මාධ්‍ය ආවරණය සහ ආරක්ෂාව

Jul 15th, 2014 | By | Category: OTHER NEWS, මාධ්‍ය නිදහස, සමබිම මාධ්‍ය රැකවරණය

මාධ්‍යවේදීන් රැකගැනීමේ කමිටුව (CPJ) මාක් බැසිල් විසිනි

මාක් බැසිල්ගේ ආරක්ෂක වෘත්තික අත්දැකීම් වසර 20කට ආසන්න කාලයක් තුළ පැතිරෙයි. එක්සත් ජනපද රහස් සේවාවේ සේවය කළ ඔහු ත‍්‍රස්ත විරෝධී කටයුතුවල හා ලෝක නායකයන්ට රහසිගතව ආරක්ෂාව සැපයීමේ කටයුතුවල නිරතව සිටියේය. රහස් සේවාවේ ආරක්ෂාව යටතේ සිටි අය වෙනුවෙන් ඔහු ආරක්ෂාව හා අනතුරු පිළිබඳ සමීක්ෂණ සිදු කළේය. ඔහු වර්තමානයේ සහතික ලත් ආරක්ෂණ වෘත්තිකයෙකි. ආරක්ෂාව සම්බන්ධ වෘත්තිකයන්ට ඉගැන්වීමේ හා පුහුණු කිරීමේ ද යෙදී සිටියි. ආරක්ෂක අවශ්‍යතා හඳුනා ගැනීමේ උපදේශන සේවා සපයයි. එමෙන්ම ආරක්ෂක වැඩසටහන් සංවර්ධනය කරයි. ආවේක්ෂණය, එනම් බලධාරීන්ගේ උකුසු ඇසට හා ඔත්තු සේවාවල නිරීක්ෂණයට ලක්වීම බොහෝ මාධ්‍යවේදීන් අනතුරේ වැටීමට පෙර සිදුවන දෙයකි. ආවේක්ෂණයෙන් ගැලවීමේ උපක‍්‍රම සම්බන්ධයෙන් මාක් බැසිල් පවසන්නේ කුමක්දැයි මෙම ලිපියෙන් ඔබට උගත හැකිය.

මෑත කාලයේදී ජනමාධ්‍යවේදීන්ව අවේක්ෂණයට ලක් කිරීමේ ඩිජිටල් ක‍්‍රම දියුණු වූ මුත් තවමත් ශාරීරික අවේක්ෂණය ආරක්ෂක හමුදාවල, පොලීසියේ හා පෞද්ගලික ආයතනවල ප‍්‍රධාන උපායකි. ඔවුහු ජනමාධ්‍යකරුවන් ගැන නිරීක්ෂණය කරමින්, රහස් ඔත්තු බලමින්, ජනමාධ්‍යකරුවන්ගේ කටයුතුවලට බාධා කරමින් හා ඔවුන් අනතුරේ හෙළමින් සිටිති.

අවේක්ෂණය හඳුනා ගන්නා ආකාරය තේරුම් ගැනීමෙන් ඔබට ඔබගේ ආරක්ෂා තහවුරු කර ගත හැකි අතර, ක්ෂේත‍්‍රයේදී ඔබගේ කාර්යයන් නිසි පරිදි සම්පූර්ණ කළ හැකිය. එක්සත් ජනපද රහස් සේවාවේ දස වසරක පළපුරුද්දක් තිබෙන, දැන් පෞද්ගලිකව ආරක්ෂක විශ්ලේෂකයකු හා උපදේශකයකු ලෙස කටයුතු කරන මම ඔබට අවේක්ෂණය හඳුනා ගැනීමේ මූලික අවබෝධයක් ලබා දෙන්නෙමි. එහෙත්, ඔබ අවදානමක සිටින්නේ නම්, ඔබ වහා ඔබගේ සංස්කාරකවරුන් සහ සගයන් සමග සාකච්ඡා කළ යුතුය. ආරක්ෂක විශේෂඥයන්ගෙන් ඍජුවම උපදෙස් ගත යුතුය.

නිරීක්ෂණයේ හා හැසිරීම තේරුම් ගැනීමේ ඔබේ හැකියාව අවේක්ෂණය හඳුනා ගැනීමේදී ඉතා වැදගත් වේ. ඔබගේම ක‍්‍රියා හා චර්යාවන් ගැන අවදියෙන් සිටින්න. අනුන්ගේ හැසිරීමේ සුළු වෙනස්කම් හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කර ගන්න. හැසිරීම් ගැන අවධානය යොමු කරමින් පොදු අවකාශවල සිටින මිනිසුන් දෙස බලා සිටීමෙන් ඔබට මේ පිළිබඳව පුහුණුවක් ලබා ගත හැකිය.

ඔබගේ පරිසරයේ පිළිවෙළවල්, සංස්කෘතිය හා අපේක්ෂා ආදිය හඳුනා ගන්න. කුමක් කාට අයිතිදැයි දැන ගන්න. අයිති නො වන දේ ගැනත් දැන ගන්න. ඇතැම් ක‍්‍රියා සිදු වන්නේ කුමන වේලාවට ද? ඒ ඒ වේලාවන්ට එම ප‍්‍රදේශයේදී සාමාන්‍ය වන්නේ කුමන ක‍්‍රියාද? ඔබේ වීදියේ හෝ ප‍්‍රදේශයේ සරන වෙළෙඳුන් වැනි අය ඇත්තටම එවැන්නෝද? ඔවුන් එහි සිටීම පරිසරයට ගැලපෙනවාද? සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වය ගැන හා අපේක්ෂිත හැසිරීම් ගැන චිත‍්‍රයක් සකසා ගැනීමෙන් අවේක්ෂණය හඳුනා ගැනීම පහසු වේ. වඩාත් පුළුල්ව ගත්තොත්, පළාත් පාලන ආයතනයේ, පොලීසියේ හා හමුදාවේ මෙහෙයුම් හා ඉවසීමේ මට්ටම් තේරුම් ගන්න. එමගින් ඔබට බලාපොරොත්තු විය හැකි තත්ත්වයන් ගැනත්, ඔබ ගැන උනන්දු විය හැකි අය ගැනත්, ඔවුන් ප‍්‍රතිචාර දැක්විය හැකි ආකාර ගැනත් තේරුම් ගත හැකි ය.

ඔබ වටහා ගන්නේ ඔබ දකින දේම නොවන බව මතක තබා ගන්න. ඔබගේ අවධානය යොමු වන්නේ හැසිරීම්වලටයි. ඒකාකාර ස්වභාවයන්ට හෝ අපේක්ෂාවන්ට නොවේ. කිසියම් කෙනෙක් පෙනෙන්නේ එක් දෙයක් කරන්නා සේය. එය සාමාන්‍ය, තාර්කික දෙයක් වන්නට පුළුවන. එහෙත්, ඔවුන් ඇත්තටම කරන්නේ කුමක්ද? ඔවුන්ගේ අවධානය කුමකට ද? ඔවුන්ගේ ඇස් යොමු වී තිබෙන්නේ වෙන දෙයකටද? ඔවුන් ඇත්තෙන්ම අවධානය යොමු කරන්නේ කුමකටද? ඇතැම් පුද්ගලයන් ඔබගේ චලනයන් නිරීක්ෂණය කරනු පිණිස ඔබ ආසන්නයෙන් ස්ථාන ගත වනු ඇත. වෙනත් අයගෙන් ඔබ කරන දේ ගැන අසන්නටත් ඉඩ තිබේ. ඔබෙන් කෙළින්ම ප‍්‍රශ්න කරන්නටත් ඉඩ තිබේ.

preeමෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. එක් පුද්ගලයකු කාලයක් තිස්සේ යම් දුරකින් විවිධ අවස්ථාවලදී දකින්නට ලැබීම, හැසිරීමෙන් හා ඇඳුමෙන් එම ස්ථානයට නො ගැලපෙන පුද්ගලයෝ, අසාමාන්‍ය දිශාවලට කැමරා යොමු කරාගෙන සිටින අය, ඔබ චලනය වන විට දුරකථනයෙන් හෝ කනට සවි කර ගත් උපකරණයකින් හෝ පහත් හඬින් කතා කරන මිනිස්සු. මේ කරුණු අවධානයට ලක් වීම අත්‍යවශ්‍යය. අව් කණ්ණාඩි පැළඳ ගැනීමෙන් හා කණ්ණාඩි, වීදුරු හා ජනෙල් ආදියෙන් බැලීමෙන් වඩා විචක්ෂණශීලී ලෙස නිරීක්ෂණය කළ හැකිය. මේ නිරීක්ෂණ ඔබට එකට සම්බන්ධ කර ගත හැකිය.

අක‍්‍රිය අවේක්ෂණ හඳුනා ගැනීම් ලෙස හැඳින්වෙන මේවා පදනම් වන්නේ නිරීක්ෂණය මතය. අවේක්ෂණය කරන්නාට නොදැනෙන සේ ඔබට මෙමගින් අවේක්ෂණය හඳුනා ගත හැකිය. ඔබගේ සැකය තහවුරු කර ගැනීම සඳහා අවේක්ෂණයේ යෙදෙන පුද්ගලයාගෙන් ප‍්‍රතිචාරයක් ලබා ගත යුතුය. ඒ සඳහා වඩා බලපෑම් සහිත උපායක් භාවිතා කළ යුතු ය. එය සක‍්‍රීය අවේක්ෂණ හඳුනා ගැනීම ලෙස හැඳින්වේ.
සක‍්‍රිය අවේක්ෂණ හඳුනා ගැනීම අනතුරුදායක බව වටහා ගන්න. ඔබ නිරීක්ෂණයට ලක්ව සිටින්නේ යැයි ඔබ සිතන බව අනෙක් අයට නොකියා සිටීම වඩා ආරක්ෂාකාරී වන්නට පුළුවන. හැම විටම ප‍්‍රශ්නය පිළිබඳව ඔබගේ සංස්කාරකවරයා හා සගයන් සමග සාකච්ඡා කර, ආරක්ෂක විශේෂඥයන්ගෙන් ඍජුවම සම්බන්ධ උපදෙස් ලබා ගැනීමට උත්සාහ කරන්න. එමගින් අවදානම තක්සේරු කර විකල්ප කෙරෙහි අවධානය යොමු කරන්න.

අවේක්ෂණ හඳුනාගැනීම් මාර්ග වනාහි සක‍්‍රීය උපායකි. හැරවුම්, කෝණ, නැවතුම් සහිත මාර්ගයක් භාවිතා කරන්න. එක් වරම හැරී අනෙක් අතට ගමන් කරන්න. ඔබගේ චලනයන් නිවැරදි උපායමාර්ගික හා ඇතැම් විට තාර්කික ඒවා විය යුතුය. එමගින් ඔබ පසුපස එන අය හෙළිදරව් කර ගත හැකිය. ඔබ ඔවුන්ව හඳුනා ගත් බව අඟවන්නේ ද යන්න ඔබ තීරණය කළ යුතුය. ඔවුන් දෙස බලා සිටීමෙන් හෝ ඔවුන්ගේ ඡායාරූප ගැනීමෙන් එසේ කළ හැකිය. මෙමගින් ඔවුන් පසුබසින්නට හෝ උපායන් වෙනස් කරන්නට හෝ ඉඩ තිබේ. එහෙත් එහි අවදානමක් ද තිබේ.

අවේක්ෂණය හඳුනා ගත් පසු ඔබ ඔබගේ දින චරියාවන් වෙනස් කිරීම ගැන සැලකිලිමත් විය යුතු ය. එමගින් ඔබගේ නිරාවරණය වීම සීමා කරගත හැකිය. මෙම ක‍්‍රියාව විශ්වාස කළ හැකි බලධාරියකුට හෝ තානාපති නිලධාරියකුට වාර්තා කළ හැකි ය. ආරක්ෂක වෘත්තිකයන්ගේ උදව් ද අවශ්‍ය වන්නට ඉඩ තිබේ. ආරක්ෂාව එක්තරා ආකාරයක ප‍්‍රති අවේක්ෂණයක් විය හැකි ය. ඒ ඔබව නිරීක්ෂණය කරන අයව නිරීක්ෂණය කිරීමෙනි. ඔබ හා සම්බන්ධ පුද්ගලයන් සමග සන්නිවේදනය සඳහා සංඥා, කේත වැනි ආරක්ෂාකාරී ක‍්‍රම භාවිතා කරන්න. ඔබ අවේක්ෂණයට ලක් වී ඇති බව ඔවුන්ට දැනුම් දෙන්න. විකල්ප සැලසුම් වෙත යොමු වන්න. කලින් සැලසුම් කිරීමෙන් ඔබට ක්ෂේත‍්‍රයේ තීරණ ගැනීම පහසු වේ.

අවදානමේ මට්ටම අනුව, කිසියම් කාර්යයක් නවත්වනවා ද, නගරයෙන් හෝ ප‍්‍රදේශයෙන් පිටතට යනවා ද යනාදී පියවර තීරණය කරන්නට ඔබට සිදු වේ. ඔබගේ ආරක්ෂාව පිළිබඳ සැකයක් තිබේ නම් එසේ කරන්නට මැලි වන්නට එපා. ඔබ නිරීක්ෂණය කරන පුද්ගලයෝ ද කිසියම් උපායික තීරණයක් ගැනීමේ තැනක සිටිනවා විය හැකිය.

රට යන්නෙ නැතිව,
යට යන්නෙ නැතිව,
පැත්ත ගියත් ඇත්ත ලියන්න

සමබිම මාධ්‍ය රැකවරණය

ඔබ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදියෙක්/වේදිනියක්ද? ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්/මාධ්‍යවේනියක්ද? නිදහස් මාධ්‍යවේදියෙක්/වේදිනියක්ද? වෙබ් මාධ්‍යව්දියෙක්ද? බ්ලොග්කරුවෙක්ද? ඔබට ආයතනික හයියක්, රැකවරණයක් අවශ්‍යය වේ යැයි සිතන්නේද එසේ නම් අදම ‛සමබිම මාධ්‍ය රැකවරණය’ යටතේ ලියාපදිංචි වන්න
ලියාපදිංචිය සහ විස්තර සදහා -නීතිඥ ප්‍රියලාල් සිරිසේන – 0777-878579

ඊ මෙල් -rightsnow@gmail.com
වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා www.protectjournalists.blogspot.com බ්ලොග් අඩවියට පිවිසෙන්න.

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment