වලිගය විසින් බල්ලා නැටවිය නොහැක

Feb 13th, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

දේශපාලනයේදී උපාය මාර්ගය (ස්ට‍්‍රැටජි )  සහ උපක‍්‍රම (ටැක්ටික්ස්) යන වචන දෙක අතර වෙනස විශාල වැදගත් කමක් ගනී. උපාය මාර්ගය යනු කිසියම් නිශ්චිත පරමාර්ථයක් සාක්ෂාත් කරගනු පිණිස දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රවේශම් සහගත ලෙස ක‍්‍රියාවට නගනු ලබන සැලසුමක් හෝ ක‍්‍රමවේදයක් වන අතර උපක‍්‍රමය යනු සුවිශේෂී අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කොට ක‍්‍රියාවේ යොදන කෙටි කාලීන ක‍්‍රියාවක් හෝ ක‍්‍රමවේදයකි.

කිසියම් උපාය මාර්ගික පරමාර්ථයක් සාක්ෂාත් කරගැනීම පිණිස විවිධ උපක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට සිදුවේ. එහිදී යොදාගන්නා ඕනෑම උපක‍්‍රමික එළැඹුමක් උපාය මාර්ගික පරමාර්ථයට සේවය කළ යුතු අතර එයට දෙවැනි විය යුතුය. නැත්නම් උපක‍්‍රමය උපාය මාර්ගයෙහි හරහට සිටී. සරලව කිවහොත් වලිගය වැනිය යුත්තේ බල්ලා විසින් වන අතර වලිගය විසින් බල්ලා නැටවීම සිදුවිය නොයුතුය.

2006 අගභාගය වන විට ශ‍්‍රී ලංකා රාජ්‍යයේ උපාය මාර්ගික පරමාර්ථය වූයේ උතුරේ දෙමළ ජාතික ව්‍යාපාරය සමග අභිමුඛ වී මිලිටරිමය ලෙස එය පරාජය කිරීමයි. තම උපාය මාර්ගික පරමාර්ථය එලෙස හඳුනා ගත් පසුව සියළු උපක‍්‍රම තෝරන ලද්දේ එයට සාපේක්ෂව වන අතර අන්තර් ජාතික මානව හිමිකම් නීති සහ මානවවාදී නීති පිළිපදිමින් කටයුතු කිරීම වැනි සිවිල් සමාජය විසින් අනුදැන වදාළ උපක‍්‍රම තම ප‍්‍රධාන උපාය මාර්ගයට බාධාකාරී බව කල්පනා කොට යටපත් කර දැමීමට රාජ්‍යය විසින් කටයුතු කරන ලද්දේය. මෙය වනාහි ඇමරිකා එක්සත් ජනපදය විසින් අනුගමනය කරන ලද ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි ලෝක යුද්ධය නැමැති උපාය මාර්ගයේම දිගුවකි.

2008දී බරක් ඔබාමා ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වීමත් සමගම එතෙක් ඉහළට ගිය ඔන්චිල්ලාව පහළට ගමන් කිරීම ඇරැඹිණි. ඇමරිකාවේ උපාය මාර්ගික එළැඹුම වෙනස් වූ අතර එහි රස්නය ලංකාවටද දැනෙන්නට විය. මෙය අවසන් වූයේ 2015දී රාජපක්ෂ රෙජීමය පරාජය වී මහින්ද රාජපක්ෂ මහතා මාගම්පුර රාජධානියේ මැද මුලනට පසු බැසීමත් සමගය. දැන් බලයට පත්ව ඇත්තේ බහු පාක්ෂික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයක සහය ලැබූ ජනාධිපතිවරයෙකු වන අතර තවත් මාස හයකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු බලයට පත්වීමට නියමිත වන්නේ ප‍්‍රජාතන්තවාදී ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑමට එකඟව සිටින බහු පාක්ෂික ජාතික සමගි සන්ධාන ආණ්ඩුවකි. එම ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් විවිධ අදහස් පළ කළද එම ආණ්ඩුවේ උපාය මාර්ගික පරමාර්ථය වන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාවේ බලවත් රටවල් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමයි. එබැවින් ආණ්ඩුව විසින් අනුගමනය කරන විවිධ උපක‍්‍රම එකී උපාය මාර්ගික එළැඹුමට අනනුනුකූල නොවිය යුතුය.

එම උපාය මාර්ගික එළැඹුමෙහි ප‍්‍රතිඵලයක් ලෙස ‘යහ පාලනය’ ඉලක්ක කරගත් ප‍්‍රජාතාන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ ගණනාවක් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසේ. මේ වනාහි සිවිල් සමාජය විසින් පසුගිය කාලය තුළ ඉතා දුෂ්කර කොන්දේසි යටතේ ඉදිරියට දමන ලද ඉල්ලීම් සමූහයක මල් ඵල ගැන්වීමකි. එහිදී එන අභියෝගය වන්නේ සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද ‘යහ පාලනයට’ අදාළ සටන්පාඨවලට පිළිගැනීමක් ලැබී ඇතද ‘මානව හිමිකම්’ පිළිබඳ ඉල්ලීම් න්‍යාය පත‍්‍රයේ පරිධියට ගමන් කොට තිබීමයි. එවන් අවස්ථාවක සිවිල් සමාජය උපක‍්‍රම තේරිය යුත්තේ තම උපාය මාර්ගික පරමාර්ථයට අනනුකූල නොවන ලෙසය. එය කළ යුත්තේ කෙසේද යන සංවාදය සඳහා ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහය යොදාගැනීමට අප අදහස් කර සිටින්නෙමු. ඒ ඉඩ ඔබටත් විවෘතය.

|සුදර්ශන ගුණවර්ධන

dog

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment