කල් පවත්නා යහපත් තත්ත්වයක් රටට අවශ්‍ය නම්…?

Oct 18th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ඡායාරූපය - රොෂෙන් චතුරංග

ඡායාරූපය – රොෂෙන් චතුරංග

ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 4
රට ඇතුළෙදී මානව හිමිකම් පිළිබද සාකච්ඡාව බටහිර කුමන්ත‍්‍රණ, දෙමළ ඩයස්පොරාව හෝ එන්.ජී. ඕ. ව්‍යාපෘති බවට රාජ්‍ය මතවාදය විසින් ඌණනය කොට ඇතත් රටෙන් පිටතදී ලංකාව සම්බන්ධයෙන් තීරණවලට එළඹෙනුයේ හුදෙක්ම තොරතුරු සහ දත්ත මත පිහිටා සිටය. ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තරයට පිළිතුරු දීමට යන නියෝජිතයන් අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් න්‍යායික විග‍්‍රහ ඉදිරිපත් කිරීමෙන් පළක් නොවන අතර පිළිතුරු දිය යුත්තේ නිශ්චිත චෝදනාවන්වලට ආණ්ඩුව ගෙන ඇති නිශ්චිත පියවරයන් සම්බන්ධයෙනි. මානව හිමිකම් පිළිබදව එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රද් අල් හුසෙන් කුමරු ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබදව ඉදිරිපත් කළ වාචික තත්ත්ව වාර්තාවේ මුල් කොටස් පසුගිය සමබිම කලාපයන්වල පළ කළ අතර මෙවර එහි අවසාන කොටස පළ කෙරේ. මෙහි ආණ්ඩුවට එල්ල වන නිශ්චිත චෝදනාවන් මෙන්ම ඒ සදහා යෝජනා කෙරෙන යම් විසදුම් කිහිපයක්ද සාරාංශගතව දක්වා ඇත. රටක් ලෙස සාමූහිකව මෙම තත්ත්වයට පිළියම් සොයනවා වෙනුවට ආණ්ඩුව තෝරා ගනු ලබන්නේ රට තුළ මානව හිමිකම් සහ එ් වෙනුවෙන් පෙනී සිටින අය පිළිබදව විරෝධයක් ඇතිකර ජාත්‍යන්තරයට තවත් දෙයක් පැවසීම නම් එ් උගුලේ පළමුවෙන්ම පැටලෙන්නේ ආණ්ඩුවම මිස අන් කවරෙක්වත් නොවේ.

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා  මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. (අවසාන කොටස)

සමූහ මිනිස් වැලලීම්
39. සමූහ මිනිස් වැළලීම් සිදුකර ඇති නව සොහොන් බිම් ගණනාවක්ම නිරාවරණය කරගෙන ඇතිමුත් මළ සිරුරු ගොඩගැනීම සහ ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම අතිශය මන්දගාමීව ඇත. 2013 වර්ෂයේ අවසාන භාගයේදී කාන්තා සහ කුඩා දරුවන්ගේ සිරුරුද සහිත මළ සිරුරු 80ක් පමණ ඇතැයි සැලකුණු සමූහ සොහොන් බිමක් මන්නාරම ප‍්‍රදේශයේදී නිරාවරණය කරගනු ලැබූ අතර එහි වූ සිරුරු ගොඩගැනීමට සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට රජය විසින් නියෝගද නිකුත් කරනු ලැබිණි. ඉන් පසුව එම වසරේ අගෝස්තු 06 වනදා අදාළ සොහොන් ප‍්‍රදේශයට ඉතාම ආසන්නව සිදුකර ඇති ඉදිකිරීම් කැණීම් කර පරීක්ෂා කර බලන ලෙසත් සොහොන් බිමෙහි වළලා ඇතැයි සැලකිය හැකි පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කරුණු විමසා සටහන් කරගන්නා ලෙසත් වන උසාවි නියෝගයක් නිකුත් විය.

40. මුලතිව් දිස්ති‍්‍රක්කයේ විවිධ ප‍්‍රදේශවලින් සොයා ගන්නා ලද මිනිස් අස්ථි ශේෂයන් කාණ්ඩ කිරීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ප‍්‍රදේශයේ ප‍්‍රජා කණ්ඩායමක් 2014 පෙබරවාරි මාසයේදී රජයේ වගකිවයුතු ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වෙත පැමිණියහ. අදාළ අස්ථි ශේෂයන් සහ ඒ ආසන්නයේ පිහිටි කොටි සංවිධානයේ මුරපොළක් පිළිබඳ අවධානය යොමුව ඇතැයි හමුදා අංශ මෙහිදී සඳහන් කර සිටියහ. 2012 නොවැම්බර් මාසයේදී මිනිස් සිරුරු 150ක් පමණ මිහිදන්ව ඇතැයි සැලකෙන මාතලේ සමූහ සොහොන් බිම සොයාගත් අතර එහි වළදමා ඇති සිරුරු 1980 දශකයේ අග භාගයේ සිදුවූ ජනතා විමුක්ති පෙරමුණේ කැරලි කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධ යැයි මූලික වාර්තාවලින් කියැවුණි. 2014 අපේ‍්‍රල් මාසයේදී නිවේදනයක් නිකුත් කළ රජයේ බලධාරීන් රජය මාතලේ සමූහ සොහොන් ප‍්‍රදේශයෙන් ලබාගත් සාම්පල විදේශ රටක විද්‍යාගාරයක් වෙත රේඩියෝ කාබන් දින පරීක්ෂාවක් සඳහා යවන බවත් ඒ හරහා මෙම සමූහ සොහොන් බිම කවර කාලයකට අයත්ද යන වග අනාවරණය කිරීමට කටයුතු කරන බවත් සඳහන් කර සිටියේය. මෙතෙක් එහි ප‍්‍රගතිය පිළිබඳ කිසිදු හෝ සඳහනක් නොමැත.

41. 1990 ජූලි මාසයේදී දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් සිදු කළා යැයි සැලකෙන මුස්ලිම් ජන සංහාරයකින් මරණයට පත්වූවන් වළලා ඇති කුරුක්කල්මදම් සමූහ සොහොන් බිමෙහි ඇති සිරුරු කොටස් ගොඩගෙන පරීක්ෂණ කරන්නැයි කාත්තන්කුඩි මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්ද නියෝග කරන ලදී, ඒ 2014 ජූනි මාසයේදීය. මෙම නියෝගය පරිදි සිරුරු කොටස් ගොඩගත යුතුව තිබුණ මුත් එකී කාර්යය දෙවරක්ම කල් දමනු ලදුව දැන් 2014 නොවැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතය. නිරාවරණය කරනු ලැබ ඇති සියලූම සමූහ සොහොන් බිම් සම්බන්ධයෙන් විශ්වාසනීය සහ විනිවිදභාවයෙන් යුත් අධිකරණමය විනිශ්චය කි‍්‍රයාවලියක් සිදුවන බව සහතික කිරීම සහ එම කාර්යය විෂයෙහි ස්වාධීන ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමද අවශ්‍යයෙන්ම වැදගත් කරුණකි.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්
42. රඳවා තබා ගත්තවුන් සමාජයට මුදා හැරීමේ කාර්යය තුළ රජය සැළකිය යුතු තරම් ප‍්‍රගතියක් පෙන්වා ඇත. යුද්ධයේ අවසන් අදියර තුළ අත්අඩංගුවට ගනු ලදුව රැුඳවුම්භාරයට පත්කළ දහස් ගණනකගෙන් 2014 අගෝස්තු 11 වනදා වනවිට හිටපු එල්.ටී.ටී.ඊ. සමාජිකයන් 114 දෙනෙකු පමණක් රජයේ සෘජු අත්අඩංගුවේ පසුවෙමින් හෝ ඇප මත නිදහස්ව සිටිමින් හෝ රජය විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන කඳවුරුවල පුනරුත්ථාපනය ලබමින් පසුවන අතර තවත් 84 දෙනෙකු සම්බන්ධයෙන් රජය නීති කෘත්‍යයන් පවත්වාගෙන යමින් සිටී. කෙසේ නමුත්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් දිගින් දිගටම වාර්තා වෙමින් පවතී. පලාගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිපදෙනෙකු කොටි සංවිධානය උතුරු පළාත තුළ නැවත පණ ගන්වන්නට උත්සාහ කරන්නේ යැයි 2014 පෙබරවාරි සහ මාර්තු කාලවලදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි රජය ඉන් අනතුරුව මහා පරිමාණ මෙහෙයුමක් දියත් කර උතුරේ ප‍්‍රදේශ කිහිපයකින් කාන්තාවන්ද ඇතුළුව පුද්ගලයන් 65 දෙනෙකු අත්අඩංගුවට ගත්හ. මෙය යුද්ධය අවසන් වීමෙන් අනතුරුව සිදුකළ දැවැන්තම මෙහෙයුම වන අතර වාර්තාවන අන්දමට ප‍්‍රදේශයේ ජන ජීවිතය තුළ මහත් බියමුසු වාතාවරණයක් ඇති කරන්නට මේ මෙහෙයුම සමත්ව ඇත. කොටි සංවිධානයේ පැරණි සාමාජිකයන් සම`ග සබඳතා පැවැත්වීය යන චෝදනාව මත මානව හිමිකම් ආරක්ෂකයන් ගණනාවක්ම මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත්ව ඇති අතර අතුරුදහන්වීම් පිළිබඳව දිගින් දිගටම හඬ නැගූ කි‍්‍රයාකාරිනියක වන බාලේන්ද්‍රන් ජෙයකුමාරි මහත්මිය, සහ ඇගේ 13 හැවිරිදි දියණිය, රුකී ප‍්‍රනාන්දු මහතා සහ කතෝලික පූජක ප‍්‍රවීන් මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ කි‍්‍රයාකාරිකයන් අතර විය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ප‍්‍රතිපාදන භාවිතා කරමින් අද දක්වාත් කිසිදු නඩු පැවරීමකින් තොරව ජෙයකුමාරි රඳවා තබාගෙන සිටීම පිළිබඳ මහ කොමසාරිස්වරයා සිය අවධානය දක්වා සිටී.

හමුදාකරණය, ඉඩම් අත්පත්කරගැනීම සහ සංවර්ධනය
43. හමුදාකරණය සහ ඉඩම් අත්පත්කරගැනීම පිළිබඳ තත්ත්වයන් පිළිබඳව සළකා බැලිය යුත්තේ උතුරු පළාතේ සිදුවෙමින් පවතින හමුදාකරණයේ ප‍්‍රමාණය පිළිබඳ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසන් සභාව විසින් දක්වා ඇති අදහස් සහ උතුරේ ජන ජීවිතය පරිපාලනය කිරීමෙහිලා හමුදා මැදිහත්වීම් අවම කිරීම සහ පොදුවේ නීතිය සහ සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශයන්ද පසුබිමෙහි තබා ගනිමිනි. 1947 මහජන ආරක්ෂණ පනතේ අංක 12 දරන ප‍්‍රතිපාදනය යටතේ සිවිල් පරිපාලනය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ සේවාවන් කැඳවීමේ නිවේදනය ජනාධිපතිවරයා විසින් අඛණ්ඩව සෑම මසකම නැවත නැවත නිකුත් කර ඇත. උතුරු පළාතේ ආණ්ඩුකාරධූරය සඳහා මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා නැවතද වතාවක් පත් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළේ පසුගිය ජුලි මාසයේදීය. යුද්ධයේ අවසානයේ සිට මේ දක්වා සේවයේ යොදව ඇති හමුදා භටයන්ගේ සංඛ්‍යාව 35%කින්ද වසරේ මුල් කාර්තුවේදී එය 04%කින්ද අඩු කර ඇතැයි රජය වාර්තා කර සිටී.

44. උතුරේ සිදුවන්නාවූ හමුදාකරණය පිළිබඳ රජය විසින් එලෙස සඳහන් කර තිබුණා වුව, යුද හමුදාව විසින් උතුරේ පුද්ගලික අයිතිය සහිත ඉඩම් තමන් වෙත අත්පත් කරගැනීම අනිවාර්ය සහ අඛණ්ඩ පරිද්දෙන් සිදුවෙමින් පවතී. නිදසුනක් දක්වනුයේ නම්, අත්‍යවශ්‍ය පවරා ගැනීම් වශයෙන් දක්වනු ලදුව යුද හමුදාව විසින් යාපනයේ වලිකාමන් උතුර ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 6,317ක් පවරා ගැනීම අදාළ කි‍්‍රයාව නිසාවෙන් අගතියට පත්වූ ඉඩම් හිමියන් 2,176ක් එක්ව අභියාචනාධිකරණය හමුවේ අභියෝග කිරීමේ සිද්ධිය සඳහන් කළ හැක. ඉඩම් අයිතීන් සම්බන්ධයෙන් පවතින නීතිය යාවත්කාලීන කිරීම සඳහා වන නව ප‍්‍රතිපාදන සැප්තැම්බරයේදී පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත් කරන්නේයැයි රජය මින් පෙර වාර්තා කර තිබිණි, ඉඩම් අර්බුද සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිත බේරුම්කාර මණ්ඩල පිළිබඳ රෙගුලාසි ගැසට් මගින් ප‍්‍රසිද්ධියට පත් කිරීම මෙතෙක් සිදුව නොමැත.

45. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන නාගරික සංවර්ධන අධිකාරිය යුද්ධය අවසානයේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ කොළඹ නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නගරය තුළ පැවති පැල්පත් සහ මුඩුක්කු නිවාස ඉවත් කිරීම ඉලක්ක කරගත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් පවත්වාගෙන යමින් සිටී. මෙකී සංවර්ධන ව්‍යාපෘතිය හරහා මීළග වසර කිහිපය තුළ යළි පදිංචි කිරීමට බලාපොරොත්තු වන පවුල් පිළිබඳ වන නිල සංඛ්‍යා ලේඛන අගයන් 70,000-135,000ත් අතර සංඛ්‍යාවක් දක්වා විවිධාකාර වේ. කෙසේ වෙතත්, මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිසි විනිවිදභාවයකින් තොරවීම, ප‍්‍රමාණවත් මහජන අදහස් විමසීමකින් තොරව සිදුව තිබීම සහ ජනතාව ඔවුන්ගේ හුරු පුරුදු වාසස්ථානවලින් ඉවත් කිරීම හරහා ඔවුන්ගේ ජීවිකාවන් කෙරෙහි ඇතිව තිබෙන අවුල් සහගත තත්ත්වයන් නිසි පරිදි ආමන්ත‍්‍රණය නොකිරීම යන කරුණු මත දැඩි සේ විවේචනයට පාත‍්‍රව ඇත. නව වාසස්ථාන වෙත ජනතාව යොමු කිරීමට පෙර සහ පසු නොයෙක් අවස්ථාවන්වලදී ආරක්ෂක අංශ විසින් ඔවුන් සෝදිසි පරීක්ෂණවලට ලක්කිරීම, තර්ජනය කිරීම සහ අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත්ව ඇත.

නිදසුනක් ලෙස, 2014 පෙබරවාරි මාසයේදී වාර්තාවූ ආකාරයට දළ වශයෙන් පවුල් 2,500ක් පමණ ඔවුන්ට අයිති පෞද්ගලික වාසස්ථානවලින් ඉවත් කොට ඒ අනුව අර්ධ වශයෙන් සම්පූර්ණ කළ වාසස්ථානවල පදිංචි කිරීමට උත්සාහ ගෙන ඇත. මේ සිද්ධිය හා සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධතා සති ගණනක් පුරා ඇදී ගියේය. විරෝධතාවලට හිමිව තිබූ ප‍්‍රතිචාරද දරුණු ඒවා විය, සිය වාසස්ථානයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරමින් නැගී සිටි ප‍්‍රජා කි‍්‍රයාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන පසුදින දක්වාම රඳවා තබා ගන්නට ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.

ආගමික වශයෙන් සුළුතර කණ්ඩායම් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන ප‍්‍රහාර.
46. පූර්වයෙන් කටයුතු කළ මහ කොමසාරිස්වරිය මෙන්ම වර්තමාන මහ කොමසාරිස්වරයාද ශී‍්‍ර ලංකාව තුළ ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආගමික අන්තවාදය සහ සුළුතර ආගමික කණ්ඩායම්-විශේෂයෙන් මුස්ලිම් සහ කතෝලික ප‍්‍රජාවන් ඉලක්ක කරගනිමින් කලහකාරී බෞද්ධ ආගමික කණ්ඩායම් විසින් දියත් කරන එදිරිවාදිකම් පිළිබඳ පූර්ණ දැනුවත්භාවයෙන් පසුවන්නේය. 2014 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මුස්ලිම් පුද්ගලයන්, මුස්ලිම් යාඥා මධ්‍යස්ථාන, ව්‍යාපාර සහ දේපළවලට හානි පමුණුවමින් සිදු කළ ප‍්‍රහාර සහ මුස්ලිම් ජනතාව අරමුණු කරගෙන වෛරී සහගත ප‍්‍රකාශ සිදුකිරීම යන 88කට නොඅඩු පැමිණිලි ප‍්‍රමාණයක් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත ලැබී ඇත. 2014 ජූනි මාසයේ දිනෙක ප‍්‍රදේශයේ වූ සිද්ධස්ථානයක් වෙත ගමන් කරමින් සිටි බෞද්ධ භික්ෂුවකට මුස්ලිම් තරුණයෙකු විසින් කළ පහරදීමක් හෙළා දකිනු වස් බෞද්ධ කණ්ඩායමක් වන බොදු බල සේනා විසින් සංවිධානය විසින් අලූත්ගම නගරයේදී පැවැත්වූ දැවැන්ත විරෝධතා වැඩසටහනකින් අනතුරුව මෑත ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව තුළ පැන නැගි දරුණුතම ආගම්වාදී කෝලාහලය ඇතිවිණි. විරෝධතාවයෙන් අනතුරුව එයට සහභාගීවූ පිරිස් මුස්ලිම් විරෝධී පාඨ හඬනගා කියමින් අවට මුස්ලිම් ප‍්‍රදේශ හරහා ගමන් කළහ. මේ ගමන අතරතුර නිවාස, කඩ සාප්පු සහ මුස්ලිම් ආගමික මධ්‍යස්ථානවලට ප‍්‍රහාර එල්ලවූ බවත් ඇතැම් නිවාස සහ කඩ සාප්පු ගිනිබත් කෙරුණු බවත් වාර්තා වී ඇත. අදාළ සිදුවීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්ව තවත් 80ක් පමණ තුවාල ලබා ඇත.

47. සිද්ධියෙන් අනතුරුව ජනාධිපති රාජපක්ෂ හානියනට පත්වූ ප‍්‍රදේශයන් නිරීක්ෂණ කරන්නට පැමිණියේය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්ට වගකිවයුත්තන් සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගන්නටත් සිද්ධියෙන් හානියට පත්වූවන්ට වන්දි ලබා දෙන්නටත් ඔහු පොරොන්දු විය. ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්ට සෘජුවම හවුල් වූ පුද්ගලයන් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කර තිබූ වීඩියෝ ගතකිරීම්වල කිහිපවරක්ම සටහන්ව තිබුණි. සිදුවීම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඒ ආසන්නයේ රැඳී සිටියද ප‍්‍රකෝපකාරී සිදුවීම් හෝ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් වළක්වන්නට ඔවුන් මුළුමනින්ම අසමත් වූ බවද එකී වීඩියෝ පටිගත කිරීම් හරහා පැහැදිලි විය. මේ මොහොත වන තුරුත් එකී වගකිවයුත්තන් සම්බන්ධයෙන් කිසිදු හෝ ආකාරයකින් නීතිය කි‍්‍රයාත්මකව නොමැත. වෛරීසහගත ප‍්‍රකාශ වැළැක්වීම සම්බන්ධ නව නීති සම්පාදනය කරන්නේ යැයි රජයේ ඇතැම් අමාත්‍යවරු සඳහන් කර තිබුණි. පූර්වයෙන් කටයුතු කළ මහ කොමසාරිස්වරිය මීට වසරකට ඉහතදී සිදුකළ ශී‍්‍ර ලංකා සංචාරය අතරතුර මෙකී අදහස් ඉදිරිපත්වූ නමුත් අදාළ කාර්යය සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු පියවරක් ගෙන නොමැතිවාක් සේම එවැනි කාර්යයක් සම්බන්ධයෙන් තම ආයතනයේ තාක්ෂණික සහයෝගය ලබාදිය හැකියැයි හිටපු මහ කොමසාරිස්වරිය කළ යෝජනාව කෙරෙහි හෝ මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නොමැත. සුළුතර වාර්ගික සහ ආගමික කණ්ඩායම් ඉලක්ක කරගනිමින් සිදුවන ප‍්‍රහාර වළක්වා ඒවාට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ඒ හරහා සුළුතර ප‍්‍රජා කණ්ඩායම්හි සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තමන් තුළ වන කැපවීම ප‍්‍රකට කරන ලෙසත් මහ කොමසාරිස්වරයා රජය වෙත අවධාරණය කර සිටී.

48. ඉහත සංසිද්ධීන්ට සමගාමිව වසරේ ජූනි මාසයේ මුල් සමයේ පටන් වර්ධනය වූ තත්ත්වයකට අනුව සරණාගතයන් තත්ත්වයට පත්වීම නිසාවෙන් හෝ දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙන් හෝ රට තුළට පැමිණ සිටි සංක‍්‍රමණිකයන් 328 දෙනෙක් අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන එයිනුදු පුද්ගලයන් 183 දෙනෙකු රටින් පිටුවහල් කර ඇත. මෙසේ අත්අඩංගුවට ගත් සංක‍්‍රමණිකයන්ගේ බහුතරය පාකිස්ථාන සහ ඇෆ්ගන් සම්භවයක් සහිත ශියා සහ අහමදියා යන සුළුතර ඉස්ලාම් කණ්ඩායම්වලට අයත් පුද්ගලයන්ය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන් සැලකිය යුතු පිරිසක් සරණාගතයන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් සිය පුද්ගල තත්ත්ව නිර්ණය කිරීමේ කි‍්‍රයාපටිපාටිය (Local status determination procedure) හරහා සරණාගතයන් වශයෙන් නිර්ණය කරනු ලැබූවන් වන අතර සෙසු පිරිසගේ තත්ත්වය නිර්ණය කිරීම සඳහා ඉහත කී කි‍්‍රයාපටිපාටිය කි‍්‍රයාත්මක වෙමින් පවතී. සැප්තැම්බර් මස මුලදී අභියාචනාධිකරණය වෙත ඉදිරිපත්වූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව සහ රජය හා සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අතර සිදුවූ සංවාදයන්ගෙන් අනතුරුව ඉහත කී රැඳවූවන්ගෙන් 73 දෙනෙකු නිදහස් කර හරිනු ලැබිණි. නමුත් ඒ මොහොතේ පටන් නැවතත් සරණාගත තත්ත්වයේ සිටින්නන් අත්අඩංගුවට ගැනීම සහ පිටුවහල් කර හැරීම නැවත ආරම්භව ඇත. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විශ්වාසය පළ කරන ආකාරයට පාකිස්තානුවන් 38ක් සහ ඇෆ්ගන් ජාතිකයන් 64ක්ද ඇතුළත්ව පුද්ගලයන් 102කු මේ වනවිට රජය විසින් රැුඳවුම්භාරයට පත්කරනු ලැබ ඇත.

වධහිංසාව වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි සරණාගතයන් ආපසු යැවීම හෝ පිටුවහල් කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති වගකීම් ප‍්‍රවේශමෙන් ආරක්ෂා කිරීමට එකී සම්මුතියට එකගව ඇති ස්වෛරී රාජ්‍යයක් වශයෙන් ශී‍්‍ර ලංකාව බැඳී ඇත. ඒ අනුව, සරණාගතයන්ගේ ජාතිය, ආගම, දේශපාලන මතය ආදී සුවිශේෂීතා මත පදනම්ව ඔවුන්ගේ ජීවිතයට හෝ නිදහස් පැවැත්මට තර්ජනයක් ඇතිවිය හැකි කලාපයක් හෝ දේශ සීමාවක් තුළට ඔවුන් නැවත යැවීම හෝ පිටුවහල් කිරීම නොකළ යුතුයැයි ජාත්‍යන්තර නීතියේ දැක්වෙන සම්මුතිය (Non-refoulement) සරණාගතයන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාකාරීත්වය තුළ සුරක්ෂිත විය යුතුය. එසේ හෙයින් සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරි කාර්යාලය සමග සමීපව කටයුතු කරමින් සරණාගතයන්ගේ ආරක්ෂාව සහතික කරන සහ ඔවුන් සම්බන්ධයෙන් කල් පවත්වා විසඳුමක් ලබාදිය හැකි ආකාරයේ පියවරකට යොමු වන්නැයි මානව හිමිකම් මහ කොමසාරිස්වරයා රජය වෙත අවධාරණය කර සිටියි.

49. 2014 ජනවාරි සිට අගෝස්තු දක්වා කාල සීමාව තුළම කතෝලික ප‍්‍රජාවද පෞද්ගලික වාසස්ථාන සහ සිද්ධස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ කතෝලික ආගමිකයන් හා පූජකවරුන්ට සිදුකළ අඩන්තේට්ටම් කිරීම් ආදිය පිළිබඳ පැමිණිලි 55ක් ඉදිරිපත් කර ඇත.

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීම සදහා නිගමන

50. මානව හිමිකම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව අභ්‍යන්තරයේ වන වර්තමාන තත්ත්වය මෙන්ම ගැටුම් අතරතුර සිදු කළා යැයි චෝදනා එල්ලව ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වගවීම ඇතිකර සංහිඳියාව ගොඩනැගීමේ උත්සාහයන් පිළිබඳවත් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සිය අඛණ්ඩ අවධානය පවත්වාගෙන යාමේ වැදගත්කම ඉස්මතු කර පෙන්වීමට මෙම වාචික කරුණු දැක්වීම හේතුවේ.

51. ජනවාර්ගික අර්බුදයට මග පෑදුවා වූ බොහෝ අර්බුද සහ ව්‍යූහාත්මක ගැටලූ නිසි පරිදි ආමන්ත‍්‍රණය කර විසඳා ගනු වස් උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් කි‍්‍රයාත්ම කිරීමට ශක්තිමත්ව යොමුවන ලෙසත් ඒ හරහා දිගු කාලීන සංහිඳියාවක් සඳහා අවශ්‍ය පදනම සැකසීමට කටයුතු කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලය රජය වෙත අවධාරණය කරයි.
අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශන පැවැත්වීම සඳහා පත් කරනු ලැබූ කොමිසමෙහි සීමා මායිම් පුළුල් කිරීමට රජය ගත් පියවරයන් කෙරෙහි අවධානය දක්වන අතරම පූර්වයෙන් කටයුතු කළ මහ කොමසාරිස්වරිය සහ මානව හිමිකම් කවුන්සිලය වරින් වර කළ නිර්දේශයන් අනුමත කරන මහ කොමසාරිස්වරයා සත්‍ය සෙවීම සඳහා වන පුළුල් කි‍්‍රයාවලියක් ආරම්භ කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් ගන්නැයි ශී‍්‍ර ලංකා රජය වෙත අවධාරණය කරයි.

52. නීතිය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් සමාජ සංවිධානයන් සම්බන්ධයෙන් ඇතිව තිබෙන බියවැද්දීම් ගහන, තර්ජනකාරී සහ හිංසාකාරී වාතාවරණය අහෝසි කරන්නටත් මුස්ලිම් සහ කතෝලික ප‍්‍රජාව ඉලක්ක කරගෙන සිදුවන, අවසානාර්ථයෙන් රට තුළ සාමයට සහ සංහිඳියාවට බලපෑම් ඇති කරන වෛරී සහගත ප‍්‍රකාශ සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වහාම නතර කිරීමටත් මැදිහත් වන ලෙස මහ කොමසාරිස්වරයා රජයට උදක්ම අවධාරණය කර සිටී.

53. රජය නැවත පදිංචි කිරීම සහ යුද්ධයෙන් හානියට පත්වූ යටිතල පහසුකම් ප‍්‍රතිසංස්කරණය කිරීම යන කේෂ්ත‍්‍රයන් තුළ ප‍්‍රශංසා කටයුතු ප‍්‍රගතියක් දක්වා ඇත. එතකුදු වුව, අතීත අඳුරු අත්දැකීම්වලින් නිදහස්ව, දේශපාලන බලතල සහිත පුද්ගලයන් නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමෙන් විනිර්මුක්තව සිටින වර්තමාන සංස්කෘතිය අවසන් කර, වාර්ගික ප‍්‍රජාවන් අතර සංහිඳියාව ඇති කර නීතියේ ආධිපත්‍යය ඇති කිරීමෙහිලා හරහා අතීතයේ සිදුවූ සහ වර්තමානයේ සිදුවන කි‍්‍රයාකාරකම් විමර්ශනයට ලක් කරන පුළුල් හරයාත්මක මුහුණුවරකින් යුත් දිගු කාලීන වගවීමේ කි‍්‍රයාවලියක අත්‍යවශ්‍ය යැයි මහ කොමසාරිස්වරයා දැඩි සේ විශ්වාස කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලදුව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ වනවිට පවත්වාගෙන යන පුළුල් විමර්ශනයද ශී‍්‍ර ලංකාව තුළ ඉහත ආකාරයේ වගවීමේ කි‍්‍රයාවලියක් ඇති කර පවත්වාගෙන යාමෙහිලා ඵලදායී වනු ඇතැයි මහ කොමසාරිස්වරයා අදහස් කරයි. ඒ හේතුවෙන්, ශී‍්‍ර ලාංකිකයන්ගේ දිගු කාලීන යහපත ඇති කිරීම උදෙසා ඉහත කී විමර්ශන කි‍්‍රයාවලිය සමග මෙන්ම, එක්සත් ජාතීන්ගේ විශේෂ කාර්ය සාධන වරධාරීන් සමගද සම්පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ස්ථාරවයකට එළැඹෙන්නැයි මහ කොමසාරිස්වරයා ශී‍්‍ර ලංකාවේ බලධාරීන්ගෙන් නැවත ද වතාවක් ඉල්ලා සිටියි.

සබැදි ලිපි

පරීක්ෂණයේ ඒකාග‍්‍රතාවය රැකගැනීමට රහස්‍යභාවය අත්‍යවශයි – 01 වන කොටස

ආණ්ඩුව සිවිල් සමාජයට සලකන ආකාරය දැක හුසේන් කුමරු මවිත වෙයි –

02 වන කොටස

දේශීය පරීක්ෂණවල විශ්වාසනීයත්වය තහවුරු කරගත යුතුයි – 

03 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 01 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 02 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 03 වන කොටස

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment