පිරිමි ජෝක් කළාම ගෑනුන්ට කේන්ති යන එකට කියන්නෙ අසංවරකම කියලද?-ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Oct 1st, 2014 | By | Category: LEAD NEWS, කාන්තා, පුවත්

ස්ත‍‍්‍රී ශරීරය සම්බන්ධයෙන්ද ස්ත‍‍්‍රිය සම්බන්ධයෙන්ද සමාජයේ මුල් බැසගෙන ඇති අගතිගාමී මතයට වෙනස්ව විකල්ප මතයක් දරන්නේ ඉතාමත්ම අතලොස්සකි. වත්මන් ලාංකික පිරිමි සමාජයට අනුව කාන්තාවන්ගේ ඇදුම් පැළඳුම් ඇදීමම නොමනා ලිංගික හිංසනයකට කාන්තාවන් ලක් කිරීම සඳහා දොර විවෘත කිරීමක් වන්නේය. වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීමේ සිදුවීම හරහා තමා ප‍්‍රකාශ කිරීමට පිරිමියාට මෙන්ම කාන්තාවටද ඇති නිදහස සම්බන්ධයෙන් ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු සමග පවත්වන ලද සාකච්ඡාව සමබිම ඔබ වෙත ගෙන එයි.

තිළිණි අමල්කා පිළිබද සිඳුවීම පසුගිය කාලයේ ලංකාවේ මාධ්‍ය තුළ වගේම සමාජ ජාල මාධ්‍ය තුළත් විශාල සංවාදයකට ලක්වුණා. මේ ගැන ඔබගේ ප‍්‍රවේශය කුමක්ද?
වාරියපොල සිදුවීම පසුගිය කාලෙ සිදු වුණු එකම සිදුවීම නෙමෙයි. අද වෙනකොට විකල්ප මාර්ග හරහා ඇති කරපු සංවාදය තුළ මතුවුණු ප‍්‍රවණතාවන් දිහා බැලූවම මම දැක්කේ පුරුෂාධිපති සමාජයේ සංවර සහ අසංවරභාවය පිළිබද තිබෙන කුහකකමයි. සංවරවීම පිළිබද කාරණාවේදී හැමදාමත් වගේ ගැහැනිය තමයි සංවර වෙන්න ඕනෑ, පිරිමියා අසංවර උනාට කමක් නැහැ කියන කතන්දරය තුළ පිරිමියාගේ අසංවරභාවය ගැන කාන්තාවන් පියවර ගැනීමේදී වඩා ශීලාචාර ලෙස ඒක කරන්න ඕන කියන කාරණය මෙතනදි ඉස්මතු වුණා.

මේ සිදුවීමේදී ඇය කම්මුල් පහරවල් කිහිපයක් ගැහැව්වේ ඇයි? මේ සිදුවීම හුදෙක් වචන හුවමාරුවක් විතරක් නෙමෙයි. ඒ තරුණියට බලපෑම් ඇතිවන ආකාරයෙන් සෙල්වා කියන පුද්ගලයා හැසිරිලා තිබුණා. ඇත්තටම මේ සිදුවීම හරහා කාන්තාවන්ට සිදු වන හිංසනයන් පිළිබදව නිර්වචනය කරගන්නේ කොහොමද කියලා අපට බරපතළ අභියෝගයක් එල්ල වෙනවා. ඒ කියන්නේ සම්ප‍්‍රදාය තුළ එන නිර්වචනය සහ නෛතික නිර්වචනයයි. ඇත්තමට මට නම් සමකාලීන තත්ත්වයන් තුළ මතුවන තත්කාලීන ප‍්‍රතිචාරයන් සහ නිර්වචනයන් ගැන විශාල ගැටලූවක් මතුවෙන්නේ නැහැ. මොකද ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඒ හැම දෙයක්ම අඩංගු කරන්න ඕන නැහැ. ඒ තුළ සමානාත්මතාව කියන කාරණය හරහා ලිංගික වශයෙන් වෙනස්කොට නොසැලකිය යුතුයි කියන කාරණාව අඩංගුවෙලා තියෙනවා. අපරාධ නීතියේ 345 වගන්තියේ ස්ති‍්‍රයකගේ හිරිඔතප් බිදීමේ අදහසින් යමෙකු ස්ත‍්‍රියකට යම් අඩන්තේට්ටමක් සිදු කරයි නම් එය දණ්ඩනයකට යටත් කළ හැකි වරදක් ලෙස දක්වලා තියෙනවා. හිරිඔතප් බිඳීමට එරෙහිව ගැහැනුන් විවිධ විදියට විරෝධතාව දක්වන්න පුළුවන්. පිරිමියෙකුට ආවේගයක් ආවම එ් ආවේගය මේ ආකාරයැයි කියන පිරිමි සමාජය ගැහැනියට ආවේගයක් ආවම එය මෙහෙමයි කියලා නිර්වචනය කරන්න බැහැ. දණ්ඩ නීති සංග‍්‍රහයේ තියෙනවා තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කරන පහරදීමක් මිනීමැරුමක් වෙනුවෙන් පවා ව්‍යතිරේඛයන් සපයනවා කියලා. එක පැත්තකින් මේ විවාදය දිහා බලනකොට මේ විවාදයේදී ධනාත්මකව මම දැකපු දෙයක් තමයි අතලොස්සක් වන පිරිමි මේ සම්බන්ධයෙන් ඉතා හොඳ කතිකාවක් ගෙනාවා. 95‍% වන කාන්තාවන් පිරිසක් විවිධ මාධ්‍ය ඔස්සේ මේක සාධාරණීකරණය කරලා තිබුණා. මොකද මේ වගේ දේවල් තමයි බස්වල, මහපාරේ යනකොට ඒ අයට අත්විඳින්න සිද්ධ වෙන්නේ. නමුත් ලැජ්ජාව නිසා සමහර අය ඒකට ප‍්‍රතිචාර දක්වන්නේ නැහැ. සමහර අය ලැජ්ජාව කියන කාරණය පැත්තකට දාලා විරුද්ධත්වය දක්වලා තියෙනවා.

මම තරුණ කාලේ නීති විද්‍යාලයේ ඉන්නකොට නිරන්තරයෙන්ම ජේ්‍යෂ්ඨ අය දීපු උපදේශය තමයි පොඩි කුඩයක් අරගෙන යන්න කියන එක. කුඬේ තියාගත්තම අනෙක් පැත්තෙ එක්කෙනා දන්නවා ඒක යම් බලයක් කියලා. අද මේ සමාජය තුළ පොඩි කුඬේ මදි. මගේ තරුණ කාලේ රාතී‍්‍ර ගමන් බිමන්වලදී පවා මට කිසි ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. ඕනෑම ගවුමක් ඇදගෙන බස් එකේ ඕනෑම දුරක් යන්න පුළුවන්කම තිබුණා. නමුත් අද වෙද්දි මට පවා ? ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් තමයි තියෙන්නේ. මීට වසර කිහිපයකට ඉස්සර මම ව්‍යායාම ස`දහා රාජකීය විද්‍යාලය පැත්තෙ පාරෙ ඇවිදගෙන යනකොට වාහන දෙක තුනක්ම නවත්තලා ඇහුවා ඔයා කොහෙද යන්නෙ කියලා. අපි මානව හිමිකම් කි‍්‍රයාදාරීන් නිසා යම් බලහත්කාරයක් වෙයි කියලා මම ව්‍යායාම ගන්න එක නැවැත්තුවා. මොකද මගේ තරුණ කාලෙවත් නොවුණ දේවල් පහුගිය 1990-2000 මුල් යුගයේදී අපිට මුහුණ දෙන්න සිදු වුණා.

අපේ ශරීරයට කෙනෙක් කායිකව හෝ යම් ආකාරයකින් වචනයෙන් හෝ හිංසාවක් අතවරයක් කරනවා නම් අපිටත් ශාරීරිකවම ප‍්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒක ස්වභාවික ප‍්‍රතිචාර දැක්වීමක්. මොකද හැම ක‍්‍රියාවකම ප‍්‍රතිකි‍්‍රයාවක් තියෙනවා.

ලාංකික අති බහුතරයක් පිරිමින් වගේම කාන්තාවන් තුළත් තියෙන මතයක් තමයි කාන්තාවන් තමන්ගේ සැබෑ සිතුවිලි, ආකල්ප, ආශාවන් ප‍්‍රකාශයට පත් නොකළ යුතුයි එය කිරීම අසංවරයි කියලා. මේ සිදුවීම අවසානයේ අසන්නට ලැබුණු පිරිමි ආඛ්‍යානය තමයි ගැහැනු ළමයාට සංවර ලෙස ඇදුම් අඳින්න යැයි දුන් උපදේශය පහර දීමට හේතු වූ බව. කොයිතරම් විශාල කාන්තා හිංසනයක් වුණත් සංවරකම කියන වෙස් මුහුණ දා ගත්තාම පිරිමි තමන් සාධාරණීකරණය කිරීමට එය අවියක් කර ගන්නවා පමණක් නෙවෙයි සමාජයක් ඉදිරියේම එම කාන්තාව තව තවත් හිංසනයට පත්කරනවා.
ඒකම තමයි කුහකකම කියන්නේ. ඔය සිදුවීමට පස්සේ මම රාජ්‍ය උත්සව කිහිපයකම නැටුම් සංදර්ශන දැක්කා. ඒ හැම සන්දර්ශනයේදීම ඒ ශිල්පීන් ඇග පේන ඇදුම් ඇඳගෙන හිටියා. මේ ලංකාවේ රෙද්දයි හැට්ටෙයි ඇදගෙන හිටපු ගෑනිවත් දූෂණය වෙනවනේ ලන්දට අරගෙන ගිහිල්ලා. මේක ගෑනු ළමයගේ ඇදුම පිළිබද කාරණාවක් නෙමෙයි. මේක මේ සමාජය විසින් එ් අවස්ථාවේදී පීඩනය හිංසනය දැනවීම සදහා පාවිච්චි කරන දෙයක්. මේක පුරුෂාධිපත්‍යයේ ලක්ෂණයක්.

Freedom of Expression නැත්නම් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බොහෝ පළල් කාරණයක්. වාචිකව අදහසක් ප‍්‍රකාශ කිරීම, රැස්වීමක් හෝ උද්ඝෝෂණයක් පැවැත්වීම කායන කාරණයෙන් ඔබ්බට ගිහින් අපි අඳින ඇඳුම පැළඳුමෙන් පවා තමා පිළිබද ප‍්‍රකාශයක් කිරීමට ඇති අයිතියත් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසටම අයත් වෙනවා.
ඔව්, මට යම් ප‍්‍රකාශනයක් කරන්න ඕන නම් මට ගිහිල්ලා යම් නාට්‍යයක් හෝ නැටුමක් හරහා ඒක කරන්න පුළුවන්. මම තෝරා ගන්න මාර්ගය ඒක නම් ඒක තමයි අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසේ තියෙන උපරිම අයිතිය. නමුත් ඒක කෙනෙක්ව හිංසනයට පත් කරන්න යොදා ගන්න බැහැ.

අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස කෙනෙක්ට අසීමිත ලෙසත්, කෙනෙක්ට පීඩාවක් දැනවීම සම්බන්ධයෙනුත් භාවිතා කරන්න පුළුවන්. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබ`ද ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) 19 අනුව වෛරී භාෂණය සහ හිංසාකාරී ප‍්‍රකාශනයන් අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති නිදහසට අයිති වෙන්නේ නැහැ. පුලූල්ව නිර්වචනය කරපුවම කාන්තාවන්ට හිංසා කරන සහ ලිංගික අතවර වලට අනුබල දෙන වචන අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති නිදහසට අයිති වෙන්නේ නෑ.

නමුත් අද අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස පවා මැනෙන්නේ ආගමික හෝ සංස්කෘතික මිම්මකින් නේද?.
එ්ක බොරුවක්. මොකද සංස්කෘතික කාරණාව ගැන කතා කරන්නේ පිරිමි. නමුත් සංස්කෘතිය කඩන්නෙම පිරිමි. ආකල්ප හා අපේ සම්ප‍්‍රදායන් සමකාලීන කිරීම, නූතනකරණයවීම පිළිබදව කාරණාවේදී සමානාත්මතාව, හිංසනය පිටුදැකීම වැනි ධර්මතාවන් රකිමින් තමයි නූතනකරණය විය යුත්තේ. ගැහැනියකගේ ශරීරයේ සුන්දරත්වය පිළිබ`දව අපි විවෘතව කතා කරන්න ඕන. දෙදෙනාගේම හිතේ යම් තෘප්තිමත් කාරණයක් තියෙනවා නම් ඒක ප‍්‍රකාශ කරන්න ඉඩ තියෙන්න ඕන. නමුත් මේ ප‍්‍රශ්නෙදි අදහස් ප‍්‍රකාශ වෙන්නේ එහෙම ප‍්‍රසන්න විදියට නෙමෙයි. මම පිරිමියෙක්ට You are smart කියලා කියන්නේ හිතේ කිසිම නරක හැ`ගීමක් නැතුව. ඒත් පිරිමියෙක් ගෑනියෙකුට You are beautyful කියන්නේ යම් හැ`ගීමක් එක්ක. එතකොට මෙතනදි ගැහැනියකට ලිංගික හැ`ගීමක් තියෙන්න බැහැ සහ පිරිමියෙකුට එහෙම දෙයක් තිබුණට කමක් නැහැ කියන මතය සමාජයේ තියෙනවා. නමුත් අපිට කාමුකත්වයට සහ ලිංගිකත්වයට නොගිහින් එකිනෙකාගේ සුන්දරත්වය ගැන කතා කරන්න සුදුසු වාතාවරණයක් තියෙන්න ඕන. හැමදාකම මේ පුරුෂාධිපති සමාජය තුළ ගැහැනියගේ ශරීරය සූරාකෑම පිළිබ`දව අපට අහන්න තිබුණා. නමුත් පිරිමි ගැහැනු මුක්තියක් ලබන්න ඕනෑ ඒ මානසිකත්වයෙන්. අපේ සිතුවිලිවල liberation එකක් නැහැ. ගෑනියෙකුයි පිරිමියෙකුයි කතා කරනවා දැක්ක ගමන්ම හිතන්නේ කාමරේකට යන්න කතා කරනවා කියලා. මම දැක්කා මෑතකාලීනව මට කැලෑ පත්තරයක් ගහලා තිබුණා මගේ නිදන කාමරය ගැන කියලා. මම ජීවත්වෙන මේ ගේ අයිති මට. මම රජයේ වියදමින් නෙමෙයි ඉන්නේ. මට යම් සම්බන්ධයක් තියෙනවා දැන් රජයේ යම් තනතුරක් දරන කෙනෙක් එක්ක. ඒ ගොල්ලෝ හිතනවා මම ඒ තනතුරේ වාසිය අරගෙන කියලා. ඒ සම්බන්ධය ඇති වුණේ මම රුපියල් 2000 පඩිය ගන්න කාලේ. රජයේ වාසි අරගෙන කටයුතු කරන අය තමයි එවැනි ප‍්‍රචාර පතුරවන්නේ. ඔවුන්ට මට වෙන අතකින් පහර දෙන්න බැහැ. ඒ නිසා ලිංගිකත්වය, ස්ත‍්‍රීත්වය වගේ දේවල් හරහා පහර දෙන්න උත්සාහ කරනවා.

ස්ත‍්‍රීවාදිනියක් විදිහට අපේ සමාජ ජීවිතය හා දේශපාලන ජීවිතය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මම දේශපාලනිකව කරන කිසි දෙයක් මගේ පෞද්ගලික ජීවිතයෙන්වත් පෞද්ගලික ජීවිතයේ කරන දෙයක් දේශපාලන ජීවිතයෙන්වත් හංගලා නෑ, හංගන්නෙත් නෑ. ශ‍්‍රී ලාංකික සංස්කෘතිය කියන එක මීට වඩා උසස් දෙයක් විදියට මම දකිනවා. ශ‍්‍රී ලාංකික සංස්කෘතිය තුළ ස්තී‍්‍ර පුරුෂ සම්බන්ධතාවන් ඉතාමත්ම රසවත් ලෙස තිබුණා. මේ කිසිම දෙයක් දන්නෙ නැති වික්ටෝරියා මනසින් තමයි සංස්කෘතිය ගැන මේ අය කතා කරන්නේ.

ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු සමග සාකච්ඡා කළේ මනෝරි කලූගම්පිටිය

nimalka

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment