උඹලා බය වුණා මේ පොඩි ළමයට. ඒ නිසා උඹලා මේ පොඩි ළමයව මරලා දැම්මා – ධර්මසිරි බණ්ඩාරනායක

Mar 17th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

pdff

සාකච්ඡා කළේ – තුෂාරා සෙව්වන්දි

ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය ග්‍රීසියේ යුරිපිඩීස් (Euripides) කියන නාට්‍යකරුව විසින් ලියන ලද නාට්‍ය අතර ලෝකයේ යුද්ධය පැවති රටවල්වල රඟ දැක්වීම සඳහා කලාකරුවන් විසින් තෝරාගත් නාට්‍යයක්. කොසෝවා යුද්ධය වෙලාවෙ පීඩනයට ලක්වුණු කාන්තාවන් එකතු කරගෙන මේ නාට්‍යය නිෂ්පාදනය කරල තිබුණා. 1990 දශකයෙ අපි මේ කතා කරන මොහොතේ සිරියාවෙ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත්වුණු කාන්තාවන් එකතුවෙල මේ නාට්‍යය නැවත රඟ දක්වනව. යුද්ධෙකදි හැමවෙලේම ස්ත්‍රී පාර්ශවය තමයි වැඩිම පීඩිතයා බවට පත්වෙන්නෙ.

ට්‍රෝජන් කාන්තාවො නාට්‍යය නිෂ්පාදනය කරන්න මම මහන්සි වෙච්ච මොහොත ලංකාවෙ යුද්ධෙ කිසියම් තීරණාත්මක අවස්ථාවක්. යුද්ධය නතර කිරීම සඳහා සාම සාකච්ඡා පවත්වල යුද්ධයෙ අනෙක් පාර්ශවකරුවන්ගේ ගිවිසුම් ගත කරගැනීමට යොමුවුණ මොහොතක්. ඒ වගේ ක්‍රියාවලියක් ඇතුලෙ තමයි මේ නාට්‍යය නිර්මාණය කිරීමට පසුබිම ගොඩනැගෙන්නෙ. නමුත් මම නාට්‍යය නිෂ්පාදනය කරන්න පටන්ගත්තම ලංකාවේ දකුණ මුල් කරගෙන අන්තවාදීන් සහ ජාතිවාදී කොටස් මේ නාට්‍යය මොකටද මෙතන කරන්නෙ, ගිහිල්ල යාපනේ කරනව, කියලා සමච්චල් කරන්න පටන් ගත්තා. මේ මොහොත දක්වාම කලාකරුවා සමච්චල් කිරීම කියන කාරණාවෙන් ලංකාව නිදහස් වෙලා නෑ. කලා වාරණය, කලාවට බලපෑම් එල්ල කිරීම වගේ කාරණා අපිට දිගින් දිගටම අහන්න ලැබෙනවා. ඉතින් මම මේ නාට්‍ය මුලින්ම 1999 දෙසැම්බර් මාසේ ප්‍රදර්ශනය කළා.

d5මේ නාට්‍යය යුද්ධය පැවති මෙහොතෙ ත්‍රිකුණාමලෙත්, යාපනෙත්, මඩකලපුවෙත්, වව්නියාවෙත් පෙන්නපු එකම සිංහල නාට්‍යය බවට පත්වුණා. ඒ ශක්තිය අපිට ආවෙත් ඒ නාට්‍යය තුළින්, නැතුව අපි වටේ හිටපු සෙනඟක් අපිට දීපු ශක්තියක් නෑ. ඒ කලා කෘතිය අපිට ලොකු අභිමානයක් වුණා. අපේ ආත්ම පෞරුෂත්වය හා යුද්ධයට එරෙහි හඬ නැඟීම් යන කාරණා ඒ හරහයි ඉදිරිපත් කරන්න වුණේ. විශේෂයෙන්ම මම සඳහන් කළ යුතුයි යාපනෙ පෙන්නපු ප්‍රදර්ශනය. මොකද ඒ වෙනකොට යාපනේ ජීවත් වෙච්ච ජනතාව යුද්ධෙ එක පාර්ශවකරුවෙක් වුණාට, සමස්ත ජනතාව යුද්ධය නියෝජනය කළේ නෑ. මෙතනදි සටන්කරුව බවට පත්වෙල තිබ්බෙ LTTE සංවිධානය. අපිට පුළුවන්කම තිබුණ සාම සාකච්ඡා පවත්වන මොහොතෙ ගිහිල්ල මේ නාට්‍යය යාපනෙ රඟදක්වන්න. විශේෂයෙන් LTTE නායක නායකයො පවා එහි අසුන් අරගෙන තිබ්බා. ඒ වගේම ඒ ජනයා තුළ සිංහල භාෂාව කියන එක මිලිටරි එක කතා කරන භාෂාව කියන හැඟීම ඇති ජන කොටසක් ඉදිරියෙ අපි මේක සිංහල බසින් පෙන්නුව. දෙමළ භාෂාවට පරිවර්තනය කරල ඔවුන්ට අත් පත්‍රිකා මඟින් නාට්‍යයේ තේමාව සහ නාට්‍යයේ අන්තර්ගතය පිළිබඳ කරුණු ඉදිරිපත් කළා, ඔවුන් ඒවා කියෙව්ව. ඒ වගේම නාට්‍යය රඟදක්වන කාලය තුළ නාට්‍ය පුරාම ගීත ඇහෙන්න තිබුණා. ඒ සියළුම දේවල් එක්ක සංගීතය මුසු වෙලා තිබ්බා. මේ ඔක්කොම ඔපමට්ටම් කරල අපි ගෙනාවෙ සිංහල භාෂාවෙන්. ඒ කාල සීමාව නාට්‍ය රඟදැක්වූ පැය 2 විනාඩි 30ක විතර ඇතුළේ දෙමළ ජනයා නාට්‍යයත් එක්ක ඉතා ඉහළින් බද්ධ වුණා.

දකුණේ මේ නාට්‍යය ප්‍රදර්ශනය කරද්දී යුද විරෝධී නාට්‍යයක් ලෙස නම් කරල තිබ්බ. ඒකට විරුද්ධව මත හා නිර්මාණ ඉදිරිපත් වුණා. නළු නිළියන්ට පවා නොයෙක් ආකාරයේ තාඩන පීඩනයන්ට ලක්කරනව කියල නළු නිළියන්ගෙ මානසික මට්ටම අයහපත් කරන ගොඩ නැඟීම් සිද්ධ වුණා යම් ලිපි මඟින්. අපි ඒ ලිපි ජනාධිපතිතුමියටත්, පොලිස්පතිටත් ඇතුළු අයට ඉදිරිපත් කරල මේ ගැන පරීක්ෂණ පවත්වන්න කිව්ව. කෙසේ වුවත් යාපනේ හා උතුරු නැගෙනහිර පරෑ්‍රදර්ශනය ඇතුළෙ නාට්‍යයත් එක්ක ඇති වෙච්ච සංවාදය ඒ ජනයා යුද්ධයෙන් වින්ද පීඩන, වේදනා මුදාහරින්නට නාට්‍ය ශාලාව අවස්ථාවක් කරගත්තා. ඒ හැම ස්ථානයකම නාට්‍යය අවසන් වුණාම නාට්‍යය ගැන පැයක විතර සාකච්ඡාවක් තිබ්බා නාට්‍යයෙන් ලැබූ අත්දැකීම් ගැන, ඒ කියන්නෙ ඒ අවස්ථාවල තිබුණ සංවාද තුළින් කලාකාරයෙක්, නිර්මාණකරුවෙක් විදිහට මං සෑහිමකට පත්වෙනව. මගේ ජීවිතේ යුද්ධයට එරෙහිව මගේ දායකත්වය ඉතාම ඉහළින් එ තුළ තිබුණා. දෙමළ ජනයා, දෙමළ කලාකරුවො අපිත් එක්ක ලොකු සම්බන්ධතාවයක් ගොඩ නඟාගෙන මේක අපි මේ නාට්‍යයත් එක්ක කරන සංවාද විදිහට පවත්වාගෙන යමු කියන පණිවිඩය ඒ අය අපිට පරෑ්‍රකාශ කළා.

එක වෙලාවක LTTE සංවිධානය ත්‍රිකුණාමලයෙ පවත්වපු සංස්කෘතික ප්‍රසංගයකට ට්‍රෝජන් කාන්තාවෝ තෝරා ගත්ත. ඒ වගේම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයත් තෝරාගත්ත. LTTE ප්‍රසංගයකට මේ නාට්‍යය ඇයි ඉදිරිපත් වෙන්නෙ කියන ප්‍රශ්නයට පවා ඔවුන්ගේ දේශපාලනය තුළ මතවාද ගොඩනැඟිලා තියෙන්න ඇති. නමුත් හැමෝම ඒ අවස්ථාව අපි ලබාගත යුතුයි කියන මතේ හිටියා. මනමේ නාට්‍යයේදී හා ට්‍රෝජන් කාන්තාවේහි රඟදැක්වීම යුද්ධය කරපු අනෙක් පාර්ශවයෙ කලාකාරයෝ විදිහට අපි සතුටු වෙන්න ඕනෙ. මොකද තමා අතේ තියෙන ආයුධය පැත්තකින් තියල විමසිලිමත්ව බලන්නට ඔවුන්ගේ සංස්කෘතික ඒකකයට ඒ මොහොතේ සිද්ධ වුණා. ඔවුන් යුදවාදය අනුමත කළත් ඔවුන්ට එය පැවැත්වීමට නම් ඒ ජනයාගේ කැමැත්ත ඔවුන්ට නොතකා හරින්නට බෑ. අන්න ඒ වගේ මොහොතක් තමයි ඒ. 2000-2003 දක්වා අපි ඒක පාවිච්චි කළා. නාට්‍යය රඟදක්වමින් දිගින් දිගට ගියා. ඊට පස්සෙ නාට්‍යය වසරකට දර්ශන දෙකක් හෝ තුනක් රඟදැක්වුවා. නාට්‍යය රඟදැක්වීමේ අසීරුතාව එන්නෙ නාට්‍ය කණ්ඩායමක් වශයෙන් විශාලයි, 50කට ආසන්න ශිල්පීන් පරෑ්‍රමාණයක්. එතකොට මගේ නාට්‍ය නිෂ්පාදනයේදි සැලකිලිමත් වෙන්න ඕනි, විශාල කණ්ඩායමක් එක්ක කරපු නාට්‍යයක් නිසා ඒ නාට්‍යය ආරක්ෂා කරගන්න නම් ඒ හැම ශිල්පියෙක්ම නාට්‍යයට සහභාගී කරගන්න ඕන. ඒ නිසා තිරය ඇරපු පළවෙනි මොහොතෙ ඉඳල නාට්‍යයේ අවසාන මොහොත දක්වාම මේ රංග ශිල්පීන්ගේ බලය තමයි නාට්‍යයේ ආකර්ශණයට හේතු වුණේ.

ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය මේ අවුරුද්දෙ දිල්ලියේ තිබුණ අන්තර්ජාතික නාට්‍ය උළෙලට යන්න අනිවාර්යයෙන්ම තේරෙනව කියල මට විශ්වාසයක් තිබුණා. ඉස්සරලම තේරුණා කිව්වම ලොකු සතුටක් ආවා. දෙවෙනි සැරේ සතුටයි බයයි එනවා මේකෙ ඉන්න ශිල්පීන් 60ක් විතර කොහොමද ගෙනියන්නෙ කියල. ඊට පස්සේ සංස්කෘතික ඇමතිතුමාව හම්බ වුණාම කිව්වා අමාත්‍යංශ සල්ලි බොහොම අමාරු තත්ත්වෙක තියෙන්නේ කියලා. මගේ මිත්‍රයන් කිහිපදෙනෙක්, විශේෂයෙන්ම රංජිත් දිසානායක සහෝදරයා මේ තුන් වතාවෙම මට ගොඩක් උදව් කරපු කලාකාමී සහෘදයෙක්. ඔවුන්ගේ ඉදිරිපත්වීම මට ලොකු වටිනාකමක් වුණා කලාකාරයෙක් විදියට. මට තේරුණා අපිට මේ පාර අමාරුවෙයි කියලා. මේ අවුරුද්දේ ගිය තැනට ආයේ මේ අවුරුද්දෙම ගියාම ඒ මනුස්සයොත් කල්පනා කරනවානේ අපි මේ අවුරුද්දේ උදව් කළා නේද කියලා. ඒක මඟ ඇර ඇර ඉදලා එක්තරා උදෑසනක (දෙසැම්බර්) මම ජනාධිපතිතුමාට කතා කළා. මොකද ලංකාවෙ පුරවැසියෙක් විදියට මගෙ පිඩනේ කියන්න පුළුවන්කම තියෙනවා කියලා මම හිතුවා. මම එතුමාට කතා කළාම මගේ පාසල වූ හොරණ විද්‍යාරත්නේ එදා රංග ශාලාවක් විවෘත කරන්න එතුමා එනවා කිව්වා. විස්තරේ කිව්වම ලිපියක් මඟින් ඉදිරිපත් කරන්න කිව්වා. මම ලිපියක් මඟින් මගේ ඉල්ලීම ඉදිරිපත් කළා. දවස් තුන හතරකට පස්සේ මට ජනාධිපති ලේකම්තුමා කතා කළා, ජනාධිපතිතුමා කීවලු මේ ගැන හොයලා බලන්න කියලා. මම කීවා “ලේකම්තුමා, මේ වෙලාවේ අපේ පිරිසට හැකියාව ඉතාම අඩුයි, මේ වෙලාවේ මෙහෙම සැලකීම ලොකු දෙයක්” කියලා. ඒ වෙලාවේ එතුමා කියපු කාරණයක් තමයි, “ධර්මසිරි අපි ඔබගේ නිර්මාණ රසවින්ද රසිකයෝ, ඒ නිසා මේ කටයුත්ත අපි මැදිහත්වෙලා කරනවා. ජනාධිපති අරමුදලෙන් මේ සියලුම මුදල් ලබා දෙන්න කටයුතු කරනවා” කියලා.

අපි ඉන්දියාවට ගිහින් නාට්‍ය රඟ දැක්වුවා. ඒ රඟ දක්වපු නාට්‍ය අතර අපේ නාට්‍ය ලොකු කතාබහකට ලක් වුණු නාට්‍යයක් බවට ඒ ප්‍රේක්ෂකාගාරය දැක්කම අපට හිතුණා. නාට්‍ය පටන් ගන්න කළින් මේ නාට්‍ය අවුරුදු 14කට පස්සේ අපි ගිහිල්ල දිල්ලියේ රඟ දැක්වීම ගැන කතා කරන කොට මම කිව්වා අපි ආවේ මේ විදියේ උපකාරයක ප්‍රතිඵලයක් වශයෙන් කියලා. ඒ උපකාරය ලබා ගැනීමේදී මගේ බොහෝම ළඟ මිතුරා මාව ප්‍රතික්ෂේප කළා. නමුත් මම කාගෙන්වත් අහලා නෙවෙයි කලා කෘතීන් නිර්මාණය කළේ, ඒ වගේම මම කාගෙන්වත් අහලා නෙවෙයි කලා කෘතීන් නතර කරලා තියෙන්නේ. ඒක මගේ ස්වාධීන නිදහස. කෙසේ නමුත් ඒ අවස්ථාව ලබා ගැනීම අපේ ශක්තිය උරගා බැලිමේ ඒ මොහොත අපි උදාකර ගත්තා.

d1අපේ නාට්‍ය පිළිබඳ සාකච්ඡාවේදී එක පුවත්පත් කලාවේදියෙක් ප්‍රශ්න කළා, මේ නාට්‍යයේ ඔබ ඇයි මේ Moder soldier (නූතන යුදභටයන්) පාවිච්චි කළේ කියලා . මම ඒක විග්‍රහ කළේ Moder soldier කියලා කෙනෙක් නෑ, ඉතිහාසයේ ඉඳන් එන මිනිහා තමයි අද ඔය අලුත් ඇඳුම් ඇඳගෙන ඉන්නේ. ඒ නිසා ඒ ම්ලේච්ඡත්වය අද වෙනත් විදියකට ඇඳුම් පෙරවගෙන ඉන්නේ කියලා. ඉරාකෙත් ඉන්නවා, සිරියාවෙත් ඉන්නවා, මේ හැමතැනම ඉන්නේ මේ අය. අධිරාජ්‍යවාදී ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීමේ නියමුවන්. ඒ අය තමයි මම මෙ නාට්‍ය ඇතුළේ පෙන්නන්නේ. දැන් ඔය ප්‍රශ්නේ ඔතනදි අහනවා වගේම තමයි ලංකාවෙදි මගෙන් අහලා තියෙනවා, ඇයි ලංකාවේ සොල්දාදුවෝ පාවිච්චි කළේ කියලා. ඉන්දියාවේ මිනිහටත් වඩා ලංකාවේ මිනිහා පහළ ඉඳලා ප්‍රශ්න කළේ. අපේ හමුදාව පාවිච්චි කළේ ඇයි කියන එකයි ඔහුට තිබුණු ප්‍රශ්නේ. කොහොමද අපේ හමුදාව වුණේ? අන්න ඒක පෙරළා ප්‍රශ්න අවස්ථාව වශයෙන් තමයි මේ යුනිෆෝම් එක යොදා ගන්නේ.

ඊළඟට ඇන්රෝමැකී සහ ඇන්රෝමැකීගේ දරුවා රැගෙන යන යුද කරත්තය මම මොඩර්න් ආමඩ් කාර් එකක් බවට පත් කරලා ස්ටේජ් එකට යවනවා. ඒක හැමෝම තිගැස්සුණු මොහොතක් වුණා. ලංකාවෙත් තිගැස්සුණා. හැබැයි අපේ ඇස්වලට මේක හැම තැනම දකින්න තියෙනවානේ. පාරෙ තියෙනවා, විශ්ව විද්‍යාලෙ අයිනේ තියෙනවා, ඒක එතකොට සෙල්ලම් බඩු සංදර්ශනයක් වගේ. හැබැයි යාපනේ පැත්තට ගිහිල්ලා ආර්මන්ඩ් කාර් එක පෙන්නුවම හැම මනුස්සයා තුළම තිගැස්මක් ඇතිවෙනවා. ඉන්දියාවෙදි නාට්‍ය නරඹන කොට ඒකත් එක්ක ආපු තිගැස්ම නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන්ටත් ඒක දැනුණා. කුඩා දරුවන්ටත් ඒක දැනුණා. ස්ටේනැක්ගේ තාත්තව මරනවා. අම්මා දරුවාව අරගෙන පලා යන මොහොතේ ග්‍රීක් හමුදාව තීරණය කරනවා ස්ටේනැක්ව මරන්න. දරුවා ඇයි මරලා දැම්මේ? නාට්‍ය ඇතුළේ පෙරළා ඒ ප්‍රශ්නේ වමාරන්න ගන්නවා. මොකද ඒ මහා වීරයෝ බය වෙන්නේ කාටද? අර පොඩි ළමයට.

“උඹලා මොන රණවිරුවොද? උඹලා බය වුණා මේ පොඩි ළමයට. ඒ නිසා මේ පොඩි ළමයව උඹලා මරලා දැම්මා.” ලාංකීය අත්දැකීම් එක්ක ඒ වගන්ති ටික ඉන්දියාවෙදි මට නැවත නැවතත් ඇහෙන්න ගත්තා.

ට්‍රෝජන් කාන්තාවො නාට්‍යයේ රඟපාපු යශෝධා විමලධර්ම මේ සැරේ ඉන්දියාවට යන්න ආවෙ නෑ. එයා ඒකට හේතුවක් වශයෙන් ඉදිරිපත් කළේ රණවිරු රියල් ස්ටාර් ජූරියේ එයා ඉන්නවා කියන එක. මම ජනාධිපති ලේකම්ට ලිපියක් ලියද්දි ඒකත් දැනුම් දුන්නා. මම ජනාධිපතිතුමාට කෝල් කරලා මෙයාව දවස් දෙකෙන් නිදහස් කරන්න කියලා කියන්නම් කියද්දි අනෝජා වීරසිංහ කිව්වා එපා ගෝඨාභයට කේන්ති යයි කියලා. මේක මේ පුද්ගලිකව යශෝධාගේ චරිතය ඝාතනය කිරීමක් නෙවෙයි. නමුත් මේ අපේ කලාකාරයෝ හිතන විදිය.

මම 1976දි කරපු ඒකා-අධිපති නාට්‍යයත්, 1985දි කරපු මකරාක්ෂයා නාට්‍යයත්, ඊළඟට 1988දි කරපු ධවල භීෂණ නාට්‍යයත් නැවත නිෂ්පාදනය කරල 2011 සිට නැවත ප්‍රේක්ෂකයා හමුවට ගෙනාව. ඒකෙදි මම එකම නාට්‍යකරුවෙකුගෙ නාට්‍ය පිළිබඳව වෙනස් කාල වකවානු දෙකකදි ලාංකික සමාජය ප්‍රතික්‍රියා කරන ආකාරය මම අත්දැක්කා. විශේෂයෙන් ඒකා-අධිපති නාට්‍යයෙ නව නිෂ්පාදනය මම ඉදිරිපත් කළේ 2010 ජනාධිපතිවරණය තියෙන වෙලාවෙදියි. එක අපේක්ෂකයෙක් මහින්ද රාජපක්ෂ, අනෙක් අපේක්ෂකයා සරත් ෆොන්සේකා. ඉතින් ඒ මොහොතේ මේ නාට්‍යය දොරට එනකොට බොහෝ අය කල්පනා කලා Uniform ඇඳපු නාට්‍යයක් ගේන්නෙ මිල්ටරියට ගහන්නද කියලා. ජනාධිපතිතුමා පවා නාට්‍ය ශාලාවට ඇවිත් නාට්‍ය කරන එක ගැන මට සුභ පතලා ගියා. ඒ වගේම කුකුසක් තිබ්බ, මිල්ටරි Uniform එක ඇඳපු මිනිහෙක් මේකෙ ප්‍රධාන චරිතය කරල මොකක්ද කරන්න යන්නෙ කියල. කෙසේ නමුත් නාට්‍යකරුවෙකු වශයෙන් 1976 ඉඳල ඒකාධිපතියගේ ප්‍රධාන චරිතය හැටියට ටිකක් වයස්ගත හමුදාපතිවරයෙක්ගෙ චරිතයක් මම නිරූපණය කළේ. බොහොම කැමැත්තෙන් මම ඒ චරිතය රඟදැක්වූවා. නමුත් නව නිෂ්පාදනය රඟ දක්වද්දි මිලිටරි ඇඳුම් ඇඳගෙන ඒකට සමච්චල් කරනවට මිනිස්සු කැමති වුණේ නැති බව බොහෝ තැන්වලදි මම දැක්ක. මෙන්න කාලවකවානු දෙකක මිනිස්සුන්ගෙ වෙනස.

යුක්තියට ආශිර්වාද කරපු මිනිස්සු, යුක්තියත් එක්ක මිලිටරි යුනිෆෝම් එකටත් ආශිර්වාද කළා. ඒක තාම මේ දක්වා මිනිස්සුන්ගෙ ඔළුවෙන් ගැලවිල නෑ. ඒ ආශිර්වාද කිරීම හරිද වැරදිද කියල මම කියන්නෙ නෑ. නමුත් මම නම් ආශිර්වාද කරන්නෙ නෑ. මිලිටරිය කියන්නෙ පාලක පන්තිය විසින් ජනයා මර්දනය කරන්න අවශ්‍ය වෙන මොහොතකදී පාවිච්චි කරන උපකරණයක්. ට්‍රෝජන් කාන්තාවො වගේ නාට්‍යයක්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‛දිරිය මව සහ ඇගේ දරුවෝ’නැත්නම් මා විසින් නිෂ්පාදනය කරන ලද‛යක්ෂාගමනය’ වැනි නාට්‍ය දිහා බලද්දි මට හිතෙන්නෙ එහෙමයි. මාව එහෙම කල්පනා කරන මිනිහෙක් බවට පත්වුණේ මගේ තාත්තා, අම්මා කියල දීල නෙමෙයි; මගේ ආගම විසින් මට කියල දීල නෙමෙයි. මාව එහෙම හිතන්න පෙළඹුණෙ මගේම කලා නිර්මාණ විසින් ලබපු අත්දැකීම් හරහායි.

මකරාක්ෂයා නව නිෂ්පාදනය කරද්දි වෙනමම අත්දැකීම්වලට මම මුහුණ දුන්න. ඒකෙ මකරා මැරුවට පස්සෙ වෙන පොඩි උන් ටිකක් මකරා විදිහට පෙනී ඉන්නවා. ඔවුන් පෙනී සිටින්නෙ මකරා මරපු මිනිහා (ජයග්‍රාහකයා) අතුරුදහන් වෙන නිසා. ඊට පස්සෙ මකරා මරපු මිනිහා නැවත එනවා ජනතාව අතරට. ඔහු කියා සිටිනවා මකරා මැරුවට වැඩක් නෑ තම තමන් ඇතුළෙ ඉන්න මකරා සොයාගනිල්ලා කියලා. එතනින් කතාව ඉවර වෙනවා. ලංකාවෙ මනුෂ්‍යය මොකක් හරි කොණක එල්ලෙනව. මෙතනදී මකරා විදිහට එයාල ගත්තෙ ප්‍රභාකරන්, ජයග්‍රාහකය විදිහට ගත්තෙ ෆොන්සේකා.

ඊට පස්සෙ මම 1988 නිෂ්පාදනය කරපු ධවල භීෂණ නාට්‍යය නැවත නිෂ්පාදනය කළා. 1988 සැප්තැම්බර් මාසේ නාට්‍ය ඉතිහාසයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඒ සා විශාල සෙනඟක් මගේ ඇස් දෙකෙන් මං දැකල නෑ. ඒ ආපු සෙනඟ ඇයි මේ නාට්‍යය බලන්න මේ තරම් පොරකෑවේ? පැය 3කට ආසන්න කාලයක් නාට්‍යය බලන්න අසුන්ගත්ත පිරිසට සමාන අතිරේක පිරිසක් බිම වාඩිවෙලා මේක නරඹන්න අවස්ථාව ලබා ගත්තා. ඒ වගේම 88-89 වගේ ඉතාම බිහිසුණු කාල වකවානුවක, ලංකාවෙ හැම නාට්‍යයක්ම නතරවෙලා තියෙද්දි අපේ නාට්‍යය ප්‍රදර්ශනය කළා. තැන් තැන්වල ටයර් දාලා ගිනි තියල පිළිස්සෙන අමු මිනී මස් ගඳ නහයට අරං තමයි අපි නාට්‍යය පෙන්නුවෙ. ඒකෙ භයානක අදියර ආවා 1989 සැප්තැම්බර් මාසෙදි. ඒ මොහොතෙ ඉන්දියාවේ සාම සාධක හමුදාවට විරුද්ධව දකුණේ ගොඩ නැඟුනු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සහෝදරවරු මේ නාට්‍යය නතර කරන්න කියල කිව්වා, මම කිව්වා මේක කලා කෘතියක් නිසා ඒහෙම නතර කරන්න බෑ කියල. මොකද මම වින්ද අත්දැකීම් එයාල විඳල තිබුණෙ නෑ. මට උපදෙස් දෙන්න එන කෙනා එන්නෙ මේ රටත් එක්ක කල්පනා කරගෙන. තමන්ට තමන් ගැන හිතන්න මොහොතක් එනව, අන්න ඒ චරිතවල අධ්‍යාත්මික නිරූපණය තමයි ඒ නාට්‍ය නිර්මාණය කරපු කාලේ ඒ හැම නළු නිළියකගේම ශක්තිය. මා ඒක උරගාලා බැලුවෙ අන්න ඒ හැඟීම මා තුළ තිබූ නිසයි. ඒ පිරිස ඉතාමත් දක්ෂ ලෙස රඟපෑවා. පසුව සැප්තැම්බර් මාසේ එක්තරා දවසක අර කියපු කළු දුමාරය මාව හොයාගෙන ආවා. මම පහුවෙනිදා උදේ ඉන්දියාවට ගිහින් ජීවිතේ බේරගත්තා. පාරක් පාරක් ගානෙ ඇවිද ඇවිද මම හිතුවා මොන වරදක් කරාටද කියල.

d3ඊට පස්සෙ සත්තු බුදියගන්න කැමති තැනට නැවත ආයි එනව වගේ මාත් බුදියගත්ත තැන හොයාගෙන ආවා. ඒ තමයි මේ ශ්‍රී ලංකාව. එතකොට ඒ ව්‍යාපාරයේ හිටපු නායක නායකයෝ ඔක්කොම ඝාතනය කරල. නාට්‍යය මඟ නතර කළා. ඒ වගේම මම ආවට පස්සෙ මට අමරණීය මතකයක් දුන්න කෙනෙක් තමයි, රිචඩ් ද සොයිසා. මම රිචඩ්ව මේක act  කරන්නත් තෝරගත්ත. පස්සෙ රිචඩ්ගෙ සිංහල උච්ඡාරණයෙ තිබුණ අපහසුකම රිචඩ්ම වටහගෙන මට කිව්ව ධර්මෙ අපි වෙන කෙනෙක්ව එරහ කරමු කියල. කෙහොමහරි මම ආවට පස්සෙ රිචඩ් මට කිව්ව, ‛වීරයො වගේ නාට්‍ය හදල සද්ද නැතුව පැනල ගියා නේද?’ කියල. හරියට රිචඩ් මට ඒක කියල සතියකට පස්සෙ රිචඩ්ගෙ මිනිය ගොඩ ගැහුවා එගොඩ උයනට. රිචඩ් දැනගෙන හිටියෙ නෑ මේ ඇවිත් තියෙන සාමකාමී වාතාවරණය පිටිපස්සෙ අර ඝාතකයො සැඟවී ඉන්නව කියල. ඒක බ්‍රෙෂ්ට් කියල තිබුණා. ඒ කියපු එක මම පිළිපැද්දා, ඇණයක සිදුරකින් හෝ ජීවිතය බේරාගන්න මොහොතක් ආවොත් ඒකෙන් පැනල යන්න. මං හිතන්නෙ මගේ ජීවිතේ මං ලබපු ලොකුම බියකරු අත්දැකීම තමයි ඔවුන්ට මාව මුණ නොගැසීම. පස්සෙ වකවානුවක උසස් පොලිස් නිළධාරියෙක් මට ආරාධනා කරල ඔහුගෙ නිවසෙ මධුවිත පානය කරන මොහොතේ එතුමා මට කිව්වා, ‛ඔබ ජීවතුන් අතර සිටීම ගැන මම පුදුමයට පත්වෙනව ධර්මසිරි’ කියල. මම ඔහුගෙන් ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියල. “ඔබගෙ ධවල භීෂණ නාට්‍යයත් පිළිබඳව එවකට පැවති රජය ඒකකයක් පිහිටුවල තිබුණ. ඔබ දන්නෙ නැතුව ඇති, ඒ ඒකකය තිබුණෙ මං යටතේ. ඒ ඒකකයෙ තිබුණ පොලිස් බුද්ධි අංශය මමයි මෙහෙයෙව්ව‍ෙ කියල ඔහු කිව්ව. ඒ නාට්‍යය සංවිධානය කරන්නෙ කවුද? නාට්‍යයට ආපු ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව කීයද? නාට්‍යය සංවිධානය කරපු අයගෙ ලිපිනයන් මොනවද? අපි කෑම කන්න කොහෙටද ගියෙ? ඒ සියළුම ඒවා තොරතුරු වශයෙන් ලබාගෙන අපි බස් එකේ නැඟල ගියාට පස්සෙ තමයි අපේ පිටිපස්සෙන් ආවෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය. “මට කියන්න මං කොහොමද ජීවත් වුණේ?” කියල මම ඔහුගෙන් ඇහුව. “ධර්මසිරිට අත තිබ්බ නම් ඒ නාට්‍යය නරඹපු සෙනඟට වගකියන්න වෙනව” කියල ඔහු කිව්වා. ඒ නිසා මට එතනදිත් උගන්නනව පාඩමක් කලා කෘතිය තමයි මගෙ ජීවිතේ කියන පාඩම මට එතැනදිත් ඉගෙන ගන්න ලැබුණ. අනේක දුක් දෝමනස්සයන් මගේ තුළ තියෙනව, ඒත්, කලා කෘතිය තමයි මාව ජීවත් කළේ. කලා කෘතිය තමයි මගේ අපේක්ෂාව. ඒ නිසා මම අවංක විය යුත්තෙ කලා කෘතියටයි. ඒ නිසා අවංක භාවය ප්‍රශ්න කරන වර්තමානයක් ගොඩනැඟිල තිබ්බා. මම ඊළඟට කියන අත්දැකීමත් එක්ක. කොහොමහරි මේ නාට්‍යයත් මම මකර ගෙනිච්ච වගේ ගිය අවුරුද්දෙ 2013 නැවත නිෂ්පාදනය කළා. අලුත් කට්ටියක් එක්ක මම රඟපෑවා. මමයි නාට්‍යය නිෂ්පාදනය කළේ. ඩබ්ලිව්.ජයසිරි විතරයි පරණ නාට්‍යයෙන් මගේ නාට්‍යයට ආවේ. අනික් සියළුම අය වර්තමාන යුගය නියෝජනය කරන නළු නිළියන්. මේ සියළුම අය පෙර නාට්‍යයේ සිටි අයට නොදෙවෙනි ලෙස ඉතා විශිෂ්ට අන්දමින් රංගනය ඉදිරිපත් කළා. ඒ නිරූපණයෙදි කලින් නාට්‍යයේ ජැක්සන් ඇන්තනි රඟපාපු චරිතය නව පරම්පරාවෙ කෙනෙක් ඊට නොදෙවෙනි ආකාරයට රඟපාලා මේ නාට්‍යයට ජීවය දුන්නා. ඒක නිසා පැරණි මතකය තුළ නාට්‍යය නරඹපු අය නැවත බලන්න පෙළඹුණා. එදා ඒ මොහොතෙ භීෂණය තිබුණා. මේ මෙහොතේ භීෂණය සැඟවිල තියෙනවද මම නම් දන්නෙ නෑ. කොහොම හරි භීෂණයක් නැති වාතාවරණයක් කියන එක පේන්න තිබ්බා. ඒ නිසා නිදහස්ව නාට්‍ය නැරඹීමට හැකි වෙලාවක තමයි ධවල භීෂණ නාට්‍යය නිෂ්පාදනය වෙලා දිගහැරුණෙ.

2013දී මේ නාට්‍ය තේරුණා දිල්ලියේ තිබුණ අන්තර්ජාතික නාට්‍ය උළෙලට. ඒ ප්‍රේක්ෂකාගාරයේ නාට්‍යය අවසානයේ නාට්‍යයෙ රඟපාපු හැමෝම ප්‍රේක්ෂකයන් ඉදිරියට එනව සමුගැනීමට, ආචාර කරන්න. ඒ එනකොට ප්‍රේක්ෂකාගාරයම නැඟිටල ඒ අයට ආචාර කළා. ඒක මේ ලංකාවේ කොතැනතදීවත් මට ලැබිල නෑ. ඒක ලැබිල තියෙන්නෙ ඉන්දියාවෙදි. ඒ නිසා මම ඉන්දියාවේ කලාකරුවට හැමදාම ණයගැතියි.
1987දී සාම සාකච්ඡාවත් එක්ක එනවා අළුත් හමුදාව. එතනදී ජයවර්ධනගේ අණට අනුව ඉන්න හමුදාව යන්න ඕනෑ ගෙවල්වලට. ශ්‍රි ලංකා හමුදාව බැරැක්ක වලට යනවා. අළුත් හමුදාව ඒ කියන්නෙ ඉන්දියානු සාම හමුදාව දැක්කම යාපනේ මිනිස්සු ඉතාම සතුටු වුණා. අළුත් හමුදාව ළඟට ඇවිත් autograph (ඔටෝ ග්රාෆ්) අත්සන් කරගත්තා යාපනයේ ජනතාව. ප්‍රභාකරන් මැරුණම අපි මෙහෙ කිරිබත් කෑවා වගේ එහෙ අළුත් හමුදාවට ආශිර්වාද කරලා ඒ ගොල්ලන්ව පිළිගත්තා. කොහොම වුණත් අවසානේ ඉන්දියානු දේශපාලනය බකල් ගගහා යන තැනට වැටුණහම රජිව් ගාන්ධිගේ ජීවිතේ නැති වෙලා යන ඉරණමට භාජනය වෙනවා. ඉන්දියාවෙ ප්‍රේක්ෂකාගාරයකදී සිදුවුණු සාකච්ඡාවකදී ඒ දේවල් මතු කරන්න අපට අවස්ථාව ලැබුණා. කොහේ ගියත් මිලිටරිය කොඩි වනලා පිළිගත යුතු නෑ. අර පරණ චිත්‍රපටිවල තියෙන ඔක්තෝබර් විප්ලවය ඉවර වුණාම අර ලෙනින්ගේ කාලේ කොඩි වනලා රතු හමුදාව පිළිගත්තා වගේ. හැමදාම අපි දකින තත්ත්වයන් තුළ රතු හමුදාව කියන්නේ ලේ ගාගත්ත හමුදාවක්. ඒක නැවත පණ ලැබුවා. ඉතිං ඒක කලා නිර්මාණකරුවෙක් විදියට මම ලැබූ අත්දැකීමක්.

ග්‍රීසියේ මීට අවුරුදු 2500කට එහා පැත්තේ කලාකාරයෝ ඒක කතා කළා. ඒ අතරතුරේ රතුපස්වල වෙච්ච දේත්, යාපනයේ අළුත් හමුදා ආවම කිරිබත් කාලා, ප්‍රීතිඝෝෂා පවත්වල autograph අත්සන් කළා වගේ දෙයක් තමයි. අපි 89ත් ඕක දැක්කනේ. කොහොම මැරිලිලක්ද මැරුණේ. දැන් අපේ කොල්ලෝ කියලා නෑ. පාලක පංතියේ tool එක තමයි මිලිටරිය. ඒ මිලිටරියට යම් කෙනෙක් ආශිර්වාද කරනවා නම්, ඒකට කොඩි වනනවා, නම් ඒකට ඔල්වරසම් කරනවා නම් ඔහුගේම විපත ඔහු විසින් සූදානම් කරගන්නවා වගේ දෙයක් තමයි. ඒක අපි ඉගෙන ගත්තේ ලංකාව දිහා බලාගෙන නෙවෙයි. අපි නිර්මාණය කරපු හැම කලා කෘතියකම ඒ පණිවිඩය තියෙනවා. නැවත ඒක පෙරළා රට ඇතුළේ නිර්මාණය කරන්න ලැබීම අපි ලබපු ලොකුම අධ්‍යාපනයක්. ඉතිං ඒ අධ්‍යාපනය තවත් කෙනෙක් එක්ක බෙදන එක තමයි මම හිතන්නේ කලාවේ පරමාර්ථය. අන්න ඒ පරමාර්ථයට කිට්ටු වෙන්න දරපු උත්සාහයක් තමයි මගේ නිර්මාණ ජීවිතය සහ පහුගිය දවස්වල කරපු සංචාරය∎

dd

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment