ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?- කුමුදු කුසුම් කුමාර

Oct 30th, 2014 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, OTHER WEB

“…ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට පුළුල් පෙරමුණක් ගොඩ නැඟීමේ උත්සාහය අත හැරීමට හේතුව එක්සත් ජාතික ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයක් වත්මන් පාලන තන්ත්‍රයෙන් වෙනස් නොවනු ඇත යන විශ්වාසය බව පෙනෙයි. නමුත් නම් බලයට පත්වනු ඇති කුමන විකල්ප රජයක් යටතේ වුව වමට අවශ්‍ය, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ සාධනය කර ගත හැකි, මූලික ප්‍රතිසංස්කරණ හෝ කිරීම සඳහා එකඟතාවට එබඳු රජයක් ගෙන ඒමට බල කිරීම වම පැහැර හැරිය යුත්තේ මන්ද?”

ආචාර්ය සුමනසිරි ලියනගේට පිළිතුරු සපයමින් ආචාර්ය කුමුදු කුසුම් කුමාර මෙසේ තර්ක කරන්නේ ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද? යන ලිපිය මගිනි. මෙම ලිපිය ‘සමබිම’ වෙත උපුටා ගන්නා ලද්දේ ‘කතිකා‘ අධ්‍යයන කවය http://kathika.wordpress.com/අනුග්‍රහයෙනි.

සම්පූර්ණ ලිපිය කියවන්න:–

සුමනසිරි ලියනගේ “වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්” (බලන්න, මෙහි ) යන මැයෙන් ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන ලියූ අදහස් පිළිබඳ ලියමි. මගේ ප්‍රමාදය මෙම සාකච්ඡාවට වමෙන් ප්‍රතිචාරයක් දැක්වෙනු ඇතැයි බලා සිටි හෙයිනි.

ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කළ එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව ගොඩ නැගෙන ජන පෙළගැස්ම සමග වම නොසිටිය හොත් වම තනි විමට ඇති ඉඩ කඩත් එය වක‍්‍ර ලෙස මහින්ද තන්ත‍්‍රයට ආධාර කිරීමක් ලෙස ජනයා සැළකිමට හැකි කමත් ගැටලුවක් ලෙස දකින වමේ මතය සුමනසිරි ලියනගේ ප්‍රශ්න කරයි. එයට විසඳුමක් ලෙස වම ඉදිරිපත් කරන “වම ස්වාධීන මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යා යුතු අතර එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට දෙවන මනාපය දෙන ලෙස වමට යෝජනා කල යුතුය” යන අදහස පිළිබඳ සාකච්ඡාවකට ඔහු මුල පුරයි.

පළමුව කිව යුත්තේ වම ඉදිරිපත් කරන අදහස මා (සහ කුමාර් ඩේවිඩ් ) ඉදිරිපත් කරන අදහසින් වෙනස් වන්නේ යැයි සුමනසිරි ලියනගේ කියන නමුදු මගේ අදහස යයි ඔහු සිතන අදහස කුමක් දැයි ඔහු කියා නැති බවයි. එසේ තිබියදීත් සුමනසිරි ලියනගේ ඉදිරිපත් කරන කරුණු සාකච්ඡා කළ යුතු වැදගත් ඒවා ලෙස සළකමි.

මෙහිදී සුමනසිරි ලියනගේ සඳහන් කරන ‘වම‘ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුල් කොට ගත් නව වාම පෙරමුණ ක් ලෙස හැඳින්විය හැකි පෙළ ගැසීම ලෙස හඳුනා ගැනීම වැරදි නොවේ යැයි සිතමි. ඊට අයත් නොවන ජනතා විමුක්ති පෙරමුණ ගැන දෙවනුව කතා කරමු.

සුමනසිරි ලියනගේ කියන පරිදි මහින්ද රාජපක්‍ෂ තන්ත‍්‍රයේ ස්වභාවය ෆැසිස්ට් ය යන වාම ස්ථාවරය වැරදි ය. ඔහු දක්වන පරිදි, එය හරියැයි පිළිගත්තද ෆැසිස්ට් තත්ත්වයකදී ලිබරල් ධනේෂ්වර පක්‍ෂ සමග එක්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර ගැන්ම නැත්නම් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම වමේ කාර්යභාරය ලෙස අර්ථ දැක් වීමද වැරදිය. මන්ද, ෆැසිස්ට්වාදය යටතේ ලිබරල් ධනේෂ්වරයට එය පසුපස යනු මිස වෙනත් විකල්පයක් නැති හෙයිනි. එහෙයින් එක්සත් ජාතික පක්‍ෂය සමග මැතිවරණ ගිවිසුමකට වමට මූලධර්මීය ඉඩක් නැත.

තන්ත්‍රය යන පදය regime යන ඉංග්‍රීසි පදයට ඇති සිංහල පරිවර්තනයක් නමුදු රෙජීමය යන පදය සිංහලෙන් ද දැන් භාවිතයට පැමිණ ඇත. රෙජීමය යන පදය යෙදීමෙහි දේශපාලන බලයක් ඇති බව රාජපක්ෂ රෙජීමය එම පදයට දක්වන බලවත් අකමැත්තෙන්ම පැහැදිළි වෙයි. මීට ප්‍රධාන හේතුවක් නම් ‘regime change’ නැතහොත් ‘රෙජීමය මාරුකිරීම‘ පිළිබඳ අදහසට රාජපක්ෂ රෙජීමය දක්වන අකැමැත්ත යි. රාජපක්ෂ රෙජීමය වූ කලී මහින්ද රාජපක්ෂ නමැති තනි පුද්ගලයාගේ රාජ්‍ය තන්ත්‍රයක් නොව රාජපක්ෂ පවුල මුල් කොට ගත් සහ එය විසින් හසුරුවනු ලැබෙන රෙජීමයක් ලෙස හඳුනා ගැනීම වැදගත් ය.

වම ප්‍රධාන පක්ෂ සමග එක්ව මැතිවරණයක් දියත් කිරීමේ ඇති ප්‍රායෝගික ගැටලු ගැන සුමනසිරි ලියනගේ කියන අදහස පිළිගත හැකිය. එක්සත් ජාතික පක්ෂය සමග මැතිවරණ ගිවිසුමකට යාමට වමට තිබී ඇතැයි සුමනසිරි ලියනගේ සඳහන් කරන යෝජනාවේ නිසි අරමුණු සහ යෝජිත ගිවිසුමේ ස්වභාවය ගැන නොදැන ඒ ගැන යමක් කිව නොහැකිය.

රාජපක්ෂ රෙජීමය ෆැසිස්ට්වාදයක් ලෙස හැඳින්වීම විශ්ලේෂණාත්මක වරදක් බවත් එසේ නොව එය අධිකාරිවාදී බොනපාට්වාදයක් බවත් සුමනසිරි ලියනගේ තර්ක කරයි. මෙහිදී අප ඇසිය යුතු ප්‍රශ්නය නම් වමේ මෙම ‘වරද‘ නිසා අපට අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි වීමේ තර්ජනය පිළිබඳ ඇති හැඟීම සහ වැටහීම බැරෑරුම් ලෙස භාර නොගත යුතුද? යන්නයි. රාජපක්ෂ රෙජීමය බොනපාට් වාදයක් වන හෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදි අරගලයේ ඉක්මන් සහ අනිවාර්ය බව පැන නොනඟින්නේය යන්න සමීප වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිවාසිකම් අහිමි වීම පිළිබඳ අපගේ වත්මන් අත්දැකීමට නොව පොතේ ගුරුවාදයකටය.

සුමනසිරි ලියනගේ යෝජනා කරන බව පෙනෙන්නේ ආණ්ඩු මාරුවක් කළත් පවත්නා ජන විඥාණ මට්ටම ආර්ථික, සමාජ සහ දේශපාලන වෙනස් ප‍්‍රතිපත්ති රාමුවකට මාරුවීමටකට ඉඩ නොසළසන බවයි. මෙය සැබෑද? මෙම ජන විඥාණ මට්ටම පවත්නා ආර්ථික, සමාජ සහ දේශපාලන ප‍්‍රතිපත්ති රාමුව එකහෙළා පිළිගන්නා එකක්ද? එබඳු තනි සමස්ත ජන විඥාණයක් තිබේද? එසේ නම් මෑතකදී පැවති පළාත් සභා ඡන්ද වලින් රජයට එරෙහි ඡන්ද ප්‍රතිශත වැඩි වීම අපි තේරුම් ගත යුත්තේ කෙසේද? ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් එජාපයට වැඩි වූ ඡන්ද ප්‍රතිශතය ආර්ථික, සමාජ සහ දේශපාලන වෙනස් ප‍්‍රතිපත්ති රාමුවේ වෙනසක අපේක්ෂාවෙන් තොර වූ එකක් ද? ජනතා විමුක්ති පෙරමුණට එම මැතිවරණවලදී වැඩි වූ ඡන්ද ප්‍රතිශතය වෙනසක අපේක්ෂාවෙන් තොර වූ එකක් ද?

එජාප ආණ්ඩුවක් නවලිබරල්වාදී රාමුව තුල ක‍්‍රියාත්මක දිගටම ක්‍රියාත්මක වීම නිසා සැබෑ ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණ වලට එය යටතේ ඉඩ නොලැබෙනු ඇතැයි සුමනසිරි ලියනගේ කියයි. මෙහිදී සැබෑ ප්‍රජාතන්ත්‍ර ප‍්‍රතිසංස්කරණ යනුවෙන් අප අදහස් කරන්නේ මොනවාද? යන්න පැහැදිළි කර ගත යුතුයැයි මා කියන්නේ මී ළඟ ආණ්ඩුව එජාප විය යුතු යැයි මා සිතන නිසා නෙවේ.

තවද මෙම විග්‍රහය නව ලිබරල්වාදය යනු එක අච්චුවක තැණුනු නොවෙනස් වන ස්ථිතික දෙයක් ලෙස සළකන බව පෙනෙයි. අප නව ලිබරල්වාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි පළමුව පැහැදිළි කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී මතුවෙයි.උදහරණයක් වශයෙන් රාජපක්ෂ රෙජීමය නවලිබරල්වාදී රාමුව තුළ ආර්ථිකය පවත්වා ගෙන යමින් සිටින්නේ නම් රාජ්‍ය අංශය තර කිරීම මෙම නව ලිබරල්වාදී රාමුව තුළ ස්ථාන ගත කරන්නේ කෙසේදැයි පැහැදිළි නැත.

සැබෑ ප්‍රජාතන්ත්‍ර ප්‍රතිසංස්කරණ යනු ලංකාවේ ජනයා නිදහසින් පසු සමයේ 1977 සිට ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති දියත් කරන තෙක් දිනා සිටි සහ 30 අවුරුදු යුද්ධය සමයේ දරුණු ලෙස මර්ධනයට ලක් කරනු ලැබූ සහ රාජපක්ෂ රෙජීමය යටතේ ජනතාවගෙන් සැහැසි ලෙස උදුරා ගනු ලැබූ ප්‍රජාතන්ත්‍ර අයිතීන් යලි තහවුරු කර ගැනීම සඳහා කෙරෙන ප්‍රතිසංස්කරණ ද?නැතහොත් ඉන් ඔබබ්ට යන ඒවාද?

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට පුළුල් පෙරමුණක් ගොඩ නැඟීමේ උත්සාහය අත හැරීමට හේතුව එක්සත් ජාතික ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයක් වත්මන් පාලන තන්ත්‍රයෙන් වෙනස් නොවනු ඇත යන විශ්වාසය බව පෙනෙයි. නමුත් නම් බලයට පත්වනු ඇති කුමන විකල්ප රජයක් යටතේ වුව වමට අවශ්‍ය, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ සාධනය කර ගත හැකි, මූලික ප්‍රතිසංස්කරණ හෝ කිරීම සඳහා එකඟතාවට එබඳු රජයක් ගෙන ඒමට බල කිරීම වම පැහැර හැරිය යුත්තේ මන්ද?

“ප‍්‍රධාන පක්‍ෂ දෙකෙන් කුමක් ජයග‍්‍රහණය කල ද සමාජයේ පහල තලයට වාසිවන සහ වැඩ දායකවන ප‍්‍රතිසංස්කරණ සිදු නොවන බව“ මෙයින් පෙනී යන්නේ යැයි කීම දේශපාලනය ධර්මයට අනුව කල් තබා නිගමනය කිරීමකි. “එමෙන්ම ඉහ වහා ගිය දූෂණ වල අඩුවක් ඇති වීම ද අපේක්‍ෂා කළ නොහේ“ කීමද එවන් අදහසකි. දේශපාලනය තීන්දු වන්නේ දේශපාලන අරගල බිමේ මිස න්‍යාය හෝ ධර්මය මත නොවේ.

නව ලිබරල්වාදය යටතේ හෝ වේවා ජනතා හිතවාදී ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට බල කිරීම මගින් ‘සමාජයේ පහත මාලයේ ජනයාට සහ අද්දරට තල්ලු කර ඇති ජන කොටස්වලට සහනයක් ලැබීමට ඉඩකඩක්‘ ඇත්තේම නැත්ද? එය කල්තබා තීරණය කෙරී ඇති දෙයක්ද? නැතහොත් ඒ සඳහා එම ජන කොටස් වල අරගලයට සෙසු බහුජන කොටස් වල සහයෝගය ද දිනා ගැනීමේ හැකියාව මත තීන්දු වන්නක් දැයි අප සිතා බැලිය යුතුය.

ඉදිරියට බලයට පත්විය හැකි විකල්ප රජයකින් සමාජයේ පහල තලයට වාසිවන සහ වැඩ දායකවන ප‍්‍රතිසංස්කරණ සිදු කර ගැනීම සඳහා කොන්දේසි පැනවීමේ අවස්ථාවක් මෙම ජනාධිපතිවරණය හමුවේ වමට ලැබී ඇත. අවම වශයෙන් එම කොන්දේසි ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැන්ම සඳහා වන ඒවා විය හැකිය. ඒ කොන්දේසි බලගැන්වීමේ හැකියාව පිළිබඳ සහතිකයක් නැති විය හැකි වුවත් එම පාලන තන්ත්‍රය වෙතින් වම ලබා ගන්නා පොරාන්දු ඒ පිළිබඳ දිගටම අරගල කිරීමට පදනමක් කර ගත හැක.

වම සුමනසිරි ලියනගේ යෝජනා කරන පරිදි සමාජවාදය අරමුණු කොට ජනයා දැනුවත් කිරීම සහ සංවිධාන ව්‍යුහ ගොඩ නැඟිමට දිගු කාලීනව යොමුවන්නේ නම් එය සාධනීය දෙයකි. නමුත් එනිසා වත්මනෙහි ඇති බැරෑරුම් දේශපාලන කාරණා මඟ හැර යාමට වම එලඹෙන්නේ නම් එය වම ජනතාවගෙන් හුදකලා වීමට හේතු වනු ඇත.

වත්මනෙහි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් රැක ගැන්ම සහ ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කළ හැකි ප්‍රතිසංස්කරණ ඒවා විසින්ම ගත් විට පවා වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම පුරවැසියන්ට සක්‍රීයව දේශපාලනයට සහභාගී වීමේ අවස්ථාව වඩා විවර කරන හෙයිනි.

විධායක ජනාපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව එය විසින්ම ගත් කළ වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැන්ම නැත්නම් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අතිශය වැදගත් කමක් දරන්නේය යන්න පිළිබඳ එකඟ නොවන අය වෙනුවෙන් ඒ පිළිබඳ කරුණු දැක්වීම වෙනත් ලිපියකින් කළ යුත්තකි.

මේ අවස්ථාවේ ලංකාවේ දැන් තිබෙන පාර්ලිමේන්තුව පදනම් කර ගත් ආණ්ඩුව නොසළකා හරිමින් වම මුල් කර ගන්නා තාවකාලික ආණ්ඩුවක් කරා යාමේ යෝජනාව රොමෑන්තික නමුත් මනෝරාජික එකක් බව නොකියා බැරිය. එබඳු තාවකාලික ආණ්ඩුවක් විසින් ඉටු කළ යුතු යැයි සුමනසිරි ලියනගේ විශ්වාස කරන ඉඩම්, ජාතික ප‍්‍රශ්ණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කම්කරු ඉල්ලීම් වැනි ප‍්‍රතිසංස්කරණ යෝජනා වලින් පවත්නා ක්‍රමය යටතේ ඉටු කිරීමේ හැකියාව පවතින ඉල්ලීම් ජනාධිපතිවරණ වේදිකාවට ඉදිරිපත් කිරීමේ අවස්ථාව වම පැහැර හරින්නේ නම් එය ජනතාව වෙනුවෙන් ඇති තම වගකීම නොසළකා හැරීමක් වනු ඇත.

සුමනසිරි ලියනගේ මෙම ලිපියෙන් කියා සිටින්නේ අද ලංකාව එළඹ සිටින්නේ පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට බවද? මෙය ඇත්තක්ද?

මා මේ තර්ක ඉදිරිපත් කරන්නේ සුමනසිරි ලියනගේ කියන පරිදි “එක්සත් ජනතා නිදහස් සංධාන තන්ත‍්‍රය වෙතින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයකට මාරුවීම සම්බන්ධයෙන් වම පැත්තක් ගත යුත්තේ මන්ද? යන්නට …අදහස් ඉදිරිපත් කරන්නන්“ ගේ ගොඩට මා දමා ගනිමින් නොවේ.

ඉදිරි ජනාධිපතිවරණය වම පිළිබඳ නොව ලංකාවේ වැසියන්ගේ සාමුහික ජීවිතය පිළිබඳය.ලංකාවේ පුරවැසියන්ගේ අනාගතය පිළිබඳ ය. ඔවුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය පිළිබඳය.

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය http://kathika.wordpress.com

download

Recent Posts

Leave a Comment