උතුරුකරය නැවතත් ගිනියම්…

Jun 20th, 2014 | By | Category: OTHER NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

සාමිනාදන් විමල්

මේ දිනවල උතුරුකරය පුරා පවතින්නේ දැඩි රශ්මියකි. ගහකොළ වියළී ගොස්, ගත දනවන මේ ගිනියම් බව උතුරුවැසියන්ට හුරුපුරුදුය. එම සුපුරුදු ගිනියම් බවට අමතරව තවත් සුපුරුදු ගිනියම්බවක් නැවත උතුරේ වැසියන්ට දැනෙන්නට පටන් ගෙන ඇත. ඒ යුද්ධමය පරිසරයක පවතින ගිනියම් බවයි.

වසර කිහිපයක විරාමයකට පසුව දැන් නැවතත් අත්අඩංගුවට ගැනීම් සහ සෝදිසි කිරීම් පිළිබඳ පුවත් ජනමාධ්‍ය තුළ ප‍්‍රමුඛත්වයකින් යුතුව පළවීමට පටන් ගෙන ඇත. ඔත්තු ඉල්ලා පළවන දැන්වීම් තාප්පවල ප‍්‍රදර්ශනය වීමට පටන් ගෙන ඇත. ඡුායාරූපයෙහි දැක්වෙන පුද්ගලයන් පිළිබ`ද නිවැරදි තොරතුරක් සපයන අයෙකුට හිමි වන තෑගි මුදල ආකර්ෂණීය අයුරින් එම දැන්වීම්වල ප‍්‍රදර්ශනය වෙයි. වන්නිය වැඩියෙන්ද, යාපනය යම් තරමක් දුරකටද මෙවැනි පුවත්වලට දායකත්වය සපයමින් තිබේ.

මෙය පුනරීක්ෂණයක්ද නැතහොත් පෙරහුරුවක්ද යැයි වටහා ගැනීමට නොහැකිව දෙගිඩියාවෙන් යුතුව යාපනයද ඇතුළත් උතුරුකරයෙහි ජන ජීවිතය ගත වෙයි. බොහෝ දෙනෙකුගේ මතය වූයේ මෙය ජිනීවා වෙනුවෙන් සහ බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණ වෙනුවෙන් ර`ග දැක්වෙන්නක් විය හැකි බවයි. එසේ සිතීමට සාධාරණ හේතු තිබුණි. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන්නේ බස්නාහිර පළාත තුළ හෝ දකුණු පළාත තුළ යැයි කෙනෙකුට සිතෙන තරමට මැතිවරණ වේදිකාව තුළ ජිනීවා ප‍්‍රශ්නය කතා බහට ලක් වූ අතර මැතිවරණ ප‍්‍රතිඵලය ජිනීවා සමුළුවට උගන්වන පාඩමක් බවට පත්විය යුතුය යන අදහස අවධාරණය කෙරුණි. එහෙයින් මේ අලූතින් මතු වූ කොටි භීතිකාව සුපුරුදු ලෙසම මැතිවරණ ජය උදෙසා දෙමළාව භාවිතා කිරීමක් විය හැකිය යන සැකය සාධාරණ විය.

අවදානම් සහගත අවස්ථාවේ උපකාරී වන්නා නියම මිතුරාය යන්න ආප්තෝපදේශයකි. ගතවූ වසර තිහ හතලිහක කාල වකවානුව තුළ දකුණේ දේශපාලනය තුළ ජයග‍්‍රහණය උදෙසා මහ`ගු මෙහෙයක් කළේ දෙමළාය. මැතිවරණයකින් ජයග‍්‍රහණය කිරීම අභියෝගාත්මක වන අවස්ථාවක දෙමළ කොටි විරෝධය උස් හ`ඩින් ප‍්‍රකාශ කිරීමම එම අභියෝගය ජය ගැනීමට ප‍්‍රමාණවත් විය. දහසකුත් එකක් ප‍්‍රශ්නවලින් පීඩා වින්දත් දෙමළ ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම යන සටන් පාඨය එම ප‍්‍රශ්න අමතක කරවීමට සමත් විය. එහෙයින් මෙවර කොටින්ගේ නව මැදිහත් මතුවීමද එවැනි දේශපාලනික උපායමාර්ගයක් විය හැකිය යන අදහස සමාජය තුළ පැවතිණි. මෙවර පළාත් සභා ඡුන්දයෙහිද මෙම කොටි භීතිකාව සැලකිය යුතු තරම් බලපෑමක් කර ඇති බව මැතිවරණ ප‍්‍රතිඵල දෙස බලන විට පෙනෙයි.

නමුත් මේ වන විට නම් පෙනෙන්නේ මෙම තත්ත්වය හුදු මැතිවරණ උපක‍්‍රමයක් පමණක් නොවන බවයි. එසේත් නැතහොත් ජිනීවා සමුළුව ඉලක්ක කර ගත්තක්ම නොවන බවයි. එය දිගින් දිගමට වර්ධනය විය හැකි තත්ත්වයක් බව අත්අඩංගුවට ගැනීම්, ප‍්‍රශ්න කිරීම්, සෝදිසි කිරීම් ආදී සිදුවීම්වල අඛණ්ඩ බව කියා පායි.

ආයුධ සන්නද්ධ දේශපාලන ව්‍යාපාරවල ආරම්භය සිදු වූ අවධියෙහි පැවති තත්ත්වය සිහිපත් කරන අයුරින් මෙම සිදුවීම්වල අන්තර්ගතය සමන්විතව ඇත. කොටින්ගේ නැවත මතුවීම පිළිබ`ද මෙම පුවත් කිසිවකු විසින්වත් මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කළ හැකි ඒවා නොවෙයි. එමෙන්ම මුළුමනින්ම සනාථ කළ හැකි ඒවාද නොවේ.

කෙසේ නමුත් මෙයින් වඩාත්ම දුෂ්කරතාවයට පත්ව ඇත්තේ පුනරුත්ථාපන කඳවුරුවල සිට පැමිණ ඇති තරුණ තරුණියන්ය. සැකයේ උකුසු ඇසට මුලින්ම අසුවන්නේ ඔවුන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මරණයේ දොරටුව ළ`ගටම ගොස් නැවත ජීවිතය වෙත පැමිණි අයයි. මුදල් ඇති, පිටරට ඥාති මිත‍්‍රාදීන් සිටින අතළොස්සක් දෙනා පිටරටවල්වලට ගිය අතර යන්නට තැනක් නැති, මුදල් හදල් නැති අය තම ගම් බිම්වල ”සාමාන්‍ය” ජන ජීවිතයට එකතුව සිටිති. මැද පෙරදිග රටවලට කම්කරු රැුකියාවකට හෝ යෑමට වත්කමක් නැති ඔවුන් එදිනෙදා ජීවිකාව සපයා ගැනීමට අරගලයක නියැළී සිටින්නෝ වෙති.

මොවුන්ගෙන් බහුතරය අනිවාර්ය බ`දවා ගැනීම් යටතේ කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් බ`දවා ගත් අය මිස විමුක්තියේ අභිලාෂය දල්වාගෙන කොටි සංවිධානය වෙත ගොස් බැඳුණු අය නොවෙති. එහෙයින් බොහෝ පුනරුත්ථාපනයෙන් පැමිණි පිරිස් කොටි සංවිධානය පිළිබ`දව විවේචනාත්මකව සිතන අය වෙති.

නමුත් තවමත් ඔවුන්ගේ තත්ත්වය ගිරයට අසු වූ පුවකක් වැනිය. ඩයස්පෝරාවේ ආධිපත්‍යයට ලක් වූ දේශපාලන දහජරාවටද අවශ්‍ය වන්නේ මෙම පිරිස් දිවි පුදනු දැකීම මිස ජීවත් වෙනු දැකීම නොවෙයි.

උතුරෙහිද දකුණෙහිද වර්තමාන දේශපාලන පොර පිටිය තුළ වැජඹෙන දේශපාලඥයන් එම ස්ථානයට පැමිණ ඇත්තේ තරුණ මළ සිරුරු මතින්ය. ඔවුන්ට තරුණයන් අවශ්‍ය වන්නේ දිවි පිදීමට මිස ජීවත් කරවීමට නොවේ. එහෙයින් නැවත මතුවෙන කොටි පිළිබ`ද කතා උතුරේ සහ දකුණේ සාමාන්‍ය ජනයාට භීතිය දනවන්නක් වුවද යුද්ධය තුළින් වර්ධනය වී, ඒ මාර්ගයෙන්ම තම පැවැත්ම රඳා තබාගෙන සිටින දේශපාලනයටද එම දේශපාලනය වෙනුවෙන් පෙනීසිට ජනමාධ්‍යවලට ද ආශ්වාදජනක පුවතක් වෙයි.

උතුරේ මෙන්ම දකුණේ ජාතිවාදී දේශපාලනයට කොටි නොමැතිව පැවැත්මක් නැති බව දැන් දැන් පැහැදිලිව පෙනෙන්නට පටන් ගෙන ඇත. වඩාත් වැදගත් ප‍්‍රශ්නය වන්නේ උතුරේ ගිනියමින් තැටිය රත්කර ගන්නේ කවුද, සුරුට්ටු පත්තු කරගන්නේ කවුද යන්නයි.

ffe3455

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment