තමා තුළ සිටින තමාව ප්‍රතික්ෂේප කළ යුතුද?

May 23rd, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

හෝමෝ ෆෝබියාව සය ට්‍රාන්ස්ෆොබියාවට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන්
තමන්ට තමන්වීමට ඇති අයිතිය ගොඩනඟා ගැනීමට වෙරදරන අපේම මිනිසුන් කොටසක් වෙනුවෙන් මෙම ලිපිය සැකසුණි.

‛‛සමලිංගිකයෙක් යම් හෙයකින් විෂම ලිංගිකයෙක් හැටියට හැසිරෙනව නම් විකෘතිය ඇත්තේ එතනය. තමන්ගේම ලිංගයේ කෙනෙකු සමඟ යහන්ගතවීමේ කිසිදු වරදක් නැත. මිනිස්සුන්ට ලිංගික නිදහස තිබිය යුතුය.’’
-එල්ටන් ජෝන්-

අද වනවිට සමලිංගිකත්වය රෝගයක් හෝ විකෘතියක් නෙමෙයි කියන පිළිගැනීම ලෝකය පුරා පැතිරෙමින් තිබුණත් තාමත් ලෝකයේ රටවල් 77ක සමලිංගිකත්වය නීතියෙන් තහනම්. ලංකාවත් මේ රටවල් අතරට අයත්. මානව අයිතීන් ගැන මොන තරම් කතාකරන යුගයක වුණත් තාමත් මිනිස්සු සමලිංගික සම්බන්ධතා පිළිගන්න තරම් පරිණත වෙලා නැහැ. ඒ වගේ සම්බන්ධතා සමහර අයට විකාරයක්, තවත් අයට පිස්සුවක් නැත්නම් මානසික රෝගයක් වගේ තමයි තාමත් පේන්නෙ. ඒ සම්බන්ධතා ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන යථාර්ථය ගැන තේරුම්ගන්න අවශ්‍ය අවකාශය ආසියානු සමාජය ඇතුලෙ තාම රෝපණය වෙලා නැහැ.

මිනිස්සුන්ට ඇතිවෙන හෝමෝ ෆෝබියාව (Homo Phobia) කියන්නෙ මකුළුවන්ට තියෙන බය, කරුවලට තියෙන බය වගේ් ස්වාභාවික එකක් නෙමෙයි. ඒක ආගමික හා සංස්කෘතික බලපෑම මත ඇති කරපු බයක්. ක්‍රිස්තියානි ආගමික දෘෂ්ටියට අනුව ගත්තහම මෙම සමලිංගිකත්වය කියන දේ ස්වභාවික නීතියට විරුද්ධයි කියල මතයක් ලෝකයේ තිබුණද බෞද්ධ සංස්කෘතියකින් යුතු ආසියානු රටවල් තුළ මෙම විරුද්ධත්වය ගොඩ නැගෙන්නේ එම රටවල් යුරෝපයේ කොර්‍ලනි බවට පත්වීමෙන් අනතුරුවයි. එනම් ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න ආසියානු රටවල මතුවන්නේ වික්ටෝරියානු සංස්කෘතියෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

i1මෙහිදී ලංකාව පිළිබඳව සැලකීමේදී විශේෂයෙන් ආගමික සංස්ථා තුළ අදටත් සමලිංගික සබඳතා සුලභව පවතින බව ප්‍රසිද්ධ රහසක්. ලංකාවෙ පමණක් නෙමෙයි ලෝකයේ විවිධ රටවල දාර්ශනිකයින්, චිත්‍ර ශිල්පීන් සහ නොයෙකුත් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතර පවා මෙවැනි සම්බන්ධතා පැවතුණි. නමුත් අද පවතින ගැටළුව වන්නේ පුද්ගලයෙකුට තමාගේ ලිංගික අභිමතය පිළිබඳව තීරණය කිරීමට ඇති පුද්ගලික නිදහස සමාජය තුළින් ප්‍රශ්න කිරීමයි. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන ලිංගික අවශ්‍යතාවයන් පවා බහුතර සමාජයේ රුචිකත්වයට අනූව සිදු කිරීමට සිදුවීම ඉතාමත් ශෝචනීය ඉරණමක්.

‛‛පිළිගත්’’ විෂම ලිංගික කුලකයට අයත් නොවන අයකු තම ලිංගිකත්වය හෙළි කළහොත් සමාජයේ ‛‛සාමාන්‍ය’’ පුරවැසියකු ලෙස ඔහුට ඇති පැවැත්ම ඉන් අවසන් වෙනවා. එවැනි පුද්ගලයකු රැකියා ස්ථානයේ දී, මිතුරන් අතරේ දී පමණක් නොව බොහේ විට පවුල තුළ පවා පත්වන්නේ ලාදුරු රෝගියකුගේ තත්ත්වයටයි. ඒ නිසා හැමවිටම ඔවුන්ට සිද්ධවෙන්න සමාජයට බොරු ප්‍රතිරූපයක් ගොඩනංවන්න. එහිදී ඔවුන් තමන්ගේ අනන්‍යතාව පිළිබඳව ස්වයං ගැටළුවකට මුහුණදෙනවා.

අනෙත් අතට සමලිංගිකත්වය ලංකාව තුළ නීති විරෝධී නිසා රැකියාවේදී හෝ වෙනත් තැනකදී ලිංගිකත්වය මත පදනම්ව සිදුවන වෙනස් කර සැලකීම්වලට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. තමන්ගේ ලිංගික හැඩගැස්ම නිසා ඔවුන්ට සාමාන්‍ය පුරවැසියෙක්ට ලැබෙන අයිතියවත් ලැබෙන්නෙ නැහැ. ලිංගික සමානාත්මතාවය ගැන පුරසාරම් දොඩන සමාජය ඇතුලෙදි ඔවුන්ගෙ ජීවිත හැම තිස්සෙම පිටුපසට තල්ලු වෙනවා. එහිදී තමන් ‛‛නීති විරෝධී සත්ත්වයෙක්’’ යන වරදකාරී හැඟීමත් සමඟ ජීවිතය ගෙවන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ‛‛උපතින් ම නීති විරෝධී පුද්ගලයෙක්.’’

මේ නිසා ලෝකයේ බොහෝ රටවල සමලිංගික හා පාරලිංගිකයන් විවාහ අයිතිය, ක්‍රීඩා හා රැකියා පිළිබඳ අයිතීන් වැනි දේ ගැන සටන් කරන යුගයක අපේ රටේ සමලිංගික හා පාරලිංගිකයන්ට සිදු වී ඇත්තේ තමන්ට තමන් ලෙස ජීවත් වීමට මූලික අයිතිය ඉල්ලා හඬ නගන්නයි.

තමන්ට වඩා වෙනස් හැම දෙයක් ගැනම ‛‛ෆෝබියාවක්’’ දක්වන ලංකාවේ බහුතර සමාජය තුළ නම් හෝමෝෆෝබියාව පැවතීම ගැන පුදුම විය යුතු නැහැ. තමන් දරණ අදහස පමණක් පැවතිය යුතු බවටත් තමන්ට වඩා වෙනස් සියළු දේ භයානක සාපරාධි දේ ලෙසටත් දකින, ඒ වෙනස්කම් දක්වන පිරිස දුර්වල හෝ සුළුතර කණ්ඩායමක් නම් ඔවුන් පීඩාවට පත්කොට පාගා දැමීමෙන් තෘප්තියට පත් වන, විශේෂයෙන් කුමන ආකාරයක හෝ ලිංගිකත්වයක් තහනම් කිරීමෙන් හෝ සීමා කිරීම තම පරම ප්‍රීති ප්‍රමෝදය කරගත් වර්තමාන ‛‛පොදු’’ ලාංකික මිනිසාගෙන් සමලිංගිකත්වය සම්බන්ධව මීට වඩා හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

නමුත් මෙහි ගැටළුව ඇත්තේ අනෙකා කන බොන, අඳින පළඳින, අදහන දේ මෙන්ම ඔවුන්ගේ ලිංගිකත්වය ද තමාට අභිමත ආකාරයෙන් මිස වෙනත් ආකාරයන්ගෙන් පැවතීම තහනම් කිරීමට නොතිත් ආශාවක් දක්වන මේ බහුතර ‛‛පොදු’’ මිනිසුන් පමණක් නොව, ඊට විරුද්ධ ව හඬ නගන, සාපේක්‍ෂව වඩා ලිබරල් අදහස් දරණ අප වැනි සුළුතරයක් මිනිසුන් තුළද, ඇතැම් විට අපත් නොදැනුවත්ව මතු වන හෝමෝෆෝබික් ලක්‍ෂණයි.

සමලිංගික අයිතීන් පිළිබඳ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන පුද්ගලයන් පවා ඇතැම් විට තමන් හා සමීප පුද්ගලයකු සමලිංගික යැයි දැනගත් විට ඔවුන්ට දක්වන ප්‍රතිචාරය ‛‛සාමාන්‍ය’’ නැහැ.

‛‛සමහර යාළුවෝ මගෙන් අහනවා මම කොහොමද මගේ පෙම්වතා එක්ක ලිංගිකව හැසිරෙන්නේ වගේ ප්‍රශ්න. ඒත් එයාලා කවදාවත් විෂමලිංගික කෙනෙක්ගෙන් අහන්නෙ නෑ එයාගේ බිරිඳ හෝ පෙම්වතිය එක්ක එයා කොහොමද හැසිරෙන්නේ කියලා.’’ මේ ගැන කතාබහකදි කෙනෙක් දක්වපු අදහසක්.

මින් පෙනෙන්නේ නීතිය හෝ පොදු මහා සමාජයට ඔබ්බෙන්, ‛‛ප්‍රගතිශීලී’’ සුළුතර සමාජය තුළ පවා ලිංගික විවිධත්වය පිළිබඳ ඇති ආධුනික හා නොවැඩුණු ආකල්පයයි. පාරලිංගිකයන් සම්බන්ධව මේ තත්ත්වය වඩාත් දරුණුයි.
පාර්ලිමේන්තුව වැනි තීරණාත්මක බලයක් සහිත තැන්වල පවා ‛‛සාමාන්‍ය’’ නොවන ලිංගික රුචිකත්වයෙන් යුතු සැලකිය යුතු තරම් පිරිසක් සිටියත් ඒ කිසිවකු ඒ වෙනුවෙන් එළිපිට හඬ නගන්නට පසුබට වන්නට, සිවිල් සමාජය තුළ ඇති මේ නිද්‍රාශීලී ස්වභාවයත් හේතුවක් වෙන්න පුළුවන්.

i3හෝමෝ ෆෝබියාව පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ 1996දී සිදුකළ අධ්‍යයනයකින් අපූරු කරුණක් හෙලිවුණා. ඔවුන් කළේ විශම ලිංගිකයැයි තමන්ව හඳුනාගත් පිරිමින් කණ්ඩායමක් ගෙන ඔවුන් අතුරින් හෝමෝ ෆෝබික් ආකල්ප දැරූ පිරිස හා අනෙක් පිරිස කොටස් දෙකකට වෙන් කළා. ඉන් පසුව ඔවුන්ට විරුද්ධ ලිංගික, කාන්තා සමලිංගික හා පිරිමි සමලිංගික ශෘංගාර චිත්‍රපටි නැරඹීමට සලස්වා ඒවා නැරඹීමේදී ඔවුන්ගේ ලිංගේන්ද්‍රය ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කළා. කණ්ඩායම් දෙකේම පුද්ගලයන්ගේ ලිංගේන්ද්‍රය විෂම ලිංගික හා කාන්තා සමලිංගික ශෘංගාර චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූවා. නමුත් පිරිමි සමලිංගික ශෘංගාර චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූයේ හෝමො ෆෝබික් කණ්ඩායම පමණයි.

අවසානයේ ඔවුන් එළඹුණ නිගමනය වූයේ හෝමො ෆෝබියාව එම පුද්ගලයන් තුළ ඔවුන් නොදැනුවත්වම පවතින සමලිංගික ආශාවේ ප්‍රතිඵලයක් විය හැකි බවයි. කෙසේ වෙතත් ඒ කිසිවකු තමන්ට එවැනි හැඟීම් ඇති බව පිළිගත්තේ නැහැ.

මින් පෙනෙන්නේ සමලිංගිකයන් කෙරෙහි බියක් දක්වන පිරිසෙන් කොටසක් ඇත්ත වශයෙන්ම බිය වන්නේ තමා තුළම ඇති සැඟවුණු ආශාවන්ට බවයි.

අවසාන වශයෙන්, ඔබට ඔබේ ජීවිතය අනෙත් අයට අවශ්‍ය ආකාරයට නොව ඔබට අවශ්‍ය ආකාරයට ගෙවන්නට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ අනෙත් අයගේ ජීවිත ඔබට අවශ්‍ය ආකාරයට පාලනය කරන්නට නොගොස් ඔවුන්ගේ ජීවිත පිළිබඳ තීරණ ඔවුන්ට ම ගැනීමට ඉඩ සැලසීමයි. එවිට පවතින සංස්කෘතිමය, සදාචාරමය, ආගමික තාප්ප වලින් වට කොට ඇති සමාජයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම මිනිසුන්ගේ අයිතීන් ස්ථාපිත වූ රාජ්‍යයක් බිහි විය හැක.
ඇමරිකා එක්සත් ජනපදය තුළ සමලිංගික අයිතීන් වෙනුවෙන් අභීත හඬක් නැගූ, ඒ හේතුවෙන් ම ඝාතනයට ලක් වූ දේශපාලන ක්‍රියාකාරිකයකු වන හාවි මිල්ක්ගේ චරිතය ඇසුරෙන් 2008 දී නිෂ්පාදනය වූ මිල්ක් චිත්‍රපටයේ එක් තැනක හාවි මිල්ක් මෙසේ කියයි:

‛‛මම ඉල්ලන්නෙ මෙච්චරයි, ඝාතනයක් සිද්ධ වෙන්න ඕන නම් මම හිතනවා පස්දෙනෙක්, දහදෙනෙක්, සීයක්, දාහක් නැඟී සිටීවි කියල. මම කැමතියි හැම සමලිංගික නීතිඥයෙක්ම, හැම සමලිංගික ගෘහනිර්මාණ ශිල්පියෙක්ම පාරට බහිනවා දකින්න. වෙඩි උණ්ඩයක් මගේ ඔලුවට ඇතුල් වෙනව නම් ඒ වෙඩි උණ්ඩය මේ හැමෝම වහගෙන ඉන්න කාමර දොරවල් ඔක්කොම විනාශ වුණාදෙන්. එච්චරයි. මම ඉල්ලන්නෙ මේ ව්‍යාපාරය ඉස්සරහට අරං යන්න කියලයි. මේක පුද්ගලික ලාභය ගැනවත්, මහන්තත්වය ගැනවත්, බලය ගැනවත් ප්‍රශ්ණයක් නෙමෙයි. මේක ‛‛අපි’’ හැමෝම ගැනයි. සමලිංගිකයෝ විතරක් නෙමෙයි, කල්ලෝ, ආසියානුවො, ආබාධිතයො, මහල්ලෝ මේ අපි හැමෝම. බලාපොරොත්තුවක් නැති වුණාම මේ ‛‛අපි’’ හැමදේම අතහැරල දානවා – මම දන්නවා බලාපොරොත්තු වලින් විතරක් ජීවත් වෙන්න බැහැ. ඒත් බලාපොරොත්තුවක් නැත්නම් ජීවත් වීමේ තේරුමක් නැහැ. ඉතින් ඔයත්, ඔයත්, අරයත්, හැමෝම ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්න ඕන. ඔබ ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්න ඕන’’

චතුරිකා ධර්මදාස

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment