දකුණේ විතරක් නෙවෙයි උතුරෙත් විරු සිසුන් සිටියා – ශිෂ්‍ය වීරයන් විතරක් නෙවෙයි වීරවරියනුත් සිටියා

Jun 27th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා සිඹ මේ එන්නේ
පේ‍්‍රමයේ සුවද නොවේ

පසුගිය මැයි 20 වෙනිදා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට පිවිසෙද්දී සවස හතර පහුවෙලා. වෙනදා රොබරෝසියා මල් වලින් ඇහැල මලිනුත් සැරසෙන සරසවි පරිශ‍්‍රය මෙදා සැරසිලා තිබුණේ රතු පාට මැයි මල් වලින්. ඒ වගේම ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සරසවි භූමිය පිරී තිබුණා.

ඉතිහාසයේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය පළමු ශිෂ්‍යයා වූ වීරසූරිය සිසුවා සමරනු වස් ඉදිකොට තිබූ ස්මාරකය අසල එලිමහනේ තැනූ පීඨයක් මත 29 වන ශිෂ්‍ය වීර දිනය එදින සැමරුණා.

ආකර්ෂණීය වටපිටාවකින් යුතු සරසවි භූමියේ සැරිසරද්දී රතු සායම් ආලේප කෙරුණු කැන්වස් මත ශිෂ්‍ය අරගලයේ විවිධ සන්ධිස්ථාන සනිටුහන් වෙලා තිබුණා. ඒ රතු තීන්ත අපට අතීතය සිහි ගැන්වූයේ ශිෂ්‍ය අරගල මතින් ලද ජයග‍්‍රහණ රිදී බන්දේසි මත තමා ලබාගත් ඒවා නොව ශිෂ්‍ය වීරවරයන් සහ ශිෂ්‍ය වීරවරියන්ගේ ජීවිත කැප කොට ඔවුන්ගේ රුධිරය හෙලීමෙන් ලබාගත් ඒවා බවයි.

ඉතිහාසයක් ඇතුලේ අනේක විධ කැපවීම් කරලා තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරලා සටන් කළ ආදරණීය සහෝදර සහෝරියන්ගේ මතකයන් ගැන කථා කිරීමක් ඒ තුළින් ශිෂ්‍ය ව්‍යාපාරයටත් මුලූ මහත් සමාජයටත් ලබාගත හැකි පන්නරය කුමක්ද කියා සාකච්ඡුා කිරීමත් මෙදා ශිෂ්‍ය වීර දිනයේ අරමුණ වුණා. එදා සුනිල් ආරියරත්න අතින් පද වැල් ගෙතුණු, නන්දා මාලිනී අතින් පද වැල් ගැයුණු පවන, සත්‍යයේ ගීතය අද දවසේ ශ්වේත රාත‍්‍රිය දක්වා විපරිණාමය වූවත් එදා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සත්‍යයේ ගීතය මිමුණුවේ නව පන්නරයකින්.

වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම්බිම්වලට ඉහළින්
සමාජ ව්‍යාපාරයක් ලෙස හා සමාජ අයිතීන් දිනාගන්න සටන් කරන ව්‍යාපාරයක් විදිහට ශිෂ්‍ය ව්‍යාපාරය ඉතිහාසයේ වගේම වර්තමානයේත් බොහෝ ශක්‍යතා පෙන්නුම් කරලා තිබෙනවා. මේ ශක්‍යතා හා ජයග‍්‍රහණ ගැන කථා කරන අතරේම දශක කිහිපයක ශිෂ්‍ය ක‍්‍රියාකාරීත්වය ගැන විචාරාත්මක ලෙස අප බැලිය යුතු වෙනවා. එලෙස විචාරාත්මකව බැලිය යුත්තේ ශිෂ්‍ය දේශපාලනයේ තිබෙන ඇතැම් ජයගත යුතු සීමාවන් ජයගැනීම සදහා වූ කතිකාවක් ගොඩනැගීම වෙනුවෙන්.

නිදර්ශනයක් ලෙස තිස් අවුරුදු යුද්ධය සමයේ රාජ්‍යය අතින් උතුරු නැගෙනහිර ජනතාව විශාල පීඩනයකට ලක්වුණා. උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එහිදී දැවැන්ත මර්දනයකට ගොදුරු වුණා. මේ සම්බන්ධයෙන් එවකට ශිෂ්‍ය ව්‍යාපාරය සිටියේ නිශ්ශබ්ද ස්ථානයක. එම අයිතිවාසිකම් කඩවීම් ගැන ඔවුන් හඩ නැගීම සිදුකළේ නැහැ. යුද්ධ කාලයේ ඔවුන් සිටියේ මතවාදීව රාජ්‍යයේ ආස්ථානයට ආධාර කරන තැනක. සමාජයේ පවතින උග‍්‍ර ජාතිකවාදී අදහස්වල බලපෑම විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් තුළත් තිබෙනවා. ඒ ජාතිකවාදී ශේෂයන් සමග අනවරත අරගලයක යෙදීමේ අභියෝගය ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ පවතිනවා.

තවත් නිදසුනක් ලෙස බාහිර සමාජයේ තිබෙන ඇතැම් අගතීන් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ඇතුලෙත් ගැබ් වී තිබෙනවා. ස්ත‍්‍රීන් සම්බන්ධයෙන් තිබෙන පසුගාමී ආකල්ප, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය ගැන තිබෙන දුර්වල අදහස් ඊට ඇතුලත්. සිය උප සංස්කෘතිය ඇතුලේ තිබෙන මෙවැනි ප‍්‍රවණතා කෙරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය සැලකිලිමත් විය යුතුයි. වාර්ෂිකව පැවැත්වෙන ශිෂ්‍ය වීර දින සැමරුම අර්ථවත් කරගන්න පුළුවන් වෙන්නේ සිය සීමාවන් හා අඩුපාඩු මේ විදිහට අතික‍්‍රමණය කරන්න සමත්කම් දක්වනවා නම් පමණයි.

 11aml

දකුණේ විතරක් නෙවෙයි උතුරෙත් විරු සිසුන් සිටියා
ශිෂ්‍ය වීරයන් විතරක් නෙවෙයි වීරවරියනුත් සිටියා
ආචාර්ය ලියනගේ අමරකීර්ති

”ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගන්න අපේ ශිෂ්‍ය ව්‍යාපාරය අතීතයේ පටන් ගැටී තිබෙනවා. ප‍්‍රාග්ධනයට අධ්‍යාපනයත් ලාභ උපයන ක්ෂේත‍්‍රයක් බවට පත් කරගැනීමට ඉඩ නොදී ඉන්න වැදගත්ම බලවේගය තමයි ශිෂ්‍ය බලවේගය. සියලූ දේශපාලන පක්ෂවලටත් වඩා ඉදිරියෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා මේ කාරණයේදි. ලංකාවේ රාජ්‍යයේ නොසලකා හැරීම මගින් අධ්‍යාපනය බේරා ගැනීමට ශිෂ්‍යයෝ තරම් කැපවීමක් කරපු පිරිසක් අපේ ඉතිහාසය තුළ අපි දකින්නේ නැහැ.

87-89 අරගලයේදිත් ඊට පස්සෙත් උතුරු නැගෙනහිර දෙමළ ජාතික අරගලයේදී සටන් කළ ශිෂ්‍යයෝ සහ ශිෂ්‍ය වීරවරියෝ හිටියා. රාජ්‍ය යන්ත‍්‍රණය විසින් උතුරෙත් දකුණෙත් ශිෂ්‍යයාවන්ට හිංසනය එල්ල කෙරුණේ ශිෂ්‍ය සටන්වල යෙදීම නිසා පමණක් නොවේ. ඔවුන් ස්ත‍්‍රීන් වීම කියන කාරණයටත් ඔවුන්ට දඩුවම් කොට තිබෙනවා. ඒ නිසයි ඔවුන් ලිංගික හිංසනයට ඔවුන් ලක් කරන්නේ. පිරිමින්ට දඩුවම් කරන්නේ දේශපාලන වරද නිසා පමණයි. නමුත් ස්ත‍්‍රීන්ට දෙවරක් දඩුවම් දෙනවා. ඒ නිසා ශිෂ්‍ය නායකයින්ට පුළුවන් වෙන්න ඕනේ ශිෂ්‍ය වීරවරියන්ගේ දායකත්වය හැමවිටම සිහිපත් කරන්න.

අපි අවංකවම සලකා බැලිය යුතු කාරණා කිහිපයක් තියෙනවා. සෑම ශිෂ්‍ය සැමරුම් දිනයකම විනාඩියක නිහැඩියාව රකින වෙලාවෙ මම තනියම සිහිපත් කරන නමක් තියෙනවා. ඒ තමයි දයා පතිරණ. දයා පතිරණගෙ ඝාතනයට ශිෂ්‍ය ව්‍යාපාරය මොන තරම් සම්බන්ධදැයි කියා මා දන්නේ නෑ. ඒ වගේම කොළඹ උපකුලපතිවරයෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර උපකුලපති කාර්යාලය තුළම වෙඩි තබා මරා දමනු ලැබුවා. ඒ ඝාතනයට ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධ දැයි කියා මා දන්නේ නෑ. නමුත් එවැනි ඝාතන ශිෂ්‍ය ඉතිහාසය තුළ සිදු වුන බව අපි අවංකව මැදිහත් ආචාර ධර්මික නිරවුල් බවකින් හා අවංක ස්වයං විචාරයකින් සලකා බලන්න අවශ්‍යයි. එය අපේ සත්‍යයම පිණිස වෙනවා.

හනා ඇරෙන්ඞ්ගේ ‘හිංසන පිළිබද ගැඹුරු චින්තා’ නමැති කෘතියේ එක් තැනෙක මෙහෙම කියනවා. ‘දේශපාලනික වශයෙන් ගත් කල බලය හා හිංසනය යනු එකක් නොවේ. බලයහි හිංසනය යනු එකිනෙකට විරුද්ධ දෙකකි. හිංසනය ඇති වන්නේ බලය අනතුරට වැටී දුර්වල වි තිබෙන විටය.’ ශිෂ්‍ය ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ හිංසනය නොවෙයි බලය. එය ශිෂ්‍ය ව්‍යාපාරය සතුව දැටනමත් පවතිනවා. හිංසනයට එලෙසම වැඩෙන්න දුන්නොත් එහි කෙළවර බලය ඇතිවීම නොව බලය සම්පූර්ණයෙන්ම නැතිවී යාමයි. හිංසනයට බලය විනාශ කළ හැකි නමුත් බලය නිර්මාණය කිරිමෙහිලා හිංසනය අතිශයින්ම අසමත්.

නව ශිෂ්‍ය නායකත්වය දැන් යොමු වී තිබෙන මාර්ග ඔස්සේ අපේ මහජනතාව හමුවේ කිව යුත්තේ ඔබේ අරගලය පිටපුස ඇත්තේ ලෝකය පුරාම සියළු පුරවැසියන්ට අධ්‍යාපනය කියන එක අනුලංඝනීය මානුෂික අයිතියක් අපේ සටන පිටුපස ඇත්තේ. මේ හරයාත්මක සටන් පාඨය ඒ ආචාර්මධාර්මික වටිනාකම තමයි ඔබේ ශක්තිය.”

ni12

වීරත්වය තියෙන්නේ පාරේ උද්ඝෝෂණවලවිතරක් නෙවෙයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික

”සමාජයක මිනිස්සු පෙරට අඩියක් තියන්න දෙගිඩියාවෙන් හිටපු වෙලාවක නව පියවරක් නව යුගයකට එන්න දෙගිඩියාවක් නැතිව හිතේ ධෛර්යයෙන් ඒ මොහොතවල් පහුකරපු මිනිස්සු සමාජයේ හිටියා. අද ඉතාමත් සරල දැනුම් කොටස් විදිහට ඉගෙන ගන්න දේවල්, පහ වසර, හය වසර ශිෂ්‍යයෙක්ට පැය භාගයකින් තේරුම් කරලා දෙන සමහර විෂය කරුණු වෙනුවෙන් මිනිස් ඉතිහාසයේ එක යුගයක මිනිසුන්ට තමන්ගේ ජීවිත අහිමි කරගන්නට ජීවිතය පරදුවට තියලා ඒ වෙනුවෙන් පෙනී ඉන්න සිද්ධ වුණා. පෘථිවිය සූර්යයා වටා කැරකෙනවා කියන එක ඕනම කෙනෙක් දන්න සරල කරුණක්. මේ සරල ඇත්ත වෙනුවෙන් මීට අවුරුදු 400කට 500කට කලින් මිනිස්සු තමන්ගේ ජීවිතය පූජා කළා. 16 වන සියවසේ ජියොර්දානි බෲනෝ කියන ඉතාලි ජාතික විද්‍යාඥයා මේ දේ පළමු වතාවට ලෝකයට ඉදිරිපත් කරද්දී එවකට තිබුණු මර්දනකාරී පාලන තන්ත‍්‍රය විසින් මෙය ඉල්ලා අස්කරගන්න නැතිනම් මරණ දඩුවම පමුණුවනවා කියලා තර්ජනය කළා.

නමුත් ඔහු සොයාගනිපු සත්‍යය අත්හරින්නේ නැතිව මරණය තෝරා ගත්තා. හතර මං හන්දියක පණ පිටින් පිලිස්සී මිය යන්න බෲනෝ එදා තෝරාගත්තා. ඔහුට අවශ්‍ය නම් තිබුණා පෘථිවිය සූර්යයා වටේ කැරකෙනවාද? පෘථිවිය වටේ කැරකෙනවද කියන ප‍්‍රශ්නය තමන්ගේ ජීවිතයට අදාළද? මගේ දරුවන්ට අදාළද? මගේ අම්මා තාත්තට අදාළද කියලා ඕක කොහේ කොහොම කැරකුණත් මට මොකද කියලා හිතලා පැත්තකට වෙලා ඉන්න. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. සමහර සරල ඇත්තවල් වෙනුවෙන් පණ පිටින් පිලිස්සී මිය යාම තෝරාගැනීමට තරම් ඔවුන් නිර්භීත වුණා. ඒක තමයි වීරත්වය. ගැලීලියෝ ගැලීලි වැනි විද්‍යාඥයින් ගත්තත් දැනටත් හැමෝම කථා වෙනවා දුරේක්ෂය හොයාගත්තා කියලා. නමුත් දුරේක්ෂය හොයාගෙන මානව සමාජයට කිසිදා දැකගන්න හම්බ වෙන්නේ නැති කෝටි ප‍්‍රකෝටි ගණන් දුර තිබෙන දේවල් නිරීක්ෂණය කරන්න හැකි තාක්ෂණික දැනුම මානව සමාජයට උරුම කර දීපු මනුෂ්‍යයාට පුද්ගලයට අවසානයේ සිද්ධ වුණේ දශක ගණනාවක් අදුරු සිර කුටියක ඉදලා තමන්ගේ දෑස් අන්ධ වෙලා මැරිලා යන්න. එහෙම අභියෝගයක් අවදානමක් තමන් ඉදිරියේ තියෙද්දී තමයි ඒ පුද්ගලයන් ඒ දේවල් මානව සමාජයට උරුම කළේ. ඒ නිසා වීරත්වය කියන්නේ පුළුල් දෙයක්. වීරත්වය තියෙන්නේ පාරේ විතරක් නෙමෙයි. වීරත්වය තියෙන්නේ උද්ඝෝෂණ ඇතුලේ විතරක් නෙමෙයි. වීරත්වය තියෙන්නේ මානව සමාජයක් විදිහට මිනිස්සු නව පියවරකට යන්න නව පියවරක් තියන්න ඇවිල්ලා පෙළඹිලා ඒ සදහා ගැබ්බරව ඉද්දී ඒ ප‍්‍රසූතියට අදාළ කාර්යභාර කොටස ඉටු කරන මිනිස්සු තමයි සමාජයක වීරයින් විදිහට අපට හදුනාගන්න පුළුවන් වෙන්නේ.

|සැකසුම සහ සටහන – තුෂාරා සෙව්වන්දි විතාරණ

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment