පොදු අපේක්ෂකයා ජාතික ප්‍රශ්නය ගැන කථාකළොත් ඡන්ද කැඩෙන බව කිව්වාම අපි ෂොක් වුණා

Jun 6th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

දකුණේ සමාජය ආණ්ඩුවටත් වඩා ජාතිවාදීද?

විකල්ප වෙබි අඩවිය විසින් ‛යුද්ධයෙන් වසර 5කට පසු’ නම් විශේෂ සංස්කරණය එළි දක්වන ලද්දේ එම වෙබ් අඩවිය හා බැඳි 35කට වඩා වූ ලේඛකයන්ගේ තෝරාගත් ලිපිවල එකතුවක් ලෙසය.

මෙම විශේෂ සංස්කරණයට පෙරවදනක් ලියන විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් කියන්නේ ‛‛පශ්චාත් යුද ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිසහගත සාමය, වගවීම, සාධාරණත්වය සහ ආර්ථික තත්ත්වයන් වැනි දිශානතීන් ඔස්සේ ඒ ඒ ලේඛකයන්ගේ අදහස් මෙම විශේෂ සංස්කරණයට එක්කොට ඇති” බවයි.

මෙම විශේෂ සංස්කරණය සඳහා ආරාධිත ලේඛකයෙකු ලෙස නීතිඥ ප්‍රබෝධ චින්තක රත්නායක විසින් ලියන ලද ‛ආණ්ඩුවටත් වඩා ජාතිවාදී දකුණේ සිවිල් සමාජය’ නම් ලිපිය ලිපිය සංස්කරණය කොට නැවත පළ කිරීමට ‛සමබිම’ ඉරිදා සංග්‍රහය අදහස් කරන ලද්දේ ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි ‛13 වන සංශෝධනය සම්පූර්ණ වශයෙන් වහාම ක්‍රියාත්මක කරන ලෙස තම ආරාධනයෙන් එහි සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රකාශ කරන ලද තත්ත්වයක් යටතේය.

විශේෂ සංස්කරණයේ ලිපි එකතුව කියැවීම සඳහා විකල්ප වෙබ් අඩවියට පිවිසෙන්න.

[නීතිඥ ප්‍රබෝධ චින්තක රත්නායක]

යුද්ධය නිමවී අවුරුදු 20ක් ගත වී ඇත. නමුත් තවමත් යුද්ධය පවතීයයි යන ප්‍රබන්ධයට රැවටී එය විශ්වාස කරමින්, ලොවෙන් සැඟවී යටි බිම් ගත අඳුරු ගුහාවක හිඳගෙන යුද්ධයට අවශ්‍ය ආයුධ සපයන ඊනියා දේශප්‍රේමී ජනතාවකි. එකී දේශප්‍රේමීන් විසින් රට වෙනුවෙන් සපයන ආයුධ වෙළෙඳාම් කරගත් කපටියෙක් රටේ ජනප්‍රිය දේශපාලන නායකයෙකු බවට පත්වේ…. මේ කතාව කියවන ඔබ කලබලයට පත්වනු ඇත. මේ තව අවුරුදු කිහිපයකින් ලංකාවේ තත්ත්වය නොව චිත්‍රපට කථාවකි. එය වැඩිදුර බැලීමට අවශ්‍ය නම් එමිර් කුස්තුරිකාගේ ‛අන්ඩර්ග්‍රවුන්ඩ්’ චිත්‍රපටය නරඹන්න.

ජන සමාජයක් බාහිර හෝ අභ්‍යන්තර සතුරෙකු හේතුවෙන් තම පැවැත්ම තර්ජනයට ලක්ව ඇතැයි සාමූහිකව විශ්වාස කරන විට එම සමාජය තුළින් ස්වාධිපත්‍යයිකයෙකු පැන නගියි. ජර්මානු නීතිවේදී කාල් ෂ්මිට් විසින් අර්ථ දක්වා ඇති ආකාරයට ස්වාධිපත්‍යයිකයා යනු නීතිය සම්පූර්ණයෙන්ම හෝ නීතියේ යම් කොටසක් අත්හිටුවීමට බලය ඇති තැනැත්තාය. ලංකාවේ වාර්ගික යුද්ධයේ අවසන් භාගයේදී වන්නි කේන්ද්‍රීය දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉදිරිපත් කළ අභියෝගයට මුහුණදීමට කොළඹ කේන්ද්‍රීය සිංහල ආධිපත්‍යය සහිත ජන සමාජයට ස්වාධිපත්‍යයිකයෙකු අවශ්‍ය විය. එකී ස්වාධිපත්‍යයිකයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය මෙන්ම මූලික අයිතිවාසිකම්ද අත් හිටුවා යුද්ධය ඉදිරියට ගෙනගියේය. සමාජයේ බුද්ධිමතුන් ඇතුළු ජනමත සම්පාදකයන්ද, පීඩිත පන්තිය නියෝජනය කරනවා යැයි ප්‍රකාශ කළ ඊනියා නව සහ පැරැණි වමේ බලවේගද ස්වාධිපත්‍යයිකයා විසින් එසේ නීතිය අත් හිටුවා අතිකරණ බලයක් භාවිතා කිරීම ඉවසා වදාළා පමණක් නොව එයට ආශීර්වාද කිරීමද කළහ. යුද්ධය නිමා කිරීම සඳහා තමා වෙත පුද කරනු ලැබූ මේ අතිකරණ බලය යොදාගෙන යුද්ධය අවසන් කළ පාලකයා ඉන්පසු සිරිසඟබෝ රජතුමා මෙන් හිස දන්දෙනු ඇතැයි එසේ සහය දුන් අය බලාපොරොත්තු වූවා විය හැකිය. එනමුදු, යුද්ධ ජයග්‍රහණයේ ගෞරවය තම ගිණුමට බැරකරගත් පාලකයා කළේ ලොවට පිටුපා පොළොව යට අඳුරේ සිටින ජනතාවට තවමත් යුද්ධය පවතින බව හෙවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බව පවසමින් දිගටම බලය පවත්වා ගෙන යාමය. යුද්ධය අවසන්ව වසර පහක් ගත වන මේ මොහොතේ අප දකින්නේ එම යථාර්ථය සහ එයින් ඇස් ගිණි කණ වැටී අන්ද මන්ද වී සිටින සිවිල් සමාජයකි.

ස්වාධිපත්‍යයිකයෙකු බවට පත්වූ හෙවත් තමා කෙරෙහි පැනවුණු සියළු සීමා, සංවරණ සහ තුලනයන් සමාජය විසින්ම ඉවත්කොට දෙන ලද ආකාරය අත්විඳ ඇති පාලකයා සියළු දේ තමා කැමැති ආකාරයට සිදු කිරීමේ බාධාවක් නැති බව අත්දැකීමෙන් දනී. යුද සමයේදී තම අතිකරණයන්ට ඉඩදී නෑසු කන්ව සිටි මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය ආදී සංකල්ප මෙන්ම පාර්ලිමේන්තුව, අධිකරණය, මානව හිමිකම් කොමිසම, ජනමාධ්‍ය, බුද්ධාගම, කතෝලික සභාව, නීතිඥ සංගමය පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනද හුදු ප්‍රබන්ධ බවත් ඔහු දනී. හෙතෙම සිතන්නේ තමා නීතිය අත් හිටුවා යුද්ධය කරන මොහොතේ එම ආයතන නිහඬ වූවානම්, යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස උදාවී ඇති වර්තමාන යුගයේදීද තමාට අවශ්‍ය පරිදි සියල්ල සිදුකළ හැකි බවයි. පැය ගණනක් ඇතුළත ඒකා-අධිපති දහ අට වන සංශෝධනය සම්මත කරගැනීම සහ දෝෂාභියෝගයක් ඔස්සේ තම අගවිනිසුරුවරිය ඉවත් කිරීම ආදිය ඒ අවබෝධය ඔස්සේ ඔහු විසින් ගත් පියවර සඳහා නිදසුන් වේ.

ඒ නිසා සාමන්‍ය ලෝකය පිළිගන්නා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය වැනි සංකල්ප ඔහුට වලංගු නොවනවා පමණක් නොවන අතර ලංකාවේ බොහෝදෙනෙකු බියෙන් වෙව්ලවන ජාතිවාදයට සහ ආගම්වාදයට පවා ඔහු බිය නොවේ. ජාතික හෙළ උරුමයේ, ජාතික නිදහස් පෙරමුණේ පමණක් නොව ආරක්ෂක අමාත්‍යංශයේ පවා වක්‍ර අනුග්‍රහය ලැබූ ඊනියා බොදු බල සේනාවේ තර්ජනයටත් බිය නොවී සංශෝධන රහිතව උතුරු පළාත් සභා ඡන්දය පැවත්වීමත්, විමල්ට සහ චම්පිකට බම්බු ගසා ගන්නා ලෙස කියා කැසිනෝවලට අදාළ ගැසට් රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් සම්මත කරගැනීමත් එයට උදාහරණ වේ.

Equilibrium-2002-2පරිකල්පිත තුන්වන ලෝක යුද්ධයක් අවසානයේ බිහිවන පාලන ක්‍රමයක් ගැන චිත්‍රපටයක් වන ඉක්විලිබ්‍රියම් (Equilibrium) හි ‛ජාතියේ පියා’ විසින් පනවා ඇති නීතිරීති අනුව සියළු හැගීම් දැනීම් නීති විරෝධී වන අතර කලාව, සාහිත්‍ය, වර්ණ, පොත්පත්, සුරතල් සතුන් ආදිය තහනම් ද්‍රව්‍ය වේ. මනුෂ්‍යයන්ට සමාන්‍යයෙන් ඇතිවන මනුෂ්‍ය හැඟීම් නැති කිරීමට දිනපතා උදේට බෙහෙත් වර්ගයක් ලබාදෙන අතර සෑම පුරවැසියෙක්ම එම බෙහෙත එන්නත් කර ගැනීම අනිවාර්ය වේ. සමාජයේ දරුවන්ට කුඩා කාලයේ සිටම සටන් කලාව උගන්වයි. රූපවාහිනීයේ පෙන්වන්නේ එක්කෝ ජාතියේ පියාගේ කතා නැත්නම් ඔහු ගැන ප්‍රවෘත්ති පමණි. චිත්‍රපටය අවසාන භාගයේදී හෙළි වන්නේ ඇත්තටම කාලයකට පෙර ජාතියේ පියා මිය ගොස් ඇති බවත් ඔහු සිටින බව තාක්ෂණය අධාරයෙන් පෙන්වමින් ජාතියේ පියාගේ නාමයෙන් පාලනය ගෙන ගොස් ඇති බවකි.

නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර පමණක් නොව දයාන් ජයතිලක, වික්ටර් අයිවන් සිට කුමාර් රූපසිංහ දක්වා බොහෝ සිවිල් චින්තකයින් කල්පනා කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසු ලංකාවේ බොහෝ ගැටළු නිම වන බවයි. එහෙත් අද ඔවුන්ගේම ලිපි වලින් වැටහෙන්නේ තත්ත්වය තිබුනාටත් වඩා නරක බවයි. යුද්ධයේ නාමයෙන් උසාවිය, පොලීසිය, ජනමාධ්‍ය පමණක් නොව මානව හිමිකම් කොමිසම පවා දුර්වල කළ විට එසේත් නැති නම් රාජ්‍ය යාන්ත්‍රණයම ජාතිවාදී සහ හමුදාකරණය කළ පසු නැවත ලේසියෙන් හොඳ තත්ත්වයක් රටේ ඇති නොවන බව තේරුම් ගැනීමට ඥාන ශක්තියක් මේ අයට නොතිබුණා යැයි සිතිය නොහැක. සෑම් රාසප්පා නම් ඉන්දියානු මාධ්‍යවේදියා විසින් තර්ක කරන ආකාරයට සෝනියා ගාන්ධිට එල්.ටී.ටී.ඊය අවසන් කිරීමේ පෞද්ගලික වුවමනාවක් තිබුනා මෙන් මොවුන්ද මෙහෙය වුණේ එල්.ටී.ටී.ඊය චිත්‍රයෙන් ඉවත් කිරීමේ වුවමනාවකින් බව සැළකිය හැකිය.

යුද්ධය අවසන් වුනේ එල්.ටී.ටී.ඊය පමණක් නොව මේ අයගේ වලංගුභාවයද අවසන් කරගෙන බව මොවුන් තවමත් නොදනියි. ඒ නිසා පත්තර පිටු පිරෙන්නට ආණ්ඩුවට මේ අය දෙන උපදෙස් පාලකයා විසින් තඹ සතේකට මායිම් නොකරයි. ඒ නිසා වෙනදා පත්තර පිටුවක් පිරෙන්නට ලියූ සමහරුන්ට දැන් පත්තර පිටු දෙකක්ම පුරා එකම දේ ලියන්නට සිදුවී ඇත. නමුත් යුද්ධයට පෙර යුද්ධය වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කළ හැකි ආකාරයේ ශක්තිමත් මතවාදයක් මේ අය විසින් බිහිකළ අයුරින් යුද්ධයෙන් පසු අවශ්‍ය ප්‍රතිසංස්කරණ හො ප්‍රතිසන්ධානය වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කළ හැකි ශක්තිමත් මතවාදයක් බිහිකිරීමට මොවුන්ට නොහැකි විය.

යුද්ධයෙන් වසර පහක් ගිය පසුවත් ජාතිවාදයට යටත් නොවන සිවිල් සහ දේශපාලන බලවේගයක් දකුණේ බිහි කර ගැනීම අවධාරණය කරනු පිණිස මේ සටහන තබත්දී ඉහත පූර්විකාව අත්‍යවශ්‍ය වන්නේ තවමත් බොහෝ දෙනෙකු සිදුව ඇති දේ සම්බන්ධයෙන් වගකීම මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ පවුලට හෙවත් රාජපක්ෂ සමාගමට ඌණනය කර, රාජපක්ෂ පවුලට මේ බලය ලබා දුන්නේ හමුදාවෙන් නොව ජනතා විමුක්ති පෙරමුණ, ඊනියා සිවිල් බුද්ධිමතුන් ඇතුළු සිවිල් මතවාදයකින් බව අමතක කර දමන බැවිණි.

උතුරේ දී අතුරුදහන් වූ හෝ මිය ගිය තම ඥාතීන් සිහිකිරීමට ඉඩ නොදීමේ සිට, තවමත් සිදුවන අතුරුදහන් වීම්, හමුදාකරණය, දේපල පැහැර ගැනීම්, ශිෂ්‍ය මර්දනය ආදිය දකුණේ සමාජයේ කිසිදු හිරිකිතයකින් තොරව සාධාරණීකරණය කළ හැකිව තිබෙන්නේ පාලකයා විසින් දකුණේ ක්‍රියාත්මක කරන ඊනියා-මර්දනයක අනුහසින් නොව ජාතිවාදය ඔස්සේ පාලකයා පවත්වාගෙන යන මතවාදී ආධිපත්‍යය නිසාය. වෙනත් වචනයකින් කිව්වොත් පාලකයා විසින් දකුණ පාලනය කරන්නේ බලහත්කාරය යොදාගෙන නොව ආධිපත්‍යය යොදා ගනිමිනි.

දකුණේ සමාජය තුළ පතුරුවා ඇති ජාතිවාදය නිසා ආණ්ඩුවට පමණක් නොව දකුණේ සිවිල් සමාජයට පවා විවෘත මනසකින් උතුරේ දෙමළ ජනතාව දෙස බලා ඔවුනගේ අවශ්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ. 2005 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ දිනවීමට උතුරෙන් දායකත්වය ලැබුණේ මන්ද යන්න තවමත් දකුණේ සිටින මහින්ද රාජපක්ෂ විරෝධීන්ට තේරුම් ගත නොහැක්කේ යම් සේද එලෙසම උතුරේ දේශපාලන හැසිරීම තවමත් දකුණේ ආණ්ඩු විරෝධීන්ට නොතේරේ.

මෙය තවදුරටත් තේරුම් ගැනීම සඳහා ඉන්දියානු මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමට පෙර උතුරේ සංචාරයක යෙදුණු දකුණේ සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් සහ උතුරු ප්‍රදේශයේ සිවිල් සමාජ සාමාජිකයන් පිරිසක් අතර ඇතිවූ සාකච්ඡාවකදී දකුණේ සිවිල් ක්‍රියාධරයන් ඇසූ ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු කිහිපයක් වගු අංක 01හි සඳහන් වේ.

Screen Shot 2014-06-06 at 10.46.46 AMඑම පිළිතුරු සාමාන්‍යයෙන් දකුණේ සිවිල් සමාජ ක්‍රියාධරයෙක් හෝ ආණ්ඩු විරෝධියෙක් එකවර අපේක්ෂා කරන පිළිතුරු නොවේ. දකුණේ ආණ්ඩු විරෝධියෙක් උතුරේ ආණ්ඩු විරෝධියෙකු ගැන සිතන්නේ දෙදෙනාම ඉන්නේ එකම ආණ්ඩු එළවීමේ දේශපාලන ව්‍යාපෘතියක යයි කියාය. එහෙත් උතුරේ දේශපාලනය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීම වැනි සරල ක්‍රියාවලියකට ඌණනය කළ නොහැක. දකුණේ අය තවමත් ඉගෙන ගෙන නැති දේශපාලන පාඩම් බොහෝමයක් පසුගිය වසර තිහ හතළිහ තුළ උතුර ඉගෙනගෙන තිබේ. ඒ නිසාම උතුරේ සිටින සිවිල් වැසියෙකුට දකුණේ ආණ්ඩුව ගැන මෙන්ම ආණ්ඩු විරෝධීන් ගැනද තමන්ගේම වූ විග්‍රහයක් තිබේ. මේ නිසා උතුරේ දේශපාලනය ගැන ඔළුවෙන් හදාගත් චිත්‍රයක් මත සැලසුම් කෙරුණ දකුණේ දේශපාලන ව්‍යාපෘති බොහෝ ගණනක් ඉදිරියේදී අසාර්ථකවීමට නියමිතය.

උතුරේ වැසියන් ආණ්ඩුවේ මානුෂික මෙහෙයුම විශ්වාස කරන්නේ නැති ආකාරයටම දකුණේ සිටින ප්‍රගතිශීලීන් පැමිණ ඔවුන්ට නිදහස උදාකර දේවි යැයි විශ්වාස කරන්නේ ද නැත. ඒ නිසා ඔවුන් කියා සිටින්නේ අපේ දේශපාලන සටන අපි කරගන්නම් ඒකට අපට ඉඩ දෙන්න කියාය. ඒ නිසා ඔවුන් දකුණට කියන්නේ මෙයයිඃ ‛අපේ අන්ත-ජාතීවාදීන්ව අපි පාලනය කරගන්නම් හැබැයි ඔබට පුළුවන්ද දකුණේ ඔබලාගේ අන්තවාදීන් පාලනය කරගන්න, අපි අපේ අයිතිවාසිකම් සටන අරගෙන යන්නම්, දකුණේ ඔය ගොල්ලන්ට පුළුවන්ද ඔයගොල්ලන්ගේ අයිතිවාසිකම් සටන ජයග්‍රහණය කරල පෙන්වන්න. අපිට මේ ගමන යන්න වෙන්නේ සිංහල සමාජයත් එක්ක එකට එකතු වෙලා කියන එක අපි දෙමළ සමාජයේ තහවුරු කරන්නම්, ඒත් ඔයගොල්ලන්ට පුළුවන්ද දකුණේ සමාජයට නිදහස ලැබෙන්නේ උතුරට නිදහස ලැබුනොත් විතරයි කියලා දකුණේ තහවුරු කරන්න’.

මේ ආකාරයට උතුරේ දෙමළ සමාජය යම් මධ්‍ය ලක්ෂයක් කරා එමින් පවතින බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද තහවුරු කර ඇති බව උතුරේ මහ අමැතිවරයා ලෙස විග්නේෂ්වරන් පත්කරගැනීමෙන් පෙනී යයි. එහෙත් දකුණේ සමාජය මධ්‍ය ලක්ෂයක් කරා එන බව පෙන්වාදීමට අපට ඇති උදාහරණ මොනවාද? ආණ්ඩුව ඒ සඳහා උදාහරණ ලබා දෙන්නේ නැති බව පැහැදිලිය. එහෙත් සිවිල් සමාජය ලෙස අපට එය සහතික කළ හැකිද? ඔවුන් විග්නේෂ්වරන් කෙනෙක් නිර්මාණය කර ගනිත්දී අප නිර්මාණය කර ඇත්තේ ඥානසාර කෙනෙකු නොවේද?

‛පසුගියදා දකුණෙන් ආපු ජනාධිපති නීතිඥයෙක් ඒ වගේම අපි හොඳින් දන්න හඳුනන ප්‍රබල සිවිල් සමාජ ක්‍රියාධරයෙක් තමන්ගේ කතාවේදී කිව්වේ ජනාධිපතිවරණයකට තමන් විසින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන පොදු අපේක්ෂකයාට ජනාධිපතිවරණයට කලින් ජාතික ප්‍රශ්නය ගැන සිය ස්ථාවරය ප්‍රසිද්ධියේ කියන්න බැරි බවයි. එහෙම කිව්වොත් දකුණේ දේශපාලන බලවේගවල සහය ලබා ගන්න බැරි බවයි. ඒ කතාව අහලා ‛‛අපි ෂොක් වුණා.‛‛ යැයි ඉහත කී උතුරු දකුණු සාකච්ඡාවේදීම තවත් දෙමළ සිවිල් සමාජ ක්‍රියාධරයෙකු ප්‍රකාශ කළේය.

දකුණේ සිවිල් බුද්ධිමතුන් තවමත් කල්පනා කරන්නේ සිංහල ජාතිවාදය යථාර්ථයක් ලෙස මිස වෙනස් කළ හැකි දෙයක් ලෙස නොවේ. ඒ නිසා ඉතිහාසයේ සැමදා සිදුවුණා මෙන් සිංහල ජාතිවාදී සහය ලබාගෙන පොදු අපේක්ෂකයෙක් දමා ආණ්ඩු පෙරලන්ට ඔවුන් කල්පනා කරයි. නමුත් එය උතුරේ දෙමළ වැසියෙකු කම්පනයට පත්කරන අදහසකි. ඒ නිසා උතුරෙන් දකුණේ සිවිල් සමාජය දෙන අභියෝගය විශාලය. ඔවුන් කියා සිටින්නේ ආණ්ඩුව පෙරලීමට කියා උතුරේ අයිතිවාසිකම්වලට බිය, ජාතිවාදීන්ගේ පාලනයට යටත් ආණ්ඩුවක් දකුණේ බිහි කිරීම වෙනුවට ජාතිවාදයට යට නොවන දේශපාලන ව්‍යාපාරයක් දකුණේ තහවුරු කරගන්නා ලෙසය.

එහෙත් දකුණේ සිවිල් සමාජය මේ පිළිබඳව කොතෙක් සවිඥානිකද? සිවිල් සමාජයේ එක් පිරිසක් වැඩ කරන්නේ ආණ්ඩුවත් සමඟ තමන්ගේ සම්බන්ධතා ඇති බැවින් තම වැඩ වලට ආණ්ඩුව බාධා කරන්නේ නැති බව ඔප්පු කිරීමට ආණ්ඩුවටත් වඩා ආණ්ඩුවාදී වීමෙන්ය. අනෙක් පිරිස මේ ආණ්ඩුව සමඟ වැඩ කිරීමට ඇති අකමැත්ත නිසා මේ ආණ්ඩුව නොවන වෙන ඕනෑම ආණ්ඩුවක් හදා ගැනීම වෙනුවෙන් වැඩ කරයි. නමුත් මේ දෙපාර්ශ්වය නිසාම අනෙකාගේ අයිතිවාසිකම් පිළිගැනීම සම්බන්ධයෙන් අංශක 360 අනිත් පැත්ත ගසා සිටින සිංහල-බෞද්ධ බහුතරය දශමයකින් වත් වෙනස් නොවේ. ඒ වෙනුවට අද දකුණේ සිංහල සමාජය දෙමළ පමණක් නොව මුස්ලිම්ද ඉවසිය නොහැකි තත්ත්වයට ගමන් කර තිබේ. එපමණක් නොව විකල්ප දේ්ශපාලන මත දරන්නන්, සමලිංගිකයන්, ස්ත්‍රීන් ආදී ඕනෑම කෙනෙකු වෙත මේ නොඉවසීම දිගු විය හැක.

ඡන්දය අපේක්ෂාවෙන් වැඩ කරන දේශපාලන පක්ෂ එක්තරා දුරක් යනතෙක් ජනතාව වෙනස් කිරීමට උත්සාහ දරා ජනතාව වෙනස් වෙන්නේ නැතිනම් ජනතාවට අනුව පක්ෂය වෙනස් කරගැනිම අපට තේරුම් ගත හැක. නමුත් සිවිල් සමාජ සංවිධානද ජනතාව වෙනස් කිරීම වෙනුවට ජනතාවට අනුව තමන් වෙනස් වීමේ ක්‍රමයකට මාරුවිය යුතුද? සිවිල් සමාජයේ ඓතිහාසික කාර්යභාරය වන්නේම රාජ්‍යයේ මතවාදයන් විසින් හසුරවන ජනතාවට විකල්ප මතවාදයන් සැපයීමයි. මානව හිමිකම් වලින් ලෝකයේ රාජ්‍යයන්ට මෙතෙක් ගැලවීමට නොහැකි වී ඇත්තේ සිවිල් සමාජය මේ සටන අත්නොහැර සිටින නිසාය. නමුත් යුද්ධයේ තීරණාත්මක අවධියේ ලංකාවේ සිවිල් සමාජය මේ කාර්යභාරය අතහැර දැමූ අතර එමඟින් සිවිල් සමාජයේ විශ්වාසනීයභාවයට බලවත් හානියක් විය. එසේ අහිමිවූ විශ්වාසනීය භාවය නැවත අත්පත් කරගැනීමට නම් සිවිල් සමාජය දැරිය යුතු බලවත් පරිශ්‍රමය තවම දක්වන්නේ නැත. ඒ නිසා උතුරෙන් අපට ඇසෙන්නේ ශ්රෙක් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටයේදී තම ආදරය ඉල්ලා එන ශ්රෙක් අමතා ෆියෝනා කුමරිය කියූ කථාවයි. ‛මට ඔබ අවශ්‍යම වූ මොහොතේ ඔබ සිටියේ කොහේද?’ ඉන්පසු දෙමළ ජනතාව එයට මෙසේද එකතු කරනු ඇත. ඔබලා යළිත් කරමින් ඉන්නේ එයම නොවේද?

Underground_affiche_fr_dvd_bigලිපියේ ආරම්භයේ සඳහන් කළ Underground චිත්‍රපටයේ සිදුවන්නේ යුද්ධයෙන් පසුව පාලකයන් විසින් පිරිසක් වංචාවෙන් අන්ඩර්ග්‍රවුන්ඩ් කර ඔවුන්ගෙන් වැඩ ගැනීමයි. එහෙත් අපේ සිවිල් සමාජය යුද්ධයෙන් පසුවත් ස්වකැමැත්තෙන්ම අන්ඩර්ග්‍රවුන්ඩ් වී පාලකයන්ට අවශ්‍ය දේවල් කරමින් සිටියි. සිංහල ජාතිවාදය පරාජය කරන පොදු අපේක්ෂකයෙකු වෙනුවට ජාතිවාදීන් සමඟ ඩීල් දමාගන්නා පොදු අපේක්ෂකයෙකුට කැමති වෙන ලෙස ලැජ්ජා නැති ඉල්ලීමක් උතුරේ දෙමළ වැසියන්ගෙන් ඉල්ලන්නේ ඒ නිසාය.

ආණ්ඩුව විසින් පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස, ජීනිවා යෝජනාවලට ගරු කරන ලෙස, දහ තුන්වන සංශෝධනය නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙස සිවිල් සමාජය විසින් ආණ්ඩුවට බලපෑම් කිරීමට කලින් තමන් විසින්ම ජාතිවාදය පෝෂණය කිරීම නැවැත්විය යුතුය.

t5

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment