කණාමැදිරි එළියට බය උදවියගේ දේශපාලනය

Oct 29th, 2014 | By | Category: LEAD NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

| සාමිනාදන් විමල්

”මාරු තඩම්’’ කියන්නේ දැනට ස්විස්ලන්තයෙහි වසන රමණදාස් කියන චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයාගේ සිනමා නිර්මාණයක්. ලංකාවෙහි සහ පිටරට රූගත කර ඇති මෙම චිත්‍රපටයෙහි ලංකාවෙහි දැනට වාසය කරන නළු නිළියන් ද රංගනයෙන් දායකත්වය දක්වා තිබෙන අතර මේ චිත්‍රපටයෙහි ආරාධිත දර්ශනයක් එහි අධ්‍යක්‍ෂක විසින් යාපනයෙහි රාජා සිනමා ශාලාවෙහි සංවිධානය කර තිබුණා. දකුණු ඉන්දීය වානිජ සිනමාවට එරෙහිව යන ලාංකේය දෙමළ සිනමාවක් පිළිබඳ අපේක්‍ෂාවෙන් සිටින්නන්ට මෙය තවත් සුභ ආරංචියක් වුණා.

චිත්‍රපටයෙහි අධ්‍යක්‍ෂකවරයා සහ තවත් කීප දෙනෙකුගේ කෙටි අදහස් දැක්වීමකින් පසුව විදුලි පහන් නිවී සිනමා සිතුවම තිරයෙහි දිග හැරෙන්න වුණා. මෙය වීඩියෝ පටයක් ප්‍රක්ෂේපණ යන්ත්‍රණයකින් කළ චිත්‍රපට දර්ශනයක් විය. එය පටන්ගෙන විනාඩි දහයකින් පහළොවකින් පමණ චිත්‍රපට දර්ශනය නතර වී විදුලි පහන් දැල්වෙන්නට වූ අතර මෙය මට විමතියට හේතුවක් වුණා. හදිසියෙහි ඇතිවන විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් චිත්‍රපට දර්ශනයක් අතරමග ඇණ හිටීම යනු යාපනයට තවමත් සුපුරුදු දෙයක් වුණත් චිත්‍රපට දර්ශනය නතර වී විදුලි පහන් දැල්වෙන්නට වීමයි එයට හේතුව. ආරක්‍ෂක අංශ විසින් කළ දැනුම් දීමට අනුව චිත්‍රපට දර්ශනය නතර කිරීමට සිදුවූ බව චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා පැවැසුවේ අදාළ සියලූම අංශවලින් අවසර ලබා ගත් ලිපි ගොනුව ද පෙන්වමිනි. ඒ මොහොතේ හේතුවක් ලෙස පැවසුවේ චිත්‍රපට ශාලාවක වීඩියෝ පටයකින් චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්විය නොහැකි බවයි. මෙය ප්‍රවේශපත්‍ර අලෙවි කර පැවැත්වූ මහජන ප්‍රදර්ශනයක් නොවන බවත් ආරාධිත දර්ශනයක් පමණක් වන බවත් මෙහිදී සඳහන් කරන්නේ මෙයට හේතුව ලෙස දැක්වූ කරණු පිළිබඳව ඇති වූ විමතිය ද සමගිනි.

නමුත් පසු දින අසන්නට ලැබුණ පුවතකින් මගේ විමතිය පහව ගියා. එය නම් ජනමාධ්‍ය පුහුණු වැඩමුළුවකට ගිය යාපනයෙහි ජනමාධ්‍යවේදීන් පිරිසට එරෙහිව කොළඹ විරෝධතාවක් දැක්වීමත් ඒ සමග එම මාධ්‍යවේදීන් සතුව ගංජා තිබුණු බව පවසා පොලීසියෙන් රඳවා ගැනීමත් යන පුවතයි. එනම් එක් හාස්‍යජනක හේතුපාඨයක් යටපත් කිරීමට සමත් අයුරින් තවත් හාස්‍යජනක හේතු පාඨයක් ඉදිරිපත් කිරීමයි.
වඩාත් වැදගත් වන්නේ අපි ජීවත්වෙමින් සිටින්නේ මෙවන් පරිසරයක යන්න තේරුම් ගැනීමයි. මෙම චිත්‍රපටය කොටි හිතෛෂී සිනමා පටයක්ය යන්න පැවැසුව ගමන් එය අදහන පිරිසක්; මෙම ජනමාධ්‍යකරුවන් පිරිස ගංජා ගෙනෙන්නට ඇතැයි අදහන පිරිසක් සමාජය තුළ නැතැයි කිව නොහැකිය. සමාජය තුළ බලපවත්වන අධිපති මතවාදයට එහෙම පිටින්ම අනුගතව සිතන මතන කටයුතු කරන පිරිසක් පිළිබඳ ප්‍රශ්නය ජය ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ අභියෝගයෙහිම කොටසක්ය.

බැලූ බැල්මට සුළු දෙයක් ලෙස පෙනෙන්ට තිබුණත් මෙවැනි තත්ත්වයන් විසින් ඇති කරනු ලබන භයානක තත්ත්වය වන්නේ සමස්තයක් ලෙසින් රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට කෙරෙන අරගලයෙහිදී උතුරේ දේශපාලනික ක්‍රියාකාරිත්වය ඒ සඳහා දායක කර ගත හැක්කේ කෙසේද යන්නයි. උතුරෙහි පැවැති දේශපාලනය දෙමළ වැසියාගේ දේශපාලන වපසරිය ජාතික ප්‍රශ්නය යන ලෙස සීමා කොට පැවැති තත්ත්වයක් තුළ වඩාත් ප්‍රගතිශීලි දේශපාලනයක් සඳහා සමස්ත ලාංකේය ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ දේශපාලනික අරගලයත් සමග උතුරෙහි දේශපාලනය බද්ධ කර ගැනීම හදිසි අවශ්‍යතාවයක්ව පවතියි. මේ වන විට කරළියට පැමිණ ඇති විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ සංවාදය පවා එම දේශපාලනයෙහි වැදගත් පුරුකක් වශයෙන් භාවිත කළ හැකිය. එනම් ජනවාර්ගික ප්‍රශ්නයත් ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගැනීම යන විෂයට අභියෝගයක්ව පවතින ගැටලූ විසඳා ගැනීම යනු හුදෙක් දකුණේ දේශපාලනය සතුව පමණක් පවතින වගකීමක්ද? නැතහොත් ඒ සඳහා වන අරගලයට උතුරෙහි දායකත්වය හුදු දෙමළ ජාතික සන්ධානය සමග පමණක් කෙරෙන සංවාදයක ප්‍රතිඵලයක් විය යුතුද? වඩාත් වැදගත් වන්නේ උතුරෙහි ජනයා වඩාත් සක්‍රීය ලෙසින් ලාංකේය සමාජයෙහි ප්‍රජාතන්ත්‍රිය අයිතිවාසිකම් දිනා ගැනීමේ දේශපාලනික අරගලයත් සමග බද්ධ කර ගැනීමයි. එසේ නොවුණහොත් පවතින මෙම දේශපාලනික නිෂ්ක්‍රීය බව වෙනත් විනාශකාරී මාවතකට පාර පෙන්වීමක් සිදු කිරීමට ඇති ඉඩකඩ විශාලය. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමෝපායන්ගෙන් යුතු විරෝධතාවය අවුරන තත්ත්වයක් තුළ උතුරෙහි දේශපාලන ක්‍රියාකාරිත්වය තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය සමග බද්ධ කර ගන්නේ කෙසේද යන අභියෝගය මේ වන විට මතුව ඇත.

”ගිනි පෙනෙල්ලෙන් බැට කෑ තැනැත්තා කණාමැදිරි එළියටත් බයයි” යැයි කියනු ලැබේ. උතුරෙහි ජනතා සහභාගිත්වය සහිත දේශපාලනය ගිනි පෙනෙල්ලෙන් බැට කෑ අයගේ දේශපාලනය බවට පත්ව ඇත.

maru

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment