ඉෂ්ට කරන්නවත් නෙමෙයි මේ අපරාධ වලින් පිරිහුණ රටේ මනුෂ්‍යත්වය ඇති කරන්නයි. අද මේ රට කුඩු දේශපාලනඥයින් විසින් බිලිගෙන තියෙන්නෙ. කිසි කෙනෙකුට වරදක් නොකළ කහවත්තෙ පාසැල් යන දරුවයි, අම්මයි තව කාන්තාවෝ 14 දෙනෙකුයි බිලිගත්තෙ මේ කුඩු දේශපාලනයයි. මේ දේවල් මේ විදිහට සිද්ධවෙද්දි අපේ කාන්තාවෝ තවමත් නිහඬ ඇයි? කුඩු, කැසිනෝ, එතනෝල් සන්ධානයට විරුද්ධව කාන්තාවන් සංවිධානය විය යුතුයි.

ඒ වගේම අපේ රටේ කාන්තාවෝ පොදු ප්‍රවාහන සේවයේදි, පොදු ස්ථානවලදිත් කුමන හෝ අපයෝජනයකට ලක්වෙනව. ඇයි අපි මේ දේවල් වෙනුවෙන් හඬනඟන්නෙ නැත්තෙ? මේ රටේ දිගින් දිගටම සිදුවෙන අසාධාරණය අපි ඉවර කරන්න ඕනි. මේ රටේ හැමෝම ජීවත්වෙන්න ඕනි. හැම දරුවෙක්ම ඉගෙන ගන්න ඕනි. ඒත් අද එක් දරුවෙක් සරුංගලයක් ඉල්ලලා අඬද්දි තව දරුවෙක් නළවන්න ලැම්බොගිනි එකක් අරං දෙන්න වෙනවා. මේ ප්‍රශ්නෙ විසඳන්න කාන්තාවක් ජනාධිපතිවරියක් වුණාටවත්, අගමැතිවරියක් වුණාටවත්, පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ භාගෙට භාගෙ ගෙනාවටවත් බෑ. මහපොළවෙ හිටගෙන මහපොළවේ ජීවත් වෙන්න ගත්තොත් විතරයි අපිට මේ වෙනස හදන්න පුළුවන් වෙන්නෙ.
සියළුම දේවල් දේශපාලනයට යටවී තිබෙන බවත් දේශපාලන බලයක් නොමැතිව කිසිදු දෙයක් කරගැනීමට හැකියාවක් නොමැති බවත්, මේ හමුවේ කාන්තාවන් විශාල අභියෝගයකට මුහුණදෙන අතර එහිදී ඔවුන් වෙනුවෙන් කාන්තා නියෝජනයක් අත්‍යවශ්‍ය බවත් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂිකා රන්මලී ගුණවර්ධන මෙසේ දක්වා සිටියාය.

RANMALEE

අද රටේ සිදුවන ස්ත්‍රී දූෂණය, ළමා අපචාර, කාන්තා හිංසනය වගේ දේවල් කාන්තාවන්ට බලපානව. අද මේ රටේ ‛අම්මා’ කියන වචනෙට ගෞරවයක් නැතිවෙලා. පුරුෂාධිපත්‍යය මේ රටේ රජකරනවා. නමුත් ඇත්තටම කාන්තාවන් පුරුෂයන්ට වඩා ශක්තිමත්, ඒ අයට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනව. ඒත් මේ රටේ සිද්ධවෙන දේවල් එක්ක කාන්තාව හිංසනයට ලක්වෙලා. කාන්තාවක් විදිහට දේශපාලනය නැතුව කාන්තා විමුක්තිය ගන්න බැරිවෙලා. ඉස්පිරිතාලෙ ඇඳක් ගන්න වුණත්, දරුවෙක් ඉස්කෝලෙට දාන්න වුණත් අද කාන්තාවට ලිංගික අල්ලස් දෙන්න වෙලා. ඇත්තටම අපි දේශපාලනය කරන්න ඕනෑ අපේ සුඛ විහරණය සඳහා නෙමෙයි රටේ අභිවෘද්ධිය සඳහායි.

මහනුවර සමාජ සංවර්ධන ආයතනයේ කාන්තා අංශය භාරව කටයුතු කරන කේ.වයි. යෝගේෂ්වරී මහත්මිය වතුකරයේ කාන්තාවන් සමඟ කටයුතු කිරීමේදී ඇය ලබාගත් අත්දැකීම් පැමිණි සිටි අය සමඟ බෙදාගත්තේ මේ අයුරිනි.

YOGESHWARI

අපි වැඩ කරන්නෙ සංවිධානාත්මක නොවූ (Unorganized) කාන්තාවන්, විශේෂයෙන්ම වතු අංශයේ සම්බන්ධ කාන්තාවන් සමඟයි. අපි වතුකරයේ විවිධ සමිති (societies) පිහිටවලා තියෙනවා. නමුත් මේ සමිති තිබුණට කාන්තාවන්ට දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධව තියෙන අවස්ථාවන් ගොඩක් අඩුයි. වතුකරය තුළ ප්‍රජා මූල සංවිධාන ගොඩනගලා ඒ සංවිධානය ප්‍රදේශීය ලේකම් කාර්යාල තුළ ලියාපදිංචි කිරීම මගින් ඒ හරහා කාන්තාව සමාජීය වශයෙන් ක්‍රියාකාරී සිදු කරනවා. ඒ වගේම ස්වාධීන කාන්තා සමිති ( Indipendent women society)  ග්‍රාමීය සංවර්ධන සමිති (Rural Development Societies)  සංවිධානය කරලා සමාජයට අවශ්‍ය සංවර්ධනය ලබා ගන්න කාන්තාවන් උනන්දු කරල තියෙනවා. තවමත් වතුකරයේ තියෙන සමිතිවල කාන්තාවන්ට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් අභියෝග තියෙනවා.

අපි 2011 ප්‍රාදේශිය සභා ඡන්දය සඳහා වතුකරයේ කාන්තා අපේක්ෂකයෝ 23කට උදව් කරද්දි කාන්තාවන්ට ගොඩක් අභියෝග ආවා. මොකද මේ අයගේ පක්ෂ තුළ ඉන්න අයම ඒ අයට ඡන්දෙ දෙන්න එපා කියලා ප්‍රශ්න ගෙනාවා. ඒ තුළ අපිට ඒ එක්කෙනෙක්වත් දිනවන්න ලැබුණෙ නෑ. අපි සමාජ සංවර්ධන සමිති හදල ඒක ලියාපදිංචි කරන කොට (ඒවායේ ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන් තියෙන්නේ) ඒක දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න ලොකු උත්සහයක යෙදෙන්න වෙනවා.

සමබිම ඇන්ටිගනී කණ්ඩායම නියෝජනය කරමින් චන්දිමා දුනුවිල පැමිණ සිටි පිරිස හමුවේ මෙවැනි වැඩසටහනක් කිරීමෙහි පරමාර්ථය සැකෙවින් දක්වා සිටියාය.

CHANDIMA

මේ රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී එකක් (gender sensitive) විය යුතුයි කියලා ඇන්ටිගනී කණ්ඩායම විශ්වාස කරනවා. කාන්තාවෝ වැඩි පිරිසක් දේශපාලනයට යැව්ව පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ කියන එක අපි තරයේ විශ්වාස කරනවා. ඒකට ඊට වඩා පුළුල් මහජන ක්‍රියාකාරිත්වයක් අවශ්‍යයි. කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ අරගලය අනෙක් සියලූ දෙයින්ම පරිබාහිරව හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් අරගලයක කොටසක්.

වැඩසටහන සමාප්ත කරන ලද්දේ රයිට්ස් නව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසිනි.

පිරිමින්ට වගේම කාන්තාවන්ටත් නීතිය අනුව සමානාත්මතාවය හිමිවෙලා තියෙනවා තමයි. ඒත් කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න ඉවර වෙලා තියෙනවද? හරයාත්මක සමානාත්මතාවය (substantial equity) කියන කාරණය බැලූවම අවස්ථාව තිබුණට විතරක් මදි, ඒ අවස්ථාව පාවිච්චි කරලා ප්‍රතිඵල ලැබෙන්නෙ නැත්නම් ඒ අවස්ථාවෙන් අර්ථයක් නෑ. රජය CEDAW සම්මුතිය අත්සන් කරලා පිළිගන්නවා අපි කාන්තාවන්ගෙ නියෝජනයට අවස්ථාව දෙනවා කියලා. හැබැයි පිළිගත්තට පස්සෙ කියනවා අපි කාන්තාවන්ට නියෝජනය දෙන්න ලෑස්තියි, හැබැයි කාන්තාවෝ නෑ කියලා. කාන්තාවො නැත්තෙ නෑ කාන්තාවො ඉන්නවා. ඒ කාන්තාවො ආවට ඒ අයට ජයග්‍රහණය කරන්න තියෙන ඉඩ අඩුයි. අද කෝටි ගණනක් නැතුව පළාත් සභා ඡන්දෙටවත් ඉදිරිපත්වෙන්න බැරිවෙලා තියෙනවා.
SUDAකාන්තා නියෝජනය වැඩි කළ යුතුයි. නමුත් ඒකට සම්බන්ධ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඡන්දෙට සල්ලි වියදම් කරන්න සීමාවක් නැත්නම්, සල්ලි ගන්න පුළුවන් කාගෙන්ද කියලා සීමාවක් නැත්නම්, පාවිච්චි කරන විදිය ගැන සිස්ටම් එකක් නැත්නම් තරගය අසමානයි (unequal). ඒ කියන්නෙ මැතිවරණය සාධාරණ මැතිවරණයක් නෙවෙයි. එවැනි තත්ත්වයක් යටතේ සමාජ වැඩකරලා ඉදිරියට එන පිරිමියෙක් හරි කාන්තාවක් හරි ඡන්දයක් දිනන්නෙ කොහොමද? පාලන ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ලබා ගැනීමේම අරගලයත් කාන්තා දේශපාලනය නියෝජනය ශක්තිමත් කිරීම සඳහා වන අරගලයත් එකට ගැට ගහන්න අපට සිද්ධ වෙනවා.

සකස් කළේ: තුෂාරා විතාරණ,
දිලක්ෂි හේරත් සමඟ චතුරිකා ධර්මදාස

වැඩිදුර ඡායාරෑප මෙතනින් බලන්න

MORE-PHOTO

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment