ජනප‍්‍රිය නොවන දේ වෙනුවෙන් පෙනී සිටීමේ අභියෝගය

Nov 12th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

pdff

ජනප‍්‍රිය නොවන දේ වෙනුවෙන් පෙනී සිටීමේ අභියෝගය – මනෝරි කලූගම්පිටිය
මින් සති කිහිපයකට පෙර රත්නපුර නගර මධ්‍යයට එක්රොක් වූ සැලකිය යුතු ජනගහනයක් සිය නගරයේ ශුද්ධත්වය රැක ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණයක නියැළුණහ. රත්තපුර නගර මධ්‍යයේදී තමා සමග නොමිලේ යහන්ගත වීම ප‍්‍රතික්ෂේප කළ කාන්තිලතා නැත්නම් බට්ටීට පහර දුන් ශිෂ්ට පොලිස් නිලධාරියාට එරෙහිව නැගී සිටි බට්ටී වැන්නියන් සිය ආශ්චර්යමත් නගරයෙන් අතු ගා දමන මෙන් ඉල්ලා සිදු කළ එම උද්ඝෝෂණයට සහගාභී වූ සුචරිතවාදීන් අතර බට්ටී හා නිදිවැදුන පිරිමින් සිටියහ. එහි සිටි ගැහැනුන් අතර බට්ටී හා නිදිවැදුණු පිරිමින් පිළිබද ලිංගික මාත්සර්යයෙන් හා ක්‍රෝධයෙන් කුළුගැන්වී එම වෛරය බට්ටී දෙසට හැරවූවන් වූහ.

ලොව ඕනෑම මිනිස් සමාජයක ඇති කරගෙන ඇති කුමන නීති සම්මුතියක් එකී සමාජයට කුමන ආකාරයේ නීති විවරණ ගෙන ආවද එකී කිසිදු නීති රාමුවකින් හෝ පූර්ණ වශයෙන් මනුෂ්‍ය සන්තානයට සියයට සියයක් ඇමතිය හැකි නීති පදාසයක් බිහිව නැත. එසේ නොවන්නේම අයිතීත් දිනා ගැනීම වනාහි කිසිදා නිමා නොවන සදාතනික අරගලයක් වන බැවිනි. මිනිසුන් තිරිසනුන් සේ සලකා පවත්වාගෙන ගිය වහල් සේවය තහනම් කරන්නට සටන් වැදි මිනිසුන්ට එදා මහා සමාජය පිළිවදන් දුන්නේද අද බට්ටී පසුපසින් හිටගත් මිනිසුන්ට මෙන් අවමන් සහගත වදන්වලිනි. එහෙත් අද වහල් සේවය කෙතරම් නින්දිත ක‍්‍රියාවක් සේ සමස්ත සමාජයම සලකන්නේ ද යත් වහල් සේවය යළි එනයින් ස්ථාපිත කරමුදැයි යමෙකු අවංකව ඇසුවහොත් මැරුම් කෑමට ද ඉඩ ඇත. එනම් මෙවැනි ජනප‍්‍රිය නොවන ඇතැම් පෙනී සිටීම්වලට අර්ථයක් ලැබෙනුයේ අනාගතයේය.

ගැහැනුන් මුහුණ දෙන සමාජයේ තිත්ත ඇත්ත විමසුමට බඳුන් වූ හා එ් වෙනුවෙන් කුමන ආකාරයක හෝ මැදිහත්වීමක් කිරීමට හැකි වූ ඉතා මෑත කාලීන සිදුවීම් දෙකක් වූ ප‍්‍රසිද්ධ වාරියපොළ සිදුවීම හා රත්නපුර සිදුවීම පිළිබද විවිධ පැතිකඩයන්ගෙන් වචන දහස් ගණනක් ගොනු කළ හැකිය. වාරියපොළදී ලිංගික හිංසනයට පාත‍්‍ර වූ තිළිණි අමල්කා වෙනුවෙන් නොව එය සිදුකළ සෙල්වාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ඊනියා ප‍්‍රගතිශීලීන් අපෙන් අසා සිටියේ අප රත්නපුරේ බට්ටී වෙනුවෙන් රෙදි උස්සාගෙන නොදුවන්නේ මන්ද කියාය. රත්නපුරේ බට්ටී වෙනුවෙන් මැදිහත් වූ උදුල් ඇතුළු පිරිසගෙන් ද එම ඊනියා ප‍්‍රගතිශීලීන්ම අසා සිටින්නේ ඔවුන් වාරියපොළ සෙල්වා වෙනුවෙන් පෙනී නොසිටියේ මන්ද කියාය. එබැවින් මෙම සටහන අප තබන්නේ මෙම ඊනියා ප‍්‍රශ්න අහන වැඩ නොකරන නිකමුන්ට නොව අප සහ මිනිස් අවකාශයක් සදහා සාමූහිකය කළ දේ සැබෑ ලෙස තේරුම් ගැනීමට අවශ්‍යව සිටින අයටය.

Screen Shot 2014-11-12 at 10.11.22 AMකතිකාවක් ගොඩනගා ගැනීම වැදගත් – කසුන් චන්ද්‍රනාත් පතිරණ
මේ සිදුවීම ගැන අපි දැනුවත් වුණේ අනිත් අය වගේම අන්තර්ජාලයේ පළවුණු හා අනෙකුත් මාධ්‍යයන්වලින් කළ වාර්තා මගින්. පොලිස් නිලධාරියෙක් කාන්තාවකට පහර දෙනවා. ඇයව සොයාගෙන ගියාට පස්සෙයි අපි ඇයගෙ සමාජ වටපිටාව ගැන දැනගන්නෙ. ඊළගට අපි මෙම ක‍්‍රියාවට එරෙහිව එක් පියවරක් විදිහට නෛතික ක‍්‍රියාමාර්ග ගන්න තීරණය කරනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේත්, මානව හිමිකම් කොමිෂන් සභාවේත් කෝටි පහක වන්දි ඉල්ලලා පෙත්සමක් ගොනු කරනවා. ඒ ගැන දැනුවත් කරන්න මාධ්‍ය හමුවක් තියනවා. ඒත් එක්කම මේ පිළිබඳව සමාජ කතිකාවක් ඇති කරන්න අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.රත්නපුරේදි බට්ටිට කවුරුහරි ගහපු නිසා නෙවෙයි එ් තුළින් සමාජ සිදුවීම් කතිකා කිරීමට ඉඩක් ලැබීම නිසයි මේක වැදගත් වෙන්නෙ.

Screen Shot 2014-11-12 at 10.11.32 AMමේ ප‍්‍රවේශය ලංකාවට අලූත් – කෞශල්‍ය කුමාරසිංහ

මේ ප‍්‍රශ්නෙට ප‍්‍රවේශ වෙනවත් එක්කම අපිට විරුද්ධව කඳවුරු කිහිපයක් ගොඩනැගුණා. මූලිකවම සිංහල බෞද්ධ ජාතිකවාදය අපට එරෙහිව මතුවුණා. මේ කාන්තාව මාධ්‍ය හමුවේදී පැළඳගෙන හිටපු කුරුසය සහිත ඡුායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වුණා. ඇය කතෝලික වෙද්දි පහර දුන් තැනැත්තා සිංහල බෞද්ධ පොලිස් නිලධාරියෙක් බවට පත් වෙනවා. පවතින සිංහල බෞද්ධ කතිකාව ඒ තුළත් අපූරුවට ගොඩනැගෙනවා. බට්ටි වෙනුවෙන් පෙනී ඉන්න පිරිස NGOකාරයො කියල ලේබල් වදිනවා. NGOවලට සල්ලි ලැබෙන්නෙ ඇමරිකාවෙන්. ඇමරිකාවට ඕන මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශ කරන්න. මේ අතර රත්නපුර නගරයේ මෙම තැනැත්තියගෙම ගනුදෙනුකාරයො වුණ ත‍්‍රීරෝද රථ රියදුරන් උද්ඝෝෂණයක් පවත්වනවා. එහිදී බෙදපු අත් පත‍්‍රිකාවක සඳහන් වෙනවා මේක දෙමළ ඊළමට හා දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ කරල. මේ විදිහට බැලූ බැල්මට හෙළා දැකිය යුතු කරුණක් වූ මෙම පහර දීම වීර ක‍්‍රියාවක් බවට පත් වෙනවා. මේක මීට කලින් මේ වගේ ගැටලූවක් සම්බන්ධයෙන් ලංකාවෙ නොගත් ප‍්‍රවේශයක්. මේක ඇතුළෙ අපිත් දවසින් දවස ඉගෙන ගන්නවා.

රත්නපුරේ බට්ටිගෙ සිද්ධියත් එක්ක පෙනී හිටපු කට්ටියට විරුද්ධව පැන නැගුණු චෝදනාව තමයි වාරියපොළ සෙල්වාට ගහන කොට නිදිද කියන එක. අපි බට්ටිගේ සිද්ධියට පෙනී හිටියා කියන එකෙන් සිදුවන හැම සිද්ධියටම පෙනී සිටිනවා හෝ සිද්ධියක් වෙනකන් බලන් ඉදලා මැද්දට පැනලා නඩු දානවා වගේ එකක් කරනවා කියන එක අදහස් වෙන්නෙ නැහැ. මිනිස් අවකාශයක් සදහා සාමූහිකය කියන්නෙ Issue based Politics කරන අය නෙවෙයි.

Screen Shot 2014-11-12 at 10.11.38 AMමේ අපේ ශිෂ්ටකමද? – ශ‍්‍රීනාත් චතුරංග
කාන්තාව කියන්නෙම ගොඩනංවන ලද මතවාදයක්. එතකොට මේ කාන්තාව නීත්‍යනුකූල නොවන සම්මුතිගත සම්බන්ධකම් තියෙන පිරිමි එක්ක නිදානොගත්තම එයා ‘වේසි’ වෙනවා. එතකොට ”වේසි” කියන්නෙත් අර්ථකථනයක් තියෙන තත්වයක්. ගණිකාව කියන්නෙත් එහෙම දෙයක්. නමුත් මේ ගණිකාව කියන්නෙ බුදුන්ගේ කාලයේ ”නගර ශෝභනිය” තරම් ගෞරවාන්විත සමාජ බලයක් හිමි තත්වයක් නෙවෙයි. නමුත් නිල නොවන නීති ප‍්‍රකාරයකට ඇය බැඳිලා ඉන්නවා. ඒකෙදි සමහර වෙලාවට ඇය අසාධාරණයට ලක් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඕනෙ නම් බෙල්ල මිරිකල මරන්න තරම් වුණත් විපරීත කාමභෝගියෙකුට චාන්ස් එක තියෙනවා. ඒ වගෙම මේ නිල නොවන නීතිවලදි ඇයව සූරා කනව වගේම ඇයවත් සූරාකන්න පුළුවන් විදි පවා තියෙනවා.

ගණිකාව කියන එකට තේරුමක් දෙද්දි ගොඩක් අය කියයි, තමන්ගෙ මිනිහා ඇර වෙන මිනිස්සු එක්ක නිදාගෙන කුලියක් හොයා ගන්න එක කියලා. එහෙම හිතනව නම් මට මෙහෙමත් හිතන්න පුළුවන්. මං ඊයේ දැක්කා ළඟදී සෙක්ස් කරපු ජෝඩුවක් මහ පාරේ ප‍්‍රසිද්ධියේ ඇවිදිනවා. කොහොමද මං ඒක දැන ගත්තේ. ඒ එතන ගැබිණියක් හිටපු නිසා. ඉතිං ඔන්න ලොකු බඩක් තියාගෙන සමාජයට එයා විවෘත වෙනවා. මට අහන්න පුළුවන් මෙහෙම, ‘ඔයාට ලැජ්ජ නැද්ද අලි බඩකුත් තියාගෙන පාරෙ ඇවිදින්න’ කියලා.

ඉතිං ඔය විදියට ස්ථාපිත මතවාදයන්ගේ හා පරස්පරතාවන්ගේ හෙළුවැලි අපිට පෙන්නන්න පුළුවන්. කාන්තිගේ ප‍්‍රශ්නෙදිත් එහෙම්මයි. හෙළුවෙන් සිද්ධියක් එළියෙ පෙනි පෙනී තියෙනවා, හැමෝටම පේන්න. නමුත් අපි ඇඳුම් ඇඳගෙන තමන් ශිෂ්ට බව පෙන්නනවා, එච්චරයි. ශිෂ්ට බව කියන්නෙ ඕකටද? බියගුලූකම කියන්නෙ සුචරිතවාදියෙක් සතු ප‍්‍රධානම ලක්ෂණයක්. ඒ නිසා කාන්තිට ගහද්දී එයාලා පොලිස්කාරයට වඩා කාන්තිට බයයි. මොකද එයා නරක ගෑනියෙක්නෙ. හොඳ ගෑනු ගුටි කන්නේ ගෙවල් ඇතුලේ කාමර ඇතුළෙ. නරක ගෑනු නම් සමාජයේ, එළිපිට.

Screen Shot 2014-11-12 at 10.11.45 AMමෙය පීඩිතයන් වෙනුවෙන් කරන අරගලයේම කොටසක් – නීතිඥ උදුල් පේ‍්‍රමරත්න
නීතිය ඉදිරියේ සමානාත්මතාවය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තියෙනවා. නමුත් දැන් ප‍්‍රශ්නය එ්වා ක‍්‍රියාත්මක වීමේදී හැම කෙනෙක්ටම සමාන මට්ටමක් තියෙනවාද කියන ප‍්‍රශ්නයයි. යම් කෙනෙක්ට කෲර, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම කරන්න බැරි බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. රත්නපුරේ කාන්තිලතාට පහරදීම සම්බන්ධයෙන් ගත්තම අපි ගිහින් කාන්තිලතාව හමුවෙද්දි එයාටවත් එ්ක ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. එයාට ඉදිරියට ගන්න ඕන කිසිම පියවරක් සම්බන්ධ අදහසක් තිබුණෙ නැහැ. එ්ක අහම්බයක් විදිහට කවුරුහරි වීඩියෝගත කරල අන්තර්ජාලයට මුදා හැරල තිබුණෙ. එ්ක තමයි සාක්ෂිය. එතරම් සාක්ෂියක් තිබියදීත් එයාට මේ සඳහා මූලික අයිතිවාසිකම් නඩුවක් යා යුතුයි කියල අදහසක් තිබුණෙ නැහැ. කාන්ති උප්පැන්න සහතිකයක් නැති, හැඳුනුම්පතක් නැති, විවාහ සහතිකයක් නැති, උපන්දිනය විතරක් යන්තම් මතක තියෙන කෙනෙක්. ඊටත් වඩා අන්ත අසරණ අය ඕන තරම් මේ රටේ ඉන්නවා. අපිට කොළඹින් ඈත දිස්ති‍්‍රක්කවලට යන්න ඕන නැහැ, වනාතමුල්ල වගේ පැත්තකට ගියාම මේ වගේ උප්පැන්නයක් නැති දරුවො මොන තරම් ඉන්නවද? අම්මගෙන් දියණියට ගණිකා වෘත්තිය දායාද වෙන, ස්වාමිපුරුෂයාගේ කැමැත්තෙන් භාර්යාව ගණිකා වෘත්තියේ යෙදෙන, එ් හරහා පවුලෙ ආර්ථිකය නඩත්තු කරන එක දකින්න ලැබෙනවා. එ් විතරක් නෙවෙයි එ්වා ඉතාම සාමාන්‍ය දේවල් බවටත් පත් වී තිබෙනවා. එ් සමාජ මට්ටමත් එක්ක එයාලට අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියා කරනවා කියන එක, පොලීසියත් එක්ක නඩු කියන එක සිහිනයක් විතරමයි.

සමහර වෙලාවට අනාගත සමාජවාදී රාජ්‍යයක තමයි මෙවැනි ප‍්‍රශ්න විසඳෙන්නෙ කියල දේශපාලන පක්ෂ මේ ප‍්‍රශ්න සියල්ලම එතනට ලඝු කරනවා. උදාහරණයක් විදිහට ජාතික ගැටලූව ගත්තම මේ ප‍්‍රශ්නෙ විසඳෙන්නෙ සමාජවාදී රාජ්‍යයක පමණයි කියල ඉන්නවා. එය නොවෙයි කළ යුත්තේ. එයට අදාළ යම් අරගලයක් කළ යුතුයි. මේ සිද්ධියේදිත් අපි කිව්වෙ මේක කරපු කෙනා ගෙනිහින් දඬු කඳේ ගහන්න කියල නෙවෙයි. මේ වගේ සිද්ධි සමාජයේ ඕන තරම් වෙනවා. කාන්තිගේ ජීවිතේ වේදනාවන් පීඩනයන් ගත්තම මේක අහම්බෙන් එළියට ආපු දෙයක්. එයාගෙ මුළු ජීවිතේම වේදනාවක්. මේ එ්කෙන් වීඩියෝගත වුණ තප්පර කීපයක් විතරයි. ඇයට පොලිස් නිලධාරියෙක් පහර නුදුන්නයි කියල ජීවිතේ අනිත් ටික සුන්දර නැහැ. දවසට පිරිමි දහයක් පමණ එක්ක නිදා ගැනීමම ඇයට මොන තරම් පීඩාවක්ද? ආර්ථික අතින් ගත්තත්, ගෙදර ජීවිතය ගත්තත් ඇයට එ්ක පීඩාවක්. අවමන් සහගත සැලකිලි ඇයට ලැබෙන්නෙ පොලිස් නිලධාරියගෙන් පමණක් නෙවෙයි. අපි ගත්තෙ මේ සමස්ත ප‍්‍රශ්නයමයි. මෙවැනි පීඩිතයන්ටත් අයිතිවාසිකම් තියෙනවා. ඔවුන්ට ලැබෙන පීඩාවන්ට එරෙහිව සටන් කරන්න ඕන සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඕන කියන පණිවුඩය සහ සාකච්ඡාව තමයි අපි මෙහිදී මතු කරන්නෙ. අපි කරන්නෙ එ් සඳහා අරගලයක්. අපිට එ් සඳහා මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්න සිද්ධ වෙලා තියෙනවා. එ්ත් එ්කෙන් පමණක් මේ ප‍්‍රශ්නෙ විසඳෙන්නෙ නැහැ. මේ ප‍්‍රශ්නය විසඳීමට අපි ප‍්‍රවේශ විය යුත්තේ මේ ගැන විශාල සමාජ කතිකාවක් ඇති කිරීම හා මේ පීඩාවට එරෙහි අරගලයක් සිදු කිරීම මගිනුයි. එ් අනුව බට්ටි හරහා අපි කරන්නේ පීඩිතයන් සඳහා වන අරගලයක් පමණයි.

සාකච්ඡා කළේ – රුවිනි අයේෂා බියගම

1bb

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment