අසමමිතික යුද්ධයක අනාගත විපාක

Aug 18th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

| දීප්ති කුමාර ගුණරත්න

තමිල් ඊළමක් වෙනුවෙන් දෙමළ සමාජයේ පීඩිත දුගීන්ගේ යුද්ධය 80 දශකය මුල ආරම්භ වී 21 වන සියවසේ මුල් දශකය අවසානයේ අවසන් විය. මහින්ද රාජපක්ෂට පෙර සිටි නායකයන්ට ද අවශ්‍ය නම් යුද්ධය අවසන් කිරීමේ හැකියාව තිබුණි. එම නායකයන් ද මහින්දට නොඅඩුව යුදවාදී වුවත් යුද්ධයේ අප‍්‍රකාශිත අදහසක් උල්ලංඝණය නොකළේය. එම අනුලංඝණීය අදහස මෙසේය. ‘සමූල ඝාතනය හරහා යුද්ධය අවසන් නොකළ යුතුය’. මනෝවිශ්ලේෂණ භාෂාවෙන් කිවහොත් ඔබ ඔබගේ ආශාවේ අන්තයට ගමන් නොකළ යුතුය. ආශාවේ ගමනාන්තය යනු මිනීමැරීමෙන් සතුටු වීමයි.

‘ඔබගේ ආශාව පාවාදිය යුතු නැත’ යන වාගාලංකාරය ප‍්‍රසිද්ධියේ පාවිච්චි කරන ප‍්‍රසිද්ධ සිවිල් සමාජ සාමාජිකයන් කිහිප දෙනෙක් ලංකාවේ ජීවත් වෙයි. ඉන් එක් අයෙක් වන්නේ ඇකඩමික ජීවිතයක් නොතිබූ බෙන්ජමින්ගේ භාෂාවෙන් කිවහොත් ප‍්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවෙකු වන වික්ටර් අයිවන්ය. බෙන්ජමින්ගේ න්‍යායට අනුව එක දිගට කාලයක් පුරුද්දක් හැටියට ප‍්‍රාදේශීය වාර්තාකරුවෙක් ජාතික පත්තරයකට ලියන විට ඔහුව/ඇයව මිනිසුන් බුද්ධිමතෙක් ලෙස සලකා බැලීම ආරම්භ කරයි.

‘වික්ටර් අයිවන්’ යනු පුවත්පතකට එක දිගට ලිවීම පුරුද්දක් වශයෙන් කරගෙන යාම නිසා බුද්ධිමතෙක් වූ පුද්ගලයෙකි. ඔහුගේ අදහසට අනුව සෑමවිටම ‘රාජ්‍යයට’ ජාතියක් තිබිය යුතුය. ඊළ`ගට එය මහා ජාතිය සතු විය යුතුය. රාජ්‍යයට සුළු ජාතියක් හිමිකම් කීම, අරගල කිරීම අසනීපයකි. එවැනි අරගල ඝාතනයෙන් හෝ අවසන් කිරීම යුක්තිසහගතය. එම අර්ථයෙන් ගත් විට සිංහල ජාතියේ වඩාත්ම සුජාතක බුද්ධිමතා වන්නේ ලිබරල් අයිවන් මිස ජාතිවාදී නලින් ද සිල්වා නොවේ. අයිවන්ට අනුව තත්වාකාර දෙමළ රාජ්‍යයක් පැවතීමට නොහැක. එවැන්නක් විකෘතිය. අස්වභාවිකය. ෆැසිස්ට්ය. ප‍්‍රජාතාන්ති‍්‍රක නැත.

ඉහත මතයේ සිටින දෙවැන්නා වන්නේ දයාන් ජයතිලකය. ඔහුට ඇකඩමික චින්තනයක් කෙසේ වෙතත් ඇකඩමික පුරුද්දක් ඇත. ඔහුට අනුවත් රාජ්‍යය සුළු ජාතික විය නොහැක. රාජ්‍යය නිර්වචනය වන විට සම්භාව්‍ය අර්ථයෙන් එය කරන්නේ නිශ්චිත භූමි ප‍්‍රදේශයක් වට කොටය. රාජ්‍යය ජ්‍යාමිතිකය. මෙම ජ්‍යාමිතික රාජ්‍යය දයාන්ට අනුව ‘සංකල්පීය’ නොවේ. එය යථාර්ථවාදී අදහසකි. ඉන් පිටට පැනීම ද්‍රෝහී කමකි. සෘජු ලෙස නොකියන මුත් දයාන් ද සිය නොනවතින ලිපි මාලාවන් මගින් සුජාතකරණය කරන්නේ රාජ්‍යය, ජාතිය, ප‍්‍රාග්ධනය යන ති‍්‍රත්වය සමතුලිත කළ හැක්කේ මහ ජාතියට යන අදහසයි.

2009 වසරේ මැයි මාසය දක්වා ශී‍්‍ර ලංකාවේ පැවති අසමමිතික සිවිල්-යුද්ධය මහින්ද රාජපක්ෂ අවසන් කළේය. ඉන්පසු අද දක්වා ලංකාව පාලනය කළ යුතු ආකාරය ගැන ඔහුටත් අන් කිසිවෙකුටත් අවබෝධයක් නැත. පශ්චාත්-යුද සමය යනුවෙන් අවධියකට අප තවම පැමිණී නැත්තේ මේ නිසාය. මෙම තත්ත්වය හොදින් වටහා ගැනීමට අවශ්‍ය හොද උදාහරණයක් colombotelegraph වෙබ් අඩවිය තුළින් ඔබට සොයාගත හැක. පුරුද්දක් ලෙස දයාන් එම වෙබ් අඩවියට ලිපි ලියන අතර මෙවර අලූත්ගම ගැන දයාන් ලියූ ලිපියකට අමුතුම ආකාරයේ ප‍්‍රතිචාරයක් පාඨකයකු සපයා තිබුණි.

‘‘මහින්ද රාජපක්ෂට තියෙන්නෙ අලූත් චින්තනයක්. එම චින්තනය කි‍්‍රයාත්මක වන මූලධර්මය හරිම සරලයි. ඒක කි‍්‍රයාත්මක වෙන ආකාරය මෙහෙම හඳුන්වන්න පුළුවන්. -ඔබ හිතන්න ඔබ දන්නව කියල කරන්න ඕනෙ හරි දේ මොකක්ද කියල. ඊළගට ඒ සදහා කිසිම බාධාවක් නැහැ කියලත් හිතන්න. දැන් ඔබට තියෙන්නෙ ඔබ හරියි කියන දේ දිගටම කරගෙන යන එක. දැන් මෙහෙම හිතන්න. ඔබ එහෙම කරගෙන යනකොට ඔබට බාධාවක් හමුවුණා කියල හිතන්නකො. එතකොට කරන්න තියෙන්නෙ එක දෙයයි. විකල්ප මාර්ගයක් භාවිතා කරන්න. බාධාව ඉවර වුණ වහාම යළිත් ප‍්‍රධාන මාර්ගයට පිවිසී අර කලින් කරගෙන ගිය දෙය ආපසු කරන්න පටන් ගන්න. ඔබ කල්පනාවෙන් මහින්ද චින්තනය අධ්‍යයනය කළොත් ඔබට මම කියන දෙය වැටහේවි.’’

ඉතාම සාමාන්‍ය සිංහල මිනිසෙකු පවා මහින්ද චින්තනය ‘ප‍්‍රබුද්ධ’ එකක් ලෙස සලකා කි‍්‍රයා කරන බවක් පෙනෙයි. නමුත් අප අමතක කරන්නේ කුමන දේශපාලන අවබෝධයක් ද? කිසිවෙකු මෙලෙස සිතා තිබේ ද? යුද්ධයෙන් පසු රටක් පාලනය කරන්නට නොදන්නා පිරිසක් රටක් පාලනය කරයි. එය වෙනත් කිසිවෙකුත් නොදනියි. අපිට බැරිද මෙම පාලන තන්ත‍්‍රය ‘මහින්ද චින්තනය’ කියල හඳුන්වන්න.

දේශපාලනය සහ සුන්දරකරණය පටලවාගෙන ඇති සිංහල නිලධාරීන් සහ සාමාන්‍ය මිනිසුන්ට අනුව රටක ‘මිනිසුන්ගේ චින්තනය’ දියුණු නොකර එම රට භෞතිකව සංවර්ධනය කළ හැක. ඔවුහු ඒ සදහා හොද උදාහරණ ලෙස අපට සපයන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල්ය. මේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති අතර මිනිසුන්ගේ සොබාවික අවශ්‍යතාවයන් සැපිරී ඇත. මේවායේ ජීවත් වන්නේ මිනිසුන් නොව අධ්‍යාත්මික සතුන්ය. හේතුව ඔවුන් පාවිච්චි කරන්නේ ශරීර අවශ්‍යතා සදහා පමණි.
90 දශකය මුල පේ‍්‍රමදාසගේ ලූම්පන් නාගරික පාලනය සිහි කරන්න. ඔහු ඉතා තිරසාර ලෙස ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළේය. එය නම් කළේ ‘ගම් උදාව’ නමිනි. දැන් දශක දෙකක් පමණ ගතවී ඇත. ‘ගම් උදාව’ සැනකෙළිය පැවැත්වූ තැන්වලට දැන් ඔබ යළිත් යන්න. දැන් එම තැන්වල වැඩ වාසය කරන්නේ අම්බරුවන්ය. ඔබ එය දැන් හදුන්වන්නේ සංවර්ධන වැඩසටහනක් ලෙස ද?

දැන් අප දන්නා පරිදි කොළඹ නාට්‍ය පෙන්වන ‘නෙළුම් පොකුණ’ කලමනාකරණය කරන්නේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවය. දැන් එතන හැම දෙයක්ම පිරිසිදුය. වේලාවට හැම දෙයක්ම සිදුවෙයි. ආණ්ඩුව මාරුවූ වහාම සිදුවීමට නියමිත වන්නේ කුමක්ද? 19 වන සියවසට අයිති මනස් සහිත සංස්කෘතික අමාත්‍යාංශ නිලධාරීන්ට මෙය බාරදෙනු ඇත. ඔවුන්ට ‘නෙළුම් පොකුණ’ ජෝන් ද සිල්වා රගහල බවට පරිවර්තනය කිරීමට ගත වනු ඇත්තේ මාස තුනක කාලයකි. මිනිස් විඥානය වෙනස් නොකර කරන සංවර්ධනයන්ගේ අවසාන ප‍්‍රතිලාභ හිමිවන්නේ අම්බරුවන්ටය. කුඩා ජාතියක් සතු අරගලයක් විනාශ කළ මහා ජාතියේ අනාගත ප‍්‍රතිවිපාක අම්බරුවන් හරහා අපට විඳගත හැක. ප‍්‍රාදේශීය වාර්තාකරුවෙකු බුද්ධිමතෙකු වීම හෝ බුද්ධිමතකු තානාපති නිලධාරියෙකු වීමට වඩා ආසියාවේ ‘ඌන-සංවර්ධනය’ සංකල්පය වටහා ගැනීම අපහසුය.

 

Recent Posts

Tags: , , , , ,

Leave a Comment