වේදිකාව පිටුපස භූමිකාව

Oct 1st, 2014 | By | Category: LEAD NEWS, කාන්තා, පුවත්

”සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැනියක් සිටියලූ”

ඇත්තටම මොකක්ද මේ හැංගිමුත්තම. කාන්තාවන් වශයෙන් ස්වාධීනව ඉදිරියට ඒමක් සිදු නොවී සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙ ඉන්න කාන්තාවන් පුරුදු වුණේ ඇයි කියන කාරණය ඇත්තටම ප‍්‍රශ්නයක්. පිරිමින් පෝෂණය කරමින් ඔවුන්ට සාර්ථක වීමට අවශ්‍ය උදව් පදව් ටික කලට වේලාවට ඉටු කරමින් කාන්තාවන් මුළු ගැන්වී සිටීමට කාන්තාව අවිඥානිකවම පුරුදු පුහුණු වී තිබීම තමයි මෙයට දිය හැකි සරලම පිළිතුර වන්නේ.
ලාංකේය සමාජය තුළ කාන්තාවන්ගෙන් සක‍්‍රීය කාර්යභාරයක් ඉටු නොවන්නේ ඇයි? කාන්තා නායකත්වය පහත මට්ටමක පවතින්නේ ඇයි? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු කාලයක් තිස්සේ සමාජ කතිකාවතක් බිහි කිරීමට සමත් කාරණා වුවත් අද වන විටත් මේවා කතිකාවන් හා සංවාදයන් බවට පමණක් සීමා වී තිබීමක් දක්නට ලැබේ.

කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ පැවතියේ කෘෂි ආර්ථික ක‍්‍රමයක් තුළ කාන්තාව යනු ආර්ථිකය පවත්වා ගැනීමේ කේන්ද්‍රික භූමිකාව බවට පත් විය. පසුව මෙය වෙළඳපොළ ආර්ථික ක‍්‍රමයක් බවට පරිවර්තනය වුවද ඒ තුළ ද සිදු වූයේ ඇය සතු කාර්යයන් ප‍්‍රමාණය තව දුරටත් ප‍්‍රසාරණය වීම පමණකි. එහිදී කාන්තාවගේ යුතුකම් වගකීම් සම්බන්ධයෙන් පැවති ආකල්පවල කිසිදු වෙනසක් සිදු නොවිණි. දරුවන් රැුක බලා ගනිමින්, පුරුෂයාට ඇප උපස්ථාන කරමින් යටහත් පහත්ව කාන්තාව ජීවත් වීම සම්ප‍්‍රදාය තුළින් කාන්තාව අර්ථනිරූපණය කර ඇති ආකාරයයි. ගමේ සුභසාධක සමිතිය ගත් විට පවුලෙන් එම සමිතිය නියෝජනය කරන පුද්ගලයා වන්නේ පවුලේ පිරිමියා මිස කාන්තාව නොවේ. මේ ආකාරයට ස්ත‍්‍රිය සම්බන්ධයෙන් සමාජයේ කිඳා බැස ඇති අගතිගාමී ආකල්පයන් ස්ත‍්‍රී දායකත්වය හා නායකත්වය පෙරට ඒම අඩු වීම සම්බන්ධයෙන් සෘජුවම බලපා තිබේ. එය එසේ තිබියදී වඩාත්ම ඛේදජනක තත්ත්වය වන්නේ කාන්තාව ද ස්වකැමැත්තෙන්ම මෙම භූමිකාව රග දැක්වීමට සැදී පැහැදී සිටීමය.

මෙහිදී යුරෝපයේ කාන්තාවන් භුක්ති විඳින සාපේක්‍ෂ නිදහස ශ‍්‍රී ලාංකේය කාන්තාවන්ට අහිමි වී ඇත. එම රටවල් මෙන් සමාජ විකාශනයකින් තොරව පැවති පසුගාමී වැඩවසම් සමාජය මත ධනේෂ්වර සමාජ ක‍්‍රමය උත්තරාරෝපණය කිරීමක් සිදු වූ අතර ඒ තුළ ආර්ථික ක්‍ෂේත‍්‍රය ශීඝ‍්‍ර වෙනසකට භාජනය වන අතර පැවති පසුගාමී සමාජයේ ශේෂයන් ද ඉදිරියට නඩත්තු කරගෙන යාම සිදු විය. ඒ අනුව පවතින ආර්ථික රටාව තුළ ආර්ථික වශයෙන් පවුලට උරදීමේ පීඩනය ඇය වෙත පටවන අතරම පෙර පැවති ගෘහස්ථ පීඩනය ද අඩු වැඩි වශයෙන් පවත්වාගෙන යාමක් සිදු වුණි. ඒ අනුව පෙරදී නිවසට වී ගේ දොර වැඩ කටයුතු බලාගත් කාන්තාවට රැකියාවකට යාමට සිදු වූ අතර පෙර සිදු කල ගේ දොර වගකීම් ද සමාජය ඇගෙන් බලාපොරොත්තු විය. මෙවන් පසුබිමක් තුළ ශ‍්‍රී ලාංකේය කාන්තාවන් සමාජමය වශයෙන් සක‍්‍රීය කාර්යභාරයක් ඉටු කරන්නේද යන්න පිළිබඳව ශ‍්‍රී ලාංකීය කාන්තාවගේ දේශපාලන සහභාගිත්වය අනුව විමසීමක් කළ හැකිය.

ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ගේ දේශපාලන නායකත්වය පිළිබඳව සැලකීමේදී එය අක‍්‍රීය කාර්යභාරයක් ඉටු කරන්නක් වී තිබේ. ලංකාවේ ජනගහනයෙන් 52‍%ක ප‍්‍රමාණයක් කාන්තාවන් වුවද පිරිමින්ට වඩා ගැහැනුන් සිටින රටක ව්‍යවස්ථාදායකයේත්, පළාත් සභාවලත්, මහ නගර සභාවලත්, ප‍්‍රාදේශීය සභාවලත් සිටින ජනතා නියෝජිතයින්ගෙන් වැඩි ප‍්‍රමාණයක් පිරිමින් වීම සැබෑ ජනතා නියෝජනයක්ම ද යන ප‍්‍රශ්නය මතු වේ.
පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225ක් වන විට එයින් 100ක්වත් කාන්තා නියෝජිතයින් විය යුතු බව ලංකාවේ ජනගහන ප‍්‍රතිශතය අනුව පෙනී යයි. නමුත් අද වන විට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත‍්‍රීවරියන් ඉතාමත්ම අතළොස්සකි. පළාත් සභා, මහ නගර සභා, ප‍්‍රාදේශීය සභාවල තත්ත්වයන් මේ හා සමපාත වේ.

දේශපාලන ක්ෂේත‍්‍රයට ඇතුළු වීම සඳහා කාන්තා පක්‍ෂයට ද අවස්ථාවක් සැලසීමේ අරමුණින් සමහර රටවල් ඔවුන්ට නීතිමය ඉඩ ප‍්‍රස්ථා වෙන් කර දී තිබේ. ඉන්දියාව, ප‍්‍රංශය, දකුණු අප‍්‍රිකාව, ආර්ජන්ටිනාව ආදී රටවල් එවැනි රටවල් කිහිපයකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ පවා නිර්දේශයන් ඉදිරිපත් කොට ඇති අතර එය අඩුම තරමින් 30‍%කි. ශ‍්‍රී ලංකා රජය ද පළාත් සභා නාමයෝජනා ලේඛනය සඳහා කාන්තා නියෝජනය 30% ක් විය යුතු බව පිළිගෙන තිබේ.

මේ ආකාරයට කෙසේ හෝ සමාජයේ කාන්තා නියෝජනය වැඩි විය යුතුයි යන හඬ නැගී ඒමක් පසුගිය වකවානුවේ දක්නට ලැබෙන්නේ පවතින සමාජය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුය යන ආකල්පය පෙරදැරි කර ගෙනය. නමුත් වර්තමානයේ ඛේදවාචකය වී ඇත්තේ සංඛ්‍යාත්මක ප‍්‍රතිශතයක් පූර්ණත්වය පත් කිරීමේ අරමුණෙන් ජනතා නියෝජිත ආයතනවලට තේරී පත් වන කාන්තාවන්ගෙන් බහුතරයක් ”ජනප‍්‍රියත්වය” යන සාධකය ප‍්‍රමුඛ කර ගනිමින් ඒවාට තේරී පත් වූ නිළියන්, ක‍්‍රීඩිකාවන් වැනි සුප‍්‍රසිද්ධ කාන්තා තරු වීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් සහිත ජනතා නියෝජිත ආයතන තුළ තිබිය යුතු තත්ත්වය එයම ද? එනම් කවුරුන් හෝ කාන්තාවන් පිරිසක් යොදා ගනිමින් සංඛ්‍යාත්මක ප‍්‍රතිශතයක් සම්පූර්ණ කිරීම පමණක් සෑහේද යන කාරණය මෙහිදී ඉස්මතු වේ. අනෙත් කාරණය වන්නේ නාම යෝජනා ලැයිස්තුවේ ප‍්‍රතිපත්තියක් ගෙන තිබුණ ද ප‍්‍රතිශතයක් ලෙස කාන්තාවන් මැතිවරණයෙන් දිනන ප‍්‍රමාණය ඉතාමත් අඩු මට්ටමක දක්නට ලැබීමයි.

මෙහිදී අප අවධානයට ගතයුතු තවත් කාරණයක් වන්නේ කාන්තාවන් තමන්ටම වූ ස්වාධීනත්වයක් විමුක්තියක් හිමි කර ගැනීමේ ක‍්‍රියාවලිය තුළදී එය හුදෙක් කාන්තාවන් හෝ පිරිමින් හිතන ආකාරය වෙනස් කිරීමේ හෝ කාන්තාවන් බල ගැන්වීමේ වැඩසටහන් තුළින් පමණක්ම සිදු කර ගත නොහැක්කක් වන බවයි. කාන්තාවන්ගේ පීඩාව මෙරට ආර්ථික, සමාජ හා දේශපාලනික ව්‍යුහයන් හා බැඳී ඇත. මේ සියල්ලම සංයුක්තව ගෙන විසඳුමක් සොයනවා විනා මෙම කාරණය පමණක්ම වියුක්තව ගෙන පැලැස්තර ඇලවීමකින් ඔබ්බට සැබෑ අර්බුදයට විසඳුමක් ලැබේද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුය.
මේ සියලූම කරුණු කාරණා ගෙන විමසූ විට මෙම කාන්තා ක‍්‍රියාකාරීත්වය නිෂ්ක‍්‍රීය වීම හමුවේ සිදු විය යුතු මූලිකම කාරණය වන්නේ කාන්තාව තුළත් පිරිමියා තුළත් කාන්තාවට වෙන් කර තිබෙන භූමිකාව පිළිබඳ

ආකල්පයේ වෙනසක් සිදු කිරීමයි. එහි යම් වගකීමක් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට හිමි වන අතර ආගමික සංස්ථා හා ආගමික නායකයින්ම මෙන්ම ව්‍යවස්ථා සම්පාදකයින්ටද ඇත. එමෙන්ම කාන්තාවක් වශයෙන් ඔබ ද සවිඥානිකව සමාජය තුළ තමන්ට හිමි භූමිකාව රග දැක්වීම සඳහා නොබියව ප‍්‍රවේශ වීම සිදු කළ යුතුම දෙයකි. හැංගිමුත්තං කල කාලය දැන් හොඳටම ප‍්‍රමාණවත්ය.

‘‘හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගැහැනියක් හිටියලූ’’ දැන්වත් ඇති නේද මේ හැංගිමුත්තම? එන්න දැන්වත් ඉදිරියට
සාර්ථක පිරිමි පිටිපස්සෙ ඉන්න ගෑනු ඔක්කොම ’’

|රුවිනි අයේෂා බියගම

ruy11

Recent Posts

Tags: , , , , ,

Leave a Comment