ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වේ – එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවෙන් ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

Aug 3rd, 2012 | By | Category: sunday1, සමබිම ඉරිදා

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ පරීක්ෂණ කොමිසන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන පිටු 15 කින් යුතු ජාතික ක්‍රියාකාරී සැලසුමක් ජනාධිපති විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව සම්මත විය. එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරමින් ජනාධිපති මෙසේ සටහනක් එවා ඇත. ‛‛එල්.එල්.ආර්.සී. කොමිසම ප්‍රධාන නිර්දේශ 285 ක් ඉදිරිපත් කොට ඇත. එම නිර්දේශ පහත සඳහන් ප්‍රධාන කාණ්ඩ 4කට වර්ගීකරණය කොට ඇත.

(1) ජාතික ප්‍රතිපත්තිවලට අදාළ නිර්දේශ
(2) යුද ගැටුමේ අවසන් අදියර පිළිබඳව වන නිර්දේශ
(3) මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාවට අදාළ නිර්දේශ
(4) නැවත පදිංචි කිරීම සහ සංවර්ධනයට අදාළ නිර්දේශ

‛‛උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට මේ වසරේ මැයි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කාර්ය සාධක බලකාය පසුගිය මාසය මුළුල්ලේ පවත්වන ලද රැස්වීම් ගණනාවකින් පසු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව වන මේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලදී” යැයි ජනාධිපතිවරයාගේ එම සටහනේ දැක්වෙයි.

මෙහිදී එල්.එල්.ආර්.සී. නිර්දේශ සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ නිර්දේශ අතරින් 78 කම සමානතාවන් පවතින බව කාර්ය සාධක බලකාය විසින් නිරීක්ෂණය කොට ඇත.

එම සටහන සමඟ වූ වගුවක එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කොට ඇත. සෑම නිර්දේශයක් සමඟම එම නිර්දේශයට අනුරූප වන ක්‍රියාකාරකමක්ද, එම ක්‍රියාකාරකමේ සාර්ථකත්වය මැන බලන දර්ශකයක් සහ ඒ සඳහා වන කාල රාමුවක්ද ඉදිරිපත් කොට ඇත.

මෙම වසරේ මාර්තු මාසයේදී ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳ යෝජනාවේ අඩංගු එක ප්‍රධාන සංඝටකයක් වූයේ එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවට කියා සිටීමය. මැයි මාසයේදී විදේශ ඇමැති ජී. එල්. පීරිස් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හමු වූ විට ඇමරිකාව විසින්ද මේ ඉල්ලීම ඉදිරිපත් විය.

මෙම ක්‍රියාකාරී සැලැස්මේ සමහර නිර්දේශ දැනටමත් කරගෙන යන බවද තවත් සමහරක් මාස හයේ සිට අවුරුදු දෙක දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන බවද කාල රාමුවෙහි දක්වා ඇත.

බටහිර රටවල් ගණනාවක් විසින් මතු කරන ලද එක් කාරණයක් වූයේ ආරක්ෂක හමුදා සහ කොටි ගරිල්ලන් විසින් සිදු කරන ලදැයි චෝදනා නැඟුණු යුද අපරාධ පිළිබඳ ප්‍රශ්නයයි. එවන් ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂා කොට නඩු පැවරීම සඳහා අවුරුදු 5 ක කාලයක් ගතවන බව කාල රාමුවේ දක්වා තිබේ.

පසුගිය ජූලි 26 වන බ්‍රහස්පතින්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදේශ ඇමැති ජී. එල්. පීරිස් සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මේ සම්බන්ධව වැඩිදුර විස්තර ගෙන හැර දැක්වූහ. ‛‛අපි උදාහරණයක් ගත්තොත් ජාත්‍යන්තර මානවවාදී නීතිය පිළිබඳ කාරණය යටතේ එල්.එල්.ආර්.සී. නිර්දේශ අංක 9.33 මගින් දක්වන්නේ ‛සෘජුවම ලැබුණු සාක්ෂි සහ විපතට පත්වූ සිවිල් ජනතාව සහ රැඳවියන් විසින් කොමිසම හමුවේ ඉදිරිපත් කරන ලද අනෙකුත් දෑ මත පදනම්ව බලන විට ජනතාවට හානි සිදුවීම වැළැක්වීමට ආරක්ෂක හමුදා විසින් ගනු ලැබූ උත්සාහයන් තිබියදී පවා, සිවිල් වැසියන් හට ජීවිත හානි සහ තුවාල ඇති කරමින් යුද මුක්ත කලාප ඇතුළුව සිවිල් වැසියන් සිටි ප්‍රදේශ දෙසට ප්‍රහාර එල්ල වූ අවස්ථාවන් තිබී ඇති බව පැහැදිලිය.”

ක්‍රියාකාරී සැලැස්ම මගින් මේ පිළිබඳව ගත හැකි පියවර තුනක් විස්තර කරයි.
(1) සන්නද්ධ හමුදාවන් පාලනය කරනු ලබන නීතිය යටතේ දැනටමත් පවත්වාගෙන යනු ලබන විනය ක්‍රියාමාර්ග.
(2) එම ක්‍රියාදාමය අවසානයේ අදාළ තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීම සඳහා පියවර ගැනීම.
(3) අතුරුදහන්වීම් පිළිබඳ පැමිණිලි ආරම්භ කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ දැනටමත් පවතින විධිවිධාන යොදා ගැනීම සහ එම යාන්ත්‍රණය පිළිබඳව ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා දීම.

මේ සම්බන්ධව වගකියන ආයතන වනුයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුවයි. ‛‛මේ පළමු ක්‍රියාකාරකම සඳහා විනය පරීක්ෂණ අවසන් වනතෙක් අප සිටිය යුතුයි. ඒ සඳහා අවුරුද්දක කාලයක් ගත වේවි. දෙවැනි ක්‍රියාකාරකම යටතේ (එම විනය පරීක්ෂණ වලින්) වැරදිකරුවන් වන අයට එරෙහිව අධිකරණ අමාත්‍යංශය විසින් නඩු පවරනු ලබනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය මත පදනම් වූ තුන්වෙනි ක්‍රියාකාරකම යටතේ අධිකරණයේදී නඩු පැවරීම සිදු වෙනවා.” යැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප්‍රකාශ කළේය. පළමු ක්‍රියාකාරකම් සඳහා කාලරාමුව වශයෙන් මාස 12 ක්ද, දෙවැනි ක්‍රියාකාරකම් සඳහා මාස 24 ක්ද, තුන්වැනි ක්‍රියාකාරකම සඳහා මාස 24 ක්ද ගත වන බව ඔහු ප්‍රකාශ කළේය.

ජාතික ගීය එක විට භාෂා දෙකෙන්ම ගායනා කිරීමේ වර්තමාන ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යන ලෙස එල්.එල්.ආර්.සී. කොමිසම විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් මේ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශ කරන්නේ එය දෙමළ ජනතාවගේ දුක්ගැනැවිලි පිළිබඳව සාකච්ඡා කිරීමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් තීරණය කළ යුතු බවයි. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක හමුදාවන් පාලනය කරන ආයතනයෙන් වෙන්ව වෙනම ස්ථාපිත කිරීම පිළිබඳ නිර්දේශයද එසේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත යොමු කොට ඇත.

ආණ්ඩුවේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ නිල නිවේදනය එළි දකින්නේ ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත මානව හිමිකම් පිළිබඳව ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන වාර්තාවක් යැවීමට සතියකට පෙරාතුවය. ඒ නොවැම්බර් මාසයේදී සිදුවන යුනිවර්සල් පීරියොඩික් රිවීව් හෙවත් යූ.පී.ආර්. හෙවත් ‛සාර්වත්‍රික ආවර්තිත සමාලෝචනය’ වෙනුවෙනි. එම වැඩපිළිවෙල යටතේ මානව හිමිකම් කවුන්සිලය විසින් වසර හතරකට වරක් රටවල් ගණනාවක මානව හිමිකම් වාර්තාව පරීක්ෂාවට ලක් කරනු ලබයි. 2008 දී ලංකා ආණ්ඩුව ස්වේච්ඡාවෙන් ලබා දුන් පොරොන්දු මත පදනම්ව විවිධ රටවල් විසින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාව සකස් වී ඇත්තේ ඒවායිනි. එම පොරොන්දු ඉටුවී ඇති ආකාරය පිළිබඳව මෙම වාර්තාව විසින් සලකා බලනු ලැබේ. එයට අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, ළමා සොල්දාදුවන්ද ඇතුළු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම, දෙමළ භාෂාව ක්‍රියාත්මක කිරීම, මුතුර් හි සහන සේවකයන් 17 දෙනා ඝාතනය කිරීම සහ ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයන් 5 දෙනා ඝාතනය කිරීම සම්බන්ධව අළුතෙන් පරීක්ෂණ ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ද ඇතුළත් වේ.

Recent Posts

Tags: , , , ,

Leave a Comment