මරියකඩේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ නොබැඳි රාජ්‍ය තාන්ත්‍රිකත්වය

Mar 31st, 2014 | By | Category: LEAD NEWS, පුවත්

එවකට කලවාන මන්ත්‍රීවරයා වූ ඩිව් ගුණසේකර සිය ඡන්ද කොට්ඨාසයේ සංචාරයකින් පසුව රෑ බෝවී නිවසට පැමිණ මඳක් විවේක ගත්තා පමණි. රාත්‍රී 11 1/2 ට පමණ එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ඔහුට දුරකථනයෙන් කතා කර හදිසි කාරණයක් සම්බන්ධයෙන් වහාම පැමිණ තමන් හමුවන ලෙස දැනුම් දුන්නේය. මෙය දුරකථනයෙන් සාකච්ඡා කළ නොහැකි කාරණයක් බව ජනාධිපතිවරයා දැනුම් දුන් හෙයින් සහ මෙසේ සාකච්ඡා කිරීමට ගොස් නොයෙකුත් අපවාදයන් තමන් වෙත එතැයි සැක සහිත වූ හෙයින් එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු වූ හෙතෙම සිය පක්ෂයේ එනම් කොමියුනිස්ට් පක්ෂයේ එවකට නායකයා වූ පීටර් කෙනමන් සමඟ දුරකථනයෙන් මේ ගැන සාකච්ඡා කළේය. ඔහුගේ අනුමැතිය ලැබුණ පසු එවකට විපක්ෂ නායක අනුර බණ්ඩාරනායකගෙන්ද හෙතෙම මේ පිළිබඳව විමසීය. තමන්ටද ජනාධිපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවත් එහි යාමට සූදානම් වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ වෝඩ් පෙදෙසේ නිවසට ඔහු පැමිණෙන විට එහි සිටි ආරක්ෂකයන්ද ඔහුගේ පැමිණීම දැන නොසිටි බව පෙනෙන්නට තිබුණි. අවසානයේදී ජනාධිපති හමුවට ඔහු ගිය විට එහි සිටියේ ඉතා සීමිත පිරිසකි. එවකට අගමැති ප්‍රේමදාස, ඇමති ලලිත් ඇතුලත්මුදලි, විදේශ ඇමති ශාහුල් හමීඩ් සහ ජනපති සොහොයුරු එච්.ඩබ්ලිව්. ජයවර්ධන ඔවුන් අතර වූහ. පසුව අනුර බණ්ඩාරනායක සහ දිනේෂ් ගුණවර්ධන යන විපක්ෂ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් එහි පැමිණියහ.

සාකච්ඡා කළ කරුණ වූයේ එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගෙන් ලැබුණ ලිපියකි. එහි සඳහන් වූයේ උතුරේ එවකට පැවැති හමුදා මෙහෙයුම් හේතුවෙන් උතුරට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතින බවත් මෙම තත්ත්වය තමිල්නාඩුවේ දැඩි සැලකිල්ලට භාජනය වී තමන්ට තමිල්නාඩුවෙන් බලපෑමක් ඇති වී දැන් එය තමන්ගේ ප්‍රශ්නයක් බවට පෙරළී ඇති බවත් වහාම මේ පිළිබඳව පියවරක් නොගතහොත් තමාට මෙයට මැදිහත්වීමට සිදුවන බවත්ය. ජනාධිපතිවරයාගේ මතය වූයේ මේ සම්බන්ධයෙන් පිළිතුරක් දීමට සුදුසුම ස්ථානය පාර්ලිමේන්තුව බවත් පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා විසින් මේ ගැන ශ්‍රී ලංකා රාජ්‍යය වහාම පියවර ගන්නා බවට ප්‍රකාශයක් කළ යුතු බවත්ය. ඔහු විපක්ෂ මන්ත්‍රීවරුන් කැඳවා තිබුණේ පාර්ලිමේන්තුවේදී මේ ගැන විවාද කරනවාට වඩා කල් තබාම ඔවුන්ගේ අනුමැතිය ලබා ගැනීමටය. මෙහිදී අදහස් දැක්වූ ඩිව් ගුණසේකර තමන් ජනාධිපතිවරයාගේ යෝජනාවට එකඟ බවත් තමන් විපක්ෂ මන්ත්‍රීවරයකු වුවත් මෙය ජාතික ප්‍රශ්නයක් බැවින් මේ දුෂ්කර අවස්ථාවේදී තමන් රජයට සහයෝගය දෙන බවත් ප්‍රකාශ කළේය. අනුර බණ්ඩාරනායක ද දිනේෂ් ගුණවර්ධන ද මේ ගැන එකඟත්වය දැක්වූහ. මේ අනුව ජනාධිපතිවරයා විසින් පසුදින පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් පවත්වන ලෙස එවකට කථානායක ඊ.එල්. සේනානායකට ඒ අවස්ථාවේදීම දැනුම් දෙන ලදී. එමෙන්ම පසුදින අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී කළ යුතු ප්‍රකාශය කෙටුම්පත් කිරීමද එම අවස්ථාවේදීම සිදු කරන ලදී.

පසුදින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා ඩිව් ගුණසේකර තමන් වෙතට කැඳවා ඔහු ලවා සභා ගර්භයේදී මේ පිළිබඳව ප්‍රකාශයක් කරවා ගැනීමට උත්සාහ කළේය. එහිදී මන්ත්‍රීවරයා තමන්ගේ ස්ථාවරය පෙරදින ප්‍රකාශ කළ බවත් නැවත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීම අනවශ්‍ය බවත් කියා සිටියේය.

අවසානයේදී අගමැතිවරයා ප්‍රකාශය කිරීමට නැගී සිටියේය. කලින් පිළියෙල කරගත් ප්‍රකාශය නොකියවූ ඔහු ඉතාමත් දරුණු ලෙස ඉන්දියාව විවේචනය කළේය. මේ අවස්ථාවේදී ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝද ගැලරියේ අසුන් ගෙන සිටියහ. අගමැතිවරයාගේ පැයක පමණ ප්‍රහාරාත්මක කතාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිවෙස් බලා යන විට ඉන්දීය හමුදා ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් උතුරට ගුවනින් ආහාර ද්‍රව්‍ය හෙලන බව ගුවන් විදුලිය මගින් ඔවුන්ට දැනගන්නට ලැබුණි.

හොඳින් විසඳා ගත හැකිව තිබූ ප්‍රශ්නයක් අගමැති ප්‍රේමදාස විසින් අනා දමනු ලැබුවේ ඒ අන්දමටය. ඉදිරියේ එන මැතිවරණයේදී තමන්ට ලැබෙන ලාභ ජනප්‍රියත්වය වෙනුවෙන් රටේ අනාගතය ඔහු විසින් කැප කරනු ලැබුවේ ඒ අන්දමටය. බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කළ නොබැඳි රාජ්‍යතාන්ත්‍රිකත්වය ද ජේගආර්. ජයවර්ධන විසින් අනුගමනය කළ අසාර්ථක වූ මිතුරන් සමඟ සිටීමේ රාජ්‍යතාන්ත්‍රිකත්වය ද වෙනුවට මරියකඩේ රාජ්‍යතාන්ත්‍රිකත්වය ආර්. ප්‍රේමදාස විසින් උත්කර්ෂයට නංවනු ලැබුවේ ඒ අන්දමටය. ඩිව් ගුණසේකර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනා දැක්වූ දේශප්‍රේමිත්වය, පරිත්‍යාගශීලීත්වය සහ විචක්ෂණභාවය අගමැති ප්‍රේමදාසට නැතිවූයේ ඇයි? දේශප්‍රේමිත්වය වරදවා වටහා ගන්නා මුග්ධයන් පිරිසක් මෙරට ඡන්දදායකයන් වශයෙන් ඔහුට ඇහුම්කන් දීමට කැමැත්තෙන් සිටි නිසාය.

අද මෙරට ඇත්තේද මෙම තත්ත්වයයි. ජිනීවා මානව හිමිකම් සමුළුව එළඹෙන මාර්තු මාසයේදී රැස්වෙයි. එහිදී යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා වන යෝජනාව සම්මත වුවහොත් එය මෙරට ස්වෛරීත්වය අතික්‍රමණය කිරීමකි. ඉන්දියාව ගුවනින් පරිප්පු හෙළා මෙරට ස්වෛරීත්වය අතික්‍රමණය කළේ ඒක පාක්ෂිකවය. නීති විරෝධීවය. එනමුත් ඒ පිළිබඳව විරුද්ධවීමට ජයවර්ධන ජනාධිපතිවරයාගේ මිතුරන් උත්සුක වූයේ නැත. ඔවුන් විසින් ඉන්දියාව සමඟ ගනුදෙනු බේරා ගන්නා ලෙස අපට අවවාද කරන ලදී. අද තත්ත්වය එයට වඩා බොහෝ සෙයින් බරපතළය. ජිනීවා යෝජනාව සම්මත වුවහොත් එය වැඩිදෙනාගේ අනුමැතිය ලද නීත්‍යනුකූල යෝජනාවක් වනු ඇත. මෙය හදිසියේ ඇතිවූ තත්ත්වයක් නොවේ. කාලයක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයකි. මෙම කාලය මුළුල්ලේම ශ්‍රී ලංකා රාජ්‍යය විසින් කරමින් සිටියේ අගමැති ප්‍රේමදාස එම තීරණාත්මක අවස්ථාවේදී කළ දේ ය. එනම් උගත් වුවද නූගත් වුවද ඉතා අවාසනාවන්ත ලෙස සාමාන්‍ය බුද්ධිය නොමැති වූද දේශප්‍රේමිත්වය පිළිබඳව අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් නොමැතිව තමන් දේශප්‍රේමී යැයි කියා ගන්නා වූද මුග්ධ ඡන්ද දායකයන් පිරිසක් සන්තර්පණය කිරීම සඳහා මෙරටට පැමිණෙන විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් මරියකඩේ ශෛලියෙන් විවේචනය කිරීමයි. මෙම මුග්ධයන් සන්තර්පණය කිරීම සහ එයට හිලව්වට තමන් බලයේ සිටීම වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේ ස්වෛරීත්වය කැප කිරීමට බලධාරීහු මැලි නොවෙති.

ප්‍රේමදාස අගමැතිවරයාගේ දේශද්‍රෝහී ප්‍රකාශයෙන් පසුව ඉන්දියාව අපගේ ගුවන් සීමාව ආක්‍රමණය කළ පසු ජයවර්ධන ජනාධිපතිවරයා කියා සිටියේ ඉන්දියාවට අප රට ආක්‍රමණය කර ජයගත හැක්කේ මිලියන 18 ක් වන ජනතාව සමඟ තමන්ද මියගිය පසුව බවය. එදා තිබූ තත්ත්වය අනුව ඔහු එය අදහස් කරන්නටද ඇත. ඔහුට එසේ කීමට සිදුවූයේ තමන්ගේ අගමැතිවරයා විසින් කටයුතු අවුල් කරනු ලැබූ පසුවය. රාජපක්ෂ ජනාධිපතිවරයාද තමන් රට වෙනුවෙන් විදුලි පුටුවට යාමටද සූදානම් බව කියයි. ඔහු එසේ කියන්නේ තමන්ගේ අනුදැනුම ඇතුව කටයුතු අවුල් කරනු ලැබූ පසුවය. ඔහු එය අදහස් කරන බව පෙනෙන්නට නොමැති අතර චෝදනා කරන කිසිවකු එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වන බව පෙනෙන්නේද නැත. ඔහුගේ එම ප්‍රකාශයද අවුලේම කොටසකි.

එබැවින් සැබෑ දේශප්‍රේමිත්වය යනු කුමක්දැයි ජනතාව විසින් වටහා ගත යුතුය. දේශප්‍රේමය යනු නිදා සිටින මිතුරු රජුගේ සිරුරේ වැසූ මැස්සා එළවා දැමීමට ඌට කඩුවෙන් කෙටූ අඥාන මිත්‍රයාගේ ක්‍රියාවට සමාන එකක් නොවේ. මෙරට නිලධාරීන් සහ දේශපාලනඥයන්ගේ දේශප්‍රේමිත්වය එවැනි එකකි. දේශප්‍රේමිත්වය යනු දේශය අනතුරින් ගලවා ගැනීමට ක්‍රියා කිරීමයි. අනතුරේ හෙළීම නොවේ. මේ සඳහා බුද්ධිමත් විය යුතුය. විචක්ෂණ විය යුතුය. ආවේගශීලි නොවිය යුතුය. උපායශීලී විය යුතුය. ඕනෑවට වඩා නිර්භීත නොවිය යුතුය. ඉරානයේ හිටපු ජනාධිපති අහමදි නෙජාඩ්ගේ සහ වර්තමාන ජනාධිපති රවුහානිගේ ඇමෙරිකානු ප්‍රතිපත්තිය විමසා බැලීමෙන් මෙය වටහා ගත හැක. බටහිර රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව ඇතිකර ගෙන තිබෙන රාජ්‍යතාන්ත්‍රික අවුලට අදාළව අද මෙරටට අවශ්‍ය වන්නේද රවුහානිගේ වැනි ප්‍රතිපත්තියකි∎

හර්ෂ ගුණසේන

hjr

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment