සිවිල් සමාජය හෙළ උරුමයට බය වෙලාද?

Feb 13th, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ආණ්ඩුව වෙනස් වී ඇත. ආණ්ඩු වෙනසින් පසු ‘සිවිල් සමාජයේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද’ යන්න සාකච්ඡා කිරීම සඳහා සිවිල් සමාජ සමුළුවක් 2015 ජනවාරි මස 27 වනදා කොළඹ පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සමුළුවේදී ‘සිවිල් සමාජ ප‍්‍රකාශනයක්’ සම්මත කරගනු ලැබිණ. එම ප‍්‍රකාශනය තුළ ආණ්ඩුව විසින් කළ යුතු යැයි ඉල්ලා සිටින ඉල්ලීම් මාලාවක් පවතින අතර සිවිල් සමාජ සංවිධාන විසින් කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ඉල්ලීම් ගණනාවක් එම ප‍්‍රකාශනය තුළ අඩංගු වන්නේය.

එහෙත් වඩා විමසිලිමත් වුවහොත් කැපී පෙනෙන ‘අඩුවක්’ මෙම ප‍්‍රකාශනය තුළ පවතිනු නිරීක්ෂණය කළ හැක. එම අඩුව නම් ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳ කරුණ ප‍්‍රකාශනය විසින් අඩු වැඩි වශයෙන් මඟ හැර ගොස් තිබීමයි. මහින්ද රාජපක්ෂ පාලනය සහ සිවිල් සමාජ සංවිධාන අතර පසුගිය කාලයේ පැවතියේ දැඩි ආතතියකි. මෙම ආතතිය ජනනය වන්නේ ජාතික ප‍්‍රශ්නය අරභයා මෙම දෙපාර්ශ්වය දැරූ ආස්ථානවල වෙනස නිසාය. රාජපක්ෂ රෙජීමය එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ජෝර්ජ් බුෂ් පන්නේ ‘ත‍්‍රස්ත විරෝධී යුද්ධයක්’ ප‍්‍රකාශයට පත් කළ විට සහ එම යුද ප‍්‍රයත්නය ශක්තිමත් කිරීම සඳහා රණකාමී සිංහල ස්වෝත්තමවාදය රාජ්‍යයේ නිල දෘෂ්ටිවාදය ලෙස භෞතිස්ම කරනු ලැබූ විට ජාතික ප‍්‍රශ්නය සම්බන්ධ එම ප‍්‍රවේශය ප‍්‍රශ්න කරන ලද්දේ ඉතාම සීමිත සමාජ බලවේග ප‍්‍රමාණයකි. ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටි සිවිල් සමාජ සංවිධාන මෙම ප‍්‍රශ්නය මතු කළ කණ්ඩායම් අතර ඉදිරියෙන් සිටියේය. මානව හිමිකම් ‘ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්’ ලෙස වර්ණ ගන්වා දෙමළ ජනයා සංහාරය කරන විට සහ යුද්ධයෙන් පසුවත් දෙමළ සමාජය මත සාපරාධී මිලිටරි පාලනයක් පවත්වා ගෙන යන විට රාජපක්ෂ රජයේ එම ප‍්‍රවේශය සිවිල් සමාජ සංවිධානවල විවේචනයට පාත‍්‍ර විය. මෙම විවේචනයට රාජපක්ෂ රෙජීමය ප‍්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සීමා කරන නීති පැනවීම මගින් සහ සිවිල් සමාජ සංවිධාන අධීක්ෂණය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම මගින්ය.

2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ තන්ත‍්‍රය පෙරලා මෛත‍්‍රීපාල සිරිසේන බලයට පත්වන්නේ මේ අතරවාරයේය. බොහෝ සිවිල් සමාජ සංවිධාන සෘජුව හෝ වක‍්‍රව සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ බව, අඩුම තරමින් එම ජයග‍්‍රහණය අපේක්ෂා කළ බව ප‍්‍රකටය. රාජපක්ෂ රෙජිමයට එරෙහිව ගොඩ නැගුණු විපක්ෂ ව්‍යාපාරයේ විශේෂත්වය වූයේ එය ජාතික ප‍්‍රශ්නය ‘මඟ හැර’ ගොඩනැගුණු ව්‍යාපාරයක් වීමයි. ජනාධිපතිවරණ කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාද උත්සාහ කළේ රාජපක්ෂගේ සිංහල බෞද්ධ ඉමේජය හැකි තාක් දුරට අනුගමනය කිරීමටය. සිංහල වර්ගවාදී ජාතික හෙළ උරුමය විපක්ෂ ව්‍යාපාරයේ ප‍්‍රබල ප‍්‍රකාශකයෙක් ලෙස පෙනී සිටියේය. දෙමළ ජනතාව මුහුණ දෙන ජාතික පීඩනය පිළිබඳ එකදු කරුණක් ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ මතු කෙරුණේ නැත. එහි ප‍්‍රතිඵලය ලෙස අප දැක්කේ සිංහල පේ‍්‍රක්ෂකාගාරය දිනාගැනීම සඳහා හැකිතාක් සිංහල වීමට උත්සාහ කරන සිංහල අපේක්ෂකයින් දෙදෙනෙක් අතර තරගයකි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අති මහත් බහුතරය මෛත‍්‍රීපාල සිරිසේනට ඡන්දය ප‍්‍රකාශ කරන්නේ තතු එසේ තිබියදීය. එය සිරිසේන මහතා ගැන තිබුණු ප‍්‍රසාදයක් නිසා ලබාදුන් ඡන්දයකට වඩා රාජපක්ෂ රෙජීමයේ සිංහල ස්වෝත්තමවාදී පාලනයට එරෙහි විරෝධතා ඡන්දයක් ලෙස සැලකිය හැක. රාජපක්ෂ පරාජය කොට ජයගැනීමට විපක්ෂයට පුළුවන්කම ලැබුණේ දෙමළ ජනතාවගේ මෙම තීරණාත්මක ඡන්දය නිසා බව පැහැදිලිය.

එහෙත් එම මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු උද්ගත වී තිබෙන තත්ත්වය කුමක්ද? අලූත බලයට පත්වී සිටින තාවකාලික ආණ්ඩුව ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දක්වන ප‍්‍රවේශය මේ වනවිට විවේචනයට තුඩු දී තිබේ. මේ සම්බන්ධ ආසන්නතම ප‍්‍රකාශනය වූයේ යුද්ධය තුළ ජනසංහාරයක් සිදුවූ බවට පසුගියදා උතුරු පළාත් සභාව විසින් සම්මත කළ යෝජනා සම්මතයයි. ආණ්ඩුවේ ඉහළම නායකයින් ‘උතුරෙන් හමුදාව ඉවත් නොකරන බවට’ මේ වනවිට ලබාදී තිබෙන ප‍්‍රතිඥා පිළිබඳ කරුණු දක්වන එම යෝජනා සම්මතය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙතෙක් මිලිටරිකරණය බඳු ප‍්‍රශ්න ගැන උනන්දුව දැක්වූ එක්සත් ජනපදය වැනි පාර්ශ්ව පවා මේ වනවිට ආණ්ඩු මාරුවේ ප‍්‍රතිඵලයක් ලෙස එම ප‍්‍රශ්න මග හැර යාම ආරම්භ කොට තිබෙන බවයි.

ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සහ උතුරු පළාතේ සිවිල් පාලනය ස්ථාපිත කිරීම බඳු ප‍්‍රශ්න ගැන ස්වකීය ප‍්‍රකාශනයේදී සිවිල් සමාජ සංවිධාන නිහඩ වී සිටින්නේ මෙම පසුබිම තුළය. මෙහිදී මතු වන ප‍්‍රශ්නය නම් ආණ්ඩු මාරුවේ ප‍්‍රතිඵලයක් ලෙස, තමා අනුග‍්‍රහය දැක්වූ නව ආණ්ඩුවේ ‘ආරක්ෂාව’ තකා, දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් තමා දැරූ දේශපාලන ආස්ථානයන් සහ වටිනාකම් ද්විතීක කිරීමට, ඒවා අත් හැරීමට සිවිල් සමාජය කටයුතු කොට තිබේද? යන්නයි. මේ වනවිට ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයට’ සහ ‘යහපාලනයට’ ලැබී තිබෙන්නේ සිංහල අර්ථයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අධිපති සාකච්ඡාවට දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නය ඇතුළත් නොවේ. ජාතික ප‍්‍රශ්නය දේශපාලන බල ක‍්‍රීඩාවේ ‘ඉත්තෙක් ’ ලෙස ඉතිහාසය පුරා දුටු ප‍්‍රධාන පක්ෂවල නායකයෝ එම ප‍්‍රශ්නය මගහැර යාම තේරුම් ගත හැක්කකි. ප‍්‍රශ්නය නම් යට කී සිංහල අධිපතිවාදී තර්කනය සමග සිවිල් සමාජය සම්මුතියකට ගොස් තිබේද? යන්නයි. එය එසේ නම් එය සාකච්ඡාවට ලක්කළ යුතු බැරැරුම් ප‍්‍රශ්නයකි.

|සුධාරක ප‍්‍රසාද්

ddeer

 

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment