වතු කම්කරුවගේ තත්ත්වය වෙනස් කරන්න අපි මැදිහත් වෙනවා ලක්ෂාන් ඩයස් මානව හිමිකම් නීතිඥ

Nov 7th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

මේ සම්බන්ධයෙන් ඔබ යම් මැදිහත්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවද?
අපි රයිට්ස් නව් සංවිධානය වශයෙන් මේ සිකුරාදා වෙත්දි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරනවා. ඉදිරි සති දෙකක් ඇතුළත අපි මූලික අයිතිවාසිකම් නඩුවක් දානවා. ඒ නඩුව මහජන සුබසිද්ධිය සදහා වූ නඩුවක් වශයෙන් තමයි දාන්නේ. එම නඩුව එක්කො වින්දිතයන් මාර්ගයෙන් නැතිනම් මානව හිමිකම් ආරක්ෂකයන් වශයෙන් අපටම වුණත් පවරන්න පුළුවන්.

මෙතන මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවුණා කියලා කියන්න පුළුවන්ද?
ඔව්, අපි මේක සම්පූර්ණයෙන්ම දකින්නේ මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසයි. උදාහරණයක් ලෙස ජනකොට්ඨාශයකට තමන්ගේ අභිමතය පරිදි ජීවත්වීමට සුදුසු පරිසරයක් තෝරාගන්න නොහැකිවීම ගන්න පුළුවන්. මේ මිනිස්සු තමන්ගේ අභිමතය පරිදි තැනක් තෝර ගත්තොත් ඔවුන්ට වත්තෙන් යන්න වෙනවා. එහෙම ගියොත් ඔවුන්ට නිවාස, රැකියාව අහිමි වෙනවා. අනෙක් වැදගත් කාරණය තමයි ඔවුන්ව නිර්මාණය කරලා තියෙන්නේ වත්තේ වැඩට වත්තේ ඉන්න නිළ නොලත් වහල්ලූ ලෙස, ඔවුන් නිදහස්ව ඉපදුන අය නෙවෙයි.

එතකොට මේ අය පුරවැසියෝ නොවෙයිද?
ඇත්තටමත් මේ වතුවල තවම ඉන්නවා අයිඩෙන්ටි කාඞ් එකවත් නැති අර්ථයෙන් පුරවැසියෝ නොවන කොටසක්, ඒක සිරිමා ශාස්ත‍්‍රි ගිවිසුම කාලේ ඉදන් එන එකක්. අනෙක් අතින් මේගොල්ලෝ රජයේ සහ වතුවල යටත් වාසීන්. තාමත් මේ ගොල්ලන්ගේ ජීවිත තීරණය කරන්නේ වත්තේ අයිතිකාරය නැත්නම් රජය. තමන්ට ඕනි දෙවල් කරන්න මේ අයට බැහැ. මේ අය තියෙන සීමා නිසා අවශ්‍යනම් පුරවැසි භාගයක් ලෙස අපට හදුන්වන්න පුළුවන්. මේ පුරවැසි භාගවලට තමන්ට අභිමත තීරණ ගන්න බැහැ ඉතිං ඒ අයට ලියුමක් දුන්න පමණින් වෙන තැනකට යන්න බැහැ. ඒ අයට වත්තෙන් තමයි තැනක් දෙන්න ඕන. අවුරුදු දෙසීයක් තිස්සේ මේ අයට භූමියේ අයිතියක් නැහැ. ඉඩම් අඥා පනත යටතේ ලංකාවේ අනිත් හැම තැන්වලම ඉඩමක කාලයක් ජීවත් වුණ මිනිස්සුන්ට පර්මිට් එකක් දීලා පස්සේ ස්වර්ණ භූමි හරි ජයභූමි හරි කියලා ඉඩමේ අයිතිය දීලා තියෙනවා. මේ මිනිසුන්ට කිසිම භූමියක් ලැබිල නැහැ. ඒ වගේම එය නිවාස ලක්ෂෙ, දස ලක්ෂෙ කියල එන කිසිම ව්‍යාපෘතියකින් ගෙයක් ලබාදීලා නැහැ. මේ ඉඩම් අයිති රජයට, රජය මේවා බදු දීලා තියෙනවා සමාගම්වලට. ඒ නිසා මේ අය ජීවත් වෙන්නේ සමාගම් රාජ්‍යයක. මේ සමාගම් රාජ්‍යයට පුළුවන් මේ අයගේ ජීවිත ගැන තීරණ ගන්න. කන්ද ඔළුවට කඩා වැටුනත් මේ අයට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ මිනිස්සුන්ට මේ අයිතිය නොදී කරන ඕනම දෙයක් මේ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයක් විදිහටයි අප දකින්නේ.

රජයේ වගකීම ගැන කතා කළොත්?
රජය බැ`දිල ඉන්නවා මේ අයට භූමියේ සහ නිවාස අයිතිවාසිකම් ලබා දෙන්න. නමුත් අවුරුදු දෙසියක් තිස්සේ එක් සිදුවෙන්නේ නැහැ. මේ කාලයේම මේ අය ලංකාවේ ආර්ථිකය පෝෂණය කරලා තියෙනවා. ඒත් රජය සහ වතු සමාගම් කියන දෙපිරිසම මේ අයව සූරාකමින් ඉන්නවා.
මානව හිමිකම් ප‍්‍රඥප්තිය පටන් ගන්නේ නිදහස්ව උපදින මිනිසෙක් කියන සංකල්පයෙන්. ඒත් මේ අයට අදාළව එහෙම නැහැ මේ අය උපතින්ම වහල්ලූ. මේ පවුලකට තව ළමයෙක් ඉපදෙනවා කියන්නේ වැඩ කරන්න තව අංකයක් ඇති වුණා වගේ දෙයක්. දැන් සුළුවෙන් මේ තත්ත්වය වෙනස් වෙලා අළුත් පරම්පරාව පිටරට ගිහින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් වැඩිහිටියෝ නම් තවම ඉන්නේ ඒ තත්ත්වයේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (2) ව්‍යවස්ථාව අනුව ගත්තම මේ අය භාෂාව සහ ජාතිය මත කොන් කරනු ලැබූ පිරිසක්. 12 (1) ව්‍යවස්ථාව අනුව නීතියේ ආරක්ෂාව අහිමිවූ පිරිසක්. මේ අනුව පැහැදිලිවම රජයට සහ වතු සමාගම්වලට එරෙහිව පියවර ගත හැකි වෙනවා. මේ අයගේ ජීවිතයට ඇති අයිතිය කියන ඒක සම්පුර්ණයෙන්ම නැතිවෙලා තියෙනවා. ඒ නිසා මේ අයගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාකරණයෙන් අපට නිගමනයක් ඉල්ලා සිටිය හැකියි. එහිදී මේ අයට අහිමිවී ඇති අයිතිවාසිකම් අපට වෙන් වෙන්ව පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට තමන්ගේ නිවසේ ඉන්න අය ගැන, තමන්ගේ ගමන් බිමන් ගැන වත්තේ ගේට්ටුවට දැනුම් දෙන්න ඕන. මේක රටේ සාමන්‍ය කෙනෙක් කරන දෙයක් නෙවෙයි. සමානයන්ට අසමාන කොට සැලකීම මෙතනදි පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන්. මේ කොන් කිරීම හේතු කොටගෙන රටේ වෙන තැනකට ගියත් මේ අයට ලැබෙන්නේ හොද සැලකීමක් හෝ හොද රැකියාවන් නෙවෙයි. ඉංග‍්‍රිසියෙන් ඞී අක්ෂරයේ රැකියා කියන ඩර්ටි, ඩෙන්ජරස්, ඩිෆිකල්ට් එහෙමත් නැතිනම් වෙන අය කරන්න අකමැති රැකියාවල තමයි මේ අය නිරත වෙන්නේ. නැතිනම් ජීවත් වෙන්න විදිහක් නැතිව විදේශ ගත වෙනවා. අනෙත් වැදගත් කාරණය තමයි මේ අයගේ වැටුප, රු450 ගානේ දවස් 22කට තමයි මේ අයගේ වැටුප හැදෙන්නේ. මේ වැටුප අනුව තමයි මේ අයගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සම්බන්ධතා වගේ හැම දෙයක්ම තීරණය වෙන්නේ.

මේ ගැටළු විසදන්න නීතිමය ක‍්‍රියාදාමයක් විතරක් ප‍්‍රමාණවත්ද?
නැහැ, මේක මේ සාකච්ඡාව අරඹන්න පදනමක් විතරයි. මේ ගැන මහජන කතිකාවක් ඇති වෙන්න ඕන. ඒ කතිකාව තුළ මේ අයිතිවාසිකම් දිනා ගැනීමේ විවිධ ක‍්‍රියාමාර්ග ඇති වෙන්න ඕන. අධිකරණ ක‍්‍රියාවලිය කියන්නේ එකක් විතරයි දේශපාලන ව්‍යාපාරයක් ඇතිකර ගැනීමත් ඒ හා සමානව අවශ්‍යයි. ඒක අපිට තනිමව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් වැඩකරන පිරිස් එක්ක ඒ සාකච්ඡුාව අපි මේත් එක්කම අරඹනවා.

2d

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment