where the truth lies

Jul 26th, 2012 | By | Category: ප්‍රතිසන්ධානය

දුහුවිල්ලෙන් ගැවසීගත් නගරයේ ප්‍රජා ශාලාව පොල් පැටවූවාක් මෙන් පිරී ඉතිරී ගොසිනි. එයින් වැඩි දෙනෙක් ප්‍රදේශයේ ජීවත්වන කලු ජාතිකයෝ වෙති. අසල නගරයෙන් පැමිණ සිටි සුදු ජාතිකයන් කිහිප දෙනෙකුද දක්නට ලැබිණි. දකුණු අප්‍රිකාවේ නව ධජය සහ “සත්‍යය තුළින් සුවපත්වීම” යන වදන් සහිත බැනරය සෙවනේ නැගුණු වේදිකාව මත විවිධ ජනවර්ගයන්ට අයත් සත්‍ය සෙවීමේ කොමිසමේ සාමාජිකයෝ සැලකිල්ලෙන් යුතුව අසා සිටිති.

 

ඔවුන්ට මුහුණ පා සිටින කලු අප්‍රිකානු ස්ත්‍රිය 1985 මහජන නැගිටීමේදී වර්ණ බේදවාදී ඇපාතයිඩ් රෙජීමයට විරුද්ධව කටයුතු කළ තම කුළුඳුල් පුත්‍රයා ගැන කතා කරන්නීය. ඔහු උපන් හැටි, ඔහුට නම තැබූ හැටි පිළිබඳව කතා කළ ඇය පාසලේදී ඔහු දස්කම් දැක්වූ ආකාරය පිළිබඳව ආඩම්බරයෙන් යුතුව කතා කරයි. එක රාත්‍රියක නිවසේ දොර කඩා ගෙන ගෙතුළට පැමිණි ආරක්ෂක පොලීසිය විසින් ඔහුගේ දෑස් බැඳ බල්ලකු මෙන් ඇදගෙන ගිය හැටිත්, දවස් ගණනකට පසු එක්තරා නන්නාඳුනන පොලිස් නිලධාරියකු පැමිණ මෘත ශරීරාගාරයට පැමිණෙන ලෙස දැන්වූ හැටිත් ඉන්පසු ඇය හෙළි කරයි. හඳුනාගත නොහැකි තරමට විරූප වුණු, තුවාලවලින් පිරුණු, වෙඩි උණ්ඩ 19 කින් සිදුරු වුණු තම පුතුගේ නිසල මළ සිරුර පිළිබඳව ඉතා බියජනක විස්තරයක් ඇය කරයි. එම මතකය විසින් ඇය සම්පූර්ණයෙන්ම බිඳ හෙළන අතර ඇගේ කතාව කොමිසමේ සාමාජිකයන් මත මෙන්ම සවන් දෙන නරඹන සියලු දෙනා මතද මහත් බලපෑමක් කම්පනයක් ඇති කරයි. ඇය තම වේදනාව දරාගැනීමට වෙහෙසෙන අතර සමහරු නිහඬව වැළැපෙන්නට ගනී. “මම දන්නෙ නැහැ මට පුළුවන්ද කියල සමාව දෙන්න.” ඇය කියයි. “මගේ පුතාට මේ අපරාධය කළේ කවුද කියන එක මම දැනගන්න ඕන. මගේ පුතාට මේ අපරාධය කළ එකාගෙ මුහුණ මම දැක්කට පස්සෙ, එහෙම කළේ මොන හේතුවක් නිසාද කියල ඔහු මට කිව්වට පස්සෙ, සමහරවිට මට පුළුවන් වෙයි සමාව දෙන්න.”

 

තවත් ස්ථානයක විනිශ්චයකරුවන් ඉදිරියේ පෙළ ගැසී සිටින්නේ ඇපාතයිඩ් පාලන කාලය තුළ තම විෂම පාලනයෙන් දකුණු අප්‍රිකාව පාලනය කළ ආරක්ෂක පොලීසියේ හිටපු සාමාජිකයන් තිදෙනෙක් වන අප්‍රිකානර්වරුන් තිදෙනෙකි. ඔවුන්ගෙන් එක් අයෙකු කලින් සකස් කරගත් පෙළක් අඩංගු ලියවිල්ලක් කියවයි: “අපි එයාලගෙ ඇස් බැඳලා නගරයෙන් එපිට තියෙන ගල් කොරියකට අරගෙන ගියා. අපි ඉස්සෙල්ලම පළමුවෙනියාව ඔළුව පහළට හිටින්න ගහක අත්තක එල්ලලා ඔහු යටින් ගිනි ගොඩක් ගැහුවා. මිනිහගෙ කොණ්ඩෙ පිච්චෙන කොට ඔහු මළ ලතෝනි දෙන්න පටන් ගත්තා. ඉන් පස්සෙ ඔහු අපිට හැමදේම කිව්වා. අනිත් අයත් පාපොච්චාරණය කළා. ඉන් පස්සෙ අපි ඒ ඔක්කොටම වෙඩි තිබ්බා. අපේ වාර්තාවේ ලිව්වේ අත්අඩංගුවට ගන්නට තැත් කරන විට ඊට විරුද්ධවීම නිසා වෙඩි තිබ්බා කියලයි.”

 

නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන්ඩ් ටුටූ පියතුමා 1985 දී දකුණු අප්‍රිකාවේ ඇපාතයිඩ් ප්‍රතිපත්ති පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාක්ෂි විභාගයක් ඇමතීය. අවුරුදු දොළහකට පසු දැන් ඔහු අලුත් ආණ්ඩුවේ සත්‍යය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ නායකත්වය දරයි.
ඝාතනයට ලක්වූ තුන් දෙනාගේ පවුල්වල සාමාජිකයන් ඉදිරි පේළියේ අසුන් ගෙන සිටිති. තම පුතුන් සහ සහෝදරයන් මියගියේ කෙසේදැයි ඔවුන් අසන්නේ මුල් වතාවටය. එදා රාත්‍රියේ මුළු මහත් දකුණු අප්‍රිකාවටම එම සිද්ධිය පිළිබඳ වාර්තාව ජාතික රූපවාහිනිය ඔස්සේ නරඹන්නට අවස්ථාව ලැබිණි.

 

මේ ආකාරයේ සැසිවාර දකුණු අප්‍රිකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පවත්වන ලදී. දකුණු අප්‍රිකානු සත්‍යය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම මුළු ලෝකයේම අවධානය දිනා ගන්නට සමත් විය. කුරිරු අතීතය සමඟ හැප්පෙමින් එය නිරාවරණය කරගැනීමට එම කොමිසම විසින් දරනු ලබන වෑයම ඉතිහාසය මුළුල්ලේ සිදු වූ මේ හා සමාන වෙනත් උත්සාහයන් අභිබවා යන්නකි. ඊටත් වඩා සත්‍යය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ සැසි වාර ලෞකික නීතියේ සීමාවන් ඉක්මවා යමින් ජාතික ප්‍රතිසන්ධානය සහ සමාව දීම පිළිබඳ නව විභවතාවන් ගවේෂණය කිරීමක්ද සිදුවන සෙයකි.

සත්‍ය කොමිසමේ උත්පත්ති කතාව වනාහි එක්තරා විදියක ආශ්චර්යයකි. 1990 දී එවකට සිටි දකුණු අප්‍රිකානු ජනාධිපති එෆ්.ඩබ්ලිව්.ඩී ක්ලර්ක් විසින් නෙල්සන් මැන්ඩෙලා සහ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සමඟ සාකච්ඡා ආරම්භ කරන බව නිවේදනය කිරීමත් සමඟම රාජ්‍ය නොවන සංවිධාන, ආගමික නායකයන් සහ මානව හිමිකම් නීතිඥයන්ගෙන් ද සමන්විත වූ දකුණු අප්‍රිකානුවන් සුළු පිරිසකගේ කණ්ඩායමක් ජාතියේ අතීතය පිළිබඳ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම ආරම්භ කළහ. සියලු දෙනා විසින්ම පොදුවේ පිළිගනු ලබන ඉතිහාසයක් නොමැතිව එක්සත් දකුණු අප්‍රිකාවක් ගොඩනැගීම සිදු කළ නොහැක්කක් බවත්, ඒ සඳහා වර්ණභේදවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ කුරිරු යුගයට අවංකවම මුහුණ දීමෙන් සහ එය සමඟ ගනුදෙනු කිරීම අවශ්‍ය වන බවත් ඔවුහු පැවසූහ.

 

දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කරන ලද ඇපාතයිඩ් හෙවත් වර්ණභේදවාදී ප්‍රතිපත්තිය ඉතා යහපත් චේතනාවෙන් ක්‍රියාත්මක කරන ලද නමුත් අසමත් වූ ප්‍රතිපත්තියක් බවට ජනාධිපති ඩි ක්ලර්ක් විසින් කරන ලද ප්‍රකාශය දකුණු අප්‍රිකාවේ වරප්‍රසාද ලත් පන්තියේද පිළිගැනීම විය. එම ප්‍රතිපත්තිය ආවේණිකවම දුෂ්ට වූද, ඉතා ඛේදජනක ලෙස ක්‍රියාත්මක කරන ලද්දක් බවත් පිළිගැනීමට ඔවුහු සූදානම් නොවූහ. රහස් පොලීසිය විසින් අවුරුදු 30 ක් තිස්සේ පුද්ගලයන්ට විරුද්ධව සිදු කරන ලද වධහිංසා කිරීම්, ඝාතනය කිරීම් සහ අබාධිතයින් බවට පත් කිරීම් සැලසුම් සහගතව සිතා මතා ඉහළ මට්ටමේම අනුමැතිය ඇතිව සිදුකළ ක්‍රියාවන් බව පිළිගැනීම සුදු ජාතිකයන් අතරින් බහුතරය ප්‍රතිෂේප කළහ.

 

අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූගේ වචනයෙන්ම පැවසුවහොත් “හොරට නිදා ගෙන සිටින පුද්ගලයෙකු නින්දෙන් අවදි කිරීම අතිශයින්ම දුෂ්කරය.”
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනඟා ගැනීම පිළිබඳ සාකච්ඡා තුළින් ඇති කරගත් දේශපාලන එකඟතාව ජයග්‍රහණය (වික්ටරි) සහ සම්මුතිය (කොම්ප්‍රොමයිස්) අතර ප්‍රවේශමෙන් සමබර කරගත යුතුව තිබීම තත්ත්වය තවත් සංකීර්ණ කළේය. ඇපාතයිඩ් ප්‍රතිපත්තිය පරාජය කළා වන්නට පුළුවන. එහෙත් එම ප්‍රතිපත්තියෙහි හෙංචයියන් තවදුරටත් පොලීසියේ, හමුදාවේ සහ පරිපාලන සේවයේ අධිපත්‍යය දරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා සාර්ථක වීම් පැවති රෙජීමය සමඟ ඩීල් එකක් දමා ගැනීම මත සෑහෙන දුරට රඳා පැවතිනි. කුමන්ත්‍රණයකට හෝ වියවුලකට රට පත් නොකොට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඇපාතයිඩ් සමයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධව නියුරම්බර්ග් මාදිලියේ නඩු විභාග පවත්වා වරදකරුවන්ට දඬුවම් දීම විකල්පයක් නොවීය. අතීතයේ සිදු වූයේ කුමක්දැයි සොයා බැලීමේ ඕනෑම ප්‍රයත්නයක් ඇපාතයිඩ් ප්‍රතිපත්තියේ වින්දිතයන්ගේ දුක් වේදනාවන් පිළිගැනීම අවශ්‍ය විය. එමෙන්ම එම ප්‍රයත්නය ජාතික ප්‍රතිසන්ධානයට මග පාදන්නක් විය යුතුය. එක පැත්තකින් ‛නඩු පවරා දඬුවම් ලබා දෙනු’ යන සටන් පාඨය හඬ නගන උද්ඝෝෂකයන්ද අනෙක් පැත්තෙන් සිදු වූ සියල්ල ‛අමතක කොට සමාව දෙනු’ යනුවෙන් උද්ඝෝෂණය කරන්නන්ද අතරින් ඉතා සීරු මාරුවෙන් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යායුතුය.

 

සත්‍ය කොමිසම සඳහා කොමසාරිස්වරුන් තෝරාගැනීම අභියෝගයක් විය. ඔවුන් සුපිළිපන් භාවයෙන් අනූනවූද, අපක්ෂපාතීව කටයුතු කිරීමට හැකියාවක් ඇත්තාවූද, මානව අයිතිවාසිකම් පිළිබඳ කැපවූ බවට ඉතිහාසයක් ඇත්තාවූද, තම කාර්යභාරය හේතුවෙන් ඇතිවන චිත්තවේගීය ආතතියට මුහුණ දීමට අවශ්‍ය වන අභ්‍යන්තර ශක්තියක් ඇත්තාවූද පුද්ගලයන් විය යුතුව තිබිණි. ජනවාර්ගික, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සහ වෘත්තීය පසුබිම අතින් සමබරභාවයක් තිබීමද තීරණාත්මක විය. ඒ තනතුරු සඳහා මහජනතාවගෙන් නාම යෝජනා 600 ක් පමණ ලැබිණි. එයින් තෝරාගත් නම් 25 ක ලැයිස්තුවක් ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙත ඉදිරිපත් කරන ලදී. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන පක්ෂ දෙකෙන්ම සමන්විත වූ තම ද්වීපාර්ශ්වික කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළ ජනාධිපති මැන්ඩෙලා ලැයිස්තුවෙන් නම් 18 ක් තෝරා ගත්තේය. ඔහු කොමිසමේ සභාපතිවරයා ලෙස ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ පියතුමා පත් කළේය.

 

සත්‍ය කොමිසමේ සුවිශේෂී ලක්ෂණ ගණනාවක් විය. පළමුවෙන්ම එය මුල් තැන හෙවත් ප්‍රමුඛතාව ලබා දුන්නේ අපරාධකරුවන්ට නොව වින්දිතයන්ට හෙවත් විපතට පත්වූවන්ටය. බරපතළ මානව අයිතිවාසිකම් පිළිබඳ කමිටුව රට පුරා සිටින වින්දිතයන්ගේ කතා පුවත් වලට සවන් දුන්නාය. ආරක්ෂක පොලීසිය විසින් එවූ පාර්සල් බෝම්බයක් හේතුවෙන් අර්ධ වශයෙන් අන්ධව සහ ආබාධිතව සිටින මයිකල් ලැප්ස්ලේ පියතුමා ප්‍රකාශ කළේ ජාතිය විසින් මහජනයා විඳි දුක් වේදනාවන්වලට සවන් දී, ඒවා පිළිගෙන ඒවාට ගරු කරන බවට මේ කමිටුව සහතික විය යුතු බවය.
නගර ශාලාවල සහ ගම්බද ප්‍රජා ශාලාවල සැසිවාර අතිවිශාල සංඛ්‍යාවක් පැවැත්විණි. කොමිසම වින්දිතයන්ට ගරු කළේ ඔවුන් නගරයේ මධ්‍යස්ථානයකට නොකැඳවා ඔවුන් සිටින තැන්වලට කොමිසම ගමන් කිරීමෙනි. තවත් සහෝදර වින්දිතයන් ගෙන් සමන්විත ‛භාෂණයට හඬක්’ හෙවත් ‛කුලුමානි’ නම් කණ්ඩායම නිසා සාක්ෂි දීමට පැමිණි වින්දිතයන් දිරිගැන්වීම සිදුවිය. සිය ගණනක් වන ස්වේච්ඡාවෙන් වැඩකරන ‛පරාස සටහන් කරන්නන්’ විසින් වින්දිතයන්ට උදව් ලබා දෙන ලදී.

 

සත්‍ය කොමිසමේ ඊළඟ සුවිශේෂ ලක්ෂණය වූයේ අරගලයේ සියලු පාර්ශ්වයන් අතින් විපතට පත්වූ වින්දිතයන් ඒ සඳහා සහභාගී වීමයි. ජයග්‍රාහකයාට වුවමනා අන්දමට ඉතිහාසය ලියැවෙන්නට ඉඩ හැරිය නොයුතු බව සත්‍ය කොමිසමේ නිර්මාපකයෝ අදිටන් කරගෙන සිටියහ. එබැවින් විමුක්ති හමුදාවන් අතින් පීඩා විඳි පුද්ගලයන්ටද තම අත්දැකීම් බෙදා හදා ගන්නට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. රහස් පොලීසිය විසින් සිදු කළ වධහිංසා කිරීමක් පිළිබඳ කතා ප්‍රවෘත්තියෙන් ඉක්බිතිව සමහර විට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය විසින් ඇටවූ බිම් බෝම්බයකට හසු වී මියගිය තම බිරිඳ සහ දරුවන් පිළිබඳව සුදු ජාතික ගොවිපොළ හිමියෙකු විසින් ඉදිරිපත් කරන සාක්ෂියක් හෝ විමුක්ති හමුදාවේ පුහුණු කඳවුරක් තුළදී සිදු වූ අපයෝජනයන් සහ වධ හිංසා පිළිබඳ කතා පුවතක් හෝ කියැවිණි. ඉතාමත් සාධාරණ අරගලයක් වෙනුවෙන් වුවද සිදු කරන අත්තනෝමතික මනුෂ්‍ය ඝාතන හෝ හිතාමතාම සිදු කරන කෲරකම් සාධාරණීයකරණය කළ නොහැකි බවට වන වැදගත් පණිවිඩයක් මෙම කතා පුවත් මගින් නිකුත් විය.

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගෙන් සහ නීතිඥයන්ගෙන් සමන්විත වූ ක්ෂමාදාන කමිටුව ක්ෂමාදානය සඳහා වන අයදුම්වලට සවන් දුන්නේය. ක්ෂමාව දානය කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා නිරවුල් ය. මේ සඳහා කණ්ඩායම්වලට අයදුම් කළ නොහැකි අතර අයැදුම් කළ හැක්කේ තනි තනි පුද්ගලයන්ට පමණි. අයිතිවාසිකම් උල්ලංඝනයන් දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා සිදු කරන ලද ක්‍රියාවන් විය යුතුය. සිදුවූ සියල්ල සම්පූර්ණයෙන්ම හෙළිදරව් කළ යුතුය. ‛සමානුපාතිකත්වය පිළිබඳ මූලධර්මය’ අදාළ විය යුතුය. උදාහරණයක් වශයෙන් රහස් පොලීසිය විසින් තරුණ ක්‍රියාකාරීන් පිරිසක් ඝාතනය කරන ලද්දේ ඔවුන් සාමාන්‍ය පත්‍රිකා බෙදීමක නිරතවෙමින් සිටියදීද නැත්නම් සන්නද්ධ නැගිටීමක් සඳහා සූදානම් වෙමින් සිටියදීද යන ප්‍රශ්නය සැලකිය හැකිය. පළමු අවස්ථාවේ සිද්ධිය ‛සමානුපාතිකත්වය’ පිළිබඳ පරීක්ෂණයෙන් අසමත් වන අතර දෙවන සිද්ධිය සමහර විට එම පරීක්ෂණයෙන් සමත් වනු ඇත. වෙනත් වචනයකින් කිව්වොත් රහස් පොලීසිය විසින් එම ක්‍රියාධරයන් වෙඩි තබා ඝාතනය කරන ලද්දේ පත්‍රිකා බෙදන අවස්ථාවේ නම් ඔවුන්ට ක්ෂමාදානය ලැබීම සඳහා කිසිදු අවස්ථාවක් හිමි නොවන අතර, එම ඝාතනය සිදු කරන ලද්දේ තරුණයන් ආයුධ සන්නද්ධ අරගලයකට සූදානම් වන අවස්ථාවක නම් පොලීසිය ක්ෂමාව ලැබීමට සුදුසුකම් ලැබීමට ඉඩ තිබේ.

 

විභාගය අවසානයේදී ක්ෂමාව දානය කරන ලද්දේ නම් එම නඩුව සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබේ. ක්ෂමාව දානය නොකරන ලද්දේ නම් චෝදනාවට ලක්වූවන් කොමිසම ඉදිරියේ කරන ලද කිසිඳු පාපෝච්ඡාරණයක් පසුව සිදු කරන නඩු පැවරීමකදී අදාළ කරගත නොහැකිය. එම නඩු කටයුතු සඳහා සාක්ෂි ඇටෝර්නි ජෙනරාල්වරයා විසින් ස්වාධීනව සොයා ගත යුතුය. 1997 මැයි මාසයේ නිශ්චිත කරන ලද අවසාන දිනය වන විට අපරාධකරුවන් ක්ෂමා දානය සඳහා ඉල්ලුම් කරනු නොලද්දේ නම් ඔවුන්ට සිය මුළු ජීවිත කාලයම ගත කිරීමට සිදුවන්නේ අපරාධ පරීක්ෂකයන් විසින් කවදා හෝ ඔවුන් සොයා ගැනීමෙන් හෝ තම හිටපු සගයෙකු විසින් පාවාදෙනු ලැබීමෙන් හෝ තමන්ට විරුද්ධව නඩු පැවරීමට ඉඩ ඇති බව දැන දැනමය. 1997 මැයි මස අවසාන දිනය ළඟාවත්ම ක්ෂමාදානය සඳහා ඉල්ලුම් කළ අයැදුම්පත් 8000 ක් ගලා ආවේය.

බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ කමිටුව සහ ක්ෂමාදාන කමිටුවේ ද තවත් සුවිශේෂ ලක්ෂණයක් වූයේ ඒවායේ සැසිවාර ප්‍රසිද්ධියේ මහජනයා සඳහා විවෘතව පැවැත්වීමයි. මේ නිසා තමන් විසින් වධහිංසාවන්ට ලක් කළ පුද්ගලයන්ට හෝ තම විසින් මරා දමනු ලැබූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට මුහුණ දීමට අපරාධකරුවන්ට සිදුවෙයි.

 

වන්දි ගෙවීම සහ පුනරුත්ථාපන කටයුතු සඳහා පිහිටුවන ලද තුන්වන කමිටුව එතරම් ප්‍රසිද්ධියට ලක් වූවේ නැත. දකුණු අප්‍රිකාවේ දුර්වල ආර්ථිකයට වින්දිතයන් සඳහා විශාල වන්දි මුදල් ප්‍රදානය කිරීමේ හැකියාවක් නොවීය. කෙසේ වුවද වින්දිතයන්ගේ වන්දි ඉල්ලීම් සැලකියයුතු තරම් නිහතමානී ඒවා විය. සියල්ලටමත් වැඩියෙන් සිය ඥාතීන් අහිමිවූ පවුල්වල අයට අවශ්‍ය වූයේ තම ඥාතියාගේ මළසිරුර ලබා ගෙන විධිමත් ලෙස අවසාන කටයුතු සිදු කිරීම හෝ තම ගම් පෙදෙසෙහි කුඩා සමරු සිහිවටනයක් ඉදිකිරීම හෝ අනාථ වූ දරුවන් වෙනුවෙන් කුඩා ශිෂ්‍යත්වයක් ලබා ගැනීම වැනි කාරණාය.

 

සත්‍යය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ බලපෑම් සහගතභාවය කෙතරම්ද යන්න කාලයා විසින් තීරණය කරනු ඇත. එහි ප්‍රකාශිත අරමුණු වූයේ අතීතයේ සිදුවූ උල්ලංඝනයන් පිළිබඳව වාර්තාවක් සැකසීම සහ එවැනි සිදුවීම් යළි සිදුවන්නට ඉඩ නොදෙනු පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමයි; විදිතයන්ගේ දුක් වේදනාවන් පිළිගෙන ඔවුන්ගේ පුනරුත්ථාපනය සඳහා ක්‍රියාකිරීම; අතීතයේ අපරාධකරුවන්ට ක්ෂමාව දානය කිරීම; සහ ජාතිය සුවපත් කිරීම සහ ප්‍රතිසන්ධානය ඇති කිරීම පහසුකරණය කිරීමයි. සැබැවින්ම දකුණු අප්‍රිකානුවන් තම ආසන්න අතීතය පිළිබඳව පොදු දැක්මක් ගොඩනගා ගැනීමේ ආසන්නයට පැමිණ සිටිති. චිත්තවේගවලින් මඬනා ලද වින්දිතයන්ගේ සාක්ෂි දීම ඇරඹුණු විට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ලැබුණු ප්‍රතිචාරය වූයේ කේන්තියෙන් කරන ප්‍රතික්ෂේප කිරීම්ය. නමුත් භීතියේ සහ මනුෂ්‍ය වේදනාවේ කතා පුවත් සියගණනක සම්ප්‍රයුක්ත බලපෑම විසින් මෙම ආකල්පය වෙනස් කරනු ලැබිණි. විස්තරවල නිරවද්‍යතාවයට වඩා රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අසන්නට ලැබුණු එක හා සමාන වූ අත්දැකීම් සමුදාය විසින් එම කතා පුවත්වල සත්‍යතාවය ඔප්පු කරන ලද්දේය. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස මතු වී පෙනුණේ හිතාමතාම සිදුකළ රාජ්‍ය ත්‍රස්තවාදයක බියකරු සිතුවමකි.

 

තම කතන්දරය කියාපෑමට අවස්ථාව ලැබීම හේතුවෙන් වින්දිතයන්ට යම් සහනයක් ලැබුණු බව කිව හැකිය. දැන් තමන්ගේ ජීවිතය සමඟ ඉදිරියට යාමට හැකියාව ලැබුණු බව බොහෝ දෙනෙකු පැවසූහ. වඩාම වැදගත් කරුණ වන්නේ ඔවුන්ගේ වේදනාවන්ට පිළිගැනීමක් ලැබීමයි. “අද මුළු මහත් ජාතියම මා සමග මගේ දුක වෙනුවෙන් හඬා වැළපුණා” යයි එක මහලු කලු ජාතිකයකු පැවසීය.

 

ක්ෂමාදානය පිළිබඳ කරුණ විශාල වශයෙන් මතහේදයට තුඩු දුන්නේය. සමහර වින්දිතයන්ගේ පවුල් මෙම සමාව දීමේ ප්‍රතිපාදනය දකුණු අප්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන ලදී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියලු දෙනාටම සාධාරණ නඩු විභාගයක් සඳහා වන සාධාරණ කාර්ය පටිපාටිය සහ යුක්තිය සහතික කරයි. ඔවුන් තර්ක කළේ සමාව දීමේ විධිවිධාන මගින් තමන්ට යුක්තිය ලබා ගැනීම සඳහා ඇති අයිතිය අහිමි වන බවයි. කෙසේ වුවද අධිකරණය මෙම තර්කය පිළිගත්තේ නැත. කෲර අපරාධ සිදුකරන ලද රජයේ නිලධාරීන් දඬුවම් නොලබා නිදැල්ලේ සිටීම කෙතරම් අප්‍රසන්න තත්ත්වයක් වුවත් ක්ෂමාදානය යටතේ පවා තමන්ට අපරාධ සිදුකළ පීඩකයන් විනිශ්චයකට ලක් වන බවත්, වගවීමෙන් සම්පූර්ණයෙන් පළායාමට අවස්ථාව සැලසෙන විනිර්මුක්තිය සහ අභ්‍යන්තරික සහ සාමාජීය ප්‍රතිවිපාක සහිත ක්ෂමාදානය අතර වෙනසක් පවතින බවත් ජනතාව තේරුම් ගනිමින් සිටී.

 

ක්ෂමාදානය අයැද සිටින බොහෝ ඉල්ලුරෑම්කරුවන් තමා විසින් කළ අපරාධ සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් දක්නට නොලැබිම පිළිබඳව සමහරු විවේචනය කරති. නමුත් ක්ෂමාදාන නීතිය මගින් අපේක්ෂා කරන්නේ සත්‍යය හෙළිදරව් කිරීම පමණක් වන අතර එය පශ්චාත්තාප වීම අපේක්ෂා නොකරයි. එසේම වැරදි පිළිබඳව පශ්චාත්තාප වීම අනිවාර්ය කරන ලද්දේ නම් ස්වේච්ඡාවෙන්ම සිදුකරන ලද අව්‍යාජ පශ්චත්තාපයන්ගේ වටිනාකම බාල්දු වීමට ඉඩ තිබිණි. එක් සිදුවීමකදී ඈත පළාතක ගම්මානයකට ප්‍රහාරයක් එල්ල කොට පවුල් ගණනාවක් කපා කොටා මරාදැමීම සැලසුම් කළ පොලිස් නිලධාරියෙකු තමා අතින් විපතට පත්වූ වින්දිතයන් අමතා මෙසේ කීවේය: “මම කරපු වැරදි මට දැන් ආපහු හරිගස්සන්න බැහැ. ඔබෙන් සමාව ඉල්ලන්න මට කිසිම අයිතියක් නැහැ. නමුත් මම ඔබෙන් ඉල්ලන්නේ මගේ ජීවිතයේ ඉතිරි කාලය ඔබේ ගම්මානය නැවත ගොඩනගන්නත්, බිඳී විසිරී ගිය ඔබේ පවුල් නැවත එකතු කිරීම සඳහාත් සහාය වීමට මට ඉඩ දෙන ලෙසයි.”

 

සමහරවිට තුවාල සහිත ඉතිහාසයන් ඇති වෙනත් ජාතීන් දකුණු අප්‍රිකාවෙන් බලාපොරොත්තුවේ ආකෘතියක් සොයා ගනු ඇත. ඉතිහාසයේ වේදනාවන් මතු කරගැනීමෙන් තොරව සහ ජාතික සහ වාර්ගික වේදනාකාරී මතකයන් සුවපත් කිරීමෙන් තොරව සාමය ඇති කරගත නොහැකි බව ජාත්‍යන්තර ප්‍රජාව විසින් තේරුම් ගැනීමත් සමඟ එක් රටක් ඒ සඳහා දරන ලද ප්‍රයත්නය අනෙකුත් ජාතීන්ටද ආදර්ශයක් වනු ඇත∎

(දකුණු අප‍්‍රිකාවේ මෙතෝදිස්ත සභාවේ සභාපති පීටර් ස්ටෝරිගේ රචනයක් ඇසුරෙනි.)
සුදර්ශන ගුණවර්ධන

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment