සෝනියා ගාන්ධි ෆැන්ටසිය

May 26th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

pdff

‛දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය කොළඹ රජය ලවා මිහිදන් කිරීමට සෝනියා ගාන්ධිට අවශ්‍ය විය…’

– සෑම් රාජප්පා

උපදෙස් ලබා ගැනීම සඳහා මේ වනවිට කොළඹ පැමිණ සිටින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට ලංකාවේ සංචාරයක් කිරීම සඳහා කරන ලද පුද්ගලික ආරාධනාවක් පිළිබඳ පණිවුඩය ඇයට ලබාදීම සඳහා ඇය සමඟ හමුවක් ඉල්ලුම් කර ඇත. කොංග්‍රස් සභාපතිනි සෝනියා ගාන්ධිගේ න්‍යාය පත්‍රය සඳහා රාජපක්ෂ යොදා ගැනීම වෙනුවෙන් ඔහුට කරුණාව දැක්වීමට දරනු ලබන උත්සාහය තුළින් ඉන්දියාව සිංහල බහුතරය සමඟ සමාන අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් කරමින් සිටින ලාංකේය දෙමළ ජනතාවගේ අභිප්‍රාය පාවා දී ඇත.

2008-09 කාලයේ දෙමළ පුරවැසියන්ට එරෙහිව ශ්‍රී ලංකාව දියත් කළ යුද්ධයේ තීරණාත්මක කාල වකවානුවේදී ඉන්දියාව විසින් ලංකා රජයට හමුදාමය, ද්‍රව්‍යමය සහ සදාචාරමය සහයෝගය පුද කරද්දී යූ.පී.ඒ. සන්ධානයේ වැදගත් පාර්ශ්වකරුවෙක් වන ඩී.එම්.කේ. පක්ෂය Dravida Munnetra Kazhagm ) නිෂ්ක්‍රීය ලෙස බලා සිටියේය. එහෙත් අප්‍රේල් මාසයේදී පැවැත්වූ ඡන්දයේදී ප්‍රාන්ත ආණ්ඩුවේ බලය ලබාගත් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය ( All India Anna Dravida Munnetra Kazhagm) සහ එහි නායිකා ජයලලිතා පෝක් සමුද්‍ර සන්ධියෙන් එහා පැත්තේ ජීවත් වන සහෝදර දෙමළ ජනයා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් තෝරාගෙන ඇත. 1948 දී ලංකාව නිදහස ලැබූ තැන් සිට මෙම දෙමළ ජනතාව ක්‍රමානුකූලව දෙවැනි පෙළ පුරවැසියන් පිරිසක් බවට පිරිහෙළනු ලැබ ඇත.

මෑතකදී සිදුකළ ලංකා සංචාරයකින් පසු බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ විදේශ අමාත්‍යවරුන් වන ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ බර්නාඩ් කුෂ්නර් මෙසේ ලියූහ. “දෙමළ ජීවිතවලට ලැබෙන්නේ හතරවන හෝ පස්වන පන්තියේ පුරවැසියන්ට හිමි සැලැකිල්ලකි. විදෙස් ප්‍රතිපත්තිය යන්නට කවර හෝ අර්ථයක් තිබේ නම් මේ වර්ගයේ අමානුෂිකකම් වැළැක්වීමට එය සමත් විය යුතුය.”

නිහඬ ප්‍රේක්ෂකයෙක් ලෙස සිටින චෙන්නායි නුවර විසින් සිදුකර තිබෙන මුල පිරීම ගැන රාජපක්ෂ කනගාටුවට පත්වී තිබේ. තමිල්නාඩු ප්‍රාන්ත සභාව අතීතයේ රාමාන්තපුරම් දිස්ත්‍රික්කයේ කොටසක්ව තිබී පසුව 1974 දී ඉන්දිරා ගාන්ධි විසින් අනීතික ලෙස ලංකාවට භාර දුන් කච්චතිව් දූපත යළි පවරා ගත යුතු බවට යෝජනාවක් සම්මත කළ විටදී සහ රාජපක්ෂට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින ලෙස මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටි කල්හි කොළඹ මේ සියල්ල විදේශ කටයුතු සම්බන්ධයෙන් නෛතික ස්ථිතියක් නැති හුදු ප්‍රාන්ත මහ ඇමැතිවරයෙක්ගේ බහුභූතයක් ලෙස සලකා බැහැර කළේය.

කච්චතිව් දූපත ලංකාවට ප්‍රදානය කරද්දී සහ තමිල්නාඩුවේ ධීවරයෝ ලංකා නාවික හමුදාව විසින් මැස්සන් මරන්නා සේ වෙඩි තබා මරද්දී තමිල්නාඩුවේ මහජන හැඟීම් ගැන එතරම් තැකීමක් නොමැතිව වැඩ කරමින් සිටි අපගේ විදේශ කටයුතු අමාත්‍යංශය පවා ජයලලිතා මහ ඇමති ධූරයට පත්වනු ඇත යන උපකල්පනය මත සැලකිය යුතු වෙනසකට භාජනය වී තිබෙනවා වැන්න. විදේශ ලේකම් නිරූපමා රාඕ නව දිල්ලියේ සංචාරයකට පැමිණි ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් පිරිසකට පසුගියදා මෙසේ පැවසුවාය. “ඉන්දීය ආණ්ඩුවට ලංකාවේ දෙමළ ජනයාට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් තමිල්නාඩු රජය තමිල්නාඩුවේ දේශපාලකයින් සහ තමිල්නාඩු ජනතාව විසින් ප්‍රකාශ කරන හැඟීම්වලට අසංවේදීව ක්‍රියා කිරීම අපහසුය.”

චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කළ ‛ශ්‍රී ලංකාවේ ඝාතන භූමි-Sri Lanka’s Killing Fields’ වාර්තා වැඩසටහන ජාතික රූපවාහිනී නාලිකාවක් විසින් පසුගිය සතියේ පිට පිට දින තුනක් පුරා විකාශය කරන ලද අතර එහිදී පෙන්වන ලද නිරුවත් දෙමළ සිරකරුවන් හිසට වෙඩි තබා මරා දමන දර්ශන, දූෂණය කොට මරා දමන ලද ගැහැනුන්ගේ මළ සිරුරු ට්‍රක් රථයකට පටවන දර්ශන, ‛යුද මුක්ත කලාපයේ’ පිහිටි රෝහලකට ෂෙල් ප්‍රහාර එල්ල කිරීමෙන් මොහොතක පසු දර්ශන සහ කෲර සිවිල් යුද්ධයේ අවසාන කාලය තුළ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව විසින් සිදුකරන ලද ම්ලේච්ඡ ක්‍රියාවන්හි දර්ශන මහජනයා තුළ කම්පනයක් සහ මහත් පිළිකුලක් ඇති කොට තිබේ.

මේ දර්ශනවල අව්‍යාජත්වය අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්, වීඩියෝ විශ්ලේෂකයෙක්, ගිනි අවි සම්බන්ධ සාක්ෂි පිළිබඳ විශේෂඥයෙක් සහ ජාත්‍යන්තර කීර්තිය සහිත අධිකරණ වෛද්‍ය වීඩියෝ විශේෂඥයෙක් විසින් තහවුරු කොට ඇත. චැනල් 4 ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති විධායක ඩොරති බර්න් මෙම වැඩසටහන “ඔබේ මනස තුළ වසර ගණනාවකට බලපාන ආකාරයේ කම්පනයක් ඇති කළ හැකි වර්ගයේ දර්ශන” සහිත එකක් වන නිසා එය නැරඹීමේදී ප්‍රවේශම් වන ලෙස අවවාද කොට ඇත. ජයලලිතාට අයත් ජයා ටීවී නාලිකාව ඔස්සේ මේ වැඩසටහන දෙමළ උපසිරැසි සහිතව විකාශය කිරීමට ඉදිරි දින කිහිපය තුළදී සැලසුම් කර තිබේ. දැනටමත් ලංකාවේ ජනසංහාරයට ඉන්දියාව සම්මාදම් වීම සම්බන්ධයෙන් තමිල්නාඩුව තුළ විරෝධය සහ කෝපය කැකෑරෙමින් තිබේ.

චැනල් 4 වාර්තා වැඩසටහනේ නිරූපණය වූ මිලේච්ඡත්වයට දිල්ලිය සම්මාදම් වූ ආකාරය පසුපස සැඟවුණු කතාවක් ඇත. ඉන්දියාව 2005 ජනාධිපතිවරණයේදී එකල ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිරූපමා රාඕ සමීප සබඳතා ගොඩනගාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය අපේක්ෂා කළේය. එහෙත් එම මැතිවරණයේදී ඉතාම කුඩා ඡන්ද පරතරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ ජයග්‍රහණය කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කැඳවීම මත දෙමළ ජනතාව එම මැතිවරණය වර්ජනය නොකළා නම් වික්‍රමසිංහ ඒ ඡන්දය පහසුවෙන් ජය ගන්නට ඉඩ තිබුණි. රාජපක්ෂ නව දිල්ලිය සමඟ මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට බලයට පත්වූවාට පසු උත්සාහ කළ නමුත් ඉන්දීය දේශපාලන නායකත්වය දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කළේය.

මේ හේතුව නිසා ඔහු තමන්ගේ රටේ වාර්ගික අර්බුදය විසඳීමේදී තමිල්නාඩුවේ සිවිල් සමාජය මැදිහත් කරගැනීමේ වැදගත්කම අවබෝධ කර ගත්තේය. රටවල් දෙක අතර පාලමක් ලෙස ක්‍රියා කළ හැකි කණ්ඩායමක් තමිල්නාඩුව තුළින් සොයා ගැනීමට ඔහුගේ නියෝජිතයෝ උත්සුක වූහ. කොළඹ විසින් දරන ලද සෑහෙන ප්‍රමාණයක පරිශ්‍රමයකින් පසු සිව්දෙනෙකුගෙන් සමන්විත එවැනි කණ්ඩායමක් ගොඩනගා ගැනීමට පුළුවන්කම ලැබුණි. ඉන්දීය පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙක් වූත් තෙරේසා මව්තුමියගේ සහ ජයප්‍රකාශ් නාරායන්ගේ සමීපතමයෙකු වූ එම්.ජී. දේවසහායම් කැඳවුම්කරු ලෙස ක්‍රියා කළ මෙම කණ්ඩායම තමිල්නාඩු ආණ්ඩුවේ හිටපු ස්වදේශ ලේකම්වරයෙකු වූත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ලේකම්වරයෙකු වූත් එස්.පී. ඇම්බ්‍රෝස්, දිනපතා ජාතික පුවත්පතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ හිටපු හමුදා නිලධරයෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත වූයේය. 2007 මැයි 19 දින චෙන්නායිහිදී මුල්ම වරට රැස්වූ අතර ඊට ජනාධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු ද සහභාගි වූයේය. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන දේශපාලන විසඳුමක් සහිත උපක්‍රමික ප්‍රවේශයක් අනුගමනය නොකරන්නේ නම් එක් පාර්ශ්වයක හුදු යුදමය ජයග්‍රහණයක් ජනවාර්ගික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොසපයනු ඇති බවට මේ රැස්වීමේදී සියල්ලෝ ඒකමතිකව එකඟ වූහ.

2007 ජූලි 17 දින මේ කණ්ඩායම මුල්ම වරට ජනාධිපති රාජපක්ෂව කොළඹදී මුණ ගැසුණේය. මේ රැස්වීමට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සහකාර ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ උපදේශක ප්‍රනාන්දු සහභාගී වූහ. පැය දෙකක් පමණ ඇදී ගිය මේ සාකච්ඡාවේදී ජනාධිපති රාජපක්ෂ තමාට එරෙහි ජාත්‍යන්තර විවේචන ගැන තමා අනවශ්‍ය ලෙස කලබල නොවන නමුත් ඉන්දියාවේ මතය ගැන ඉතාමත් සංවේදී වන බව හැඟවූයේය. දේවසහායම් විසින් ප්‍රකාශිත කණ්ඩායමේ මතය වූයේ ලංකාවේ ප්‍රශ්නයට විසඳුම ලංකාව තුළින්ම මතුව ආ යුතු බවත් ඒ විසඳුම ජාත්‍යන්තර ප්‍රජාවේ – විශේෂයෙන්ම ඉන්දියාවේ ආශිර්වාදය ලද යුතු බවත්ය. මීට රාජපක්ෂ සම්පූර්ණයෙන්ම එකඟ වූයේය.

jjමෙම තමිල්නාඩු කණ්ඩායම සමඟ පැවැත්වූ හමුවීම් දෙකකට පසු රාජපක්ෂ මහජන රැස්වීමක දී මෙසේ කීවේය. “උතුරු නැගෙනහිර ජනයාගේ සැබෑ ප්‍රශ්න ගැන සංවේදී වීමත් ඒවාට පිළිතුරු සැපයීමත් අප විසින් කළ යුතුයි” උතුරු නැගෙනහිර යනු දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජභූමියයි.

දිග කතාවක් කෙටියෙන් කියන්නේ නම්, තමිල්නාඩු සිවිල් සමාජ කණ්ඩායම සහ ලංකා රජයේ නිලධාරීන් සහ ඇමතිවරුන් අතර හමුවීම් මාලාවක් සිදුවූ අතර ලංකාවේත් චෙන්නායිහිදීත් පැවැති මේ හමුවීම්වලදී වාර්ගික අර්බුදය විසඳිය යුතු ආකාරය ගැන විවිධ පියවර සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වූයේය. 2008 මාර්තු 25 දින ජනාධිපති රාජපක්ෂ සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුණි. ඊට අනුගාමීව ලංකාවේ ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ ඇමති ඩිව් ගුණසේකර, ජාතික භාෂා කොමිසමේ සභාපති රාජා කොල්ලුරේ සහ තවත් අය සමඟ දේශපාලන විසඳුම සහ විශ්වාසය ගොඩනැංවිය හැකි යාන්ත්‍රණයන් ගැන සාකච්ඡා සිදු කරන ලදී. ක්‍රියාකාරී න්‍යාය පත්‍රයක් මේ අනුව සැකසිණ.

තමිල්නාඩු කණ්ඩායමේ මේ ක්‍රියාකාරීත්වය ගැන ආරංචි වූ කල්හි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ඒ. මානික්කම් දේවසහායම් සමඟ හමුවක් සඳහා ඉල්ලුම් කළේය. මානික්කම්ගේ කාර්යාලයට යාබදව පිහිටි හෝටලයේ මේ සාකච්ඡාව පස්වරු 5.00 ට පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලදී.

මානික්කම් මේ රැස්වීමට පැමිණියේ නැත. පසුව මහකොමසාරිස් කාර්යාලය ‛අවසර නොලත්’ පුද්ගලයින් සමඟ සාම සාකච්ඡා පැවැත්වීම ගැන ලංකා ජනාධිපති කණ්ඩායමට තරයේ අවවාද කළේය. ඉන්දියාවේ පංචායත් රාජ්‍ය ක්‍රමය ලංකාවේ අර්බුදයට විසඳුමක් ලෙස යෝජනා කිරීමට උත්සාහ කරමින් සිටි තමිල්නාඩුවේ කොංග්‍රස් පාක්ෂික ලෝක් සභා මන්ත්‍රීවරයෙක් සිවිල් සමාජයේ උත්සාහය ගැන සෝනියා ගාන්ධිට දැනුම් දුන්නාය.

නව දිල්ලියේ මේ වර්ධනයන් ගැන නොදත් දේවසහායම් 2008 අප්‍රේල් 1 දා අගමැති මන්මෝහන් සිංගේ ප්‍රධාන ලේකම් ධුරය හෙබවූ සිය පැරණි සගයෙක් ද වන ටී.කේ.ඒ. නායිර්ට ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාව පිළිබඳ සිහිකැඳවීමක් කරමින් මෙසේ ලීවේය. “යුදමය විසඳුමක් නැති බව අපි තරයේ විශ්වාස කරන්නේමු. අවශ්‍ය කර තිබෙන්නේ එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ දේශපාලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ වෙනත් කරුණු සම්බන්ධ විසඳුමකි. මේ විසඳුමට රටේ සියලු ජාතික ප්‍රජාවන් – විශේෂයෙන් සුළු ජාතික ප්‍රජාවන් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබිය යුතුය.”

තමිල්නාඩු කණ්ඩායම විසින් අත්පත් කරගත් ප්‍රගතිය සහ සම්පාදනය කළ ක්‍රියාකාරී සැලැස්ම ගැන දේවසහායම් එහිදී විස්තර කළේය. මේ ලිපිය මගින් ඔහු ඉන්දීය රජය ලංකාවට ආයුධ සහ මිලිටරි පුහුණු සැසි පවත්වන අතර සාමකාමී සාකච්ඡාමය විසඳුමක් ඇති කරගැනීමෙහිලා කිසිදු පියවරක් නොගැනීම ගැන සිය කණස්සල්ල පළ කලේය. දීර්ඝ කාලීනව දිග්ගැස්සෙමින් තිබූ මානුෂික අර්බුදය විසඳාලීම සඳහා තමිල්නාඩු සිවිල් සමාජ කණ්ඩායම විසින් සිදු කළ මුල පිරීමට සහය දෙන ලෙස ඔහු ලිපිය මගින් ඉල්ලා සිටියේය.

මේ කණ්ඩායමේ මෙම සාර්ථක මුල පිරීමට පසුවය ඉන්දියාව සිය පීල්ල මාරු කොට වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා නොදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූලඝාතනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට කොළ එළියක් දැල්වීමට ඉන්දීය රජය ක්‍රියා කළේ. කොළඹ තොරතුරු මූලාශ්‍රවලට අනුව එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ බුද්ධි අංශ ප්‍රධානී පොට්ටු අම්මාන් විනාශ කිරීමට සෝනියා ගාන්ධිට අවශ්‍ය වූ අතර සිය අපේක්ෂාව සාක්ෂාත් කරගැනීම සඳහා ලංකාවට ඇවැසි සම්පූර්ණ මිලිටරි සහයෝගය ලබාදීමට ඇය ප්‍රතිඥා දී ඇත.

එවකට ජාතික ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායනන්, විදේශ ලේකම් ශිවශංකර් මෙනන් ඇතුළු අගමැතිගේ කාර්යාලය පාලනය කරන පිරිස සෝනියා ගාන්ධිගේ අවශ්‍යතාවය ජාතික අවශ්‍යතාවට වඩා ඉහළින් තැබූ අතර චැනල් 4 වැඩසටහන මගින් නිරූපිත ලංකාවේ කෲර ජනසංහාරයට සක්‍රීයව සහයෝගය දැක්වූයේය. මුළු ලෝකයම වාර්තා වැඩසටහන මගින් දුටු දේ ඉදිරියේ කැකෑරෙද්දී ඉන්දීය රජය මුනිවත රකිමින් සිටීම මේ ක්‍රියාකාරී සහයෝගයට සාක්ෂියකි.

යුද අපරාධ සහ ජනසංහාරය සම්බන්ධයෙන් රාජපක්ෂ සහ සමාගම හේග්හි ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට පැමිණවීමෙහි විශාල සම්භාවිතාවයක් තිබේ. මෙබදු අවස්ථාවක එම අපරාධ සම්බන්ධ සිය වගකීමෙන් නව දිල්ලියට පලා යා නොහැක. සීනුව සෙමින් නාද වෙමින් පවතී∎

සෑම් රාජප්පා විසින් රචිත Sonia Gandhi wanted Colombo to decimate LTTE before finalisng a political solution නමැති ලිපියේ සිංහල පරිවර්තනය.

ඉංග්‍රීසි ලිපිය උපුටා ගැනීම – DBS Jeyaraj  වෙබ් අඩවියෙනි

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment