ජිනීවා නුවරින් ආණ්ඩුවට කොළ එළියක්

Feb 21st, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ශ්‍රී ලංකාවේ ගැටුම පිළිබද ප්‍රධාන වාර්තාව ‘එක් වතාවකට පමණක්’ ප්‍රමාද කිරීම සදහා සයිද් ඉල්ලීමක් කරයි.ජිනීවා (2015 පෙබරවාරි 16)

මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සයිද් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තුළ සිදු වූ බවට චෝදනා නැගී තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබද වාර්තාව 2015 සැප්තැම්බර් මාසය දක්වා මාස හයකින් ප්‍රමාද කිරීමට මානව හිමිකම් කවුන්සිලයට ඔහු කළ නිර්දේශය පිළිබද කරුණු පැහැදිලි කළේය.

වාර්තාව කල් තැබීම ‘එක් වතාවකට පමණක්’ සිදුකරන බව අවධාරණය කළ මහකොමසාරිස්වරයා සැප්තැම්බර් වන විට වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබෙන බවට සහතික වූයේය. ප්‍රමාද කිරීම සදහා ඔහු කළ ඉල්ලීම සදුදා දින පස්වරුව වනවිට කවුන්සිලය විසින් අනුමත කරන ලදී.

‘මෙය දුෂ්කර තීරණයක්’ සයිද් කීවේය. ‘ මුල් කාල සටහන අනුව කටයුතු කළ යුතුයි යන මතය සදහා ප්‍රමාණවත් තර්ක තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙනස් වෙමින් තිබෙන සන්දර්භය සලකන විට වාර්තාව යම් කාලයකට ප්‍රමාද කිරීම සදහා ද ප්‍රමාණවත් තර්ක තිබෙනවා. එමෙන්ම වාර්තාව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා වැදගත් නව තොරතුරු මතු වී ඒමේ සම්භාවිතාවක් තිබෙනවා’

‘එමෙන්ම වැදගත් මානව හිමිකම් ප්‍රශ්නවල පුළුල් පරාසයක් සම්බන්ධයෙන් මාගේ කාර්යාලය සමග සහයෝගයෙන් වැඩ කිරීමට ස්වකීය සූදානම ප්රකාශ කරන පැහැදිලි සහතිකයක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව පැත්තෙන් මට ලැබී තිබෙනවා. පැවැති ආණ්ඩුව එබදු සහයෝගයක් දීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා. ඔවුන් ලබා දුන් සහතිකය යථාර්ථයක් බවට පරිවර්තනය කරගැනීම සදහා මා ඔවුන් සමග අභිමුඛ විය යුතුයි.’

මහ කොමසාරිස්වරයාගේ පූර්වගාමියා වූ නවී පිල්ලේ විසින් විමර්ශනය සදහා උපදෙස් දීම උදෙසා පත් කරන ලද විශේෂඥයින් තිදෙනා මෙබදු තාවකාලික කල් තැබීමක් කිරීම නව ආණ්ඩුවට මානව හිමිකම් පිළිබද ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමෙහිලා ඇති ස්වකීය කැපවීම තහවුරු කිරීමට අවකාශයක් ලබාදීම සදහා ගත හැකි උචිතම ක්‍රියාමාර්ගය බවට ඒකමතික ආස්ථානයක් ඉදිරිපත් කළ බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘මේ සියල්ල සැලකිල්ලට ගෙන වඩා ප්‍රබල සහ වඩා අංගසම්පූර්ණ වාර්තාවක් සදහා අවශ්‍ය කාලය ඉල්ලා සිටීමට මම ඒ නිසා තීරණය කළා’ සයිද් පැවසීය. ‘ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල වින්දිතයන්, ඒ වගේම විමර්ශන කණ්ඩායම සදහා තොරතුරු ලබාදීමට නිර්භීත ලෙස ඉදිරියට පැමිණි පිරිස් අප ගත් මෙම තීරණය ඔවුන් බොහෝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි, ඒ වාගේම කිසිදිනෙක එළි නොදක්වනු ඇතැයි ඔවුන් සැක පවා පහළ කළ මෙම වාර්තාව තනුක කිරීමේ සහ එය අත්හැර දැමීමේ පියවරක් ලෙස දකින්නට ඉඩ තිබෙන බව මා හොදින් වටහාගෙන සිටිනවා. දේශීය මානව හිමිකම් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අසමත් වීම පිළිබද ඉතිහාසය සැලකූ විට මෙම සැක පහළ කිරීම සහ බිය වීම මට වටහා ගන්න පුළුවන්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මාගේ කණ්ඩායම විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර පරීක්ෂණයක වැදගත්කම ඔවුන් දකින ආකාරය මට වැටහෙනවා.’

‘එහෙත් මෙහිදී වැරදි වැටහීමක් ඇති කරගත යුතු නැහැ’ මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. ‘සැප්තැම්බර් මාසය වනවිට වාර්තාව ප්‍රකාශයට පත් කරන බවට මම පුද්ගලිකවත්, ඒකාන්තවත්, ස්ථිරසාර ලෙසත් සහතික වෙනවා. මාගේ පූර්වගාමීන් මෙන්ම මාත් විශ්වාස කරන්නේ වින්දිතයන් වෙනුවෙන් ප්‍රබල හඩක් ලෙස ක්‍රියාකිරීම මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වැදගත්ම කර්තව්‍යයක් බවයි. වින්දිතයන්ට සත්‍යය, යුක්තිය සහ වන්දි ලැබීම සදහා වූ අයිතිවාසිකම අවසානයේ තහවුරු වන ලෙස අව්‍යාජ සහ විශ්වසනීය වගවීමේ හා ප්‍රතිසන්ධානයේ ක්‍රියාවලියක් සහතික වීමට අදාළ උපරිම දායකත්වය මෙම වාර්තාව විසින් ලබාදෙනු දැකීම මාගේ අපේක්ෂාවයි.’

ජාත්‍යන්තර ප්‍රජාව මෙසේ කී වගයි.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් පවත්වන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව මාස හයකින් ප්‍රමාද කොට 2015 සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසි වාරය වෙත යොමු කරන ලෙස මහකොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාව 2015 පෙබරවාරි 16දා සියළු සාමාජික රටවල සම්මුතියෙන් සම්මත විය. එම විවාදයේදී සාමාජික රාජ්‍යයන් විසින් දැක්වූ අදහස් සමහරක් පහත පළ වේ.

එක්සත් ජනපදය – මානව හිමිකම් කවුන්සිලයේ තීරණයට එය සහයෝගය දක්වයි. මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය සම්බන්ධව ශ්‍රී ලංකා ආණ්ඩුව නව ක්‍රියාමාර්ග ගෙන තිබීම එහි අගය කිරීමට ලක්වේ. මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමට එය ශ්‍රී ලංකා ආණ්ඩුව දිරිමත් කරන අතර වාර්තාව ප්‍රකාශයට පත් වූ පසු එහි නිර්දේශ බලාත්මක කිරීම සදහා ද අනුබල ලබා දේ. එය මෙම එකගතාවට අනුමැතිය පළ කළේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කරුණු දැක්වීම මත පදනම්වය. ශ්‍රී ලංකාවේ ජනතාව සදහා වගවීම තහවුරු කිරීම එක්සත් ජනපදයේ සැලකිල්ලට ලක්වේ.

පකිස්ථානය – මෙම එකගතාවයට පැමිණීම සම්බන්ධව එය සතුට පළ කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන බවත් වසර තිහක ත්‍රස්තවාදී තර්ජනයකට එය මුහුණ දී සිටි බවත් එය සිහිපත් කරයි. ශ්‍රී ලංකාවට සහයෝගය දිය යුතු අතර තමන්ගේ ප්‍රශ්න විසදාගැනීමේ ශක්‍යතාව ශ්‍රී ලංකාව සතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ශ්‍රී ලංකා ආණ්ඩුව දිගටම සහයෝගයෙන් වැඩ කරනු ඇතැයි එය අපේක්ෂා කරයි.

ජපානය – ශ්‍රී ලංකා ආණ්ඩුවේ නව රෙජිමයට සහ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට එය සිය සහයෝගය ලබා දේ. දින සියයේ වැඩසටහන ජාත්යන්තර ප්‍රජාවේ නිරීක්ෂණයට ලක්විය යුතුය.

බංගලාදේශය – වාර්තාව කල් තැබීමට එය සහය පළ කරයි. නව ආණ්ඩුවට මෙලෙස කාලය සහ අවකාශය ලබාදීම වැදගත් බව එය විශ්වාස කරයි.

රුසියාව – කල් තැබීම සදහා වූ තීරණය එය සාදරයෙන් පිලිගනී.

චීනය – ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට එය ගරු කරයි. ජාත්‍යන්තර ප්‍රජාව සමග සක්‍රීය ගනුදෙනුවක් පවත්වාගෙන යන අතර ජාතික ප්‍රතිසන්ධානය සදහා වූ ස්වකීය කැපවීම නව ශ්‍රී ලංකා ආණ්ඩුව පළ කොට තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලබන සාධනීය ක්‍රියාමාර්ග කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

350

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment