මෝදිගේ ඇ‍ගේ එල්ලී ගොඩ යන්නේ කවුද?

May 30th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

logo-poli1නරේන්ද්‍ර මාරුව මහේන්ද්‍රට කොහොමද? – 2 කොටස

[සුදර්ශන ගුණවර්ධන]

ඉන්දියානු දේශපාලන කතිකාවට අනුව කොංග‍්‍රස් පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ දෙකද ඇතුළු වාමාංශික පක්ෂ සෙකියුලර් හෙවත් කිසිම ආගමක් හෝ ඇදහිල්ලක් වෙනුවෙන් පෙනී නොසිටින අතර එහි ප‍්‍රතිපක්ෂය වන බී.ජේ.පීය හින්දුත්ව පක්ෂයක් වන අතර එබැවින් එය කොමියුනලිස්ට් හෙවත් ජාතිභේදවාදීය. කොංග‍්‍රස් පක්ෂයට තනි පක්ෂයක් ලෙස බලයට පත්වීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ලබාගත නොහැකි බැවින් මැතිවරණයට පෙර සහ මැතිවරණයෙන් පසු අනෙකුත් පක්ෂද සමග එකතු වී සභාගයක් ගොඩනගා ගනී. එම සභාගයේ නම යූ.පී.ඒ හෙවත් එක්සත් ජනතා සන්ධානයයි. මෙම සන්ධානයට එක්වන වාමාංශික හෝ ප‍්‍රාදේශීය පක්ෂ මැජික් බලයකින් මෙන් සෙකියුලර් පක්ෂ බවට පත්වේ. බී.ජේ.පීයටද තනිවම බලයට පත්වීමට නොහැකි හෙයින් ඔවුන් විසින්ද සන්ධානයක් ගොඩනගා ගත් අතර එහි නම එන්.ඞී.ඒ. හෙවත් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයයි. මෙම සන්ධානයට එක්වන පක්ෂද බී.ජේ.පීයේ අැගේ හැපීම නිසා ඉබේම කොමියුනලිස්ට් බවට පත්වේ. (2004දී ශ‍්‍රී.ල.නි.ප. සහ ජ.වි.පෙ. එකතුව ගොඩනගා, අදත් රට පාලනය කරන සන්ධානයේ නම යූ.පී.එෆ්.ඒ. හෙවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. අද ජනතා විමුක්ති පෙරමුණ මහන්සි වන්නේ එදා තමන් විසින්ම ගොඩ නැගූ මෙකී යූ.පී.එෆ්.ඒ. ආණ්ඩුව සහ ඒ ඔස්සේ තමන් විසින් බලයට පත් කළ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජනාධිපති පරාජය කිරීමටය.)

Mahinda_Modi_1අතෙකින් හින්දුත්ව අතෙකින් සංවර්ධනය:
කෙසේ වුවද 2014 මැතිවරණයට බී.ජේ.පීය ඉදිරිපත් වන්නේ ඉන්දියාව සංවර්ධනය කරන බවට ශපථ කරමිනි. ඔවුන්ගේ විරුද්ධවාදීන්ට අනුව බී.ජේ.පීය එන්නේ තම හින්දුත්ව වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් සෙකියුලර් ඉන්දියාව නමැති අදහස විනාශ කිරීමටය. මේ නිසා ඉන්දියාවේ වාමාංශිකයන්ට සහ ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ට මුහුණදීමට සිදුවූයේ විශාල ඇබැද්දියකටය. කොංග‍්‍රස් ආණ්ඩුවේ දූෂණ, වංචා සහ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් එම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට නොහැකි අතර, එවන් අවස්ථාවල කෝකටත් තෛලය මෙන් තම සහය ප‍්‍රදානය කිරීම පිණිස පිහිටට සිටි කොමියුනිස්ට් පක්ෂ දෙක ඇතුළු තුන්වන පෙරමුණද තවදුරටත් විකල්පයක් නොවේ. පළමුව අන්නා හසාරේගේ නායකත්වයෙන් යුත් දූෂණ විරෝධී ව්‍යාපාරයත්, අනතුරුව පොදු ජනයාගේ පක්ෂය හෙවත් ආම් ආද්මී පක්ෂය විසින් නැගූ දූෂණ විරෝධී රැල්ලෙනුත් අනතුරුව කොංග‍්‍රසය වෙනුවෙන් කථා කිරීමට ඉදිරිපත් වීම දේශපාලනික සිය දිවි නසා ගැනීමකි. නමුත් අනෙක් පැත්තෙන් නැග ගෙන එන බී.ජේ.පී යට ඉඩදීමද කළ නොහැක්කකි. එබැවින් ඔවුන්ට සිදුවූයේ ආඳා මාළු ඉරටෙන් කෑමටය. වෙනත් වචනයකින් කිවහොත් 1994දී සමහර වාමාංශිකයන් ‘යූ.ඇන්.පී ය පරදවමු; පොදු පෙරමුණට ඉඩ නොදෙමු; සමාජවාදී පාලනයක් උදෙසා වමේ බලය ගොඩ නගමු’ යනුවෙන් කියමින් හිඳ අන්තිමේදී චන්ද්‍රිකාව නැග එන විට ‘පොදු පෙරමුණට ඉඩ නොදෙමු’ කෑල්ල ගලවා ‘පොදු පෙරමුණට ඡුන්දය දෙමු’ යනුවෙන් තාලය මාරු කළ ආකාරයට තාල මාරු කිරීමටය. කොංග‍්‍රසය විවේචනය කොට අනතුරුව මෙසේ වූයේ කොංග‍්‍රසය ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලීන් තමන් විසින් අනුදත් ප‍්‍රගතිශීලී මාවතේ ගමන් නොකොට නොමග ගිය නිසා බව කියමින්, එසේ වුවත් බී.ජේ.පීය බලයට පැමිණියහොත් ඇතිවිය හැකි භයානක ප‍්‍රතිවිපාක පිළිබඳව සඳහන් කොට හිස් තැනක් තබා ඉතිරි කොටස ඡන්ද දායකයාට හිතා ගැනීමට සැලැස්වීමය.

දිල්ලි ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා 2013 පැවැති මැතිවරණය වන විට ඉන්දියානු ජාතික කොංග‍්‍රස් ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය වේගයෙන් පිරිහෙමින් පැවතුණත්, එම හිස්තැන පුරවන්නට ප‍්‍රධාන විපක්ෂය වූ බී.ජේ.පීය සමත්ව තිබුණේ නැත. මැතිවරණයේදී වැඩිම ආසන ලබා ගත් තනි පක්ෂය බවට බී.ජේ.පීය පත්වුවත්, කාගෙත් නෙත් සිත් බැඳගත් ප‍්‍රපංචය වූයේ දෙවන තැනට පැමිණ, අතුගෑවී බලයෙන් පහව ගිය කොංග‍්‍රස් පක්ෂයේ සහයද ලබා ආණ්ඩුව පිහිටවූ අර්වින්ද් කේජ්රිවාල්ගේ ආම් ආද්මී පක්ෂයයි. මහ මැතිවරණයේදී ආම් ආද්මී පක්ෂය ඉන්දියාව පුරාම අපේක්ෂකයන් යොදවමින් තරග කළද, බී.ජේ.පීයට ඉඩ නොදෙමු යන හඬට සවන් දීමට ඔවුන්ටද සිදු වූ බව පෙනෙන්නේ කේජ්රිවාල් විසින් උත්තර ප‍්‍රදේශයේ බරණැස ඡන්ද කොට්ඨාශයට ඉදිරිපත් වෙමින් බී.ජේ.පී. අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝදිට එරෙහිව තරග වැදීමට තීරණය කිරීමෙනි. පසුගිය සතියේ මෙම තීරුව තුළින්ද පෙන්වා දුන් පරිදි අවසානයේදී බී.ජේ.පී. ආණ්ඩුවක් බලයට පැමිණීම වැළැක්වීම සඳහා ඊනියා තුන්වන පෙරමුණ විසින් ගොඩ නංවනු ලබන ආණ්ඩුවකට එක්වීමට වුවද තම පක්ෂය කැමැති බව අරවින්ද් කේජ්රිවාල් ප‍්‍රකාශ කළේය.
මහ මැතිවරණයේදී දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයේ මැජික් බලය දියාරුව ගිය අතර 2013දී ජයගත් දිල්ලි බල කොටුවේ එක ආසනයක්වත් දිනා ගැනීමට නොහැකිවූ ඔවුන්ට ලැබුණේ පංජාබ් ප‍්‍රාන්තයෙන් ලැබුණු ආසන හතරක් පමණි. සියළු අනාවැකි සහ ප‍්‍රක්ෂේපණ බිඳ දමමින් තනි පක්ෂයක් ලෙස ලෝක් සභාවේ බහුතර බලය දිනා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු බී.ජේ.පීයට හැකිවිය.

බී.ජේ.පී. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය
බී.ජේ.පී.යේ ප‍්‍රධාන ඡන්ද පොරොන්දුව සංවර්ධනය විය. නරේන්ද්‍ර මෝදි ගුජරාට ප‍්‍රාන්තයේ ප‍්‍රධාන ඇමැතිවරයා ලෙස ඇති කරන ලද ආර්ථික වර්ධනය හේතුවෙන් රට සංවර්ධනය කිරීම සඳහා ඔහුට හැකියාවක් ඇතැයි යන විශ්වාසයක් ඇති කිරීමට ඔහු සමත්ව තිබිණි. ගුජරාටයට වඩා ඉහළින් සංවර්ධනය වූ වෙනත් ප‍්‍රාන්ත ඇති බව විරුද්ධවාදීන් ප‍්‍රකාශ කළද මෝදි නමැති පන්දුව පළුදු කොට දිස්නය නැති කිරීමට ඔවුන් සමත්වූයේ නැත.

බී.ජේ.පී. පක්ෂයේ හින්දුත්වයට සම්බන්ධ ඉතිහාසය දෙස බලන විට ඔවුන් විසින් ප‍්‍රකාශ කිරීමට ඉඩ තිබුණා යැයි සිතන ප‍්‍රතිපත්ති සහ සැබැවින්ම ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි කියැවෙන දේවල් පරස්පරය. සංවර්ධනය පිළිබඳ පොරොන්දුවෙන් එහා ගිය යහ පාලනයට අදාළ පොරොන්දු ගණනාවක්ම බී.ජේ.පී. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි අඩංගු වීම වැදගත්ය. ඒ අතර විනිවිදභාවය, වගවීම, මහජන සහභාගීත්වය, සංවර්ධනය, පොලිස් සේවයේ සහ අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිසංස්කරණ සහ ජාතික ආරක්ෂාව යන ක්ෂේත‍්‍රවලට අදාළව පොරොන්දු දී ඇති අතර පහත දැක්වෙන මූලික මූලධර්මද ඇතුළත් කර ඇත.

-ඉන්දියානු ආණ්ඩුවේ එකම දර්ශනය සහ ආගම වනුයේ ‘පළමුව ඉන්දියාව’ යන්නය.
-ඉන්දියානු ආණ්ඩුවෙන් එකම ආඛ්‍යානය හෙවත් වීර කාව්‍යය වනුයේ ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි.
-ආණ්ඩුවේ එකම බලය වනුයේ මහජන බලයයි.
-ආණ්ඩුවේ එකම යාඥාව වනුයේ තම ජනතාවගේ සුබසිද්ධියයි.
-ආණ්ඩුවේ එකම මාර්ගය වනුයේ ‘සබ්කා සාත්, සබ්කා විකාස්’ හෙවත් ‘සියළුදෙනා සමග සියළුදෙනාගේම සංවර්ධනය උදෙසා’ යන්නයි.
-ආණ්ඩුවේ සංවර්ධන ක‍්‍රියාවලිය ජන සහභාගී සංවර්ධනයයි. බී.ජේ.පීය විසින් ජනතාව සංවර්ධනයේ ප‍්‍රතිලාභ භුක්ති විඳින කර්ම කාරකයින් වෙනුවට සංවර්ධනයේ කර්තෘකයින් බවට පත් කරනු ඇත.

ඉහත දැක්වෙන කරුණු හුදෙක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පමණක් සීමා වනු ඇති බවත්, තනි බලයක් සහිත බී.ජේ.පී. ආණ්ඩුවක් මේ සියල්ල සත පහකටවත් මායිම් නොකොට ජාතිභේදවදී මාවතේ සහ ජනතා කේන්ද්‍රීය නොවන සංවර්ධන මාවතේ ගමන් කිරීමට ඉඩ ඇති බවත් මෙහිදී කිසියම් සංශයවාදියකු අදහස් කළ හැකිය. නමුත් වැදගත් වන්නේ ඊනියා ජාතිභේදවාදී පක්ෂයක් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට එම ජාතිභේදවාදී සටන් පාඨ එකතු කොට වාසි ලබා ගැනීමට කල්පනා නොකොට, යහපාලනවාදී හෙවත් ලංකාවේ අර්ථයෙන් කිව්වොත් ඊනියා එන්.ජී. ඕ. වචන සෙට් එකක් එකතු කිරීම පිළිබඳවය.

Narendra-Modi-winning-rallyදැන් අපි මේ ලිපියේ අවසාන කොටස වෙත එළැඹෙමු. එනම් නරේන්ද්‍රගේ ආගමනය මහේන්ද්‍රට බලපාන්නේ කෙසේද යන්න විමසීමය. සිංහල පමණක් කියවන බහුතර ශ‍්‍රාවක පාඨක ජනයා මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නේ පත්තර, රේඩියෝ සහ ටී.වී චැනල විසින් ප‍්‍රචාරය කරන ඊනියා දේශපාලන විශ්ලේෂකයන්ගේ කථා වලිනි. මේ විශ්ලේෂකයන් හරියට දෛවඥයන් වැනිය. ඉස්සර කාලයේ ආණ්ඩුවේ ලේක් හවුස් ආයතනය විසින් ‘සුබසෙත’ ජ්‍යොතිෂ්‍ය පත‍්‍රය පළ කළ අතර එහි දේශපාලනය ගැන කථා කරන පලාපල විශ්ලේෂක දෛවඥයාට අනුව ග‍්‍රහචාරය ආණ්ඩුවට වාසිදායකය. ස්වාධීන පුවත්පත් සමාගම හෙවත් ‘දවස’ ආයතනය විසින් පළ කළ ජ්‍යොතිෂ්‍ය පත‍්‍රය ‘ඉරණම’ වූ අතර එහි පලාපල විශ්ලේෂකයාට අනුව සතියේ ග‍්‍රහචාරය කරකැවෙන්නේ ආණ්ඩුවට අහිතකර ලෙස සහ විපක්ෂයට තරමක් වාසිදායක ලෙසය. එවිට පාඨකයාට තමන් කැමැති පත්තරය මිලට ගෙන තමන් කැමැති ආකාරයේ අනාවැකියක් කියවා සතුටු විය හැකිව තිබුණි. සියළුම ජ්‍යොතිෂ්‍ය පත්තර සහ දෛවඥයන් ආණ්ඩුවට පවරා ගත් පසු ඇති වූයේ විවිධ දෛවඥයන් විසින් එකම අනාවැකිය කියන තත්ත්වයකි. ‘ඉරුදින’ පත්තරයේ පලාපල විශ්ලේෂකව සිටි ඊනියා අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාරයන් ආණ්ඩුව පැත්තට මාරු වූ පසු ඇති වූ තත්ත්වය මෙයට නිදසුනකි. සියළුම දේශපාලන විශ්ලේෂකයන් සහ දේශපාලනය ගැන කථා කරන මාධ්‍ය සෘජුව හෝ වක‍්‍රව ආණ්ඩුවට පවරා ගත් පසු ඇතිව තිබෙන්නේ ඉහත තත්ත්වයට සමරූපී වූ තත්ත්වයකි. ඒ අනුව අපට ඇහෙන්නේ ආණ්ඩුවට පක්ෂවූ දේශපාලන අනාවැකිය.

නරේන්ද්‍ර බලයට පත්වූ වහාම ‘දි අයිලන්ඞ්’ පුවත්පතට ලිපියක් ලියන ආචාර්ය දයාන් ජයතිලක කියන්නේ නරේන්ද්‍රගේ පැමිණීම නිසා ඇතිවූ ‘හෙඞ් වින්ඞ්’ එක නිසා 2015 ජනාධිපතිවරණය මහේන්ද්‍ර විසින් නිසැකව ජයගනු ඇති බවයි. ඒ අනුව මෙම ජයග‍්‍රහණය වනාහි මේ වනවිට එන්.ජී. ඕ එකක් බවට පත්ව ඇති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයේ පරාජය සින්නක්කර ලියා දීමකි. මහේන්ද්‍රත්, මෝදිත් එක ගහේ බඩු නිසා දෙන්නාට අයියා මල්ලී වාගේ සාමයෙන් කටයුතු කළ හැකිය. ඉදිරියේදී ඡන්දය ජයග‍්‍රහණය කිරීම සඳහා යූ.ඇන්.පීය විසින් සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට පත්කරගත යුතුය. අහා, ලංකාවේ ජනමාධ්‍යවේදීන් විශ්මයට පත්කළ බුද්ධි ප‍්‍රබෝධයක මහත!

ඔහු මෙසේ කියයි:

”මෝදි මහතා ගුජරාට ප‍්‍රාන්තයේ මහ ඇමැති වශයෙන් කටයුතු කරන කාලයේ විශාල ආර්ථික ප‍්‍රබෝධයක් ඇති වුණා. ඉන්දියාවේ ජනතාව හිතුවා ගුජරාටයේ ජනතාවට මේවගේ සංවර්ධනයක් මෝදි මහතාගෙන් සිද්ධ වෙන්න පුළුවන් නම්, ඒ සේවය සමස්ත ඉන්දියාවට ලබා ගන්න පුළුවන් ආකාරයට ඔහු නායකයා වශයෙන් පත් කර ගත යුතුයි කියලා. දෙවැනි හේතුව තමයි මෝදි මහතා ඇත්ත වශයෙන්ම බහුතරයේ සංස්කෘතිය, අනන්‍යතාවය, ආගමික ඇදහිලිවලට වඩා කිට්ටු, ජාති හිතෛෂී, භාරත හිතෛෂී චරිතයක් වීම. මේ සාධක දෙක එකතු වෙච්ච තැන ඇත්ත වශයෙන්ම මෝදි මාරුතයක් අද ඇති වෙලා තියෙනවා.

ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෝදි මහත්තයා සමග කිට්ටුවෙන් මිත‍්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්. මේ චරිත දෙක බොහෝ දුරට එක හා සමානයි. ඔවුන්ගේ මතවාදයන් බොහෝදුරට එක හා සමානයි. මං හිතන්නේ මෝදි මහතා සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතාම හොඳ සම්බන්ධයක් ඇති කරගෙන, බටහිර ආක‍්‍රමණ සහ ජාත්‍යන්තර පරීක්ෂණවලින් ලංකාව බේරා ගන්න ඉතාම පහසුවෙන් පුළුවන් වේවි.” (දයාන් ජයතිලක – අද දෙරණ වීඩියෝ)

1ආචාර්ය උපාධියක් සහිත දයාන් ජයතිලක මහතා මෙහිදී ගැඹුරු කටහඬින් කියන්නේ සරල කථාවකි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි පැමිණෙන්නේ ගමකිනි. ලංකාවේ පර්සි මහේන්ද්‍ර පැමිණෙන්නේද ගමකිනි. නරේන්ද්‍ර ජාතිකත්වය වැළඳගත් භාරත පේ‍්‍රමියෙකු වන අතර මහේන්ද්‍ර ද එවැනිම වූ දේශපේ‍්‍රමියෙකි. දෙදෙනාම මුල්තැන දෙන්නේ ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සංවර්ධනයටය. දෙදෙනාටම ප‍්‍රභූ පසුබිමක් නැත.

දෙදෙනාගේම මුහුණේ රැවුල ඇත. එබැවින් ඉදිරියේදී මේ දෙදෙනා අතර කිට්ටු සම්බන්ධයක් ඇතිවන අතර මේ දෙදෙනාට එකට වැඩකරන්නට පුළුවන. එම නිසා (දයාන් අකමැති) ලංකාවේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට ඊළඟ මැතිවරණයේදී ලංකාවේ ජනාධිපති වීමට අවස්ථාවක් නැත. එබැවින් මේ මොහොතේ විපක්ෂය කළ යුත්තේ හම්බන්තොට සජිත් හෝ මෝදි සහ මහින්ද සතු ලක්ෂණ තිබෙන සංවර්ධන පේ‍්‍රමී- දේශපේ‍්‍රමියෙකු කොහෙන් හෝ සොයාගෙන ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමයි. මෙයට එහා යන විග‍්‍රහයක් දයාන් ඉදිරිපත් කරන්නේ යැයි කිසිවෙකු සිතන්නේ නම් ඒ බව පෙන්වා දෙන ලෙස ඉල්ලමු.

දේශපාලන පලාපල විශ්ලේෂක දයාන්ගේ විග‍්‍රහය මාධ්‍ය විසින් මෙතරම් ජනප‍්‍රිය කරන්නේ මන්ද යන්නත්, ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම විග‍්‍රහයේ එල්ලෙන්නේ මන්ද යන්නත් අපි දැන් විග‍්‍රහ කළ යුතුය.

බී.ජේ.පීයට කොහොමත් විරුද්ධ ඉන්දියාවේ ඊනියා ප‍්‍රගතිශීලීන් ගුජරාටයේ ජාතිවාදී කලබල සමග නම ඈඳී ඇති නරේන්ද්‍ර මෝදි අගමැති අපේක්ෂකයා වීම කෙරෙහි ඩබල් එකේ විරුද්ධ විය. මෝදි ආවොත් ඉන්දියාව කැඩෙන බව පමණක් නොව එය බී.ජේ.පීය පවා දෙකට කැඩෙන්නට හේතුවනු ඇතැයි ඔවුහු කීහ. ඇත්ත වශයෙන්ම බී.ජේ.පීය ප‍්‍රමුඛ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වූ බිහාර ප‍්‍රාන්ත මහ ඇමැති නිතිෂ් කුමාර් පවා මෝදිගේ ආගමනයත් සමගම එම සන්ධානය හැර ගොස් ඊනියා තුන්වන පෙරමුණ සමග එක්වන්නට උත්සාහ කළේය.

කොමියුනලිස්ම්වලට හෙවත් ජාතිභේදවාදයට විරුද්ධ සෙකියුලර් මතවාදය ඉන්දියාව තුළ ශක්තිමත්ව ඇති බැවින් බී.ජේ. පීය මැතිවරණ ප‍්‍රකාශනය මගින් ගෙන ආවේ කොමියුනල් දේශපාලනයක් නොව සෙකියුලර් දේශපාලනයකි.

මෝදිගේ ආගමනය ඔස්සේ ලංකාවේ දේශපාලන පලාපල කියන්නන් උත්සාහ කරන්නේ ඡන්දය දිනන්නට නම් ජාතිවාදී- දේශපේ‍්‍රමී මුහුණක් ඉදිරියට දැමිය යුතු බවයි. මොවුන් කියන ආකාරයට කොහොමත් දිනන්නට නියමිත දේශපේ‍්‍රමී මහේන්ද්‍රය. කලක් තමන් මහේන්ද්‍ර සමග යාළු වී කරේ අත දාගෙන සිටියත්, දැන් මහේන්ද්‍ර ලොකු මිනිසෙකු වී තමන් ගණන් නොගන්නා නිසා ඔවුන් මහේන්ද්‍ර නොවන මහේන්ද්‍ර වැනි නායකයෙකු විපක්ෂය වෙනුවෙන් සොයමින් සිටිති. යම් විදියකින් මහේන්ද්‍ර නැවත තමන්ට කථා කළහොත් ආපසු ඔහු තුරුළට යාමට තරම් මතවාදීමය ගැටුමක් ඔවුන්ට මහේන්ද්‍ර සමග නැත. එබැවින් මෙහිදී සිදුවී තිබෙන්නේ මහේන්ද්‍ර බලයට ගෙන එන්නට දරදිය ඇද්ද සහ දැන් තරහ වී සිටින පරණ යාළුවන් පිරිසකගේ ප‍්‍රශ්නයක් ජාතික ප‍්‍රශ්නයක් කරගැනීමට උත්සාහ දැරීමකි.

තව කොටසක් ලබන සතියේ..

නරේන්ද්‍ර මාරුව මහේන්ද්‍රට කොහොමද? – 1 කොටස මෙතනින් බලන්න

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment