එල්.එල්.ආර්.සී. ක්‍රියාකාරී සැලැස්ම ලෝකෙට පරකාසෙට හදපු එකක්

Aug 3rd, 2012 | By | Category: sunday2, සමබිම ඉරිදා

ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ
ආචාර්ය ජෙහාන් පෙරේරාගේ රචනාවක් ඇසුරෙන් සකස් කළේ ‛සමබිම’

එල්.එල්.ආර්.සී. වාර්තාව පිළිබඳව තම ප්‍රතිචාරය ක්‍රියාකාරී සැලැස්මක් තුළින් දැනගැනීමට සැලැස්වීමෙන් අන්තිමේදී ආණ්ඩුව මේ පිළිබඳව තම මතය පැහැදිලි කරන ලද්දේ යැයි කිව හැකිය. මීට පෙර ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වයන් උගත් පාඩම් නිර්දේශ සම්බන්ධයෙන් ආණ්ඩුව ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් විවිධ මත පළකර තිබුණි. ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම තුළින් එම නිර්දේශ ක්‍රියාත්මක කරනුයේ කෙසේද යන්නත් ඒවා පිළිබඳව ප්‍රගතිය මනින්නේ කෙසේද පිළිබඳව අදහසක් ලබාදීමේ ගෞරවයද ආණ්ඩුවට හිමිවේ. ආණ්ඩුවේ ප්‍රගතිය පිළිබඳව විපරමක හෙවත් අධීක්ෂණයක යෙදීමට ඉඩකඩක්ද මේ හරහා විවර වේ. කෙසේ වෙතත් උගත් පාඩම් වාර්තාව ඉංග්‍රීසි බසින් නිකුත් වී මාස 8 කට පසුව පවා එහි ඇති පිටු 388 තවමත් සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කරනු ලැබ නොමැති බැවින් ක්‍රියාකාරී සැලැස්මේ අන්තර්ගතය තවමත් පවතින්නේ මේ රටේ බහුතර සාමාන්‍ය ජනයාට ළඟාවිය නොහැකි මට්ටමකය. එමෙන්ම ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර තිබෙන්නේද සාමාන්‍ය පොදු ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් නොවේ.

සාමාන්‍ය ජනතාවගේ අවබෝධයට ආමන්ත්‍රණය කරන පරිද්දෙන් එහි අරමුණ හා පසුබිම විස්තර කෙරෙන ආඛ්‍යානයක් පවා එළිදක්වනු ලැබ තිබෙන ලේඛනය තුළ නොමැත. එබැවින් එය බහුතර සාමාන්‍ය ජනයාට අවබෝධ කරගත නොහැකි හුදු තාක්ෂණික ලියැවිල්ලක් පමණක් බවට පත් වේ. ‛ප්‍රධාන ප්‍රගති මාන’ :ණැැච චැරදෙරප්බජැ සබාසජ්එදර* වැනි ක්‍රියාකාරී සැලැස්මෙහි මූලික හරය පැහැදිළි කරන්නා වූ යෙදුම් ශ්‍රී ලාංකීය ජනතාවගේ සාමාන්‍ය ව්‍යවහාරය තුළ භාවිතා වන ඒවා නොවේ. මෙම යෙදුම් භාවිතා කරනු ලබන්නේ තමන් විසින් අරමුදල් යොදවන ලද ව්‍යාපෘතීන්හි බලපෑම ඇගැයීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර ආධාර ප්‍රදානක ආයතන විසිනි. සිංහල හා දෙමළ භාෂා කතාකරන ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ජනතා හිතවාදී ලියවිල්ලක් බවට පත්වීමට නම් මෙම ක්‍රියාකාරී සැලැස්ම තවදුරටත් පරිණාමනය විය යුතු බව මේ අනුව නිගමනය කළ හැකිය.

අළුත් යාන්ත්‍රණයන්:
ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව මූලික තක්සේරු කිරීමක් සිදු කිරීමේදී පෙනී යන්නේ ආණ්ඩුව විසින් එය තමන් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සමඟ නිරුත්සාහිකව එකතු කිරීමට කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම සිය අතීත හා වර්තමාන දේශපාලන භාවිතාවන් අත්හැර දැමීමට අවස්ථාවක් වශයෙන් එල්.එල්.ආර්.සී. වාර්තාව යොදා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවට කිසිදු ඇඟවීමක් නොවේ. සුවිශේෂී වර්ගයේ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සඳහා අළුත් යාන්ත්‍රණයන් ගොඩනැගීම පිළිබඳව එල්.එල්.ආර්.සී. කොමිසම අවස්ථා ගණනාවකදීම නිර්දේශ කොට තිබුණි.

නමුත් ආණ්ඩුව එසේ අළුත් යාන්ත්‍රණ පිහිටුවීම පිළිබඳ නිර්දේශ සලකා බලා ඇත්තේ ඉඩම් පිළිබඳව කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් පමණක් වන අතර අනෙක් නිර්දේශ සම්පූර්ණයෙන්ම නොතකා හැර තිබේ.

අතුරුදහන්වීම් පිළිබඳ චෝදනා ගැන සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කොමසාරිස් වරයෙකු පත් කිරීම පිළිබඳ කාරණය එල්.එල්.ආර්.සී. කොමිසමේ නිර්දේශයන් ක්‍රියාකාරී සැලැස්ම තුළ නොසළකා හැර ඇති ආකාරය පිළිබඳව වන එක් උදාහරණයකි. පුරවැසියන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා ශක්තිමත් විමර්ශන බලතල සහිත ස්වාධීන ආයතනයක් පිහිටුවීම පිළිබඳ නිර්දේශය තවත් නිදසුනකි. ක්‍රියාකාරී සැලැස්ම තුළින් හෙළිවන ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ මෙම සකලවිධ ප්‍රශ්න නිරාකරණය කරලීමෙහිලා පවත්නා ක්‍රමවේදයන් ප්‍රමාණවත් වන බවකි. අතුරුදන්වීම් සම්බන්ධයෙන් ආණ්ඩුව යෝජනා කරනු ලබන්නේ දැනට පවත්නා අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාකිරීමටය. එල්.එල්.ආර්.සී. කොමිසම විශේෂ කොමසාරිස්වරයෙකු පත්කරන ලෙස නිර්දේශ කරන්නේ අතීතයේ ඇතිවූ දෝෂයන් පිළිබඳව සැලකිල්ලට ගැනීමෙහි ප්‍රතිඵලයක් ලෙසය. අතුරුදහන්වීම් පිළිබඳව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය නිසි ලෙස උපයෝගී කරගැනීම අතීතයේදී සිදුවී නැති අතර අතීත පරිචයන්ගෙන් රැඩිකල් ලෙස කැඩී වෙන්වීමක් සිදු වූයේ නැත්නම් එම තත්ත්වය වෙනසකට ලක්වීමට ඉඩක් නොමැත. ආණ්ඩුවේ එළැඹුම සම්බන්ධව ඇති ගැටලුව එයයි.

ක්‍රියාත්මක කිරීම මඟහැරීම
අළුත් යාන්ත්‍රණ හඳුන්වාදීමට අදාළව එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වැළකීම සඳහා තවත් ක්‍රමයක් අනුගමනය කොට ඇත. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳව කටයුතු කිරීමට යෝජිත නමුත් තවමත් පිහිටුවා නොමැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට මෙහි වගකීම පැවරීම මගිනි. ආණ්ඩුවේ දැඩි ලෙස මධ්‍යගත වූ බල ග්‍රහණයට බලපෑමක් ඇතිවන ආකාරයට එල්.එල්.ආර්.සී. කොමිසම විසින් ඉදිරිපත් කොට ඇති නිර්දේශ සම්බන්ධයෙන් මෙම උපායමාර්ගය යොදා ගෙන ඇත. ආණ්ඩුකරණයේ සංවරණ හා තුලන ක්‍රමවේදය දියුණු කිරීමෙහිලා අතිශය වැදගත් වන්නා වූ නිර්දේශයන් දෙකක් උගත් පාඩම් කොමිසම ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුව විසින් පනවනු ලබන නීති අධිකරණය විසින් සමාලෝචනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් ඇතිකිරීමටද, පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයේ බලාධිකාරීත්වයෙන් බැහැර කරලීමටද මේ හරහා යෝජනා කෙරේ. මෙම කාරණා ද්විත්වය සම්බන්ධයෙන්ම තීරණ ගැනීමට තවමත් පත්කර නොමැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට වගකීම පවරා ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරාවිද, ප්‍රධාන විපක්ෂය එයට සහභාගි වේවිද යන කාරණා තවමත් අනුමාන මට්ටමේ පමණක් පවතින කාරණාය.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙහිලා තීරණාත්මක සාධකයක් ලෙස උගත් පාඩම් වාර්තාව සලකනු ලබන්නන්ගේ බලාපොරොත්තු ආණ්ඩුවේ ක්‍රියාකාරී සැලැස්ම හමුවේ බිඳ වැටෙනු ඇත. ආණ්ඩුව පවත්නා ආයතනික ව්‍යුහයන් ගැටලු විසඳීම සඳහා ප්‍රමාණවත් බව දිගින් දිගටම පැවසනවා පමණක් නොව වඩාත් දියුණු ආයතනික ආකෘතීන්හි අවශ්‍යතාව පිළිගැනීමටද කිසිම කැමැත්තක් ඇති බවක් නොපෙනේ. විශේෂයෙන්ම ස්වාධීන පොලිස් කොමිසමක් සහ ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් ස්ථාපිත කළ යුතුය යන එල්.එල්.ආර්.සී. නිර්දේශයද මේ හා සමගාමීව ක්‍රියාකාරී සැලැස්ම මගින් නොසළකා හැර තිබේ. කෙළින්ම ජනාධිපතිගේ කැමැත්ත මත පත්කරන 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද ආයතන වලට ජනාධිපතිවරයා ගේ බලපෑමෙන් තොරව තනිව ස්වාධීනව ක්‍රියාත්මක වීමට හැකි බව පැවසීමට ආණ්ඩුවේ හෙංචයියන් මිස වෙනත් කිසිවකු ඉදිරියට නොපැමිණෙනු ඇත.

ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ අධ්‍යයනයෙන් හෙළිවන්නේ ආණ්ඩුවේ උනන්දුව පවතිනුයේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සංශෝධනය කිරීමෙහිලා ඇති අභියෝගවලට මුහුණ දීමට නොව ජිනීවා හිදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වන්නා වූ අභියෝගයන්ට මුහුණදීමට පමණක් බවය. වර්ෂ 2012 මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී බහුතරයක් රටවල් විසින් යෝජනා සම්මත කරන ලද්දේ එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකාව වෙතින් ඉල්ලා සිටිමිනි. දැන් ක්‍රියාකාරී සැලැස්මෙන්ද සන්නද්ධව සිටින නිසා නොවැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසියේදී තම විවේචකයන්ට හොඳින් මුහුණදීමට හැකි වෙතැයි ආණ්ඩුව සිතනවා විය හැකිය. පසුගිය මාර්තු මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ලද අත්දැකීම නැවත වරක් සිදු වනු දැකීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිදු කැමැත්තක් නොදක්වන බව නිසැකය.

Recent Posts

Tags: , , , ,

Leave a Comment