මිනිස් සමාජය,සිවිල් සමාජය සහ දේශපාලන සමාජය

May 28th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

[ප්‍රබෝධ චින්තක රත්නායක]

මතුපිටින් බැලූ විට ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අනුව වරදින සියලු දේටම හේතුව දේශපාලකයාය. දේශපාලකයින්ට අනුව සාමාන්‍ය ජනතාව බුද්ධිමත්ය, වැඩ වරදින්නේ නිලධාරීන් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසාය. සිවිල් සමාජයට අනුව හොඳ ජනතාවක් සිටින ජනතාව නරක් කරන්නේ දේශපාලකයින්ය.  ප්‍රශ්නය ඇත්තේ නීතිය ගැන, යහපාලනය ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔවුන් දැනුවත් නොවීමයි. ඔවුන්ව දැනුවත් කළොත් ප්‍රශ්න විසඳේ. තවත් ලෙසකින් කිව්වොත් ජනතාව අතින් සිවිල් සමාජය සහ දේශපාලකයන් තදින් විවේචනය වූවද දේශපාලකයන් සහ සිවිල් සමාජය කිසිදු විටෙක ජනතාව තදින් විවේචනය නොකරයි.

මෙසේ වෙන්නේ ඇයි? ලංකාවේදී දේශපාලනයක් හෝ සිවිල් සමාජය යනු සාමාන්‍ය ජනතාව මිස අන් කිසිවෙකු නොවීමයි.
සම්භාව්‍ය අර්ථයෙන් ගත් විට දේශපාලනය කිරීම යනු කුමක්ද? සිවිල් සමාජ කටයුතු මොනවාද  මේවා එදිනෙදා දෙයක් කරගෙන ජීවත්වීමෙන් වෙනස් වන්නේ කෙසේද යන්න ඉරි ගසා පෙන්විය හැකි වුවත් ලංකාවේ මේ දෙක තුනේම වෙනස මැකී ගොස් ඇත.

සමබිම පළකරන රයිට්ස් නව් – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය ලෙස අප පසුගිය කාලයේ උත්සාහ දැරුවේ මෙම සාමාන්‍ය ජනතාව හමුවේ බොඳවී යන සිවිල් සමාජයේ කාර්යභාරය නැවත ඉස්මතු කර ගැනීමයි. මෙහිදී අප විවිධ ක්‍ෂේත්‍රයන්හි වැඩ කරමින් සිවිල් සමාජ අර්ථයෙන් ජනතාව සංවිධානය කිරීමට උත්සාහ දැරීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට අප කෙරෙහි විශ්වාසය තබන පිරිසක් ගොඩනැගී ඇති අතර ඔවුන් සමඟ විධිමත් ලෙස සංවිධානගත වන අතරම අපගේ මීළඟ අදියර වන්නේ සමබිම මගින් ආමන්ත්‍රණය කරන සමාජ වපසරිය තවත් පුළුල් කර ගැනීමයි.

සමාන්‍ය ජනතාව හමුවේ සිවිල් සමාජය සහ දේශපාලන සමාජය පරාජය වී ඇතැයි මුලින් සඳහන් කළේ මේ වන විට ලංකාවේ සිදුවන්නේ සිවිල් සමාජයේ හෝ දේශපාලන සමාජයේ දැනුමෙන් සහ සංකල්පවලින් සාමාන්‍ය ජනතාව සංවිධානගත කරනවා වෙනුවට සාමාන්‍ය ජනතාවගේ දැනුම සහ ව්‍යවහාරය අනුව සිවිල් සමාජය සහ දේශපාලන සමාජය සිය සංවිධාන ආකෘතිය වෙනස් කොට ගෙන තිබීමය. පසුගිය කාලයේ ජනතාව ජාතිවාදී හෝ යුදවාදී නිසා සිවිල් සමාජයද ජාතිවාදී සහ යුදවාදී විය. දේශපාලන පක්ෂද ජාතිවාදී සහ යුදවාදී විය. අප ක්‍රියාත්මක වූයේ මෙම තත්වයට එරෙහිවය. දැන් අප මෙම එකට වෙලී පවතින දේශපාලන සමාජය, සිවිල් සමාජය සහ මිනිස් සමාජය ගලවා වෙන්කර ඔවුනොවුන්ගේ කාර්යභාරය නැවත මතක් කර දීමේ අභියෝගයට මුහුණ දී සිටිමු.

මෙහිදී සිවිල් සමාජය යනු කුමක්ද?
‛වර්තමාන දේශපාලන න්‍යායික සාකච්ඡාවන් තුළ සිවිල් සමාජය යන්නෙන් අදහස් කරන්නේ, පුරවැසි ක්‍රියාකාරීත්වය සඳහා රාජ්‍යයේ පාලනය කිරීමෙන් තොරව, රාජ්‍යට පරිබාහිරව පවතින, සමාජ ස්වායත්තතාවය සඳහා වූ අවකාශයයි. එය පුරවැසි ස්වාධීනත්වය සහ පුරවැසියන්ගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය සඳහා ඇති සමාජමය අවකාශය යනුවෙන්ද විග්‍රහ කළ හැක’
සිවිල් සමාජය කුමක්ද?    කාගේද? කුමටද? – ජයදේව උයන්ගොඩ – පිටුව 03

capitalism-socialismරාජ්‍යයෙන් පරිබාහිර ස්වාධීන පුරවැසි ක්‍රියාකාරිත්වය යන්න අප අර්ථගන්වන්නේ කැමති කැමැති දෙයක් කිරීමේ ලිබරල් නිදහස ලෙස නොව  රටට මේ මොහොතේ අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා ක්‍රියාකාරීවන සිවිල් සමාජයක් ලෙසය. මෙහිදී දේශපාලන පක්ෂයක කාර්යභාරය සහ සිවිල් සමාජයේ කාර්යභාරය අතර වෙනස පිළිබඳ අප සෑම විටෙකම සවිඥානික වන්නෙමු.

‛දේශපාලන පරිවර්තනයේ කාර්ය ඉලක්ක කොටගත හැක්කේ දේශපාලන බලය සහ රාජ්‍යය පිළිබඳ ප්‍රශ්නයට අත ගසන සහ ඒ වෙනුවෙන් මහජනයා සංවිධානය කරන දේශපාලන බලවේගවලටය.’
සිවිල් සමාජය කුමක්ද?    කාගේද? කුමටද? – ජයදේව උයන්ගොඩ – 80 පිටුව

එහෙත් ජාතිවාදය හමුවේ දුර්වලවී ඇති දේශපාලන බලවේග නැවත ජාතිවාදයට එරෙහිව බලමුළුගැනීම පහසු කාර්යභාරයක් නොවේ. නිදහසේ වේදිකාව, විපක්ෂයේ විරෝධය, සමගි බලවේගය වැනි දේශපාලන බලවේගයන් සමඟ එක්ව අප ක්‍රියාත්මක වන්නේ මෙම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය වෙනුවෙනි. එහිදී සිවිල් සමාජයට ඇති කාර්යභාරය සුළු පටු නොවේ.

යුරෝපයේ රාජ්‍යත්වය මත පදනම් වූ රාජ්‍ය බිඳවැටී බිහිවූ ව්‍යවස්ථානූකූල රාජ්‍ය තුළ සිවිල් සමාජය සහ රාජ්‍යය එකක් ලෙස සැලකූහ. එහෙත් ධනවාදී ආර්ථික සහ සමාජ ක්‍රමය වර්ධනය වෙත්ම සිවිල් සමාජය ධනේශ්වර සමාජය ලෙස අර්ථ ගැන්වින. එහෙත් මෑත කාලීනව මේ සංකල්පයන් වෙනස් වී ඇති අතර තවමත් මේ පරණ ස්ථාවරයන්වල සිට සිවිල් සමාජයට එන විවේචනයන්ගේ අඩුවක් නොමැත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායේදී ආගම රාජ්‍යයෙන් වෙන් කිරීම පිළිබඳ  ගැටලුවද ලංකාවට ආවේ වැරදි ආකෘතියකිනි.

ග්‍රාම්ස්චිට අනුව…
සිවිල් සමාජය යනු එක අතකින් පාලක පන්තියේ බලය පවත්වා ගැනීමට අවශ්‍ය, පාලිත පන්තීන්ගේ කැමැත්ත සහ අවනතභාවය  නිෂ්පාදනය කරන පරිමණ්ඩලයයි. අනෙක් අතට, එය වනාහි, පවත්නා නායක ආධිපත්‍යය බිඳ දමා, අලුත් විකල්ප නායක ආධිපත්‍යයක් සඳහා අවශ්‍ය කැමැත්ත සහ අවනතභාවය නිර්මාණය කිරීමේ අවකාශය සහ පරිමණ්ඩලය ද වේ.
සිවිල් සමාජය කුමක්ද?    කාගේද? කුමටද? – ජයදේව උයන්ගොඩ- 36 පිටුව

ඒ අනුව පවත්නා ජාතිවාදී රාජ්‍ය ක්‍රමයට විකල්පව නව  ආධිපත්‍යයක් ගොඩනැගීමට සිවිල් සමාජයට හැකි අතර බොහෝ වාමංශිකයන්ට තවමත් මෙය තේරුම් ගත නොහැක. සංවිධානය සහ සමාජය සංවිධානය කිරීම එකක් නොව දෙකකි. වාමාංශිකයින් අතර පවතින පොදු පිළිගැනීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් උදව් කරන්නේ ධනේශ්වරයට බවයි. එසේම වාමාංශිකයන් කල්පනා කරන්නේ ජනතාව මර්දනය කිරීම, නිදහස නැති කිරීම ධනවාදයේ අත්‍යාවශ්‍ය කාරණයක් බවයි. එහෙත් එයට වෙනස්ව ධනවාදයට සැබැවින්ම අවශ්‍ය වන්නේ මිනිසුන් ඇතිතරම් නිදහස් කිරීමයි. ධනවාදයෙන් පෙරළා මිනිසුන්ට ලබා දී ඇත්තේ ඇති තරම් නිදහසකි. වාමාංශික ව්‍යාපාර සමඟ මිනිසුන් එකතු නොවන්නේ ඒ නිසාය. මන්දයත් වාමාංශික ව්‍යාපාරය ශික්ෂණ ව්‍යාපාරයක් නිසාය.

එසේ ධනාවාදය මගින් මිනිසුන්ට නිදහස ලබා දෙනවා නම් ලංකාවේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, හදසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි මර්දන නීති ක්‍රියාත්මක වන්නේ ඇයි? ඒවාට එරෙහි ක්‍රියාත්මක වීම ධනවාදයට සහය දීමක්ද? අපගේ ක්‍රියාකාරීත්වය විසින් ඉදිරියේදී මෙම ගැටලුවලට න්‍යාය සම්පාදනය කරනු ඇත.

එතෙක් සිවිල් සමාජ කාර්යභාරය අපට මෙසේ තේරුම් කර දිය හැක.
‛සිවිල් සමාජය යන්න අප තේ්රුම් ගත යුත්තේ දේශපාලන පරිවර්තනයේ උපකරණයක්ය යන පටු අර්ථයෙන් නොව, දේශපාලන පරිවර්තනයේ කතෘකයන්ගේ කාර්යයට ඉඩ සපයන සමාජ-අවකාශයක් ලෙසයි.’
සිවිල් සමාජය කුමක්ද?    කාගේද? කුමටද? – ජයදේව උයන්ගොඩ – 82 පිටුව

මේ අවුල් ලිහා ගන්නා තෙක් දේශපාලනය යනු ඩීල් දමා රාජ්‍ය බලය ලබා ගැනීම යැයි සිතන අයත්, සිවිල් සමාජය යනු සල්ලි කීයක් හෝ උපයා ගැනීමේ     මාර්ගයක් ලෙස දකින අයත්, සාමාන්‍ය ජීවිතය යනු පාරිභෝජන භාණ්ඩ ගොඩක් ගොඩ ගසා ගැනීම යයි සිතන අයත් යන තුන් පාර්ශ්වයම අප අතින් විවේචනයට ලක් වනු ඇත∎

Recent Posts

Tags: , , , , ,

Leave a Comment