චීන මකරා ඉඹලා පිළිගැනීම

Oct 6th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

pdff

චීන ජනාධිපති ෂී ජින්පින් ලංකාවට ඇවිත් ගියේය. ඒ දවස් දෙකේ කොළඹ නගරය පුරා චීන කොඩි එල්ලා තිබුණි. චීන – ලංකා මිත‍්‍රත්වය ගැන කතාවලින් පුවත්පත් පිරී ගියේය. චීන ජනාධිපතිවරයා යෝජිත ‘කොළඹ වරාය නගරය’ නමැති ව්‍යාපෘතිය විවෘත කිරීමට සහභාගී විය. කොළඹ වරායට යාබද හෙක්ටයාර 233 ක් භූමි ප‍්‍රදේශයක මුහුද ගොඩකර මේ නව නගරය ඉදිකරනු ලැබේ. ජනාධිපතිගේ සංචාරය අවසානයේ රටවල් දෙක විසින් සිදුකළ ඒකාබද්ධ ප‍්‍රකාශනයක් එළිදක්වන ලදී. චීන – ලංකා මිතුදම චිරාත් කාලයක් පවත්වා ගෙන යාමට දෙපාර්ශ්වයම ඇප කැප වී සිටින බවට එම ප‍්‍රකාශනය මගින් දෙපාර්ශ්වයේ ආණ්ඩු ශපථ කර සිටියේය.

චීනය හා ලංකාව අතර ද්විපාර්ශ්වීය සබදතාවලට වසර දහස් ගණනක් අතීතයට දිවෙන දිගුකාලීන ඉතිහාසයක් ඇත. ෆාහියන් හිමි චීනයේ සිට ලංකාවේ සංචාරයකට වැඩියේය. චීන වෙළෙන්දෙක් අනුරාධපුරයේදී බුද්ධ රූපයක් ඉදිරියේ සේද අවානක් පූජා කරනු තමා දුටු බව ඔහු ලියා ඇත. 1949 චීන විප්ලවයෙන් පසු නූතන මහජන චීන සමූහාණ්ඩුව පිහිටවන ලදී. මා ඕ සේතුං – චෞ එන් ලායි යුගයේ ලංකා ආණ්ඩුව හා චීන ආණ්ඩුව අතර සමීප සම්බන්ධයක් විය. 1952 දී දෙරට අතර රබර් – සහල් ගිවිසුමක් අත්සන් කරන ලදී. 1971 ලංකාව තුළ තරුණ කැරැල්ලක් හටගත් විට එය මර්දනය කිරීමට සිරිමා බණ්ඩාරනායක රජයට චීන රජය විශාල වශයෙන් උදව් කළේය. මේ සහයෝගීතාවයට ප‍්‍රති උපකාර ලෙස තායිවානය චීනයේ කොටසක් ලෙස පිළිගැනීමටත්, ටිබෙටයේ දලයි ලාමාට ලංකාවේ සංචාරය කිරීමට ඉඩ නොතැබීමටත් ලංකා ආණ්ඩු ක‍්‍රියා කළේය. ඒ ඉතිහාසයයි.
වර්තමානය වන විට කාලය වෙනස් වී ඇත. අද චීනය මෙන්ම ලංකාව ද බොහෝ සෙයින් වෙනස් වී තිබේ. 1980 දශකයේදී ඩෙං ෂියා ඕ පෙන් යටතේ වෙළදපොළ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වෙත යොමු වූ චීනය ලෝක ආධිපත්‍යය සදහා එක්සත් ජනපදය සමග මේ වනවිට කරට කර තරගයකට අවතීර්ණ වී සිටී. චීන සමාගම් ලෝක ආර්ථික තලයේ දැවැන්තයින් බවට පත්වෙමින් සිටී. කොමියුනිස්ට් පක්ෂ නිලධරයේ අධිකාරිවාදී පාලනයත්, නිදහස් වෙළදපොළත් සුසම්බන්ධ කරගත් කාර්යක්ෂම ධනවාදී ආර්ථිකයක් චීනය තුළ වර්ධනය වී ඇති අතර ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රාග්ධන අපනයනකරුවෙක් ලෙස අධිරාජ්‍යවාදයේ යුගයකට චීනය අවතීර්ණ වී තිබේ.
ෂී ජින්පින් ලංකාවට පැමිණීමත්, චීනය හා ලංකාව අතර පසුගිය කාලයේ අසාමාන්‍ය වේගයකින් වර්ධනය වෙමින් තිබෙන ආර්ථික සම්බන්ධතා ජාලයත් වටහා ගත යුත්තේ ලෝක භූ දේශපාලනයේ සිදුව තිබෙන මෙම පරිවර්තනය නමැති සන්දර්භය තුළ තබාය. 2009 දී ලංකාව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization) ‘සංවාද හවුල්කරුවෙක්’ :Dialogue partner) ලෙස එම සංවිධානයට සම්බන්ධ කරගන්නා ලදී. ජාත්‍යන්තර සබ`දතා විශ්ලේෂකයින් ෂැංහයි සහයෝගිතාවය හදුනාගන්නේ බටහිර රටවල දේශපාලන-මිලිටරි හවුල වන නේටෝ සංවිධානයට ප‍්‍රතිමුඛව ගොඩනැගෙන්නක් ලෙසය. චීනය ‘සමුද්‍ර මාර්ගික සේද මාවත’ නමින් දියත් කොට තිබෙන ව්‍යාපෘතියට ලංකාව පූර්ණ සහයෝගය දක්වන බව චීන ජනාධිපතිගේ සංචාරය අවසානයේ නිකුත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශනය ප‍්‍රකාශ කරයි. බංගලාදේශය, පකිස්ථානය සහ ඇතැම් අප‍්‍රිකානු රටවල් යා කරමින් මෙම සමුද්‍ර මාර්ගය වැටී තිබෙන අතර ලංකාව ද ඒ අනුව එහි කොටස්කරුවෙක් වී සිටී.

2009 ට පසු චීනය ලංකාවේ ප‍්‍රධාන ආර්ථික ගනුදෙනුකරුවෙක් ලෙස ශීඝ‍්‍රයෙන් ඉස්මතු වෙමින් ඇත. චීනය විශාල වශයෙන් ලංකාවට ණය දෙමින් සිටින අතර පසුගිය කාලයේ දියත් වූ බොහෝ යටිතල පහසුකම් ව්‍යාපෘති දියත් කරන ලද්දේ එම ණය මත පදනම්වය. අධිවේගී මාර්ගවල සිට මාගම්පුර වරාය දක්වා සියලූ ඉදිකිරීම් චීනය විසින් නිකුත් කළ ණය මත ඉදිකළ ඒවාය. ඉදිරියේදී චීන – ලංකා නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. චීනයේ අපනයන සහ ආනයන බැංකුව ලංකාව සමග ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් වටිනා ණය ගිවිසුම් 21 ක් අත්සන් කිරීමට නියමිත බව නිවේදනය කොට තිබේ. 2013 දෙසැම්බර් මස වන විට ලංකාව චීනයට ගෙවිය යුතු නොපියවූ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 196 දක්වා ඉහළ නැංවී තිබුණි. මේ ණය ප‍්‍රමාණයෙන් අති බහුතරය 2005 න් පසු – එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු ලබාගත් ඒවාය. දැන් තවත් ණය ගිවිසුම් 21 ක් අත්සන් කළ පසු මේ ණය ස්කන්ධය තවත් විශාල අගයකින් ඉහළ යනු ඇත.

චීනය හා ලංකාව අතර වෙළද ගනුදෙනු ශේෂය පවතින්නේ චීනයට අසමානුපාතික ලෙස වාසිදායක තැනකය. ලංකාව භාණ්ඩ අපනයනය කරන රටවල් අතර චීනය රැදී තිබෙන්නේ 18 වන ස්ථානයේය. එහෙත් ලංකාව භාණ්ඩ ආනයන කරන රටවල් අතර චීනය සිටින්නේ දෙවැනි ස්ථානයේය. මෙලෙස ලංකාව එන්න එන්න චීනය මත පරායක්ත වීම වැඩි වෙද්දී චීන පාර්ශ්වයෙන් ලංකාව සමග ගනුදෙනු කිරීමේදී දක්වන අනම්‍යශීලීත්වය එන්න එන්න වැඩි වෙමින් තිබෙන බවට තොරතුරු එළිදරව් වෙමින් තිබේ. උදාහරණයක් ලෙස නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය පිළිබද ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කරන ලෙස චීනය පාර්ශ්වයෙන් අවධාරණයක් තිබී ඇත. ලංකාවේ ඇතැම් ඉංජිනේරුවන් අදාළ ගල්අගුරු බලාගාරය ඉදිකිරීමට ඉදිරිපත් වූ චීනයේ China Machinery Engineering Corporation (CMEC) සමාගම ඔවුන්ගේ පාර්ශ්වයෙන් හෙළිකළ යුතු සියලු තොරතුරු හෙළි කොට නැති බවට සැක පහළ කොට තිබේ. ඒ නිසා එම ව්‍යාපෘතිය අදාළ සමාගමට භාර දීම ගැන දෙගිඩියාවක් ඔවුහු මතු කොට තිබුණාහ. ලංකාව ගිවිසුම අත්සන් කරන ලද්දේ එවැනි දෙගිඩියාවක් තිබියදීය. දැන්, එවැනි දෙගිඩියාවකින් යුතුව එය අත්සන් කිරීමේ ‘මිල’ ලංකාව විසින් ගෙවමින් සිටී.

චීනය හා ලංකාව අතර ඇතිවන ආර්ථික ගිවිසුම්වල ප‍්‍රකට ලක්ෂණයක් ලෙස පවතින්නේ ඒවායේ ගුප්ත වූත් රහස්‍ය වූත් ස්වභාවයයි. චීන සමාගම්වල දේශීය උප සමාගම් ලෙස ක‍්‍රියාකරන පුද්ගලික සමාගම් තමාට චීන සමාගම් ‘සම්පූර්ණ කථාව’ නොකියන බවට බොහෝ විට චෝදනා කොට ඇත. දෙරට අතර අත්සන් කරන ගිවිසුම් වල කොන්දේසි හා විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ නැත. ජනතාව මේ ගිවිසුම් ගැන දැනගන්නේ මාධ්‍ය හරහාය. ඒ කැබිනට් මණ්ඩලය ඒ ගිවිසුම් මත අනුමත මුද්‍රාව තැබුවාට පසුවය. විධායක ජනාධිපතිගේ රූකඩයක් වන කැබිනෙට්ටුව එම ගිවිසුම්වල තොරතුරු ගැන ගැඹුරින් සොයා බැලීමට උත්සාහ නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ගුප්තභාවය පිළිබද හොදම උදාහරණය වන්නේ කොළඹ වරාය නගරය නමැති ව්‍යාපෘතිය ප‍්‍රකාශයට පත් වූ ආකාරයයි. මුහුද ගොඩ කොට නව නගරයක් ඉදිකිරීම ස`දහා චීනයේ China Communications Construction සමාගම සමග ඩොලර් බිලියන ගණනක් වටිනා ගිවිසුමකට රජය එළැඹුණු බව හදිසියේ නිවේදනය කෙරිණ. මේ ප‍්‍රමුඛතා තීරණය වන්නේ කෙසේද? එවැනි නගරයක් ඉල්ලා සිටියේ කවුද? ඒ සම්බන්ධව රට තුළ සංවාදයක් තිබුණාද? මෙතරම් මහජන මුදලක් වැය කොට ව්‍යාපෘති ආරම්භ කරන විට ඒ ගැන සමාජය සම`ග ප‍්‍රමාණවත් සාකච්ඡාවක් සිදු කළ යුතු නොවේද? එවැනි කිසිදු සාකච්ඡාවකින් තොරව සිදුවන මේ ගනුදෙනුවල පාරදෘශ්‍යභාවය ගැන බරපතළ සැක ඇති වීම සාධාරණය.

චීනය ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ සිය භූ දේශපාලන උපායමාර්ගික සැලැස්ම මත බවට සැකයක් නැත. දකුණු ආසියානු කලාපයේ ලංකාව පිහිටා තිබෙන ආකාරය ලෝක ආධිපත්‍යය සදහා බලවතුන් අතර ඇති වන ගැටුමක දී තීරණාත්මකය. චීනය විසින් සිදුකරමින් තිබෙන අධිකතර ණය දීම් මෙම උපාය මාර්ගික අවශ්‍යතාවයෙන් වියුක්ත කොට තේරුම් ගත නොහැක.

උත්ප‍්‍රාසාත්මක ලෙස ලංකා රජයට චීනයේ මෙම ආර්ථික උගුල වෙත වැඩි වැඩියෙන් තල්ලූ වීම හැර මේ මොහොතේ වෙන විකල්පයක් ද නැත. ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වූවාට පසු සාම්ප‍්‍රදායිකව තුන්වන ලෝකයේ රටවල් ණය ගන්නා ණය මූලාශ‍්‍රවලින් ණය ආධාර ගැනීම තරමක් අසීරු වී ඇත. යුද්ධයෙන් විනාශ වූ ආර්ථිකය නැවත පිළිසකර කරගැනීම සදහා ප‍්‍රාග්ධන අරමුදල් ලංකාවට අවශ්‍ය වී තිබේ. බටහිර ලෝකයේ රටවලින් මේ ප‍්‍රාග්ධන අරමුදල් ලබා ගැනීමේ දී ලංකාව දුෂ්කරතාවයකට මුහුණ දේ. ණය ආධාර දීමේදී සිය ණය ආධාර ලබන රට තුළ තිබෙන ආණ්ඩුකරණයේ ස්වභාවය, වංචා දූෂණ, මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය වැනි ප‍්‍රමිතීන් ගැන බටහිර රටවල් සැලැකිලිමත් වේ. එකී ප‍්‍රමිතීන් උල්ලංඝනය වන්නේ නම් ණය ආධාර දීමෙහිලා මැලිකමක් පෙන්වන අතර එම ප‍්‍රමිතීන් ණය ආධාර ලබන රට ආරක්ෂා කළ යුතු බවට දැඩි ඉල්ලා සිටීමක් බටහිර රටවල් වල පාර්ශවයෙන් දක්නට ලැබේ. ලංකාවට ලබා දී තිබූ ජීඑස්පී සහනය යුරෝපා සංගමය විසින් අහිමි කරන ලද්දේ එලෙස මානව හිමිකම් සම්බන්ධ ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීමට ලංකා රජයේ පැත්තෙන් සූදානමක් නොපෙන්වූ බැවිනි.

රාජපක්ෂ ආණ්ඩුව මෙහිදී උභතෝකෝටිකයකට මුහුණ පායි. ආණ්ඩුවේ එහිම වූ ස්වභාවය ගත් කල්හි එය අධිකාරිවාදී එකකි. පවුල්වාදය, සුළු ජාතීන්ට එරෙහිව පවත්වා ගෙන යන ව්‍යුහගත ජාතිවාදය, ගජමිතුරු ධනවාදය යනාදී ලක්ෂණ මෙම රෙජිමයේ නෛසර්ගික ලක්ෂණයෝ වෙති. ඒ ලක්ෂණ අත්හරින්නේ නම් එය තවදුරටත් ‘රාජපක්ෂ රෙජීමය’ නොවනු ඇත. උදාහරණයක් ලෙස රෙජීමය දක්ෂිණ ලංකාව තුළ දේශපාලන සුජාතභාවය අත්කරගෙන සිටින්නේ සුළු ජාතීන්ට එරෙහිව සිංහල මහජාතිවාදය ආරක්ෂා කරන්නේ තමාය යන හැගවුම ලබා දීම තුළය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන් ගැන සිතා දෙමළ ජනතාවට බලය බෙදීමට ගියහොත් රෙජීමයට සිය දේශපාලන සුජාතභාවය අහිමි වේ. මේ නිසා ගැඹුරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණවලට යාමේ නෛසර්ගික නොහැකියාවකින් රෙජීමය පෙළේ.

මෙහිදී රජයට පිහිටට එන්නට ඉන්නේ චීනය වැනි රාජ්‍යයකි. ණය දෙද්දී චීනය මානව හිමිකම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනාදී ලිබරල් වටිනාකම් තුට්ටුවකට මායිම් කරන්නේ නැත. අධිකාරිවාදී චීන ධනවාදය සලකා බලන්නේ අදාළ ගනුදෙනුව මගින් තමාට ලැබෙන උපායමාර්ගික වාසිය පමණි. මේ නිසා චීනයෙන් ණය ගැනීම පහසුය. ණය ගැනීම පහසු වුවත් අධිකතර ලෙස ණය ගැනීම නිසා ලංකා රජය හිරවෙන උගුල අතිශය සංකීර්ණය. කෙතරම් සංකීර්ණ වුවත් එම උගුලටම ගමන් කරනු හැර විකල්පයක් මේ මොහොතේ රාජපක්ෂ රජයට නැත. මන්ද පෙර කී ලෙස ආර්ථික උදවු ලබා ගැනීම සදහා ලිබරල් ධනවාදී ලෝකය දෙස හැරීමේ හැකියාව රජය විසින් අහිමි කරගෙන සිටින බැවිනි. මෙය මග හිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී පන්නයේ උභතෝකෝටිකයකි. ප‍්‍රශ්නය රාජපක්ෂ ආණ්ඩුව මෙලෙස ආර්ථික දේශපාලනික උගුලක් තුළ හිරවීම නොවේ. රාජපක්ෂ ආණ්ඩුව සමග මේ උගුලේ හිරවෙන්නේ සමස්ත ජන සමාජයමය. ගැටලූව තිබෙන්නේ එතැනය.

2014 සැප්තැම්බර් 14 සන්ඬේ ටයිම්ස් පුවත්පතේ කතුවැකිය ඇසුරින් සකස් කළේ සුධාරක ප‍්‍රසාද්

cm

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment