චීන අධිවේගී ණය උගුල

Oct 6th, 2014 | By | Category: LEAD NEWS, පුවත්

එක්දින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සිය සංචාරයේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.6ක් වටිනා ණය ගිවිසුම් 21ක් ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ අතර එම ණය මුදල් සම්භාරය අප වෙත ප‍්‍රදානය කෙරෙනුයේ වාණිජ බැංකුවක් වන චීන ‘එක්සිම්’ බැංකුවෙනි. මෙම අති විශාල ණය මුදල් අප වෙත ලැබෙනුයේ 2013 දෙසැම්බර් මස අග වන විටදී ආසන්න වශයෙන් අප විසින් රුපියල් බිලියන 196ක ණයක් චීනයට ගෙවීමට ඉතිරිව තිබියදීය. නමුත් වෙළඳ හවුල්කරුවකු ලෙස ගත් විට චීනය සහ ශ‍්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ ගණුදෙනුවල ස්වභාවය නැත්නම් වෙළඳ ශේෂය ලංකාවට ඉතා අවාසිදායක සහ චීනයට ඉතා වාසිදායක පසුබිමක ඇත්තේ අපගේ රටේ නිෂ්පාදිත භාණ්ඩ අපනයනය කරන රටවල් අතරින් චීනය සිටින්නේ 18 වන ස්ථානයේ වීමත් අප විසින් කරනු ලබන ආනයන භාණ්ඩ ප‍්‍රතිශත ලැයිස්තුවේ චීනය සිටින්නේ දෙවන තැන වීම නිසාය.

කාලාන්තරයක පටන් වාර්ගිකත්වය, ආගමිකත්වය, ජාතිකත්වය, ස්ත‍්‍රීපුරුෂභාවය ආදී විවිධතා හමුවේ පැන නැගී ඇති මානව හිමිකම් උල්ලංඝනයන් නෑසු කන්ව සිටීමත් දශක ගණනාවක සිවිල් යුද්ධයක පැටලීමෙන් රට තුළ ඇති ආර්ථික අර්බුදයන් හේතුවෙන් පසුගිය යුද සමයේදී ආයුධ මිලට ගැනීමට ලංකාවට බටහිර රටවල් වලින් ආධාර මුදල් ලබා ගැනීමට නොහැකි විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් හෝ මානව හිමිකම් යන්න පිළිබඳ තැකීම් නොකරන චීනය මේ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ විසීමට පැමිණියේ ලංකාවට අවශ්‍ය සියලූ වර්ගයේ සුලූ, බර ආයුධ ලෝභ නැතුව ණයට ලබා දෙමිනි.

යුද්ධයෙන් පසු සිය ජනප‍්‍රියතාව තවදුරටත් පවත්වා ගැනීමට වත්මන් රජය අනුගමනක කළ එක් උපක‍්‍රමයක් වූයේ දැවැන්ත ඉදිකිරීම් සිදු කිරීමය. යුද්දෙන් පසුවද බොහෝ බටහිර රටවල් ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි මානව හිමිකම් ප‍්‍රශ්න අභිමුව මෙරටට සංවර්ධන ආධාර දීම සීමා කළ අතර එවරද ලංකාවේ පිහිටට පැමිණියේ චීනයයි. ඒ අනුව ගත් සහ තවමත් ගනිමින් සිටින දැවැන්ත වාණිජ පොලී අනුපාත ණය මගින් ගුවන් යානා නැති මත්තල මහින්ද රාජපක්‍ෂ ගුවන් තොටුපල, නැව් නැති මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය, අධිවේගී මාර්ග තැනෙමින් පවතී. වෙළඳ සහකරුවෙක් ලෙස අපට කිසිදු ප‍්‍රතිලාභයක් නැති චීනයෙන් ආනයන කරමින් සිටින මේ ණය කන්දෙන් වැඩි ප‍්‍රතිශතය වැය වන්නේ කොමිස් සහ අල්ලස් වලට බව අධිවේගී මාර්ග දෙපස සිටින ජනයා මනාව දනිති. මෙම ණය උගුලෙන් ගැලවී රටක් ලෙස අපට විමුක්තිය ලබා ගත හැකි මගක් වේද? තිබේ නම් ඒ මෙරට ශීඝ‍්‍රයෙන් පල්ලම් බසිමින් යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රාමුව සහ මානව හිමිකම් උල්ලංඝනයන් ආපස්සට හැරවීමයි.

ඒ හරහා අපගෙන් ඈත්වී සිටින බටහිර රටවල් යලි මිතුරු කර ගැනීමටත්, ණය නොවන ආධාර ලබා ගැනීමටත් තවත් අපනයන සහනාධාර ලබා ගැනීමටත් හැකි වනවා පමණක් නොව අධ්‍යාපනය, සෞඛ්‍ය, ඇතුළු රටේ බොහෝ ක්ෂේත‍්‍රවලට අවශ්‍ය දියුණු ක‍්‍රමවේද සහ දැනුම පුළුල් කර ගත හැකි වෙනවා ඇත.

මනෝරි කලූගම්පිටිය

gt2

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment