උතුර ගැන සංවේදී විපක්ෂයක් අවශ්‍ය කර තිබේ- ගාමිණී වියන්ගොඩ

Oct 26th, 2014 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS

   අද මහින්ද රාජපක්ෂ දකුණේ ඡන්දදායකයා කෙරෙහි ‘සංවේදී’ වෙමින් විදුලි බිල සහ ගෑස් මිල අඩු කෙළේය. පෙට්රල්/භූමිතෙල් මිල අඩු කෙළේය. තවත් බොහෝ දේවල් එළැඹෙන අයවැයෙන් ජනතාවට ලැබෙනු ඇත. ශක්රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වුණා සේ හිටිහැටියේම ඔහු මෙසේ ජනතාව කෙරෙහි ‘සංවේදී’ වීම, එළැඹෙන ඡන්දයට එලන දැළක් බව දැන් දකුණේ සිංහල-බෞද්ධයා පවා දනී.

   උතුර ගැන විපක්ෂය සංවේදී විය යුත්තේ එසේ උතුරේ ඡන්ද ඇන්දවීමට නොවේ. සිංහල දේශපාලනය තුළ මෙතෙක් කල් සුළු ජාතීන්ගේ දුක්ගැනවිලි ගැන යම් තරමක හෝ සංවේදී භාවයක් තිබුණේ, වාමාංශික ව්යාපාරයටත්, දකුණේ වෙසෙන ප්‍රගතිශීලී සහ බුද්ධිමත් ප්‍රජාවටත්, යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ සංවිධාන ජාලයටත් ය. ඊට අමතරව, සුළු ජාතික අයිතීන් ගැන යම් තාක් යථාර්ථවාදීව බැලීමේ ප්‍රවණතාවක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළින් විටින් විට ප්‍රකට විය. පරණ වම මුළුමණින් උතුර අතහැර දමද්දී පවා එක්සත් ජාතික පක්ෂය සුළු ජාතීන්ට හිතවත් පක්ෂයක් වශයෙන් කටයුතු කෙළේය. අදටත්, සුළු ජාතීන් එක්සත් ජාතික පක්ෂය වටා වැඩියෙන් පෙළ ගැසෙන්නේ එබැවිනි. එසේම, 2005-2009 කාලය තුළ උතුරු-නැගෙනහිර යුද්ධයේ දී ඇති වූ සියලූ ව්‍යසනයන් තිබියදීත්, 2010 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට උතුරු-නැගෙනහිර දේශපාලන පක්ෂ සහ ජනතාව පියවර ගත්තේ ද එබැවිනි.

   දැන් ඊළඟට එළැඹෙන ජනාධිපතිවරණයේදීත්, සුපුරුදු පරිදි සිංහල-බෞද්ධ හදවතට ආමන්ත්රණය කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැරසෙන විට, එක්සත් ජාතික පක්ෂයත් ඒ අයිතියට හරි හරියට තරගයට බැසිය යුතු යැයි සිතන පිරිසක් අද එක්සත් ජාතික පක්ෂයේ සිටිති. එම කඳවුරේ නායකත්වය දරණ බව පෙනෙන්නේ සජිත් ප්‍රේමදාසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්, එක්සත් ජාතික පක්ෂයත් සිංහල-බෞද්ධ ජාතිවාදී පදනමට ගොනු වුණොත් තත්වය කුමක් වෙයිද? සිංහලයා වෙනුවෙන් පෙනී සිටින අතරේම, දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙනුවෙනුත් පෙනී සිටීමට දකුණේ විපක්ෂයට ඇති බාධාව කුමක් ද?

   එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පරාජයෙන් පසු, සිංහල දකුණ සමග වෙනත් ආකාරයක සම්බන්ධයකට යා යුතු බවට, දෙමළ දේශපාලනයේ මධ්යස්ථ ප්‍රවාහය විසින් තීරණය කොට ඇති වර්තමාන තත්වය තුළ, දකුණේ ප්‍රධාන පක්ෂ දෙකම සිංහල-බෞද්ධ වුණොත්, ඒ මගින් අර කී මධ්‍යස්ථ දෙමළ දේශපාලනය නැවත වරක් අප තල්ලූ කරනු ඇත්තේ, කොටි සංවිධානයට සමාන දේශපාලනයකටයි. දකුණේ කිසි දේශපාලනයක් සමග සහජීවනයක් හෝ සම්මුතියක් ඇති කර ගැනීමේ මොනම ඉඩක්වත් නැතැ යි සිතන තත්වයක් තුළයි, එතෙක් උතුරේ ක්‍රියාත්මක වූ සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රචණ්ඩ දේශපාලනයට එදා යොමු වුණේ.

   ටිකක් මේ ගැන හිතා බලන්න: යුද්ධය පැවති අවුරුදු 25 කට වැඩි කාලය තුළ, යුද-විරෝධී දකුණේ සිංහලයන් හංවඩු ගැසුණේ, දේශද්‍රෝහීන් වශයෙනි. යුද්ධය අවුරුද්දෙන් අවුරුද්ද මෝරද්දී, යුද්ධයට එරෙහි වීම දකුණේ ප්‍රගතිශීලී ප්‍රවාහයට කෙමෙන් අසීරු වන කටයුත්තක් බවට පත්විය. ඒ කාලය වන විට, එක දිගටම යුද්ධයට එරෙහිව පෙනී සිටියේ ඉතා අතලොස්සකි. අනිත් හැමෝම, නා නා ප්‍රකාර සමාවන් සහ යුක්ති සහගත කිරීම් මධ්‍යෙය් යුද කඳවුරට මාරු වූහ. 2009 මැයි මාසය වන විට, දෙමළ ජනතාව සඳහා අනුකම්පාවක් සහ බුරුලක් විය හැකි මොනම අදහසක්වත් ප්‍රකාශ කිරීම එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු යැයි හංවඩු ගැසීමට හොඳටම ප්‍රමාණවත් විය.

   එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ දෙමළ ජනතාව අතර ගොඩනැගුණු ඓන්ද්‍රීය සම්බන්ධතාවේ ස්වභාවය තේරුම් ගැනීම, එදා මේ කියන තත්වය තේරුම් ගැනීම සඳහා පමණක් නොව, අද අප පත්ව ඇති තත්වය තේරුම් ගැනීම සඳහා ද අතිශයින් වැදගත් වෙයි. එක්තරා අවස්ථාවකින් පසු උතුරේ දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග අනන්‍ය වූ බව, කවුරු කැමති වුවත් අකමැති වුවත්, පිළිගත යුතු සත්‍යයකි. එහෙත් ඒ සත්‍යය බැහැර කිරීමට, එනම්, දෙමළ ජනතාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය එකක් නොව, දෙකක් යැයි කියන විදග්ධ කතාවට බර දීමට එදා පාලකයන්ට අවශ්‍ය කළ එක හේතුවක් වුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීම, දෙමළ ජනතාව විනාශ කිරීමකින් තොරව කළ නොහැකි බව තේරුම් ගෙන සිටීමයි. ඊළඟට, දෙමළ ජනතාවටමත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කර දැමීමක් අවශ්‍යව ඇති බව ලෝකයාට පෙන්වීමටයි. එම කාරණා දෙක තහවුරු කිරීමෙන් පසු, එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමේ දී ඇති වන දෙමළ ජනතා විනාශය, ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ නොවැළැක්විය හැකි’ තත්වයක් වශයෙන් ලෝකයා ඉදිරියේ සාධාරණීකරණය කළ හැකි වන්නේය. ලෝකයේ මොනම ත්‍රස්තවාදී සංවිධානයක්වත් හමුදාමය වශයෙන් මැඩලීමට ගන්නා ප්‍රයත්නය, සමානුපාතික නොවන බරකින් එම සමස්ත ජනතාව මත මුදාහැරීමට සිදුවන්නේ නම්, එය හමුදාමය විසඳුමක් වශයෙන් වර්තමාන ලෝකය තුළ අනුමත කෙරෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම, එල්.ටී.ටී.ඊ. සංවිධානය අනවශ්‍ය විස්වාසයක් තබාගෙන සිටියේ ද මේ කාසියේම අනිත් පැත්ත ගැනයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය තම අරමුණ වන වෙනම රාජ්‍යයක් සඳහා තම ජනතාව සිංහල ආණ්ඩුව ඉදිරියේ ප්‍රාණඇපකරුවෙකු වශයෙන් අල්ලාගෙන සිටීමට දේශපාලනිකව තීරණය කිරීමත්, ශිෂ්ට ලෝකයා ඉදිරියේ පිළිනොගැනෙන බව ඔවුන් ගණන් හදා තිබුණේ ද නැත.

   කෙසේ වෙතත්, දෙමළ ජනතාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය එක් මොහොතකින් පසු එකිනෙකා හා අනන්‍ය වීමත් සමග, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නන් ඉබේම එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටින්නන් වශයෙන් අනන්‍ය වන්නට විය. මේ තත්ත්වය, යුද විරෝධීන් කෙරෙහි ගැටළුකාරී තත්වයක් නිර්මාණය කළ අතර, අනිත් පැත්තෙන්, යුදවාදීන්ට සහ සිංහල-බෞද්ධ දේශප්‍රේමීන්ට මනාව ගැළපෙන ප්‍රහාරක අවියක් නිර්මාණය කර දුන්නේය. 2009 මැයි මාසය වන විට ඉතා පැහැදිළි ලෙස කඳවුරු දෙක බෙදී ගියේ ඒ රේඛාව ඔස්සේ ය. ඉතිං. එදා මේ රටේ දකුණේ වෙසෙන ජනතාවගෙන් සියයට 90 ක් ම දේශප්‍රේමී ජයග්‍රහණයකට හිමිකම් කී අතර, ඉතා සුළුතරයක් සදාකාලික දේශද්‍රෝහීත්වයක ඒජන්තයන් බවට පත්වුණි.

   මේ වනාහී කාසියේ එක පැත්තකි. එය අදාළ වන්නේ අතීතයටයි. අද එල්.ටී.ටී.ඊ, සංවිධානයක් නැත. දැන්, වර්තමානය සහ අනාගතය ඒ කාසියේම අනිත් පැත්ත බවට පෙරැලෙමින් තිබේ. අද වන විට දෙමළ ජනතාව කොටින්ගෙන් ‘ගලවාගෙන’ තිබේ. අන්තිම කොටියා දක්වා මීට පස් වසකට පෙර විනාශ කරන ලදි. අනිත් කොටින්ව (කරුණා, කේ.පී. සහ දයා මාස්ටර් වැන්නන්) සිංහල රාජ්‍යයට අන්තර්ග්‍රහණය කරගන්නා ලදි. ඉතිං, දැන්වත් දෙමළ ජනතාවට, තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග දීග කෑමට තල්ලූ කරන ලද ඓතිහාසික දුක්ගැනවිලිවලින් නිදහසක් තිබිය යුතුය. ඒ අනුව, ජාතියක් වශයෙන්, භාෂාවක් වශයෙන්, සංස්කෘතියක් සහ ආගමක් වශයෙන්, තමන්ට නිදහසක් අවශ්ය බව ඔවුන්ට හැෙඟ්. එය විශේෂ වරප්‍රසාදයක් නොව, ජාතිය, ආගම, සංස්කෘතිය වැනි හේතුකාරක මත, මොනම ආකාරයකවත් වෙනන් විදිහක සැළකුම් ලැබීමෙන් නිදහස් වීමට ජනතාවකට ඇති අවශ්‍යතාවයි. එහි දී, හමුදා නිල ඇඳුම් නොපෙනෙන පරිසරයක්, හමුදා කඳවුරු නැති පරිසරයක්, තමන්ගේ භාෂාවෙන් වැඩ කළ හැකි පරිසරයක් ඔවුන්ට අවශ්‍ය ය. ලංකාව යන සමස්ත රටේ දේශපාලනික ව්‍යූහය තුළ, සංඛ්‍යාවෙන් පමණක් නොමැනෙන, ජනතාවක් වශයෙන් වශයෙන් ද සැළකිල්ලට ගැනෙන, යම් අර්ථවත් කාර්ය භාරයකට ඔවුන් හිමිකම් කිව යුතුය.

   එහෙත් මේ දේවල් එම ජනතාව විසින් අද ඉල්ලා සිටීම, දකුණ අදටත් සළකන්නේ ‘නැවත කොටියා හිස එසවීමක්’ වශයෙනි. මේ ප්‍රබන්ධය ආණ්ඩුව නිර්මාණය කරන්නේ, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලනික ප්‍රවාහයන් ඒ තුළ හිර කරවීමටයි. ජනාධිපතිවරණයක් ඉද්දර තියාගෙන එය සාර්ථක කර ගැනීම පහසු වෙතැ යි ආණ්ඩුව සිතයි. ඒ උගුලට එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් හසු වුවහොත්, පැරණි ඉතිහාසයම අළුත් වටයකින් නැවත රඟදෙනවා නොඅනුමානයි. එනිසා, රටේ නාමයෙන් සහ ඉදිරි පරම්පරාවන්ගේ නාමයෙන් ඒ අපරාධයට විපක්ෂය මෙවර හසු විය යුතු නැත. සිංහලයා වෙනුවෙන් මෙන්ම, දෙමළ සහ මුස්ලිම් මිනිසා වෙනුවෙන් ද, බෞද්ධයා වෙනුවෙන් මෙන්ම, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආදී අනෙක් සෑම ආගමක් වෙනුවෙන් ද පෙනී සිටීමට ශක්තිය, මැතිවරණයක් ඉදිරියේ තබාගෙන පවා,ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයට තිබිය යුතුය.

maxresdefault

Recent Posts

Tags: , ,

Leave a Comment