නීතියට උඩින් සිටින ‘සිවුරු හොරු’

Aug 22nd, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

පසුගිය අගෝස්තු 04 වනදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව විසින් කදවා තිබූ සාකච්ඡාවක් සිවිල් සමාජ සංවිධානයක වෙස් ගත් චීවරධාරීන් පිරිසක් ඇතුළු මැර කණ්ඩායමක බාධා කිරීම නිසා නතර කර දැමීමට සිදුවිය. 

මෙම අවස්ථාව සදහා උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහ නියෝජනය කරමින් අතුරුදහන් කිරීමට ලක්වූ පිරිස්වල දෙමාපියන් ඇතුළු ඥාතීන් 24 දෙනෙකු සහභාගී වී සිටියහ. මේ ඥාතීන් ශාලාව තුළ සිටියදී කුපිතකාරී ලෙස බලහත්කාරයෙන් ශාලාව තුළට ඇතුළු වූ මෙම මැර පිරිස රැස්වීම පවත්වා ගෙන යා නොහැකි ආකාරයට අවහිර කිරීම් සිදු කළේය.

මෙලෙස නීත්‍යනුකූලව සිදුකරන ලද සාමකාමී රැස්වීමක් මැර පිරිසක් විසින් කඩාකප්පල් කරද්දී පොලිස් නිලධාරීහු මුනිවත රැක්කාහ. පැහැරගැනීමට ලක්වූ දරුවන් සොයාදීම එක් ක්ෂණයෙන් සිදුකිරීමේ හැකියාව තිබෙන, අතිශය කාර්යශූර යැයි කියන පොලීසිය යුද්ධය නිසා වින්දිතයන් බවට පත්වූ පුරවැසියන් පිරිසකගේ සාමකාමී රැස්වීමක් නීතිවිරෝධී ලෙස කඩාකප්පල් කරන අවස්ථාවේ ඉවත බලා සිටියේ සමාජයේ නීතියේ ආධිපත්‍යය බිද වැටී ඇති ප‍්‍රමාණය කදිම ලෙස නිරූපණය කරමින්ය.

අතුරුදහන්වූවන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ද මේ රටේ පුරවැසියන්ය. ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ ප‍්‍රශ්නය ගැන සංවේදී වන සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්ටත් ඒ ගැන කථා කිරීමට, ඒ ගැන සාකච්ඡුා කිරීමට නිදහස තිබිය යුතුය. සාමකාමීව රැුස්වීමේ, අදහස් ප‍්‍රකාශ කිරීමේ, සමාගමයේ නිදහස මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රකාරව මෙන්ම චාරිත‍්‍රානුකූල ජාත්‍යන්තර නීතියේ මුඳුන් මල් කඩ වන මානව හිමිකම් පිළිබඳ සාර්වත‍්‍රික ප‍්‍රකාශනය ප‍්‍රකාරවද සෑම පුරවැසියෙක්ම සතු මූලික මානව අයිතිවාසිකම් වේ.

මෙම අශික්ෂිත ක‍්‍රියාව, එයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය දැක්වූ අසමත්කම සහ මේ සිදුවීම අළලා ජාතිවාදී මාධ්‍යකරුවන් ගෙන ගිය මාධ්‍ය ප‍්‍රහාරය හෙළා දකිමින් 2014 අගෝස්තු 14 වනදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදීම මාධ්‍ය සාකච්ඡාවක් කැදවීමට සිවිල් සංවිධාන සාමූහිකය විසින් කටයුතු යොදා තිබුණේය. එම අවස්ථාව ඇමතූ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා දැක්වූ අදහස් අප මෙලෙස සමබිම ඉරිදා සංග‍්‍රහයෙන් ඔබ වෙත ඉදිරිපත් කරමු.

මෙම සිදුවීම සිද්ධ වෙන අවස්ථාවේ මා එතැන සිටියේ නැහැ. මා ආවේ මද වේලාවක් පමා වෙලා. එහිදී මා දුටුවේ කුමක්ද? අපේ රටේ සහෝදර පුරවැසියන් පිරිසක් මෙම ස්ථානයේ කම්පනයට පත් වී, තැති ගැන්මට ලක්වී සිටියා. ප‍්‍රතිසන්ධානය ගැන ආණ්ඩුව බොහෝ දේ කියනවා. එය ආණ්ඩුවේ නිල ප‍්‍රතිපත්තියක් බව කියනවා. එවැනි පසුබිමකයි මේ පුරවැසියන් එලෙස කම්පනයට පත්වී සිටියේ.

පළමුව තමාගේ සමීපතමයන්ට සිදුවූයේ කුමක්ද යන්න සොයාබැලීම සදහා සටන් කිරීමට ඉදිරිපත්වීමෙන් ඔවුන් දැක්වූ ධෛර්යයට, ඔවුන් පෙන්වූ නිර්භීතකමට මා ආචාර කරනවා. එහෙත් අප අවධාරණය කරගත යුතු දේ මෙයයි. යුද්ධය අවසන් වී අවුරුදු පහක් ගත වී තිබෙන මොහොතක, තමාගේ වාර්ගිකත්වය නිසා, තමා අදහන ආගම නිසා, බියෙන් ජීවත්වීමට සිදුවී තිබෙන ජනතාවක් මේ පශ්චාත් යුදකාලීන ලංකාවේ ඉන්නවා. මෙම සිදුවීම මේ රට තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට, සමාගමයේ නිදහසට එල්ල කරන ලද ඉතාම පැහැදිලි ප‍්‍රහාරයක්. ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ තිබිය යුතු අතිශය මූලික අයිතිවාසිකම් විවෘතවම උල්ලංඝනය කරලා තිබෙනවා. වැරදිකරුවන්ට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

මේ විදිහට හැසිරෙන කණ්ඩායම් අපේක්ෂා කරන්නේ කුමක්ද? මේ ඇත්තටම ජාත්‍යන්තර මාධ්‍යවලට, ජාත්‍යන්තර කොමිසමකට, ජිනීවාවලට තොරතුරු ගලා යාම නතර කිරීම පිළිබද ප‍්‍රශ්නයක්ද? ඔවුන් එච්චර මෝඩද? තොරතුරු ඕනෑම විදිහකට එළියට යන්න පුළුවන් කියලා ඔවුන් දන්නෙ නැද්ද? අලූත්ගම, බේරුවල සිද්ධීන් වෙද්දී මා සිටියේ රටින් පිටවයි. මා සිතන විදිහට රට තුළ සිටින ජනතාවට ලැබුණාට වඩා තොරතුරු ඒ සම්බන්ධව මට ලැබුණා. ඒ නිසා ඇත්තටම ඔවුන් සැලකිලිමත් වන්නේ කුමක් ගැනද? ඔවුන් ඇත්තටම බය රට ඇතුලේ තොරතුරු සංසරණය වීම සම්බන්ධයෙනුයි. එවිට ජනතාව පීඩනයේ හා මර්දනයේ පරිමාව ගැන අවබෝධ කරගන්නවා. ජාත්‍යන්තර ප‍්‍රජාව තොරතුරු දැනගන්නවාටත් වඩා ආණ්ඩුව වැඩිපුරම බිය වන්නේ රට ඇතුලේ ජනතාව තොරතුරු දැනගන්නවාටයි. ලාංකිකයන් ලෙස අප සැමදාම බෙදාහදා ගත් අන්‍යන්‍ය ගෞරවයේ, මානව ගරුත්වයේ, සුහදතාවයේ පදනම මත ප‍්‍රතිසන්ධානයක් ඇති කිරීමට නොහැකි වන ආකාරයේ යම් අඩුවක්, පැල්මක් මේ රෙජිමයේ ජානමය සැකැස්ම ඇතුලේ එහි ව්‍යුහය ඇතුලේ නෛසර්ගිකවම ගැබ් වී තිබෙනවා.

දඩුවම් නොලබා සිටීම හෙවත් නිර්මුක්තිය ගැනත් මා මෙහිදී යමක් කිව යුතුයි. සිවිල් විරෝධතා පෑම්, රැස්වීම්වලට සිවුරු හැදගත් පිරිස් පැමිණ බාධා කිරීමේ සිදුවීම් කොතරම් සිදුවී තිබෙනවාද? සිවුරු හැදගත් පුද්ගලයින් කියන වචනය මා චේතාන්විතව භාවිතා කරනවා. දැන් අලූත් පුද්ගලයින් ප‍්‍රවර්ගයක් නිර්මාණය කොට තිබෙනවා. ඔවුන් සිවුරු හැදගෙන ඉන්නා තාක් දුරට ඔවුන් නීතියට ඉහළින් ඉන්නේ. එය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමට බලාගෙන ඉන්නා ඕනෑම කණ්ඩායමකට ලබාදී තිබෙන විවෘත බලපත‍්‍රයක් බදුයි. ඔවුන්ට කිසිවක් වෙන්නේ නැහැ. ඒ වගේම කළ යුත්තේ කුමක්ද, නීතිය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යනාදී දේ ගැන පොලීසියට නියෝග නිකුත් කරන්නත් මොවුන් කටයුතු කරනවා. ඒ අනුව ඔවුන් නීති විරෝධී ක‍්‍රියාවන්ට දඩුවම් නොලබනවා පමණක් නෙමෙයි නීතිය සම්පාදනය කරන අය බවටත් පත්වී තිබෙනවා. මේ වගේ තත්ත්වයක් උද්ගත වී තිබෙන කොට බහුවාර්ගික, බහුආගමික නීතියේ ආධිපත්‍යය සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන්න පුලූවන්ද?

ඒ අනුව අප ජිවත් වන්නේ යම් ආගමික පාලන තන්ත‍්‍රයක් යටතේද? එක් ආගමක් අනෙත් ආගම්වලට වඩා ඉහළින් පිහිටන, නීතියටත් වඩා ඉහළින් පිහිටන ආගමික පාලන තන්ත‍්‍රයක්ද මේ? මේ අපි බරපතල ලෙස අපගෙන්ම අසාගත යුතු ප‍්‍රශ්නයි. මෙම පිළිකාව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැකැස්ම විනාශ කරමින් තිබෙනවා කියන නිගමනයට අපට එන්න සිද්ධ වෙනවා. සිවිල් සමාජ සංවිධාන සහ දේශපාලන පක්ෂ සහයෝගීව ඉදිරියට පැමිණ දැන් මේ ඇති කියා කිව යුතුයි. නීතියේ ආධිපත්‍යය බිද වැටීම සහ දඩුවම් නොලබා අපරාධකාරයින් බේරී සිටීම නමැති පිළිකාවෙන් මේ රට රෝගාතුර වී තිබෙනවා. මේ තත්ත්වයට සෑම කල්හිම විරෝධය දැක්වීම අප විසින් කළ යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර විමර්ශන කොමිසමට කරුණු දැක්වීම ගැනත් කිව යුතුයි. ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක්; ජාත්‍යන්තර ප‍්‍රජාවේ සාමාජිකයෙක්. මේ කොමිසම එක්සත් ජාතීන්ගේ යෝජනා සම්මතයක් මගින් පිහිටුවනු ලැබූ එකක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් විදිහට එහි කවර යෝජනාව අප පිලිගන්නවාද? කවර යෝජනාව අප පිලිගන්නේ නැද්ද? ආදී වශයෙන් තෝරා බේරා ගැනීම් කරන්න පුලූවන්ද? දේශීය තලයේදී කිසිදු ප‍්‍රතිචාරයක් ලැබෙන්නේ නැතිනම් තමන්ගේ අතුරුදහන් වූ සමීපතමයන් ගැන ප‍්‍රශ්නය ජාත්‍යන්තරව මතු කරන්න ඒ අයට අයිතිය නැද්ද?

මේ වනාහි සිය වේදනාව හා පීඩාව පිටකරගැනීමට පුරවැසියන්ට ඇති දොරටු වසා දමන රෙජිමයක්. විශේෂයෙන්ම උතුරේ මේ දේ දරුණුයි. රට තුළ සැබෑ සංහි`දියාවක් ඇති කරන්න නම් මේ තත්ත්වය පරාජය කළ යුතුයි. මේ බටහිර බලවේග ගැන හෝ ගෝලීයකරණය ගැන සටනක් නෙමෙයි. මේ සටන ශ‍්‍රී ලංකාව පිළිබද සටනක්. මේ රට කෙසේ විය යුතුද? මේ රටේ වැඩ කටයුතු කෙසේ සිද්ධ විය යුතුද? යන්න පිළිබද සිද්ධ වෙන සටනක්.

සකස් කළේ – තුෂාරා විතාරණ

අම්පාරේ පැවැත්වූ සමබිම සම්මන්ත‍්‍රණයට බාධා කරන භික්ෂුවක්

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment