එක රැයින් චණ්ඩාශෝකට ධර්මාශෝක වෙන්න පුුළුවන් වුනේ ඉස්සර දැන් මානව හිමිකම් කියල දෙයක් තියෙනවා ඒ වෙනුවෙන් සටන් කරන පිරිසක් ඉන්නවා – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Sep 15th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

සම්මානලාභී මානව හිමිකම් ආරක්ෂිකාවක් වූ සුනිලා අබේසේකර සමුගෙන වසරක් ගතවීම සිහි කරමින් රයිට්ස් නව් සාමූහිකය, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ ඉන්ෆොර්ම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය එක්ව සංවිධානය කළ සමරු උළෙළ පසුගිය 08 වනදා කොළඹදී පැවැත්විය. එහිදී ආචාර්ය සේපාලි කොට්ටේගොඩ, නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම, නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සුනිලා ගැන මතකයන් අවදිකල අතර ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු විසින් ‘මානව හිමිකම් රැකවලූන් රැකගැනීමේ ආණ්ඩුවේ වගකීම’ මැයෙන් සුනිලා සමරුමෙහි ප‍්‍රධාන දේශනය කළාය. එම දේශනයෙන් උපුටා ගත් කොටසක් කිහිපයක් මෙවර සමබිමෙහි පළවේ.

සුරංගනා කතාව
මට හොඳටම විශ්වාසයි ඔබ අතරින් සමහරෙකුට හිතෙනවා ඇති මම මේ මානව හිමිකම් ආරක්ෂකයන් ගැන කතාකරමින් කියන්නේ ග‍්‍රීම් සහෝදරයන්ගේ සුරංගනා කතාවක් කියලා.

අවාසනාවන්ත කාරණය තමයි අපි ජීවත්වෙන මේ රටේ කාටවත් ජාත්‍යන්තර නීතිය ගැනවත් ප‍්‍රතිපත්ති හෝ පිළිගැනීම් ගැනවත් එතරම් තැකීමක් නොමැති වීම. එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් පොදු රාජ්‍ය මණ්ඩලයේත් අඛණ්ඩ සාමාජිකයන් වශයෙන් කටයුතු කරන අතරම ශී‍්‍ර ලංකාව රටක් වශයෙන් ඒ සංවිධානවල මූලික පදනම සපයන ප‍්‍රතිපත්තීන් උල්ලංගනය කරමින් සිටිනවා.

1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරලා එය කි‍්‍රයාත්මක කිරීම ආරම්භවූ මොහොතේ පටන් මේ දක්වා පත්වූ සෑම රජයක්ම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ ව්‍යායාමය අඩපන කර දමන්නට සහ මානව හිමිකම් පිළිබඳ විරුද්ධ මතයක් රට තුළ ඇති කරන්නට තමන්ගේ විධායක බලය භාවිතා කරා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 18 වන සංශෝධනය එක් කිරීමෙන් සිදු වුණේ ආණ්ඩුව තමන්ගේ අයිතිවාසිකම් විරෝධී ගමන තුළ යා හැකි උපරිම ස්ථානය දක්වාම පැමිණීම. ජනාධිපතිවරයා, ඔහුගේ ආණ්ඩුවේ බලවතුන් වගේම ඒ අයගේ නෑදෑ හිතමිතුරන් පවා මානව හිමිකම් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ව දකින්නේ ඔවුන්ගේ බලාධිකාරිය සහ ඔවුන්ගේ පැවැත්ම දෙසට එල්ල වෙලා තියෙන තර්ජනයක් විදියටය. මානව හිමිකම් ආරක්ෂකයන්ගේ කි‍්‍රයාකාරීත්වය ඔවුන් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි යන කාරණය මා කිසිසේත්ම ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ, මොකද ඒ බලපෑම ඇති කිරීම තමයි ප‍්‍රජා කි‍්‍රයාකාරීන් විදියට අප විසින් පෙනී සිටිය යුතු අතිශය නිවැරදි අරමුණ. නීතියට ඉහළින් සිටීමට ඇතැමුන්ට තිබෙන හැකියාවට වගේම නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වයට කෙරෙන අඛණ්ඩ බලපෑම්වලටත් අපි එකසේ විරුද්ධයි. ඒවා යුක්තියේ සහ සාධාරණත්වයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිවුණු පවුරු. උගත් පාඩම් කොමිෂමෙන් පටන්ගෙන, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, වගේම ජිනීවා දක්වාත් තමන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය සොයමින් යන වින්දිතයන් සමග එක්ව අපි ඒ අරගලයට සහාය දක්වනවා. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය පිළිගත් ඒ සම්මුතියට අනුව කි‍්‍රයාකාරනවා යැයි ප‍්‍රතිඥා දී තිබෙන රටක පුරවැසියන් විදියට ඔනෑම තත්ත්වයක් යටතේ ජිනීවාහි අදාළ ආයතන වෙත යෑමට අපිට පූර්ණ අයිතිය තිබෙනවා.

විපක්ෂයත් සමග වැඩ කිරීමේ උරුමය

මානව හිමිකම් ආරක්ෂකයන් වන අපි අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කළ යුතු යැයි රජයට සහාය දක්වන සහ රජය සමග එක්ව කටයුතු කරන පිරිස් (ඇත්තෙන්ම මේ දෙපිරිස අතර කිසිම වෙනසක් නැහැ) මට බොහෝ විට යෝජනා කර කියා තිබෙනවා. අපි ස්වාධීනයි, නමුත් අප කතා කරන, විවේචනය කරන සහ දේශපාලනයේ පිළිගැනීම් හා බැඳුණු කි‍්‍රයාකාරීත්වයන්ට අපි කරන අභියෝගයන් කියන්නේ වෙනත් කාරණයක්. ඒ කාරණය තුළ අපට පැහැදිලිවම සිදු වෙනවා විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සංවාදයක නිමග්න වෙමින් ඔවුන් හා එක්ව ගමන් කරන්නට. 1989 කාලයේදී අතුරුදහන්වූවන් සම්න්ධයෙන් කැපවී කි‍්‍රයාකළ සියලූම දෙනා පාහේ තමන්ගේ කටයුතු කළේ එවකට විපක්ෂයේ සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග. එදා වගේම අද අපි බොහෝ දෙනෙක් විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක එකට වැඩ කරනවා, අද අපේ කාර්යය සම්බන්ධව තිබෙන්නේ අසාර්ථක සහ අකී‍්‍රය ඇති රාජ්‍ය ව්‍යූහය තුළ ඔඩු දුවන ලද ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීම, දූෂිත රාජ්‍ය පාලනය සහ විධායකය විසින් අතික‍්‍රමණය කළ අධිකරණ පද්ධතිය ස්වාධීන කරගැනීම වගේ දැවැන්ත ප‍්‍රශ්නත් සමගයි.

අප හිංසාවන්ට ලක්වන්නේත්, හිරිහැර සිද්ධවෙන්නේත් මේ කාරණය නිසා. ස්වාධීන රූපවාහිනී සේවය වගේ මාධ්‍ය ආයතන තමන්ගේ ප‍්‍රවෘත්ති විකාශනයවලදී අපි දේශද්‍රෝහීන් යැයි නම් කරමින් හංවඩු ගසන්නේත් මේ කාරණය නිසාමයි. අපේ කාර්යභාරය නිර්දය ලෙස විවේචනය කරන සජීවී ගුවන්විදුලි වැඩසටහන් විකාශය කරමින්, ඒවාට සවන් දෙන අසන්නන්ට අප මරා දැමිය යුත්තේ කෙසේදැයි අදහස් පළ කරන්නැයි උසි ගන්වමින් කටයුතු කරන මේ මාධ්‍ය අයතන ඉන් අනතුරුව ‘තම නාලිකාවෙන් එවැනි වැඩසටහනක් විකාශය කර නැත’ යි කියා සිටින්නේය. එයින් අපගේ ආරක්ෂාව සඳහා කිසියම් හෝ නීතිමය පියවරක් ගැනීම සාක්ෂි නොමැතිකමෙන් මුළුමනින්ම අසීරුව යන්නේය. මානව හිමිකම් ආරක්ෂකයන් වශයෙන් අපේ කාර්යභාරය හුදෙක් නීතිමය වගන්තීන් සමාජ සන්දර්භය තුළට ඇතුළත් කිරීම නොවන්නේය.

මානව හිමිකම් ආරක්ෂකයන් සමග ගනුදෙනුවට සිවිල් නිළධාරීන් යොදවන්න
මානව හිමිකම් උල්ලංඝනය කරනා වරදකරුවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට යමින් තිබෙන පසුබිමෙහිම මානව හිමිකම් ආරක්ෂකයන් වෙත එල්ලවන්නාවූ තර්ජනයන්ද වඩාත් උග‍්‍ර සහ භයානක අඩියකට එළඹෙමින් පවතී. සන්නද්ධ කණ්ඩායම්හි, රජයේ සහයෝගය සහ කැමති ඕනෑම දෙයක් කිරීමට ඉඩහසර ලබමින් හෝ එසේත් නැත්නම් ස්වාධීනව හෝ කි‍්‍රයාකරන ආගමික අන්තවාදී කල්ලීන් මෙන්ම සන්නද්ධ හමුදා සහ අනෙකුත් ආරක්ෂක ඒකකයන්ගේ සෙබළුන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් රට තුළ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ආරක්ෂාවට සහ පැවැත්මට බරපතලම තර්ජනය බවට පත්ව ඇති අතර, සෘජුව හෝ වක‍්‍රව කුමන හෝ ආකාරයකින් ඔවුන් අපගේ කාර්යභාරයට බරපතල උවදුරක්ව ඇත. මූලික අයිතිවාසිකම් කිසිසේත්ම නොකතමින්. එකී මූලික අයිතිවාසිකම්වලට සම්පූර්ණයෙන්ම පටහැණිව කි‍්‍රයාකොට ඉනිදු ඉක්බිති නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමෙන් මුළුමනින්ම ගැලවී සිටින්නට මෙකී කණ්ඩායම්වලට ඇති හැකියාව තරම් ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් වන අප මුහණ දෙන අන් අභියෝගයක් නොමැත.

මෙරට යුධ සමය තුළ බරපතල ලෙස මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතින් උල්ලංඝනය වූවා යැයි එල්ලව තිබෙන චෝදනා පිළිබඳව මෙන්ම දිගින් දිගටම රට තුළ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයා බැලීය යුතුයැයි ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ දෙවැනි යෝජනාවලිය විසින් නිර්දේශ කර තිබිණි. එකී නිර්දේශයන් පදනම් කරගනිමින් පිහිටුවා ඇති පරීක්ෂණ කොමිසම සිය කටයුතු ආරම්භ කර ඇත. ඒ අතරතුරම ‘රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා සමග කටයුතු කළ යුතුය’ යන ප‍්‍රකාශය ද සහිත තුන්වැනි සඳහනක්ද ‘ඉදිරිපත්ව’ ඇත. මානව හිමිකම් ආරක්ෂකයන් වන අපට අවශ්‍ය වනුයේ සිවිල් පරිපාලන නිලධාරියෙකු සමග කටයුතු කිරීම මිස විශ‍්‍රාම ගිය හමුදා කර්නල්වරයෙකු සමග කටයුතු කිරීම නොවේය. අපගේ ඉදිරි ගමන හුදෙක් පැවැත්ම පිළිබඳ අවශ්‍යතාවයන් මත පදනම් නොවිය යුතුය. සත්‍යය කුමක්දැයි නිරාවරණය කරලනුවස් වන අභිලාෂයන් සහ උවමනාවන් විසින් අපේ ගමන නිර්මාණය කෙරෙනු ඇත.

මේ තත්ත්වය මම කැමතියි සිවිල් සමාජයේ ප‍්‍රතිරූපයට හානිකර එය බිඳ දැමීමේ අරමුණින් රජය විසින් පවත්වාගෙන යන ‘සැලසුම් සහගත කි‍්‍රයාවලියක්’ වශයෙන් හැඳින්වීමට. එතෙකින් නොනැවතී, යුද්ධය නිසා වින්දිතයන් වූ සිය දහස් ගණනකගේ දුක් වේදනාවන්ට අවමන් කරන්නටද මේ කි‍්‍රයාවලිය සමත්ව ඇත’ එසේම මේ සියල්ල ජාත්‍යන්තර ප‍්‍රජාවේ අවධානය වෙනතකට හැරවීමේ කූට උත්සාහයක සැලසුම්ය. මේ සියල්ලට අපගේ පිළිතුර වශයෙන් කීමට ඇත්තේ එක් කතාවකි. ඒ රටේ වින්දිතයන්ගේ කතාවයි. ඕනෑම පරීක්ෂණ කොමිසමක් ඉදිරියට අප විසින් ගෙන යා යුතු එකම කතාව ඔවුන්ගේ කඳුළ සහ වේදනාව තුළින් කියැවෙන කතාවයි. නිමල රූබන් සහ දිල්රුක්ෂාන් වෙනුවෙන් අප පූජනීය කාර්යයකට අත පෙවිය යුතුය, ඔවුන්ගේ මරණය සිදුවූයේ රජය විසින් පවත්වාගෙන යන සිර කඳවුරක් තුළදීය යන කතාව අප විසින් ප‍්‍රකාශ කළ යුතුය. හඬක් නැගිය නොහැකි හෝ උවමනාවෙන්ම නිහඬ කර දමා තිබෙන දහස් ගණනක් වෙනුවෙන් කෲර ලෙස මරා දැමුණු ඉසිප‍්‍රියාගේ කතාව ලොව ඉදිරියේ තැබිය යුතුය, රජය විසින් සිය දේශපාලන වාසිය තකා ප‍්‍රයෝජනයට ගත් කැබිතිගොල්ලෑවේ ජනතාව හමුවට අප යා යුතුය, ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉදිරිපත්වනවා සේම වෛරය සහ ප‍්‍රචණ්ඩත්වය පතුරවමින් අප එකිනෙකාගෙන් ඈත් කළ යුද්ධයේ කුරිරුබව ගැන ඔවුන් සමග කතා කළ යුතුය. මේ සියලූ කාරණාවන්හිදී අප සුනිලා සතුව තිබූ අප‍්‍රතිහත ධෛර්යය අප සමග කැටුව යා යුතුය.

ඒ කාලේ පුළුවන්
වගවීම සහ සත්‍යය නිරාවරණය කරලීම යන කාරණා අපට පරිබාහිර නොගැලපෙන සහ ආසියාතිකයන් වන අපට ආගන්තුක කාරණාය යන කතාවට කිසිඳු පදනමක් නොමැත. ප්‍රෞඩ ජාතියක උරුමක්කරුවන් වන අප මානව අයිතීන්ට ගරු කළ යුත්තේ කෙසේද යන වග දන්නේ යැයි නොයෙක්වර අපට කියා ඇත. අතීතයේ පාලකයන්ට කැමති පරිදි චණ්ඩාශෝක කෙනෙකු හෝ ධර්මාශෝක කෙනෙකු හෝ වීමේ හැකියාව තිබිණි. රජු යහපත් නම් සහ දයාන්විත නම් ඔහු ධර්මිෂ්ඨ රජෙකු සේ සැලකිණි. එහෙත් අවාසනාව වනුයේ රජුයේ එකී හැසිරිම් කිසිඳු නීතිමය බැඳීමක් නොමැති හුදු මනු ධර්මයන් පමණක් වීමය. කිසිඳු හෝ වගවීමක් නොමැති යුද්ධ ගණනාවක් අපි දෑසින් දැක ඇත්තෙමු. දෙවැනි ලෝක යුද්ධය සහ හිට්ලර්ගේ යුදෙව් සමූළ ඝාතනයන්ගෙන් සිදුවූ මහා මිනිස් සංහාරය එවැනි ව්‍යසනයක් යළිත් ඇතිවීමට ඉඩ නොතබමු යන ප‍්‍රතිඥාව ඇති කිරීමට ජාතීන්ගේ සංගමය පෙළැඹවීය. ආසියානු රටවල්ද ඇතුළුව ලෝකයේ සියලූම රාජ්‍යයන් විසින් අත්සන් යොදා පිළිගෙන ඇති විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනයේ උපත සිදුවන්නේ එ පරිද්දෙනි. සියලූම රාජ්‍යයන් විසින් පංගුකාරීත්වය දරන්නාවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රඥප්තියෙන්ම පැන නගින්නාවූ මානව හිමිකම් යනු එකිනෙකාගේ ආරක්ෂාව සහ යුක්තිය උදෙසා සටන්වැදීමට අද අපට ඇති එකම විශ්ව භාෂාවයි. 1948 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනය පිළගත යුතුද නැත්ද යැයි විමසා සිටි අවස්ථාවේ එකක් හෝ නෑර සියලූම ආසියානු රටවල් එයට සිය පක්ෂපාතීත්වය පළ කළහ.

ප‍්‍රචණ්ඩත්වයට සහ යුධ අපරාධවලට හවුල්වූ අපරාධකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ එකී වැරදි සඳහා වගකිවයුතු සහ දඬුවම් ලබාදීම සුනිලාටත්, ඔබටත් මටත් එකසේ වැදගත් විය, එය ඉදිරියටත් එසේම වනු ඇත. එලෙසම එවැනි කෲර කි‍්‍රයාකාරීත්වයන් සාධාරණීකරණය කළාවූ ආයතන සහ ව්‍යූහයන් නිරාවරණය කර ඒවා අකර්මණ්‍ය කර දැමීමද එකසේ වැදගත් වේ. ස්ත‍්‍රී-පුරුෂ සමානාත්මතාවය මූලික කරගත් යුක්තිය සහ සාධාරණත්වය අරඹයා අප විසින් ගෙන යන අරගලය හුදෙකලාකර, අදේශපාලනීකරණයකර, පොදු සන්දර්භයෙන් එකී අරගලය බැහැර කරන්නට රටේ හෝ කලාපයේ වෙන ඕනෑම තැනෙක සිටින අපගේ පාලකයන්ට අප විසින් ඉඩ තැබිය යුතු නැත.

සුනිලාගෙන් අප ලද උරුමය
ලෝකය පුරා විසිර පැවති කාන්තා සාමූහිකයන් තුළට අප සියල්ලන්ම එක් කරගනිමින් තවත් ඉතිහාසයක් ලියා තබන්නට සුනිලා කැපවී කි‍්‍රයා කළාය. ඒ ඉතිහාසය ඒකාධිපතීත්වයට විරුද්ධව ලියැවුණු ඉතිහාසයකි. ආන්තීකරණයට ලක්වූවන් සහ එකී අන්තයන් ගැන ලියැවුණු ඉතිහාසයකි. නිශ්චිත අවසානයක් ගැන නොව අඛණ්ඩව ගලා යන්නාවූ ගමනක් ගැන කතාවකි.

සුනිලා ගැන ඔබ සමග කතාකරමින් බෙදා ගත් මේ අදහස් අවසන් කරන්නට මා බලාපොරොත්තු වන්නේ ඇයගේම වචන කිහිපයකිනි. මේ වචන එදා ඇය අප සමග ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව තුළ වගවීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යයට ඉඩ තැබීම සහ සංහිඳියාව උදෙසා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ කතා කිරීමේ වරදට අප රජයේ බලධාරීන්ගේ විසින් සිදුකළ අපහාසයන්ට, ඔවුන්ගේ අඩන්තේට්ටම්කිරීම්වලට සහ පහරදීම්වලට ලක්වූ මොහොතකය.

‘‘ශී‍්‍ර ලංකාව තුළ නීතියේ ආධිපත්‍යයට පිටින් කටයුතු කර මගහැර යන්නට වරදකරුවන්ට ඇති හැකියාව පරාජය කිරීමට කැපවී කි‍්‍රයාකාරන මානව හිමිකම් ආරක්ෂකයන් වශයෙනුත් අතීතයේදී වේවා වර්තමානයේදී වේවා මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිදු කරන ඕනෑම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් සඳහා යුක්තිය සහ වගවීම ඇති කරන්නාවූ ආකාරයේ ශක්තිමත් ක‍්‍රමයක් ගොඩනැගිමට කැපවී කි‍්‍රයාකරන්නන් වශයෙනුත් අප අපගේ පරමාදර්ශනයන් සහ අරමුණු කෙරෙහි නොසැලී විශ්වාසය තබා සිටින්නෙමු. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පිළිබඳ යෝජනාවක් ගෙන ආවද එවැනි යෝජනාවක් කිසිදා ඉදිරිපත් නොවුණද ශී‍්‍ර ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කරනු වස් අපගේ කාර්යභාරය ඉදිරියටම ගමන් කළ යුතුය, එය එලෙසම ඉදිරියට ගමන් කරනු ඇත.

වැඩිදුර ඡායාරෑප මෙතනින් බලන්න

d12

Recent Posts

Tags: , , , , ,

Leave a Comment