නරේන්ද්‍ර මාරුව මහේන්ද්‍රට කොහොමද?

May 23rd, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

logo-poli

හැඳින්වීම:
ඉන්දියාව ලංකාවේ ලොකු අයියාය. ළඟම අසල්වැසියාය. ඉන්දියාවේ ග්‍රහචාරය අප සිතනවාට වඩා ලංකාවට බලපායි. ඉන්දියාවේ බී.ජේ.පී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ආණ්ඩුව 2004 මැතිවරණයෙන් පරාජය වී සුළුතර බලය සහිත කොංග්‍රස් ආණ්ඩුවක් පිහිටුවන ලද අතර ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බිඳ දමා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පිහිටුවන ලද්දේද එම වසරේමය. මෙම සිදුවීම් දෙක අතර ඇති සම්බන්ධය අප සිතා සිටිනවාට වඩා බැරෑරුම්ය.

2005දී රනිල් වික්‍රමසිංහ මහතාගේ අතේ තිබුණු ජනාධිපතිවරණ ජයග්‍රහණය දෛවෝපගත ලෙස බලයට පත්වූයේ සන්ධාන අපේක්ෂක පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය. ඔහු බලයට පත්වූයේ කෙස් ගහෙනි. ඔහුට පාර්ලිමේන්තුවේ තිබුණේ සුළුතර බලයකි.
එයින් පසුඉන්දියාවේ මා-බේටා සර්කාර් හෙවත් අම්මාගේ සහ පුතාගේ කොංග්‍රස් ආණ්ඩුවේ බඹරය වැල්ලේ කැරකුණු අතර ඒ හා සමඟම පර්සි මහේන්ද්‍රගේ රාජපක්ෂ රෙජීමයේද වාසනාව ඉහළට ගියේය. එයට සාපේක්ෂව ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේද, ඉන්දියාවේ භරතීය ජනතා පක්ෂයේද දේශපාලන වාසනාව පිරිහී ගියේය.

වසර දහයකට පසු ඉන්දියාවේ දේශපාලන ග්‍රහචාරය අංශක එකසිය අසූවක් ආපසු කැරකී බී.ජේ.පී ආණ්ඩුවක් බලයට පත්ව තිබේ. මේ තත්ත්වය ලංකාවට අනිවාර්ය බලපෑමක් ඇති කරනු ඇත. ‛සමබිම’ ඉරිදා සංග්‍රහය ගෙන එන ‛දෙශපාලන ග්‍රහචාරය’ නම් ලිපි පෙළ මගින් උත්සාහ කරන්නේ මේ තත්ත්වය පිළිබඳව විමසා බැලීමටය.

ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය කුජීත ලෙස පරාජය කරමින් ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. දක්ෂිණාංශික පක්ෂයක් ලෙස හඳුනා ගනු ලබන භාරතීය ජනතා පක්ෂය ඉන්දියානු පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවේ බහුතර බලය හිමිකර ගත්තේ සියයට 31ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ඉන්දියාවේ ඡන්දය පැවැත්වෙන්නේ 1977 දක්වා ලංකාවේද ක්‍රියාත්මක වූ කොට්ඨාශ ක්‍රමයට හෙවත් ආසනය තුළ ප්‍රකාශ වූ ඡන්දවලින් වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ගන්නා පුද්ගලයා තේරී පත්වීමේ ක්‍රමය මතය. එබැවින් ඡන්ද ප්‍රතිශතය සියයට 31ක් වුවත් ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව වන 543න් අර්ධයක් වන 272ක සීමාව ඉක්මවා ආසන 282ක් ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකි විය. මේ නිසා සාමාන්‍යයෙන් ඉන්දියාවේදී සිදුවන්නාක් මෙන් මැතිවරණයෙන් පසුව කෑලි අහුලාගෙන සන්ධානයක් අටවා, හෙලෙත්තාඩු ආණ්ඩුවක් හදන්නේ නැතිව තමන්ගේම ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති තැන්පත් නරේන්ද්‍ර මෝඩිට හැකි වේ. ඔවුන් බලයට පත්වූයේ ‛මා බේටා සර්කාර්’ හෙවත් අම්මාගෙයි පුතාගෙයි ආණ්ඩුව ලෙස විරුද්ධවාදීන්ගේ පරිහාසයට ලක්වූ ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂයේ ආණ්ඩුව වසර දහයකට පසු අන්ත පරාජයකට පත්කරමිනි. කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ලැබුණේ ආසන 44ක් පමණි.

i8මේ වාර්තාගත ජයග්‍රහණයෙන් ලංකාවේ ප්‍රගතිශීලීන්ද ඇතුළුව බොහෝ දෙනෙක් මවිතයට පත්විය. වෙන එකක් තබා භාරතීය ජනතා පක්ෂයම පවා ප්‍රකාශ කළේ මේ තරම් විශාල ආසන සංඛ්‍යාවක් ලැබී පහසුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්නට ලැබේ යයි තමන්වත් අපේක්ෂා නොකළ බවයි. කොංග්‍රස් පක්ෂයට බහුතර බලයක් නොලැබෙන බව ස්ථිරව පැවතියද ඡන්දයෙන් පසු කිසිදු පක්ෂයට බහුතර බලයක් නොමැති එල්ලෙන පාර්ලිමේතුවක් බිහිවිය හැකි තත්ත්වයක් යටතේ එහෙන් මෙහෙන් කෑලි එකතු කර බී.ජේ.පී. නොවන ආණ්ඩුවක් ගැටගසා ගත හැකිවනු ඇතැයි බොහෝ දෙනෙකු ගණන් බලා තිබිණි.

ඉන්දියානු දේශපාලනයේ මහා බෙදුම් කඩනය වන්නේ සෙකියුලර් (ලෝකායත) -කොමියුනල් – (ජාතිභේදවාදී) භේදයයි. වසර එකසිය ගණනක් පැරණි දේශපාලන සංස්ථාවක් වන ඉන්දියානු ජාතික කොංග්‍රසය කියන්නේ තමන් සෙකියුලර් බවයි. ඉන්දියාවේ සිටින කොංග්‍රස් පක්ෂ විරෝධීන් වන ලොකු කුඩා වාමාංශිකයන්ද ඇතුළු ප්‍රගතිශීලී බලවේගවල ප්‍රතිපත්තියද සෙකියුලර් එකකි. කොංග්‍රසයට විරුද්ධව සටනක් දිය හැකි ජාතික මට්ටමේ විපක්ෂ බලවේගය වන භාරතීය ජනතා පක්ෂය හින්දුත්ව හෙවත් හින්දුවාදී දේශපාලන වේදිකාවක් මත පදනම් වන හෙයින් සෙකියුලර් කාරයන් විසින් ඔවුන් හඳුන්වන්නේ කොමියුනල් පක්ෂයක් ලෙසිනි. එම පක්ෂයේ ප්‍රමුඛ නායකයෙකු වන ලාල් ක්‍රිෂ්ණ අද්වානි ඇතුළු කණ්ඩායම බාබ්‍රි මස්ජිද් මුස්ලිම් දේවස්ථානය බිඳ දමා ඒ ස්ථානයේ රාම් දෙවොලක් ඉදිකරන්නට කටයුතු කිරීම නිසා මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ අරටුව හින්දු ජාතිවාදීන්ගෙන් සමන්විත වන නිසාද මේ චෝදනාවට ශක්තිමත් පදනමක් තිබේ. මෙවර අගමැති අපේක්ෂකයා වන නරේන්ද්‍ර මෝඩිට එරෙහිව ඇති බලගතු චෝදනාවක් නම් 2002දී ගුජරාටයේ ඇතිවූ මුස්ලිම් විරෝධී ජනසංහාරය පාලනය කිරීමට ඔහු කටයුතු නොකළ බවයි. පසුකාලීනව මෙම සංහාරය සම්බන්ධව වූ පරීක්ෂණයෙන් ඔහු නිදහස් වුවද, ඒ සඳහා ඔහුට එල්ලවන චෝදනා අඩු වී නොමැත.

මෙම සෙකියුලර්-කොමියුනල් විභේදනය වනාහි ලංකාවේ පැවතුණු ප්‍රගතිශීලී-ප්‍රතිගාමී විභේදනය වැනි එකකි. මෑත කාලයේදී එය නැවත සකස් වූයේ දේශප්‍රේමී-දේශද්‍රෝහී විභේදනය වශයෙනි. එක්සත් ජාතික පක්ෂය හෙවත් වාමාංශික භාෂාවෙන් කිවහොත් යූ.ඇන්.පීය සාමාන්‍යයෙන් හඳුනා ගැනුණේ ප්‍රතිගාමී, ධනවාදී, යටත් විජිතවාදී, දක්ෂිණාංශික පක්ෂයක් ලෙසය. එකී එක්සත් ජාතික පක්ෂය තුළින්ම බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බව පෙන්වූයේ එක්සත් ජාතික පක්ෂයේ පෙනුමෙහි ප්‍රතිපක්ෂයයි. එබැවින් ඔවුන් ප්‍රගතිශීලී, දේශප්‍රේමී, ජනතාවාදී සහ අධිරාජ්‍ය විරෝධී විය. මේ හේතුව නිසා විවිධ වර්ග සහ වර්ණ වලට අයත් වාමාංශිකයන් සහ ප්‍රගතිශීලීන් නොයෙක් අවස්ථාවන්හි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දක්වනුයේ ඊනියා ප්‍රතිගාමී එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම වැළැක්වීමටය. එසේත් නැත්නම් ප්‍රතිගාමීත්වය බලයෙන් පහ කිරීමටය.
නැවතත් ඉන්දියාව දෙසට හැරුණොත්, මේ සෙකියුලර්-කොමියුනල් ධ්‍රැවීකරණය නිසා ඉන්දියානු ජාතික කොංග්‍රසයට ලැබී ඇත්තේ ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී ඇත්තාක් වැනිම වූ විශාල වාසියකි. ආර්ථිකය මෙහෙයවීම, යහපාලනය හෝ දූෂණ වංචා ආදී ක්ෂේත්‍රවලදී කොංග්‍රස් පක්ෂයේ හෝ කොංග්‍රස් ආණ්ඩුවේ උග්‍ර විවේචකයන් ලෙස මරාගෙන මැරෙන්නට පවා සූදානම් වන ඊනියා ප්‍රගතිශීලී විරුද්ධවාදීන් පවා තීරණාත්මක අවස්ථාවේදී තමාගේ ගැලවීම පිණිස සහයට පැමිණීමේ ආශීර්වාදය ඒ වාසියයි. කොංග්‍රස් විරෝධී වාමාංශිකයන්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ සදාකාලික ඉරණම වී තිබෙනු පෙනෙන්නේ පුළුවන් තරම් කාලයක් කොංග්‍රසයට බනිමින් හිඳ තීරණාත්මක අවස්ථාවේ මෙසේ කීමටයි: ‛‛කොංග්‍රස් එක හරිම අප්සෙට් තමයි. ඒ වුණත් කොංග්‍රස් එක පැරදුණොත් බලයට එන්නෙ කොමියුනලිස්ට් කාරයන් වන බී.ජේ.පී. කාරයන්ය. බුදු අම්මෝ, උන් බලයට ආවොත් රට ඉවරයි. ඒ හින්දා බී.ජේ.පී. එක බලයට පත්වීම වළක්වන්න අපි ඉතින් නහය වහගෙන කොංග්‍රස් එකටම සපෝට් කරනවා.”

i6

බී.ජේ.පීය විභේදනයේ එක් පැත්තකටත්, කොංග්‍රසයද ඇතුළු ප්‍රගතිශීලී බලවේග තවත් පැත්තකටත් වෙන්වීමට ජාතිභේදවාදය පිළිබඳ ප්‍රශ්නයට අමතරව තවත් හේතුවක් ඇත. එනම් කොංග්‍රසය ප්‍රමුඛ බලවේග ආර්ථික ප්‍රතිපත්ති අතින් ප්‍රෝ පීපල් හෙවත් ජනතාවාදී වන අතර බී.ජේ.පීය ප්‍රෝ බිස්නස් හෙවත් ධනවාදී වීමයි. මේ නිසා දක්ෂිණාංශිකයන් පැරදවීම සඳහා කොංග්‍රසය සමඟ නියම් හෝ අනියම් සම්බන්ධයක් පැවැත්වීම ප්‍රගතිශීලීන්ට සනීපදායක වී තිබේ.

සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය දෙ ආකාරයකට සිදු වේ. එක්කෝ බී.ජේ.පීය හෝ ඔවුන්ගේ පූර්වගාමී බලවේග බලයට පත්වීම වැළැක්වීම සඳහා වාමාංශිකයන් සහ ප්‍රගතිශීලීන්ගෙන් සමන්විත වන්නා වූ -සාමාන්‍යයෙන් තුන්වන පෙරමුණ වශයෙන් හඳුනා ගන්නා- දේශපාලන සංරචකය ආණ්ඩුවට ඇතුළු නොවී කොංග්‍රස ආණ්ඩුවට බාහිර සහයක් ලබා දීම පළමු ආකෘතියයි. එනම් ඔවුන් ආණ්ඩුවේ තනතුරු නොගන්නා නමුත් පර්ලිමේන්තුවේ සුළුතර බලයක් ඇති ආණ්ඩුව වැටීමට නොදී ආරක්ෂා කර ගනී. 2004දී පැවැති මහ මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂ දෙක ඇතුළු තුන්වන පෙරමුණ සිදු කළේ එයයි. අනෙක් ආකාරය නම් ඉතා සුළුතර බලයක් සහිත තුන්වන පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීම සඳා කොංග්‍රසය විසින් ආණ්ඩුවේ පිටත සිට බාහිර සහයෝගය ලබා දීමයි. 1996දී එක්සත් පෙරමුණ පිහිටුවා දේව් ගවුඩා අගමැති ධුරයට පත්ව ආණ්ඩුව ගෙන ගියේද, ඉන් අනතුරුව ඉන්දර් කුමාර් ගුජ්රාල් අගමැති පදවියට පත්ව ආණ්ඩුව ගෙන ගියේත් දක්ෂිණාංශික බී.ජේ.පීයට ඉඩ නොදෙනු යන මෙම සටන් පාඨය යටතේය.

2014 අප්‍රේල්-මැයි මහ මැතිවරණයේදී කොංග්‍රසය පරදින ලකුණු තිබුණද තුන්වන පෙරමුණේ බාහිර හෝ අභ්‍යන්තර සහය ඇතුව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වනු ඇතැයි කොංග්‍රසයද, කොංග්‍රසයේ බාහිර සහය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීමට පුළුවන් වනු ඇතැයි වාමාංශිකයන් හා ප්‍රගතිශීලීන්ද ඇතුළු තුන්වන පෙරමුණේ සංරචකද කල්පනා කරන්නට ඇත්තේ මෙම පරිචය අනුව යමිනි. ඉන්දියානු දේශපාලනයේ නැගී එන තරුව සහ දූෂණ විරෝධී සටනේ නායක ආම් ආද්මි හෙවත් පොදු ජනයාගේ පක්ෂයේ අර්වින්ද් කේජ්රිවාල් පවා ප්‍රකාශ කළේ බී.ජේ.පීය බලයට පැමිණීම වැළැක්වීම සඳහා තුන්වන පෙරමුණේ ආණ්ඩුවක් සෑදීමට වුවද තමන් එකතුවීමට කැමැති බවයි.

නමුත් අවසානයේ සියළු දෙනාගේ සිහින බිඳී ගියේ තනි පක්ෂයක් වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය බලයක් සහිතව නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් බී.ජේ.පී ය බලයට පත්වීමෙනි.

සුදර්ශන ගුණවර්ධන 

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment