රට හදන දර්ශනය කෙළින් කියන්න

Jul 21st, 2014 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, දේශපාලන

1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට ඩොමීනියන් තත්ත්වය හෙවත් අර්ධ නිදහස ලැබෙන විට ලාංකීය දේශපාලනය සමාජගත වෙමින්, වර්ධනය වෙමින් පැවැති කාලවකවානුවක්‌ විය. එක්‌සත් ජාතික පක්‌ෂය කොම්ප්‍රදෝරු ධනේෂ්වර නියෝජනය කරද්දී ලංකා සමසමාජ පක්‌ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය, විප්ලවකාරී සමසමාජ පක්‌ෂය අඩු වැඩි වශයෙන් සමාජවාදය ඉලක්‌ක කොටගත් වාමාංශික පක්‌ෂ ලෙසින් ක්‍රියාත්මක විණි. ලාංකීය දේශපාලනය ප්‍රතිගාමී හා ප්‍රගතිශීලී වශයෙන් කඳවුරු දෙකකට බෙදී යාම සිදු කෙරුණේ දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව ලෝකය වෙලාගත් කඳවුරු න්‍යායට අනුගත වෙමිනි.

නමුත් ප්‍රායෝගිකව ගත් කල ලංකාවේ එවක වාමාංශික පක්‌ෂ මාක්‌ස්‌ ලෙනින්වාදය වෙනුවට ප්‍රායෝගිකව ස්‌ටාලින්වාදය හා ට්‍රොස්‌කිවාදය පැළ කිරීමට දැරූ උත්සාහයක්‌ දක්‌නට තිබුණි.

මේ අතර 1951 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ස්‌ථාපිත කරමින් එතෙක්‌ ක්‍රියාත්මකව පැවැති කොම්ප්‍රදෝරු ධනේෂ්වරයට ජාතිකවාදී වූත්, ප්‍රගතිශීලී වූත් නැඹුරුවක්‌ ලබාදීමට එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමා සමත් වනුයේ ‘මිය යමින් පවතින ධනේෂ්වරයත්, ඉපදීමට විළිලන සමාජවාදී ලෝකයත්’ පිළිබඳව මතයක්‌ ද ලාංකීය දේශපාලනයට එක්‌ කරමිනි. පෙරදිග සංස්‌කෘතිය නිසි ලෙස අවබෝධ කරගෙන සිය දේශපාලන මතය පැළ කිරීමට අපොහොසත් වූ වාමාංශික පක්‌ෂ දිය කිරීමට බණ්‌ඩාරනායකයන්ගේ ප්‍රගතිශීලී නැඹුරුව හේතු විණි.

ඒ වාගේම පංති විෂමතාවය දැඩිව කරපින්නා ගෙන සිටි එජාපයටත්, ජාතිකවාදී ප්‍රගතිශීලී ධනේෂ්වරයක්‌ වෙනුවෙන් පෙනී සිටි ශ්‍රීලනිපය විකල්පයක්‌ ලෙසින් පෙනී සිටීමේ හැකියාවක්‌ බැලූ බැල්මට තිබිණි. 1947 සිට 1956 දක්‌වා රටේ පාලනය අත්පත් කරගෙන සිටි එජාපයට දේශපාලන බලය අහිමි කිරීමටත්, ජනතාව හමුවේ විකල්පයක්‌ ලෙසින් පෙනී සිටීමටත් හැකි වනුයේ ජාතිකවාදී වූත්, සුබසාධනවාදී වූත් පාලනයක්‌ ප්‍රායෝගිකව පවත්වා ගෙන යාමටත් බණ්‌ඩාරනායකයන් සමත් වූ හෙයිනි.

මේ අතර බණ්‌ඩාරනායකයන්ගේ ඝාතනයෙන් පසුව 1960 මාර්තු මාසයේ දී පැවැති මහා මැතිවරණයෙන් සියුම් ජයක්‌ අත් කරගැනීමට එජාපය සමත් වූවත්, එම ආණ්‌ඩුව මාස තුනකට සීමා වීම කරන කොටගෙන 1960 ජූලි මාසයේ පැවැති මහා මැතිවරණයේ දී සිරිමාවෝ රත්වත්තේ මැතිණියගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපයට නැවතත් පරාජය වීම එජාපයට සිය පිළිවෙත් කෙරෙහි නැවත විමසා බැලීමට බලපෑමක්‌ ඇති කළේය.

1956 දී පිලිප් ගුණවර්ධනයන්ගේ විප්ලවකාරී සම සමාජ පක්‌ෂය හා එක්‌ව, මහජන එක්‌සත් පෙරමුණ ගොඩනගා එවක පැවැති එජාපයත්, වාමාංශික පක්‌ෂත් පරාජය කරමින් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට බණ්‌ඩාරනායක මහතා සමත් වූවා සේම, 1964 දීත්, 1970 දීත් ලංකා සම සමාජ පක්‌ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය ප්‍රමුඛ වාමාංශය හා එක්‌ව ආණ්‌ඩු පිහිටුවීමට සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය ප්‍රමුඛ ශ්‍රීලනිපයත් පෙළඹීම තුළින් ‘සමාජවාදී’ ලේබලය දැඩි කරගැනීමට මෙන් ම එජාපයට විකල්පය ලෙසට පෙනී සිටීමට ද අවස්‌ථාව උදා විණි.

එහෙත් 1975 වන විට ශ්‍රීලනිපයේ ප්‍රතිගාමී කණ්‌ඩායම නැවතත් හිස එසවූයේ 1959 දී බණ්‌ඩාරනායක මහතාගේ මහජන එක්‌සත් පෙරමුණ අත්දුටු ආකාරයෙනි. එහිදී සමගි පෙරමුණු ආණ්‌ඩුවේ මුදල් අමාත්‍ය ධුරය දැරූ ලංකා සම සමාජ පක්‌ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහත්මාත්, 72 ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නිර්මාතෘවර ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහත්මාත් ප්‍රමුඛ ලංකා සම සමාජ පක්‌ෂය සමගි පෙරමුණෙන් ඉවත් විණි. අනතුරුව මුදල් අමාත්‍ය ධුරය භාර කෙරුණේ ශ්‍රීලනිපයේ දක්‌ෂිණාංශය නියෝජනය කළ අධිනීතිඥ µsලීක්‌ස්‌ ආර්. ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා වෙතය. ලංකාවේ පළමු වරට මහ කොළඹ ආර්ථික කොමිසම ස්‌ථාපිත කරමින් ප්‍රථම වෙළෙඳ කලාපය ඇරඹීමට හා ආර්ථිකය විවෘත කිරීමට මූලික කටයුතු සැලසුම් කළේ ද මෙම අවස්‌ථාවේදීය. එහෙත් 77 දී ශ්‍රීලනිපය පරාජය කරමින් ඡේ.ආර්. බලයට පත් විය. 

මේ අතර හැත්තෑව දශකය අගභාගය වන විට මහා බ්‍රිතාන්‍යයේ මාග්‍රට්‌ තැචර් මහත්මිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙමින් රාජ්‍ය අංශයට පෞද්ගලීකකරණය හඳුන්වා දීම සිදු කෙරුණේ නව ලිබරල්වාදී ආර්ථිකයට තවත් අදියරක්‌ එක්‌ කරමිනි. ඒ හා සමග ම 1980 දී ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ජනපති ධුරයට රොනල්ඩ් රේගන් පත්වීම ගෝලීයකරණ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා වේගවත් කිරීමට හේතුවිණි. ඒ අනුව ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවලටත් එම ගෝලීයකරණ ක්‍රියාවලියට අනුගත වීමට සිදුවිණි. විශේෂයෙන්ම ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ ලංකාවේ ආර්ථිකය විවෘත කරමින් නව ලිබරල්වාදය වැළඳ ගැනීමට ක්‍රියාත්මක විණි. එම ක්‍රියාදාමය නව ලිබරල් ක්‍රමයේ පියවරුන් වූ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපයටත් එහා යමින් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කළේ අසීමාන්තිකවය. ඇමෙරිකාව පවා ආරක්‌ෂණවාදය අනුගමනය කරමින් ආර්ථිකය විවෘත කිරීම සුවිශේෂ ලක්‌ෂණයක්‌ විය. 

එහෙත් 1994 ජනාධිපතිවරණයේ දී විවෘත අර්ථ ක්‍රමයට මානුෂික මුහුණුවරක්‌ ලබාදීමේ ප්‍රතිඥාව මත චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ඉදිරිපත්ව ජය ගැනීමෙන් අනතුරුව ගෙන ගිය වසර 11 ක පාලන සමය තුළ දී තැචර්ලාගේ ගෝලීයකරණයට අනුගත වෙමින්, පෞද්ගලීකකරණය හා ප්‍රතිව්‍යqහගතකරණය ආදරයෙන් වැළඳ ගනිමින් ලිබරල්වාදී අර්ථ ක්‍රමයත්, දේශපාලන ක්‍රමයත් සුරැකිව ඉදිරියට ගෙන ගියාය.

මේ අතර 2000 දී බලයට පත් පොදුජන එක්‌සත් පෙරමුණු ආණ්‌ඩුව බිඳ දැමීමට මහාචාර්ය ජී.එල්. පීරිස්‌, එස්‌. බී. දිසානායක, රාජිත සේනාරත්න ඇතුළු කණ්‌ඩායමක්‌ ක්‍රියා කිරීම මත 2001 පැවැති මහ මැතිවරණයෙන් එජාපය බලයට පත් විය. එහෙත් එජාපය විසින් ම නිර්මාණය කළ විධායක ජනාධිපති නමැති සර්පයා දෂ්ට කිරීම නිසා 2004 දී එම පාලනයත් බිඳ වැටී 2004 දීත් මහ මැතිවරණයක්‌ පැවැත්වීමට කටයුතු යෙදිණි. එහිදී ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදුජන එක්‌සත් පෙරමුණ හා ජනතා විමුක්‌ති පෙරමුණ සංධානගත වූයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලෙසිනි. එමගින් ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන එක්‌සත් පෙරමුණේ සේදීයමින් පැවැති ප්‍රගතිශීලී හා සමාජවාදී පෙනුම තවදුරටත් වැඩි වර්ධනය කරගැනීමට ජනතා විමුක්‌ති පෙරමුණේ සබඳතාවය බෙහෙවින් ඉවහල් විණි. එහිදී ජනතා විමුක්‌ති පෙරමුණේ කැපවීමෙන් හා මෙහෙයවීමෙන් 2005 නොවැම්බර් මාසයේ දී ජයග්‍රහණය කරමින් මහින්ද මහතා ජනාධිපති ධුරයට පත්විණි. අනතුරුව ඒ ජනාධිපතිවරණයේ දී ඔහුට එරෙහිව Rජුවම ක්‍රියාකාරී වූ එහෙත් ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව ඔහුව වටකර ගත් අවස්‌ථාවාදී, දුෂිත පිරිස්‌ අමාත්‍ය මණ්‌ඩලයට ද එක්‌වීමට සමත්වීම සුවිශේෂ කාරණයකි. ඔහුගේ ජයග්‍රහණය උදෙසා අව්‍යාජව කැපවූ සැබෑ ප්‍රතිපත්තිගරුක ප්‍රගතිශීලීන් පසෙකට තල්ලු කෙරෙමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව පෙරට ඇදුණේ ජනතා විමුක්‌ති පෙරමුණ එම අමාත්‍ය මණ්‌ඩලයට එක්‌වීම ප්‍රතික්‌ෂේප කළ පසුබිමකය.

2006 වසර වන විට රටේ සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලු, අර්බුද සියල්ලම යුද්ධයේ කඩතුරාවෙන් වැසී ගිය අතර, ජනාධිපතිවරයාගේ දෑත් ශක්‌තිමත් කිරීමක්‌ හුවා දක්‌වමින් එජාපයේ විශාල පිරිසක්‌ ආණ්‌ඩුව තුළට ගාල් වී ඇමතිකම් ද ලබාගැනීමට සමත් වූහ. ශ්‍රීලනිපයේ නාමය, ලාංඡනය හා ප්‍රතිපත්ති ද වහං වෙමින් රාජපක්‌ෂ නාමය හා විධායක ජනපති ධුරය පෙරට දමාගනිමින් වමට සංඥා කරමින් දකුණට ආණ්‌ඩුව රැගෙන යාමට අවස්‌ථාවාදී පිරිස්‌ සමත් වූයේ ජනතාව යුද්ධය දෙස බලා සිටියදීමය.

ශ්‍රී ලංකාවට නව ලිබරල්වාදය හඳුන්වාදීමේ පුරෝගාමින් වූ එජාපයටත් විපක්‌ෂ ප්‍රගතිශීලීන්ගේ විරෝධතා මත ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නවලිබරල්වාදය විධිමත් හා ශක්‌තිමත් කෙරෙන ක්‍රියා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව යටතේ දී ම ඉතාමත් පහසුවෙන් සිදු කරගැනීමට දක්‌ෂිණාංශික බලවේග සමත් වූයේ එජාපයට සිය ඓතිහාසිකව පැවරී තිබූ කාර්යභාරය කිරීමට භූමිකාවක්‌ අහිමි කරමිනි.

යුද්ධය නිමා වී වසර කිහිපයක්‌ ගත වන විට යුද්ධය දෙස බලා සිටි බහුතර ජනතාව රට දෙසත්, රටේ සමාජ, ආර්ථික, දේශපාලනික දේහය දෙස මෙන් ම සිය ජීවිත පිළිබඳවත් හැරී බැලීමට පෙළඹෙණුයේ මෙම පසුබිම තුළය.

ඒ වන විට විධායක ජනාධිපති ක්‍රමයට දිවි හිමියෙන් එරෙහි වූවන් එම ක්‍රමය වඩ වඩාත් ශක්‌තිමත් කරමින්, ඉතිහාසයේ පළමු වරට ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාරවලටත්, භාණ්‌ඩ හා සේවාවන්වලටත් අධික බදු පනවමින්, ඉහළ ධනපති පංතියට බදු විරාම, බදු සහන ලබාදෙමින්, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙළෙඳපොළට විවෘත කරමින් නව ලිබරල්වාදයේ දෙවැනි ඉනිම ඉතාමත් ප්‍රායෝගිකව ඉදිරියට රැගෙන යමින් සිටින ආකාරය සමාජ, ආර්ථික, දේශපාලන ක්‌ෂේත්‍ර පිළිබඳ යම් අවබෝධයක්‌, අවධානයක්‌, යොමුවක්‌ ඇති ජනයාට දැකගන්ට ලැබුණි. එහෙත් රටේ සාක්‌ෂරතාවය ඉහළ අගයක තිබුණ ද ඉහත කී දැනුම අවබෝධය නොතිබීම නිසා උද්ගතව පවත්නා යථාර්ථය අවබෝධ කරගැනීමට න්‍යායාත්මකව නොහැකි වීම ආණ්‌ඩුවේ යහපතට හේතු වී තිබේ. සමාජයේ එම කොටස්‌ රට මුහුණ පා තිබෙන සැබෑ සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වය තේරුම් ගැනීමට සමත් වනුයේ ප්‍රායෝගිකව තමන්ට ඇඟට දැනෙන, පොකට්‌ටුවට දැනෙන, ගෘහ ජීවිතයට දැනෙන ප්‍රමාණයට සාපේක්‌ෂවය.

මෙවැනි පසුබිමක රටේ වාර්ෂික දළ ජාතික ආදායම, වාර්ෂික ණය වාරික හා පොලී ප්‍රමාණය ගෙවීමටත් නොහැකි තත්ත්වයට පත් වූ ආර්ථිකයකින් යුත් ශ්‍රී ලංකාව නව ලිබරල්වාදය කරපින්නා ගෙන යැම මගින් ණය උගුලටම සිර වී ණයට ම සින්න වීම හැර අන් ප්‍රතිඵලයක්‌ නම් එජාපයට වුව ඇත්තේ නැත යන්න තර්කානුකූල පරම සත්‍යයයි.

එජාපයට සිය ඓතිහාසික භූමිකාව තාවකාලිකව හෝ රැකගැනීමට තවත් එක්‌ මගක්‌ පවතී. එනම් වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව සිය ගමන් මග නිවැරදි කරගනිමින්, ජනතාවට දුන් පොරොන්දු ප්‍රතිඥා යථාර්ථවාදීව ඉටු කරමින්, නව ලිබරල්වාදී පිළිවෙත්වලින් බැහැරව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැවත ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවේ ධනේෂ්වරය වෙනුවෙන් හා පොදු මහජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකව කැප වී සිටින්නේ කොයි පිල ද යන්න රට හමුවේ අනාවරණය වන්නේ ද එම තත්ත්වය තුළය. එම දේශපාලන කණ්‌ඩායම් දෙකට මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඉටු කළ හැකි ඉහළම සත්කාර්යය ද එය වනු නියතය. එනම් තමන් පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන් ද යන්න අව්‍යාජව රටත්, ජනතාවත් හමුවේ හෙළිදරව් කිරීමයි. එය එසේ වුවහොත් ඉදිරි මැතිවරණවල දී කණ්‌ණාඩියක්‌ ඉදිරිපිට සිටගෙන තමන්ගේ සැබෑ ස්‌වරූපය දැකබලා ගැනීමේ භාග්‍යය ද ඔවුන්ට අත්වනු නිසැකය.

රාජා කටුගම්පොළ

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවියෙනි.

www.divaina.com

rm

Recent Posts

Tags: , ,

Leave a Comment