අසාධාරණය හමුවේ නොබියව පෙනී සිටීමෙන් ජයග්‍රහණ ලැබිය හැකි යෑයි නවගත්තේගම සුසිලා ගුරු මහත්මිය සමස්‌ත ගුරු පරපුරටම ආදර්ශයක්‌ ලබා දුන්නා

May 29th, 2014 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS

අහිංසා ශිෂ්‍යත්ව අරමුදල මාධ්‍ය හමුවේදී ලංකා ගුරු සංගම් ලේකම් කියයි

නිලන්ත මදුරාවල

අසාධාරණයන් ඉදිරියේ නිර්භීතව පෙනී සිටීමෙන් ජයග්‍රහණ ලබාගත හැකි බවට නවගත්තේගම ප්‍රියානි සුසිලා ගුරු මහත්මිය සමස්‌ත ගුරු පරපුරටම ආදර්ශයක්‌ දුන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් නවගත්තේගම සිද්ධියට සම්බන්ධ ගුරු මහත්මියගේ සහභාගිත්වයෙන් ගුරු වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදීය. වයඹ පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණගස්‌සවන ලද මෙම ගුරු මහත්මියට වන්දි වශයෙන් ලැබුණු රුපියල් තුන්ලක්‍ෂයක මුදලින් ආරම්භ කර ඇති “අහිංසා ශිෂ්‍යාධාර අරමුදල” සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

වන්දි ලෙස ලැබුණු රුපියල් තුන් ලක්‍ෂයක මුදල ලංකා ගුරු සංගමයට පරිත්‍යාග කිරීමට ඇය සූදානම් වූ නමුත් සංගමය එය ප්‍රතික්‌ෂේප කර ශිෂ්‍යත්ව අරමුදලක්‌ ආරම්භ කිරීමේ එකඟතාවකට පැමිණි බව එම සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

මේ සඳහා නියෝජිතයන් එකොළොස්‌ දෙනකුගෙන් යුත් කමිටුවක්‌ පත්කළා. කමිටුවෙන් ගත් තීරණය අනුවයි අරමුදල ආරම්භ කළේ. හිංසනයට ලක්‌වන ගුරුවරුන්ට උපකාර කිරීම හා දක්‌ෂ, අසරණ දරුවන්ට ශිෂ්‍යත්ව පිsරිනැමීම සඳහා වන එම අරමුදල අහිංසා ශිෂ්‍යාධාර අරමුදල ලෙස නම් කළා යෑයිද ස්‌ටාලින් මහතා සඳහන් කළේය.

සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි – දණගස්‌වන ලද්දේ සමස්‌ත ගුරු පරපුරම බව අප මතක තබාගත යුතුයි. ප්‍රියානි ගුරු මහත්මිය තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව අධිකරණයට යන විටත් දේශපාලකයාගේ ගෝල බාලයන් අධිකරණය අවට සැරි සරමින් පහත් අන්දමින් හැසිරුණා. ඔවුන්ගේ මැර බලය නගරය පුරාම අපි දැක්‌කා. වෘත්තීය සමිති නායකයන්ට ඒ මැර පිරිසෙන් දැඩි තර්ජනයක්‌ එල්ල වූ බව කිව යුතුයි. අධිකරණයේ නඩුව විභාගයට ගන්නා දිනවල අපි දිවා ආහාරය ගත්තේ කිලෝමීටර් ගණනක්‌ දුරින් පිහිටි නිවසකින්. ඒ තරමටම ප්‍රදේශයේ මැර බලය රජ වුණා. නමුත් අවසානයේ යුක්‌තිය ජයග්‍රහණය කළා.

ප්‍රියානි සුසිලා හේරත් ගුරු මහත්මිය – ඒ සිද්ධියෙන් වන්දි මුදලක්‌ ලැබීමට වඩා මට වැදගත් වූයේ සාධාරණය, යුක්‌තිය රටට හෙළිදරව් වීමයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විඡේසූරිය මහතා – වර්තමානයේදී වෘත්තීය අභිමානය රැකගෙන කටයුතු කිරීමේ ගැටලුවක්‌ තිබෙනවා. කෙසේ නමුත් හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන විට අසාධාරණයන් ඉදිරියේ ජයග්‍රහණ ලබාගත හැකි බව මෙම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. අසාධාරණයන් ඉදිරියේ නිහඬව සිටීමත් යුක්‌ති සහගත නැහැ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා – මේ නඩු තීන්දුව නිසා අධිකරණය ස්‌වාධීනයි කියන මිථ්‍යාවක පැටලිය යුතු නැහැ. රටේ ස්‌වභාවික යුක්‌තිය කෙතරම් පිරිහී තිබේද යන්න පිළිබඳ ජනතාවට හොඳ අවබෝධයක්‌ තිබෙනවා.

හිටපු විභාග කොමසාරිස්‌ ජනරාල් ඒ. එම්. ආර්. බී. අමරකෝන් මහතා ඇතුළු ගුරු වෘත්තීය සංගම් නායකයෝද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවියෙනි.

www.divaina.com

nll

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment