සභාවෙන් අවසරයි!

Sep 3rd, 2014 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS

ප්‍රවීණ සාහිත්‍යයකරුවකු, ප්‍රවීණ දේශකයකු, ප්‍රවීණ විචාරකයකු මෙන් ම සිංහලගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ අභිනව සාහිත්‍යය කෘතිය ”අම්මා’’ නවකතාව ඊයේ (24) සවස මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ දි ජනගත කෙරුනි. මෙම අවස්ථාවට සභාගි වු දිලීප අබේසේකර, ලාල් කාන්ත සහ සමන්වික්‍රමාරච්චි කෙටි දෙසුම් පැවැත්වු අතර කෘතියේ කතුවරයා වූ සන්නස්ගල සිය කතාව හරහා මතුකළේ මේ මොහොත වන විට අප රට සහ රටේ ජනතාව මුහුණ පා ඇති සමාජ, ආර්ථික, දේශපාලන සහආගමික තත්තවය යි. මේ ඔහු කළ සම්පූර්ණ කතා‍වයි.

සභාවෙන් අවසරයි!

මා මෙතැනට පැමිණියේ වචන ස්වල්පයක් කතාකරන්නටයි. මේ සභා ගර්භ පරිශ්‍රයට පැමිණි සහ නො පැමිණි සියලූ ලාංකේයපුරවැසියන්ගෙන් අවසරයි! අති දක්ෂ පූරකයින් කිහිපදෙනෙක් අද මේ මොහොත ගැන විවිධ මානයන්ගෙන් හැඳින්වීම් කළ නිසා මා අමුතුවෙන් යමක් හඳුන්වාදෙන්නටයන්නේ නැහැ. අති දක්ෂ දේශකයින් තිදෙනෙක් විවිධ මානයන්ගෙන් මේ මොහොත හා ඒසමග බැඳුණු තේමාව විවරණය කළා. මට කෘතිය සම්බන්ධව අමුතු විවරණයක් කරන්නටඉතිරි වී ඇත්තේ නැහැ.

නමුත් මිත්‍රවරියනි, මිත්‍රවරුනි, මට මොකක්දෝ යමක් ඔබ සමග බෙදාගන්නට උවමනායි. මොකක්දෝ වේදනාවක් ඔබ සමග අත්විඳින්නට උවමනායි. මොකක්දෝ නො තේරෙන යමක් ඔබ සමග තේරුම් ගන්නට අවශ්‍යයි. මා මේඋත්සාහ කරන්නට සැරසෙන්නේ අන්න ඒ මනුෂ්‍යය – මානව සම්බන්ධතාව බෙදාහදාගන්නටයි.

මා කියන්නට යන දේ එක පැත්තකින් පාපොච්චාරණයක්. තවපැත්තකින් මගේ හදවතේ කම්පනය කොන්දේසි විරහිතව මුදා හැරීමක්. වෙනත්පැත්තකින් ආවේග ප්‍රකාශනයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් එය දේශපාලන ස්වයංවිවේචනයක් කියා හඳුන්වන්නට මා කැමතියි. රුහිර පථය ක්ෂීර පථයක් කළ ඒ මහා ප්‍රේමණීයත්වය අපට මගහැරුණේ කවදා ද?, කොතැනදී ද?, කොහොම ද? මනුෂ්‍යත්වය සම්බන්ධ සියලූ අර්ථ කථනයන්ට ඉහළින් ඇති ඒඅසමසම උදාරත්වය, මාතාත්මය අපට මගහැරුණේ කවදා ද?, කොතැනදී ද?, කොහොම ද? මරණය වෙනුවට ජීවිතය යෝජනා කරන ඒ විශ්වීය ආදරය අපට මගහැරුණේ කවදා ද?, කොතැනදී ද?, කොහොම ද ? ගී සින්දු කෝටියක් ගයාවත් ගුණ වයා නිමකරන්නට බැරිඇයව අපට මගහැරුණේ කවදා ද?, කොතැනදී ද?, කොහොම ද?

එය අප විසින්විසඳාගත යුතු අනාගතයට විවෘත අභියෝගාත්මක ප්‍රශ්නයක්. එය එසේ තිබිය දී, ඇයමග හැරගෙන අප ආ ගමන කොහොම එකක්දැයි කියා ඔබත් සමග ටිකක් කතාකරන්නට මමකැමතියි.

මේ දවස්වල ‘ෆේස්බුක්’ සමාජ ජාලය ඉතා ජනප්‍රිය යි. මාක්සකබර්ග් කියන මනුස්සයාගෙන් එළියට ආව මේ සංකල්පයේ ප්‍රතිඵලයක් හැටියට අදබිලියන ගණන් ජනයා පැය විසිහතර පුරා ම එක ම ඉලෙක්ට්‍රොනික රේඛාවක රඳවාතිබෙනවා. අන්තර්ජාලය එහෙම පිටින් ම අල්තාරයක් වෙලා; පූජාසනයක් වෙලා.බහුතරයක් ලෝකවාසීන් ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගසාගෙන තමන්ට හිමි ආදම්හෝ ඒව සොයමින් සයිබර් අවකාශය පුරා පිස්සු බල්ලන් රොත්තක් වගේ එහෙ මෙහෙ දුවනමොහොතක් මේක.

මම විද්‍යා විරෝධියෙක් නෙවෙයි. නමුත් ඒක තමයි ඇත්ත. ‘ගූගල් එපා’ කියලා රාජගිරියේ තාප්පවල ලිව්වට ඇමරිකාව සිංහල දන්නේ නෑ කියනඑකත් මතක් කරන්න ඕන. ඉතින්, දැන් සයිබර් අවකාශය විද්‍යාවේ උත්තුංගජයග්‍රහණයක්; නවීන තාක්ෂණයේ අසිරිමත් පිම්මක්. අපි නිතර අහල තියෙන වචනයෙන්ආයෙමත් කියනව නම්, විශ්ව ගම්මානයක්. අපි ඔක්කොම ඒ ගමේ වැසියෝ විතරක් නෙවෙයිඅපි ඔක්කොම ඒ ගමේ රජවරු. දැන් මුළු ලෝකෙම නෑදෑයෝ. මුළු ලෝකෙම යාළුවෝ. ‘රික්වෙස්ට්’ එක ‘ඇක්සෙප්ට්’ කරන්න විතරයි අපට තියෙන්නෙ. එසැණින් අපි ලෝකනෑදෑ සංහතියට එකතු වෙනවා. ජය දද බන්දන්න, ජය නද නංවන්න, රුපුසෙන් ඔද තෙදබිඳින්න මේ ඕන දෙයක් මෙතැන කරන්න පුළුවන්, කාගෙන්වත් බාධාවක් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදය සීයට එකසිය එකයි. ‘ෆෙස්බුක්’ එකෙන් සියලූ මහද්වීපඑක්සේසත් කර අවසන්. ඉතින් කොච්චර හොඳ ද? කෙනෙකුට කියන්න පුළුවන් මෙන්නදේශපාලනයට කළින් විද්‍යාව කොමියුනිස්ට්වාදයට ගිහින් කියල. ඇත්තට ම එහෙම දවෙලා තියෙන්නෙ ?

මම ඉන්දියන් සාගරේ ‘ඩස්ට්බින්’ එකෙන් විතරක් උදාහරණ කීපයක් ගන්න කැමතියි.

ඔබඅන්තර්ජාලයේ මුහුණු පොතේ ලංකාවේ වපසරිය තුළ පොඞ්ඩක් කරක් ගැහුවොත් ඔබට පෙනේවි මෙන්න මේ වගේ පිටු. අපි දකුණේ, වයඹ කොල්ලෝ, අපි නුවර, අපි පිළියන්දල, කුරුණෑගල කොල්ලෝ, කඩුවෙල බුලට්ස්, හලාවත ගින්දර. දැන් මොකක්ද මේවෙලා තියෙන්නෙ? විශ්ව ගම්මානයේ තැන් තැන්වල පොඩි පොඩි ගෝත්‍රික පැළෑටි පැළවෙලා තියෙන අවලස්සන ඔබට පෙනේවි, වයඹ කියල කොටුවක් හදාගෙන අයෙමත් ඒක ඇතුළෙකුරුණෑගල කියලත් කොටුවක් හදාගෙන. තව හදයි, යන්තම්පලාවේ කොල්ලෝ, මල්කඩුවාවේ අපි, වගේ ඒව. පිළියන්දල කොල්ලො කියන කොටුව තවත් පුංචි වෙයි, මිරිස්වත්ත හංදියේ අපි වගේ ඒවත් හැදෙයි, ඊට පස්සේ ‘ගෙදර කට්ටිය’ කියලත් හැදෙයි.දැනටමත් ලංකාවේ පාසල් කොටු කොටුවලට බෙදිලා. අරයන්ස්ල මේයන්ස්ල අරනියන්ස්ල මේනියන්ස්ල තෝමියන්ස් කියලා ඉස්කෝලවාදයකුත් දැන් ඇවිත්. අපි කොහාටද මේයන්නේ ?

මම මේ උදාහරණවලට නාම ග්‍රාම කියන්නෙග සමස්තයක් හැටියට මුළු දූපතම ඔන්න ඔහොමයි කියලා කියන්න. විශ්වීයත්වය හොයාගෙන ගිය අපි ඒක ඇතුළේකැරකිලා. අපි ගෝත්‍රවාදයට ඇවිල්ලා. මේ සයිබර් අවකාශයේ හිටපු ගමන් පොඩි පොඩිමැජික් සිද්ධ වෙනවා.

අපි බලපිටියේ, අපි බම්බලපිටියේ, අපි ඇඹිලිපිටියේ කියල පුංචි පුංචිකොටු හදාගන්න අය එක තැනක දී හිටි ගමන් කලබල වෙනවා. මෙන්න කලබල වෙන තැන.බැරිවෙලාවත් ‘අපි යාපනේ’, ‘අපි කිලිනොච්චි’, ‘අපි මුලතිව් කොල්ලෝ’ කියලාකිව්වොත් එහෙම අර මේරියන්ස් සංගීත කණ්ඩායමේ සින්දුවක කියනවා වගේ ගුවන්තොටිල්ල ගැස්සෙනවා; ඇඟ රිදෙනවා මළ පනිනවා; ලේ රත් වෙනවා; එන පොට හරියන්නේනෑ කියල හිතෙනවා. අන්න එතකොට අර ඔක්කොම ප්‍රාදේශීය ආතල් කුඩු වෙලා එක පාරට මහීනෙන් බය වෙලා වගේ අපි ශ්‍රී ලාංකිකයෝ වෙනවා. එතන ඉඳන් ජාතික සමගිය බලෙන් පොවන්න හදනවා. බෙලිඅත්තට තංගල්ලට කැලණියට කොළොන්නාවට ඌවට ස්වයං නිර්ණය අයිතිය තියෙනව. ඒ වුණාට ‘උතුරට බෑ මල්ලි’ කියලා කියනවා. දකුණේ අයියලාට විතරයි පුළුවන් කියලා කියනවා. ‘මල්ලිලාට බෑ තම්බි’ කියලා කිරිබත් කනවා.

මගේ මේ කෘතියේ 151, 152 පිටුවල තියෙන උද්ධෘතයක් විතරක් කියන්නට ඉඩ දෙන්න.

‘හිටිගමන්ම ඉවසන්නට බැරි කුණු ගෝවා හෝ රාබු ගඳක් සහිත වාතයක් අවකාශයට කිසිවෙකුවිසින් මුදාහරිනු ලබන්නේ ය. මේ ආචාරධර්ම නිහීන ක්‍රියාව කරන්නේ කවුරුන් දයන්න සොයා නො බලා ම දුර්වලයෝ චණ්ඩි කොල්ලන්ගෙන් අපහාස විඳිති.

‘පල මෙතනින් නැගිටලා යන්න. තෝ තමයි ආපු වෙලාවෙ ඉඳලා පඩ අරින්නේ.’

චන්දරේගේ අයියා කිරියා හෝ ඇල්ලවත්තේ දෙමළ කොල්ලෙකු පාසැල් භූමියෙන් පිටුවහල් කරන්නේ ය.

හීතලේ, කරුවලේ ඔවුන් පිට ව යන්නේ ලැජ්ජාව ද පීඩාව ද එක සේ විඳගෙන ය.

‘මම ඇරියෙත් නෑ. ගැටහැවෙල කිත්සිරියා ඇරියේ. මං බොරුවට ගුටි කෑවෙ.’

කිරියාඅඬමින් ගතු කියකියා ගෙදර යන්නේ ය. ඇල්ලවත්තේ දෙමළ කොල්ලෙකු නම් මුලින්දෙමළෙන් කියා, පස්සෙ ඈතට ගොස් සිංහලෙන් බැණ බැණ යන්නේ ය.

‘නාන්පිලෙයි ඔන්නුන් සෙයිය ඉල්ලෙයි. ආනාල් නාන් තා ඒච්චු වාගිරෙන්.’ සිංහල එකාපඩ ඇරියා ම මං මොකට බැණුම් ආනවා. මං නෙමෙයි මට ගාපු එකා තමා සක්කිලියා.’

මේ ‘වාත’ ප්‍රශ්නයට වෙනත් ගමක හෝ තංගමලේ වත්තේ කොල්ලෙකු පටලවාගන්නේ නැත. එහෙමවුණොත් තංගමලේට දලූ ගෙනිච්ච දවසක ගමේ උන්ට දෙමළුන් වට කොට පහර දෙනු ඇත.වෙනත් ගමක් හරහා ගිය දිනෙක අම්බානක ගුටි කෑමට සිදු වනු ඇත. දොයිතුවක වටිනාකමක් නැති පඩේකට වුව ද ගුටි කන්නේ, පීඩා විඳින්නේ අසරණයා ය. මට කිරියාසහ ඇල්ලවත්තේ දෙමළ කොල්ලා ගැන දුක සිතේ. දෙදෙනාගේ ම පීඩාවත් ප්‍රශ්නයත් සමාන ය.’

ඔන්න ඔය පදනමේ ඉඳන් හැදෙනවා තව ෆෙස් බුක් පිටු තොගයක්.සිංහ පැටවු, සිංහ කොල්ලො, අපේ පියා සිංහ පියා වගේ නම් තමයි ඒවට තියෙන්නෙ. ඒගොල්ලෝ මොනවද කියන්නෙ ?

මේක අපේ රට. අපි හොඳ හින්ද තමයි උඹලඉන්නේ. අපේ අනුකම්පාව යටට වෙලා කටවල් වහන් හිටපියවු. වැඩිය දඟලන්න එපා.කන්ඩද හදන්නෙ කියල අහනවා. අරුන්ට වෙච්ච දේ මතකයිනෙ. ඒක ම කරගන්න ඕන නම්ඕනවට වැඩිය උඩ පැනපල්ලා කියල කියනව.

‘අඩෝ මේක බුදුන්ගේ දේශය ඩෝ, තෙරුවන් සරණයි ඩෝ’ වගේ බුදුන් හීනෙකින්වත් නො හිතපු භාෂණයක් එහා මෙහාවෙනවා. ඉතින් තව තවත් ගෝත්‍රවාදී පිටු හැදෙනවා; එකිනෙකාගේ විශ්වාසයන්වලටඅපහාස කරගන්න පටන් ගන්නවා. අල්ලාට අපහාස කරනවා. බුදුන්ට අපහාස කරනවා.යෙසුස්ට අපහාස කරනවා. අපහාස කිරීමේ තරගයක් වගේ. කොම්පියුටරේ මවුස් එකෙන් කීබෝඞ් එකෙන් ගෝත්‍රවාදී ජාතිවාදී ඕජස් ගලන්න පටන්ගන්නවා. ඔන්න විශ්ව ගම්මානෙ ඇතුළේ වැඩවසම් දූපතකට සිද්ධ වෙන අලකලංචිය. මනුෂ්‍ය භාෂාවක් අහිමිතැනක විද්‍යාව හරි තාක්ෂණය හරි කියන්නේ පුන්නක්කු බාල්දියකට වඩා වැඩි දෙයක්නෙවෙයි.

ෆ්‍රෙඞී සිල්වාගේ සින්දුවක තියෙනවා වසර තිහ හතළිහකට විතර කලින් අනෙකාගේ දියුණුවට පෙත්සම් ගහපු මිනිස්සු ගැන.

‘සත පනහයි පෙත්සම්

ගහපල්ලා බං පෙත්සම්

කෙනෙක් දියුණු වී ඉහළට යනවා

බලා ඉඳින්නට බැරි නම්

කරවටටම දාපියව් තොප්පියක්

ඒකයි ලෝකේ චාරේ දැන්’

කියලා.

දැන් ඔබ කිය යි ඒ නො දියුණු මිනිස්සු දැන් නැහැ කියලා. සන්ග්ලාස්දෙකක් නළලේ දාගෙන, ඩෙනිමක් ඇඳගෙනල ලස්සන වර්ණ පින්තූර දාලා සයිබර් අවකාශයේෆේස්බුක්වල ඉන්නෙත් ඒ අය ම තමයි. සිතත් ගතත් ඒකමයි. හැබැයි වර්තමානෙ ඇඳුමවෙනස්.

ඔය තමයි අපි ආව ගමන සම්බන්ධ අන්තර්ජාල දිවුරුම්ප්‍රකාශය. මේ ගමන ඇතුළේ මහ පොළවේ අපේ ජීවිතවලට මොකද වුණේ ? ඒ ප්‍රශ්නෙ මමෙහෙමත් අහන්න පුළුවන්. මේ ගමන ඇතුළේ අපේ ජීවිතවලට මොනවද නො වුණේ ?

අපිට අපේ බලපොරොත්තු අහිමි වුණා. අපිට අපේ සිහින අහිමි වුණා. අපිටඅපේ අපේක්ෂාවන් අහිමි වුණා. අපි මිනිස්සු කියල අපිට ම අමතක වුණා. අපේ මඑවුන් චප්ප චිරිප්පන් වෙලා යද්දී අපි හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑවා.අපි ඒ ලිග්ගල් තුන මැද්දෙ තියල ගිනි මෙලෙව්වේ අපේ ම හෘදය සාක්ෂියට. හෘදයසාක්ෂිය අහිමි වුණාට පස්සෙ වෙන මොනවා අහිමි වෙන්න ද? අපිට අපි ව අහිමිවුණා. මුරුගසන් වරුසාව වැටෙන්න ළඟයි. එකෙකුට එකෙක් පේන්නේ නැහැ. තාත්තට දුවව පේන්නෙ නැහැ. මල්ලිට අක්කව පේන්නෙ නැහැ. සීයට මිනිපිරීව පේන්නෙ නැහැ.අන්තිමට කහවත්තෙදි ආච්චිවත් පේන්නේ නැතුව ගියා. නිල් කැට මතුවෙච්ච කහවත්තලේ කැටි ගැහිච්ච එළිමහන් වධකාගාරයක් වුණා. කාන්තා හා ළමා කටයුතු පිළිබඳගමේගොඩේ සංඛ්‍යාලේඛන නිර්ලජ්ජිත විදිහට පැටව් ගැහුවා.

කල්ලඩි පාළමයට සින්දු කිව්ව මාළුන්ට වෙඩි වැදිලා කලපුවේ ලේ රතුපාටට හැරෙද්දි, ‘රන්මලක් ලෙස දෙව් බඹුන්’ එක්ක අපි බජව් දැම්ම. ඊට පස්සෙ අපේ ළිංවල වතුරෙ වහමතුවෙද්දි අපි හන්දියට ගිහින් වතුර ඉල්ලූව. ලේ දන්දීල පණ පොවපු මූනිස්සම්වියරු වැටිලා අපි ව ලූහුබැන්දෙ වෙන ම රාජ්‍යයක් ඉල්ලපු හින්ද නෙවෙයි.රතුපස්වල දී පිරිසිදු වතුර ඉල්ලපු හින්දා. මතක තියාගන්න, ඉල්ලූවේ වතුර.අපිට පණිවිඩයක් ආවා ‘වෙඩිකන්න එපා. කඩෙන් අරන් බොන්න. පොඩි ම බෝතලේ රුපියල්හතළිහයි’ කියල.

මේක මහ පුදුම දයලෙක්තිකයක්. එක පැත්තකින් සුනාමිවගේ සමාජයීය උදම් රළක් ඇවිත් අපේ ජීවිත උස්ස උස්ස පොළවෙ ගහද්දිල අපි උදම්අන අන කුණාටු සාගරයට ම පෙම් බැන්ද. කාන්තාරය අපිව දශමයෙන් දශමය පුච්චලාදාද්දි, අපි ආදරයේ සලකුණ බවට පතොක් මල පත්කරගන්න තරම් නින්දා සහගතනිර්භීතකමක් හොයාගත්ත. ඒක හරියට අලි වැට කඩාගෙන තනියා ඇවිත් එක දරුවෙක්පාගල මැරුවට පහුවෙනිදා අනිත් දරුවත් අරන් අලි සෙල්ලම් බලන්න දෙහිවලසත්තුවත්තට යනව වගේ වැඩක්. ඔව්… අපි එතරම් ම විපරීතයින් බවට පත්වුණා. මමමේ කියන්න උත්සාහ කරන්නෙ අපි මොනතරම් අඳබාල විදිහට අපි ම මුහුණ දෙනඛේදවාචකය ආශිර්වාදයක් විදිහට බාර ගන්න ජාතියක් ද? කියන කාරණාව.

දේවල්මෙහෙම වෙද්දි අපේ ජීවිත මිනිස් ජීවිත කියල අපිට මතක නැති වුණා. අපි ගවයන්වෙනුවෙන් ගිනි තියාගෙන මැරෙන්න කැමති මිනිස්සු බවට පත්වුණා. සියලූ යහපත්සිතුවිලි ධර්ම පුස්තක ඇතුළට දාල ලාකඩ වක්කරල මුද්‍රා තියල අරන් තිබ්බ.මෛත්‍රිය මොකටද අපට…, ඒක ධම්ම පදයෙ තිබිච්චාවේ. ප්‍රේමය මොකටද අපට…? ඒක බයිබලයෙ තිබිච්චාවේ. කරුණාව මොකටද අපට…? ඒක කුරාණයේ තිබිච්චාවේ. දයාවමොකටද අපට…? ඒක භගවත් ගීතාවේ තිබිච්චාවේ. ඒක නිසා අපි ආයෙත් පාරට බැස්ස.හන්දියක් හන්දියක් ගානෙ බුදුහාමුදුරුවො ගොළුවෙලා බලන් ඉද්දි, ජේසු ස්වාමිදරුවො කරකියාගන්න දෙයක් නැති ව මුනිවත රකිද් දී ඒ පිළිම සුරුවම් පහුකරගෙනඅපි යනවා සතුරෙක් හොයාගෙන.

පැරණි සතුරන් වළපල්ලට යවපු අපට නිකම් ඉන්න බැහැ. අපට පාළුයි. ලේ දැක්කපිහි ආපහු මුවහත් කරන්න ඕන. ආගමේ කිව්වට අපිට වෙජිටේරියන් වෙන්න බෑ. මස්මාළු නැත්නම් පුච්චපු කරවල කෑල්ලක්වත් ඕන. නැත්නම් රතුහාල් බත රහ නෑ. ඒනිසා අපි ප්‍රමාද නො වී, පුළුවන් තරම් ඉක්මණින් අලූත් සතුරෙක් හොයාගන්නවා.අපට මුවහමක් නැතුව බැහැ. ඉතින් අපි තලනවා; හිතේ හැටියට තලනවා. ඔන්න ඔහොමයිවැදුම් ගෙයි ආදරය අත ඇරලා අපි ආව ගමනේ විස්තර.

මිත්‍රවරුනි, මගේකතාව ඉවර නැහැ. එක පැත්තකින් මුවහමට තලන ගමන් අනෙක් පැත්තෙන් උඩ බලන්ඉන්නවා. මොකටද? දියසේන එනකම්. මහා රාවණා එනකම්, දුටුගැමුණු එනකම්, කාවන්තිස්ස එනකම්. අපි ව ගලවගන්න කවුරුහරි එන්නම ඕන. නැත්නම් ගැලවෙන්න අපිකැමති නැහැ. දඬු මොණරෙන් එන්න ඕන. අහසින්මයි එන්න ඕන. ඇයි ඒ ? අපට මහපොළවවිශ්වාස නැහැ. පස්ගොඩවල් බෙදාගන්න යුද්ධ කෙරුවට අපේ ෆැන්ටසිය, අපේ ආශාවඅහස. ඒ නිසා අපි උඩ බලන් ඉන්නවා; උඩ බලාගෙන ඔහේ ඉන්නවා. ඒ ඉන්න ගමන් නිකම්විනෝදෙට වගේ මහින්ද රාජපක්ෂ ව විවේචනය කරනවා. රනිල් වික්‍රමසිංහටත් බණිනවා.අනුර කුමාරටත් දොස් කියනවා. යමක් කමක් තේරෙනවනම් දීප්තිටත් බැණල කුමාර්වත්විවේචනය කරනවා. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපි ව පේන්නෙ නැහැ.ඔක්කෝට ම කණ්ණාඩි අල්ලන් ගියාට අපේ කණ්ණාඩිය මග හැරෙනවා. අපි අපි ව කවදාවත්දැකල නැහැ. අපි ඇතුළේ ඉන්න පසුගාමියා අපට අහුවෙලා නැහැ. අපි ඇතුළෙ ඉන්නජාතිවාදියා, ගෝත්‍රවාදියා අපට අහුවෙලා නැහැ. අපි ඇතුළෙ ඉන්න උපයෝගිතාවාදියාඅපිට පෙනිලා නැහැ. අපි ඇතුළෙ ඉන්න ගේම් කාරයා අපට තවමත් අහුවෙලා නැහැ.

දැන්මේක කැඩපත අවහ්‍ය මොහොත. බාලගිරිට පරණ සබන් කෑලිත් අරන් යන්න කියමු. හෙටනෙවෙයි අද. අදයි දවස. අද නිර්මාණය කරගන්න ඕන කැඩපත. මේක හෙටට කල් දාල බැහැ.සාහිත්‍යයකාරයන්ට පුළුවන්ද ජීවිතය ගැන නො කියා, නො ලියා ඉන්ඩ ? හොඳ ම පොතටසම්මානත් එක්ක සල්ලි ලැබෙනවා. ඒ ඔක්කොට ම වැඩිය මනුෂ්‍යත්වය වටිනවා. දැන්පොත් කැඩපත් බවට පත් කරන්න ඕන කාලය. ඒ නිසා මම ඉතා විශ්වාසයෙන් කියනවා:මිනිස් ආදරය ගැන, මනුෂ්‍යත්වය ගැන, අපට මගහැරෙන ජීවිතය ගැන හෙටත් ලියනවා.පුළුවන් හැටියට කැඩපත් නිර්මාණය කරනවා. සමහරවිට මේ මගේ අතින් නිර්මාණය වෙනඅවසන් කැඩපත වෙන්නත් පුළුවන්. ඊට කලින් එක වෙන්නත් පුළුවන්. මගේ කැඩපතට මමවග කියනවා.

මාතාත්මයේ පරමාදර්ශය ගැන අපි ඉතා උත්කර්ෂයෙන් ලියනකොටකෙනෙක් අපෙන් අහන්න පුළුවන් එතකොට නිල්වලා ගඟට, කැලණි ගඟට දරුවනුත් අරන්පනින්නෙ කවුද කියල. තේ පඳුරු යට රබර් වතු මැද්දෙ කිරිසප්පයන් ව අත ඇරලායන්නෙ කවුද කියල. ත්‍රීවිල් එකේ යන ගමන් ළදරු කළල ෂොපින් බෑග් එකේ දාලාපාරේ වීසි කරලා යන්නේ කවුද කියලා. ඔව්… ඒකටත් උත්තරයක් දෙන්න ඕන. හොඳඋත්තරයක් දෙන්න ඕන. මෙහෙමයි… අපි දෑත ම උස්සල තිරිසන්කම අනුමත කරගන්නවානම්, අපි සර්වජන ඡන්දයෙන් කැමැත්තෙන් ම්ලේච්ජත්වය නිර්දේශ කරගන්නවා නම්, අපි මහා පොදු එකඟතාවකින් කාලකණ්ණිකම භාර ගන්නවා නම්, කාටද පුළුවන් ඒකෙගොදුරු බවට පත්වෙන අහිංසකියන්ව එල්ලූම් ගස් යවපල්ලා කියල කියන්න.

දරුවන් වැදූ සියලූ ගැහැනුන් ස්ථිර ලෙස ම නිර්දෝෂයි. සුනාමියට අහුවෙලාපොල් ගස්වල, කොන්ක්‍රීට් බැමිවල වැදි වැදී යන ගැහැනුන්ගෙන් ‘සමනල ආරටපීනපල්ලා’ කියල කවුරුන් හෝ ඉල්ලනවා නම් මම ඒ නරුම ඉල්ලීමට සාහිත්‍යකාරයෙක්හැටියට වගේ ම මනුෂ්‍යයෙක් හැටියටත් කොන්දේසි විරහිතව විරුද්ධයි. ඒ වගේ මඑහෙම චෝදනා කරන අය මෙන්න මේ ප්‍රශ්නයටත් උත්තර දෙන්න ඕනේ. වැඩිය නෙමෙයි 1971 ඉඳලා මේ වෙනකම් ඉතිහාසය නිරීක්ෂණය කරල බලලා මට කියන්නල මේක දූ පුතුන්පරිස්සම් කරන රටක් ද කියලා. එහෙම රටක නම් අර විදියට චෝදනා කරන්න පුළුවන්.

කීදාහක් ඇස් තමන්ගේ දූ පුතුන් ගෙදර එනකම් බලා ඉන්නව ද? කී දාහක් ඇස් ඒ දූපුතුන් කොහේදැයි නො දැන කඳුළු හෙළනව ද? අවුරුදු විස්සෙන් විස්සට මව්හදවත්වලට දුක් දෙන දූපතක මිනිස්සු අපි. එහෙව් අපිට බැහැ හිතුමනාපෙට චෝදනාගොනු කරන්න. ඒ නිසා මම ආයෙත් කියනවා කොයි මව් හදවතත් සියයට දාහක් නිදොස්කොට නිදහස් කළ යුතුයි. මේ කතාව මීට වඩා දීර්ඝ කරන්නට මම බලාපොරොත්තු වෙන්නේනැහැ. අසා සිටි ඔබ සැමට බොහෝම ස්තුතියි.

පොඞ්ඩක් ඉන්න. අර සමහර ලේඛනවල අවසානයට පස්සේ ‘පසුව ලියමි’ කියල සඳහන් කරනව වගේ මටත් තව එක දෙයක් කියන්නට අවශ්‍යයි.

කැඩපත හදාගන්නට නම්, ඔක්කොට ම කලින් අපි අපේ කොන්ද කෙළින් කරගත යුතුයි. ‘කොන්ද කෙළින් තියන් වැඩ කරපන්’ මට එහෙම කිව්වෙල අම්මා…

ඊටත්වඩා ලස්සන දෙයක් මා මේ කතා කරන මාතෘකාව ගැන ම චූලාභයගේ කෙටි කතාවක තිබුණා.සිංහලයෙකුට පර්ස් එකක් හම්බ වෙනවා. පර්ස් එකේ සල්ලි තියෙනවා. ඒ සල්ලිවියදම් කරල ගෙදරට ෆිජ් එකක් ගේනවා. ඒ පර්ස් එකේ සල්ලිවලට අමතරව ජාතිකහැඳුනුම්පතකුයි බෙහෙත් තුණ්ඩු වගයකුයි තියෙනවා. සල්ලි ගන්න සිංහලයාහැඳුනුම්පත වීසි කරනවා. හැඳුනුම්පතේ තිබුණේ දෙමළ නමක්. ඒ කුණු කූඩෙට දාන්නේඅයිතිකාරයගේ අනන්‍යතාව; වීසි කරන්නේ කාගේ හෝ රෝගියෙකුට බෙහෙත් ගන්න තියෙනඖෂධ ලේඛනය. ගෙදරට ෆිජ් එකක් ගන්නේ අනෙකාගේන් උදුරා ගත්ත ප්‍රාග්ධනයෙන්.දවසක් මේ මිනිහට පාරේ යද්දි මරණ දැන්වීමක් දකින්නට ලැබෙනවා. දැන්වීමේ ඉන්නේහැඳුනුම්පතේ හිටපු පුරවැසියා. ඒ කියන්නේ මල්රාජ්. දෙමළ නමක්. දැන්වීම දකිනමිනිහා මළ ගෙදර යනවා. ගෙදර තියෙන්නේ කුඩා දැරිවියකගේ මරණයක්. ගෙදර අයමෙහෙම කියනව.

‘‘දැන්වීමේ ඉන්න කෙනා මැරිලා ටික දවසක්. මේ දුවටලියුකේමියා. එයාගේ මාලේ උකස් කරල තමයි බෙහෙත් ගන්න සල්ලි අරන් ගියේ. පොකට්ගහල තිබුණේ බෙහෙත් ගන්න තිබිච්ච සල්ලි. ඒ පර්ස් එකේ මේ දුවගේ බෙහෙත්තුණ්ඩුත් තිබුණා. ඒ වේදනාවට මල්රාජ් සියදිවි නසාගත්තා. බෙහෙත් නැතුව දුවමැරුණා’’

මං අහන්නේ අනෙකාගේ ආගමික අයිතිය විතරක් නෙමෙයිප්‍රාග්ධනයත් ජීවිතයත් අපි උදුරගෙන නැත් ද? මේ කෙටි කතාවේ ඊළඟට මොකද වෙන්නේ ? ගෙදර තියෙන ෆිජ් එක යුද්ධ ටැංකියක් වෙනවා. නගරේ හැම සාප්පුවක ම තියෙනෆිජ් යුද ටැංකි බවට පත් වෙනවා. අර හැඳුනුම්පතත්” බෙහෙත් තුණ්ඩුවත්, මුදලූත් මංකොල්ල කාපු මිනිසා හැම තැන ම තියෙන ශීතකරණවලට පහර දෙනවා. අපි යුද්දෙකියල කිව්වේ ඒකට නෙමෙයි ද? දහසක් මව්වරු දරුවන් ඉල්ලා අඬන රටේ මා ලේ කිරිකරලියූ නවකථාව අම්මට පුදන්නයි කලින් ඇල්බෙයා කැමු කිව්ව කතාවක් කියන්න ඕන.

දවසක මං මැරෙයි. ඒත් මං මැරෙන්නෙ ආශ්වාස ප්‍රශ්වාස කරල විතරක් ජීවත් වෙලා නෙමෙයි. ඇ‍ඬෙන තරමට ජීවත් වුණාට පස්සේ හැම උත්සාහයක් ම වැය කරලා හැම වචනයක් ම කතා කරලා හැම වචනයක් ම ලියලා හැම සටනක් ම සටන් කරලා හැම අවදානමක් ම අරගෙන ඉවරවෙලා. මගේ කකුල්දෙක උඩ හිටගෙන මට හදන්න පුළුවන් හැමදේ ම හදලා ඔබත් එක්ක හිනාවෙන්න පුළුවන් උපරිම හිනාවෙලා අඬන්න පුළුවන් උපරිම අඬලා පුළුවන් උපරිමේට ආදරේ කරලා දවසක මං මැරෙයි. එතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා.

Recent Posts

One Comment to “සභාවෙන් අවසරයි!”

  1. Dammika says:

    Godak kattiya ohoma kiyala mawa rewttuwa.Mama kohomada umbawath visvasa karanne ayya?

Leave a Comment