ජාතික ප‍්‍රශ්නය,සමාජ සුබසාධනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව වම සහ යූඇන්පී එක අතර පැරණි එකඟතාවයක් තියෙනවා

Oct 31st, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙ කාලයේ ඉඳලම වම සහ යූ.ඇන්.පී. එක අතර එකඟතාවක් තිබුණා. ඒක 1987 ඉන්දු-ලංකා ගිවිසුමටත් පෙර ඉඳන්, 1986 විතර ඉඳලම ඇති වුණ එකඟතාවක්. ඒක හරිම අපූරු තත්ත්වයක්. මොකද ඊට ඉස්සෙල්ලා අපි හිටියෙ හිර ගෙවල්වල. මම සිර මැදිරි 11ක සහ සිර ගෙවල් 4ක ඉඳල තියෙනවා. අපේ පක්ෂයත් තහනම් කරලයි තිබුණෙ. ඉතින් අපි සහ යූ.ඇන්.පී. එක කියන්නෙ කවදාවත් අම්ම මුත්ත කාලෙවත් එකතු වෙන්න බැරි ප‍්‍රබල සතුරෙක්. අපි අතර වෙනස ලකුණු වෙලා තිබුණේ ලේ ගංගා වලිනුයි.

පක්ෂෙ තහනම් කරපු කාලෙ එළියට ගිහිල්ල අපිව අහු වුණොතින් මරණ තත්ත්වයක් තිබුණෙ.  හැංගිලා ඉඳල එළියට ආවම දෙමළ ජනතාවට දෙන්නෙ මොනවද කියලා කතා කරන්න ජේ.ආර්. ජයවර්ධන අපිට සාකච්ඡුාවකට එන්න කිව්ව. මෙතනදි තමයි යූ.ඇන්.පී. එකයි, වමයි අතරෙ එක්සත් වීමේ ආරම්භය ඇති වුණේ.

අපිට අනුව ජේ. ආර්. ජයවර්ධන අන්ත ප‍්‍රතිගාමියෙක්. එයාගෙ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව කලූ කොඩි දාල මාව බෝගම්බර හිරගෙදරට යැව්ව. ඉතින් මම සාකච්ඡුාවට ගිහිල්ල ස්වයං තීරණ අයිතිය, ස්ව පාලනය සහ සමානාත්මතාව දෙනව නම් සාකච්ඡා කරන්න පුළුවන් කියල මම ලියවිල්ලක් ජේ. ආර්. ට දුන්න. ”ඔයා බරපතළ විදියට මාව විවේචනය කරල තියෙනව. මේකෙන් සමහර දේවල් අයින් කරන්න බැරිද?”   ”ඔයාගෙ යෝජනාවලිය ගැන බැලූවොත් මේ ස්වයං නීර්ණය සඳහා තියෙන අයිතිය ලබාදිය යුතුයි කියන එකට මට එකඟ වෙන්න බැහැ. ස්වයං නීර්ණ අයිතිය කියන සංකල්පය මට තේරෙන්නෙ නැහැ. නමුත් ස්ව පාලනය සහ සමානාත්මතාව කියන මූලධර්මවලට මම එකඟයි. ඒ මූලධර්ම මත තමයි අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නෙ.” කියල ජේ. ආර්. ලියවිල්ල කියවල මට කිව්ව.

ස්වයං නීර්ණ අයිතිය කියල කිව්වට ඒක තේරුම් ගන්න පුළුවන් අය හිටියෙත් හතර පස් දෙනයි. ස්ව පාලනය සහ සමානාත්මතාව කියන මූලධර්ම දෙක ගැන කතා කරන්නත් කලින්ම පිළිගත්තා. ඉතිං මම කල්පනා කළා ඒකාධිපති කිව්වට ස්ව පාලනය දුන්නම විධායක ජනාධිපතිගේ බලයෙන් විශාල කොටසක් කැපිල යනවනේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ විශාල කොටසක් දැන් ඉටු කරන්නයි යන්නේ කියලා.
ඉතින් එහෙම අපි එකතු වෙලා සර්ව පාක්ෂික සමුළුවක් කැෙ`දව්වා. ඒකෙදි අපි කිව්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරනවා නම් වැඩකරන ජනතාවගේ සහාය ගන්න  ඕන කියලා. එතකොට ජේ. ආර්. ”අපි සාමූහික ගිවිසුම් ගහනව වගේ ගිවිසුම් ගහමු” කියලා කම්කරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් යම් යම් පියවරයන් ගන්න එකඟ වුණා. එහෙම තමයි අපි අතරේ එකඟතාව ඇති වුණේ. ඒ එකඟතාව ගොඩක් දුර ගියා.
ජේ.ආර්. ගෙන් පස්සෙ ආපු පේ‍්‍රමදාස සමයෙදි ඒ එකඟතාව බොහෝදුර ගියේ නැහැ. නමුත් අපට විශේෂ හිරිහැරයක් කළෙත් නැහැ. නමුත් රනිල් ආවට පස්සෙ එයා එක්ක අපේ එකඟතාවන් කීපයක් ඇති වුණා. එකක් තමයි ජාතික ප‍්‍රශ්නය විසඳීම, ඊළඟට කම්කරු සුබසාධනය කප්පාදුව නැවැත්වීම.

අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය නොමිලේ දෙනව නම් කම්කරුවෝ වැඩි පඩි ඉල්ලන්නේ නැහැ. රජය අතුරු මාර්ගවලින් ජන ජීවිතය නඟා සිටුවන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. දැන් රේල්ලූවේ අපි යන්නෙ නිකං වගේනේ. පොඩි ගාණයි ගෙවන්නේ. ඒ වගේ තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය. නමුත් ඒවා නැත්නම් අපි වැඩි පඩි ඉල්ලන එක සාධාරණයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් මේ අදහස කියල තියෙනව.

සුබසාධන රාජ්‍ය කප්පාදු කිරීම ධනපති පන්තියටත් එකඟ වෙන්න බැරි කාරණයක්. රජය අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ගමනාගමනයට වියදම් නොකළොත් කෙළින්ම ඒ වියදම කර්මාන්ත ශාලාව ඇතුළට එනවා. එතකොට ධනපති පන්තියට සිද්ධවෙනව තමන්ගෙ කම්කරුවන්ව නඩත්තු කරන්න. එතකොට බස් එකක් දාල තමන්ගෙ සේවකයන්ව ෆැක්ටරියට ගෙන්නව ගන්නයි, වෛද්‍යවරයෙක් පත් කරල තමන්ගෙ කම්කරුවන්ටයි, ඔවුන්ගෙ පවුල්වල අයටයි බේත් දෙන්නයි ධනපතියන්ට සිද්ධවෙනවා. ඒ නිසා ධනපතියත් කැමැතියි ඒ වියදම තමන්ගෙ සාක්කුවෙන් යනවට වඩා කාගෙත් සපෝට් එක අරගෙන ඒ සුබසාධනය පොදුවේ පවත්වාගෙන යනව නම්.

ඊළඟට වම සහ යූ.ඇන්.පී. එක අතර තියෙන එකඟතාවය නීතියේ ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. දැන් පහුගිය කාලයේ මේ රටේ  කම්කරු නීතිය කියල දෙයක් තිබුණා. උදාහරණයක් වශයෙන් කම්කරු විනිශ්චය සභා හෙවත් ලේබර් ටි‍්‍රබියුනල් හැදුවට පස්සෙ කම්කරුවෝ ඒවායින් විශාල සහනයක් ලබා ගත්තා. දැන් කම්කරු නීතිය නැහැ. ඒ වෙනුවට කම්කරුවෝ ස්ට‍්‍රයික් කළාම උසාවියට ගිහිල්ල ඒක නවත්තන්න කියල තීන්දුවක් ගන්නව. කම්කරු නීතිය තියෙනව නම් ඒක කිසිසේත් අදාළ නැහැ.  එතකොට කම්කරුවෝ වැඩ වර්ජනය කරලා ඒ ප‍්‍රශ්නය උසාවියට ගෙනියන්නේ නැතිව වෙනත් ක්ෂේත‍්‍රයකට ගෙනිච්චා. ලේබර් ටි‍්‍රබියුනල් තිබුණත් ඒවා උසාවි නෙවෙයි, කම්කරුවන්ගෙ නායකයන්ට ගිහිල්ලා ඒවයේ කතා කරන්න පුළුවන්කම තිබුණා. දැන් මේක නැතිකිරීම නිසා ආපහු සියල්ලම උසාවියට දාලා දණ්ඩ නීති සංග‍්‍රහයට යට කරන්න  ඕන. ඒක විශාල අයිතිවාසිකමක් අහෝසි කිරීමක් වෙනවා. මෙන්න මේ විදියට නීතිය අවලංගු කිරීම සිදු වෙලා තියෙනව.

දැන් කොහොමත් නීතියක් නැහැ. පොලීසිය නීතිය ක‍්‍රියාත්මක කරන්නෙ නැහැ. යූ.ඇන්.පී. ආණ්ඩුව කාලයේ අපි පාරෙ අරගල කරන කොට පොලීසිය එනවා; කඳුලූ ගෑස් ගහනව; බැටන් චාජ් කරනව; නීතිය ක‍්‍රියාත්මක කරනව. එතකොට අපිත් අපට ගැහුවා, අපට පාරෙ යන්න මෙච්චර අයිතියක් තියෙනව කියල උසාවි ගිහිල්ල වන්දි ඉල්ලල තියෙනව. නමුත් නීතියක් තියෙනවනෙ.  පාරෙ පෙළපාළි යනකොට පොලීසිය ඉන්නව නම්  ඇවිල්ල ඇයි මේ පාර බ්ලොක් කරන් යන්නෙ? කවුද නායකයො? මොකක්ද කෑගැහිල්ල? පාරෙ වාහනවලට යන්න එපායැ? පාරෙන් අයින් වෙනව” කියල කෑගැහිල්ලක් දානව.

නමුත් දැන් වෙන්නෙ එහෙම නෙවෙයිනෙ. පෙළපාළිය පාරෙ එනවා; පෙළපාලියෙ ආපු අය ගල් අරගෙන, සිමෙන්ති බ්ලොක් අරගෙන ගෙදරකට ගහනවා. පොලීසිය බලා ඉන්නවා. සිංහ කොඩියත් තියෙනවා. රාජ්‍ය ලාංඡුනයත් අරං ඇවිල්ල තියෙන්නෙ. ගහන අය අතරෙ ඉන්නව සී.අයි.ඞී. එකේ අයත්. මීට කලින් මෙහෙම වුණේ නැහැනේ. අපිත් පොලීසියෙන් ගුටි කාල තියෙනව, ඒත් පොලිස්කාරයො අපි අතරෙ ඉඳල ගල් මුල් ගැහුවෙ නෑ. එදා අපි ගල් මුල් ගැහුව. අපි ස්ට‍්‍රයික් කරල අපිට පොලීසියෙන් ගහන කොට අපි ගල් ගැහුව බස්වලට. කෑගහල ගෝරි දාගත්තම අපිට ගහල අපිව ඇඳගෙන යනව පොලීසියට. ඒක නීතියක් තියෙන රටක චිත‍්‍රයක්. දැන් පෙළපාලියෙන් ඇවිල්ල මිනිස්සුන්ට ගල් ගහනව එතකොට පොලීසියත් ඉන්නව ඒක ඇතුළෙ. මේවගේ නීතියක් නැති, නීති භංග තත්ත්වයක් ඇතිවීමට අපි විරුද්ධයි.

මේ වගේ කරුණු ගණනාවක් උඩ වම සහ යූ.ඇන්.පී. එක අතරෙ එකඟතාවයක් තියෙනවා. අපි සමාජවාදයට හරි වෙළෙඳපොළ ආර්ථිකයට හරි යන්න කලින් මේ රටේ බේරා ගත යුතු ප‍්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප‍්‍රශ්න අපි විසඳ ගත්තෙ නැත්නම් අපිට යූ.එන්.පී. ඉතිරි වෙන්නෙත් නෑ, සමසමාජෙ ඉතිරි වෙන්නෙත් නෑ, මොකක්වත් තියෙන්නේ නෑ. ලෝකෙ පිළිනොගන්න, හුදු ම්ලේච්ඡ, දරුණු ලෙස කඩා වැටුණු සමාජයක් බවට අපි පත් වෙනවා. ඒ තත්ත්වය වැළැක්වීමේ එකඟත්වය උඩ කටයුතු කරමින් තමයි අපි ඉදිරියට යා යුත්තේ.

vv1

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment