මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද?

Nov 7th, 2014 | By | Category: OTHER NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ජිනීවාහි මානව හිමිකම් කමිටුව පසුගිය ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ ශ‍්‍රී ලංකාව විසින් එම කමිටුවට ඉදිරිපත් කළ කාලාන්තර වාර්තාව ( Periodic Review ) සලකා බැලීය. ඒ අනුව කමිටුව එලැඹුනු සම්පිණ්ඩනාත්මක නිරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 27 වනදා ප‍්‍රකාශයට පත් කරන ලදී.ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අරභයා ප‍්‍රකාශයට පත් කළ මේ නිරීක්ෂණ වාර්තාව තුළ මෙරට මානව හිමිකම් පිළිබද ගැටළුකාරී තත්ත්වයන් උද්ගත වී ඇති ක්ෂේත‍්‍ර ගණනාවක් හදුනා ගෙන ඇත. එම ක්ෂේත‍්‍රයන්ට අදාළ නිර්දේශද මානව හිමිකම් කමිටුව විසින් ඉදිරිපත් කොට තිබේ. මේ දිනවල ජනාධිපතිවරයාගේ ග‍්‍රහචාරය ගැන සිංහල පාඨකයාට තොරතුරු ඉදිරිපත් කිරීමට මහත් උනන්දුවක් දක්වන බොහෝ මාධ්‍ය ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන මානව හිමිකම් කමිටුව ඉදිරිපත් කරන මේ වැදගත් නිර්දේශ පිළිබද වාර්තා කිරීමට එතරම් උනන්දුවක් දක්වනු අපි නොදුටිමු. එම වාර්තාව තුළින් මතු කළ ගැටළු හා එහි නිර්දේශ කිහිපයක් ගැන අප මෙම ලිපියෙන් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරන්නේ රටේ මානව හිමිකම් තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගැනීම ජනාධිපතිවරයාගේ හදහන ගැන අවබෝධයක් ලබා ගැනීමට වඩා රටේ ජනතාවගේ ‘ග‍්‍රහචාරය’ තීරණය වීම සම්බන්ධයෙන් මේ මොහොතේ තීරණාත්මක නිසාය.

අධිකරණ ස්වාධීනත්වය
ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 18 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය අහෝසි කොට අධිකරණයට කරන පත්කිරීම් සම්බන්ධ පරම බලය ජනාධිපතිවරයා අත රදවන ලදී. එමගින් අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල බලපෑමක් එල්ල වී තිබේ. එසේම හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් පහ කරන ලද්දේ නිසි පටිපාටිය පිළිබද මූලික සිද්ධාන්ත උල්ලංඝනය කරමිනි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසත්, අධිකරණය සහ වෙනත් ස්වාධීන ආයතන වලට සිදු කරන පත්කිරීම් වලදී පාරදෘශ්‍යභාවය හා අපක්ෂපාතීත්වය සහතික කිරීමට අදාළ ව්‍යවස්ථානුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ සාමාජිකයන් විසින් අධිකරණයේ විනිසුරුවරුන්ට අනිසි බලපෑම් කිරීම් වැළැක්වීම ස`දහා නිසි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් මානව හිමිකම් කමිටුව රජයට නිර්දේශ කොට තිබේ.

වෛකල්පිත ප්‍රොටොකෝලය
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ පළමු වෛකල්පිත ප්‍රොටෝකෝලය මගින් පාර්ශ්වකාර රාජ්‍යයේ තනි තනි පුරවැසියන්ට ස්වකීය රට තුළ තමාට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයකදී සෘජුවම මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීමට අවස්ථාව ලබාදේ. එහෙත් සිංහරාසා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලංකාව විසින් මෙම ප්‍රොටෝකෝලයට අත්සන් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කළේය. මේ ස්ථාවරය පිළිබද නැවත සලකා බලන ලෙස මානව හිමිකම් කමිටුව රජයට නිර්දේශ කොට ඇත. ඒ රට තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයකදී සුදුසු ප‍්‍රතිකර්මයක් ලබා ගැනීමට සාමාජික රටවල පුරවැසියන්ට තිබෙන අයිතිවාසිකම තහවුරු කිරීම ස`දහාය.

ත‍්‍රස්ත විරෝධී නීති
හදිසි නීතිය ඉවත් කොට තිබුණත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් බලාත්මකව තිබේ. හදිසි නීතියට සමාන නෛතික ක‍්‍රියාමාර්ග එම පනතේ රාමුව තුළ පැනැවිය හැක. භාෂණයේ සහ සමාගමයේ නිදහස සීමා කිරීම, අත්තනෝමතික වටලැම් හා අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීමක් නැතිව දීර්ඝ කාලයක් රැදවියන් රදවා තබා ගැනීම සදහා ඒ අනුව ත‍්‍රස්ත විරෝධී නීති යොදාගනු ලැබේ. තවද මේ පනත යටතේ ත‍්‍රස්තවාදී සැකකරුවෙක් වධ හිංසාවන්ට යටත්ව පාපොච්චාරණයක් කළ විට එය අධිකරණයේදී ඔහුට විරුද්ධ සාක්ෂියක් ලෙස යොදාගැනීමේ අවස්ථාව ලබාදී ඇත. යම් හෙයකින් එම පාපොච්චාරණය සිදුකළේ තමා නොවන බව සැකකරු අධිකරණයේදී කියයි නම් එය ඔප්පු කිරීමේ භාරය ඔහු මත පැවරේ. මෙය සාමාන්‍ය නීතිය තුළ පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට හැරවීමකි. මෙබදු ත‍්‍රස්ත විරෝධී නීති ප‍්‍රතිපාදන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ එන සම්මතයන්ට අනුකූල කිරීම සදහා රජය පියවර ගත යුතුය.

ජීවත් වීමේ අයිතිය
රජයේ ඒජන්තයින් හෝ අතුරු සන්නද්ධ හමුදා යොදාගෙන සිදු කෙරෙන අධිකරණ පටිපාටියෙන් පරිබාහිර ඝාතන, අත්අඩංගුවේ සිටියදී කරන මරා දැමීම්, අතුරුදහන් කිරීම් පිළිබද සිදුවීම් රට තුළ වාර්තා වේ. එසේම යුද්ධය අවසාන අවධියේ සිවිල් වැසියන් අසමානුපාතික ප‍්‍රමාණයකින් මිය යාම කෙරෙහි ද කමිටුව අවධානය යොමු කොට ඇත. 2006 දී මුතුර් හා ත‍්‍රිකුණාමල නගරවල සිදුවූ ඝාතන ඇතුලත් මානව හිමිකම් කඩ කිරීම් පිළිබ`ද විධිමත් පරීක්ෂණ සිදු නොවීම බලවත් ගැටළුවකි. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමටත් වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත් රජය ක‍්‍රියා කළ යුතුය. ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය වීමට අදාළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් එල්.එල්.ආර්.සී. වාර්තාවේ තිබෙන නිර්දේශ රජය ක‍්‍රියාවට නැංවිය යුතුය. එසේම මානව හිමිකම් උල්ලංඝනය වීම් වලට අදාළ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සමග සහයෝගයෙන් ක‍්‍රියා කරන ලෙසත් රජයට මානව හිමිකම් කමිටුව නිර්දේශ කොට තිබේ.

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? දෙවන කොටස මෙතනින් බලන්න

 

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment