රාජනි තිරාණගම සමරුව සහ පශ්චාත් යුද්ධ කාලීන දෙමළ සමාජයෙහි බුද්ධිමය අවකාශය

Nov 25th, 2014 | By | Category: OTHER NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

සාමිනාදන් විමල්

බිඳුණු තල් රුක කෘතියෙන් සිංහල සමාජය තුළට ප‍්‍රවේශ වූ රාජනි තිරාණගම ඝාතනය වීමටත් එම කෘතිය හේතු බව බොහො දෙනෙක් දන්නා කරුණක්. රාජනි ඝාතනයට ලක් ව අවුරුදු විසිපහක් පිරෙන දිනය සැමරීමට යාපනයෙහි සැප්තැම්බර් මස 20 සහ 21 යන දවස්වල වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා. අවුරුදු විසිපහක් කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ආයු කාලයෙන් තුනෙන් එකක පමණ කාල පරාසයක් අයත් වන්නක්. රාජනී ඝාතනය වී අවුරුදු විසිපහක් ගතවෙන තෙක් රාජනිව සැමරීමට යාපනයෙහිදී නොහැකි තත්ත්වය කියා සිටින්නේ යාපනය සමාජය ගමන් කර ඇති මාර්ගයෙහි දුෂ්කර බවයි. විශේෂයෙන්ම ලංකාව තුළ දේශපාලන පක්‍ෂයකට හෝ සංවිධානයකට බද්ධව කටයුතු නොකර එවැනි ආයතනගත රාමුවකට බැහැරින් ක‍්‍රියාත්මක වන සමාජ ක‍්‍රියාකාරීන්ගේ ඉරණම මරණයට පෙර මෙන්ම මරණයට පසුවත් එකසේ ඛේදජනක බවට මෙය මනා සාධකයක්. මෙම තත්ත්වය තවත් දරුණු බවට පත් කරන්නේ අවුරුදු විසිපහකට පසුව පවා එවැනි සමරුවක් පැවැත්වීමට පවතින නිදහස අභියෝගයට ලක් වීම නිසයි.

මෙවර රාජනී සමරුව පවා පවත්වන්නට යෙදුනේ එවන් බාධා මධ්‍යයේ තමයි. සමරු සංවිධායකයන්ට අදාළ වැඩසටහන් පවත්වන ස්ථාන වෙනස් කිරීමට සිදුවුණේ එවැනි බාධා කිරීම් නිසයි. රාජනි ඝාතනය කිරීම පිළිබඳ චෝදනාව කොටි සංවිධානය කෙරෙහි එල්ලවන බව ප‍්‍රකට සත්‍යයක්. එ් නිසාම රාජනි සමරුව යන්න කොටි සංවිධානය කෙරෙහි භක්තියකින් යුතු අය අනුමත නොකරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඇත්තෙන්ම එය එම දේශපාලනය ප‍්‍රශ්න කිරීමට ලක් කරන්නකි. අනෙක් අතට කොටි විරෝධි ලේබය යටතේ ක‍්‍රියාත්මක වන්නන් පවා රාජනී සමරුව රුස්සන්නේ නැත. රාජනී සමරුව හුදු මතක වස්ත‍්‍ර පූජා කිරීමක් වැනි යාතු කර්මයකට සීමා නොකර රාජනීගේ පෞරුෂත්වය තළින් ඉහළට ඔසවා තැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ හඩ නගන්නාවූත් හුදු අතීතයට අයත් දෙයක් නොව වර්තමාන සහ අනාගත අභියෝගයන් පිළිබඳ සංවාද මණ්ඩපයක් වීමත් ආයතනගත දේශපාලන බල අධිකාරිත්වය ඉවසන්නක් නොවීම මෙම බාධාවන් ප‍්‍රකට කළ ලක්‍ෂණයක් වුණා. සමරු උත්සවයෙහි සංවිධායක කමිටුව මෙම බාධාවන් ”වැළැක්විය නොහැකි” යන විශේෂණ පදයෙන් යුතුව හඳුන්වා දුන්නත් ඇත්තෙන්ම මෙම බාධා යුද්ධයක් නොමැති තත්ත්වයක් තුළ අනිවාර්යෙන්ම වළක්වාගත් වසංගතයන්මය. එහෙයින් වචනයෙහි නියම අරුතින් රාජනීව සැමරීම යනු පැවති සහ පවතින අරාජකවාදී පාලනය ප‍්‍රශ්න කිරීමකට ලක් කිරීමක් වෙයි.

අනෙක් අතට කොටින්ගෙන් මැරුම් කෑ තැනැත්තියක් ලෙස කොටි විරෝධී සටන් පාඨයක් ලෙසින් මිස එයින් ඔබ්බට ගිය දේශපාලනයක් පක්‍ෂ දේශපාලනයට අවශ්‍ය නොවෙයි. අනෙක් අතට රාජනී රාජසිංහම් රාජනී තිරාණගම බවට පත් වෙන රාජණි සහ දයාපාල තිරාණගම එක්වීම තුළිත් සංකේතවත් කරණ ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් මතු වූ දේශපාලන ක‍්‍රියාවලිය ජාතිවාදි සීමාවෙන් ඔබ්බට ගොස් වර්ධනය වූ දේශපාලන ධාරාවක ජීවමාන සංකේතයක් විය. ඝාතනය කෙරෙන විට දෙදරු මවක් වූ රාජනීගේ ශිෂ්‍ය දේශපාලනයත් පේ‍්‍රමයත් විවාහයත් තුළින් හෙළිදරව් වන ජීවන මාදිලිය පිළිබඳ කතාව යටපත්ව ගොස් රාජනී හුදෙක්ම කොටින් විසින් ඝාතනය කරන ලද තවත් එක් කාත්තාවක් යන තත්ත්වයට වර්තමානයෙහි ලඝු කිරීමට ලක්ව ඇත.

මෙම සමරුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය යළි ස්ථාපිත කිරීම පිළිබඳ කථිකාවක් ඇති කර ගැනීමේ උත්සාහයක් බවට පත් කර ගැනීමට සංවිධායක කමිටුව උත්සාහ දැරීම ප‍්‍රශසංනීය තත්ත්වයකි. සමකාලීන ලාංකේය සමාජයෙහි සමාජ දේශපාලනික ක‍්‍රියාධරයන් එක්රැස්ව කෙරුණු කතාබහක් බවට පත්ව තිබූ මෙම සමරුවට සහභාගි වූ බොහෝ දෙනා එකී සමාජවල ජනප‍්‍රියවාදී ජාතිකවාදි මතවාදයන්ට එරෙහිව පෙනී සිටින්නන්ව නියෝජනය කිරීමක් වූ හෙයින් දෙමළ ජාතිකවාදී ප‍්‍රධාන ධාරාවටත් එමෙන්ම සිංහල ජාතිවාදී ප‍්‍රධාන ධාරාවටත් අනුව ද්‍රෝහීන්ගේ එකතුවක් ලෙසින් අර්ථකථනයට ලක් වෙන්නක් විය.

අනෙක් අතට මෙවැනි සමරුවක් දෙමළ සමාජයෙහි යුද්ධයට පසුව දෙමළ දේශපාලනය වෙතින් ස්වයං විවේචනයක අවශ්‍යතාව හඩ ගා කියන්නක් ද විය. බිඳුණු තල් රුක කෘතියෙහි සඳහන් රාජණි තිරාණගමගේ පහත සඳහන් ප‍්‍රකාශය එයට කදිම උදාහරණයකි. ”කවදා හෝ දවසක තුවක්කුවක් විසින් මාව නිහඩබවට පත් කරනු ඇත. නමුත් එ් තුවක්කුව අන්‍ය පුද්ගලයෙකු විසින් ක‍්‍රියාත්මක කරන එකක් නොවිය හැකිය. මගේ ඉතිහාසයම බෙදා හදා ගන්නාවූත් මේ සමාජයෙහිම වාසය කරන්නාවූත් කාන්තාවකගේ ගර්භාෂයෙහි වැඞී උපත ලැබූ පුත‍්‍රයෙකු විසින් ක‍්‍රියාත්මක කරන ලද තුවක්කුවක් වනු ඇත එය”.

rj

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment