මෛත්‍රී පාලනය යටතේ දෙමළ ජාතිකවාදය මුහුණ දෙන අභියෝග

Feb 25th, 2015 | By | Category: LEAD NEWS, දේශපාලන

|සුමිත් චාමින්ද

මෛත්‍රී පාලනය යටතේ දෙමල ජාතිකවාදය නව උභතෝකෝටිකයකට මැදි වී ඇත. එක් අතකින් ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ යෝජනාව දැනටමත් පසුපසට ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ ලංකාවේ නව රජය ජනවාර්ගික ප්‍රශ්නය විසදීම සඳහා සාධනීය පියවර ගැනීම යයි සිතිය නොහැක. මන්ද යත් උතුරේ සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීමේ පරිපාලනමය තීරණයට අමතරව ගත් වෙනත් කිසිදු සාධනීය පියවරක් නොමැත. අධි ආරක්ෂක කලාපවල ඉඩම් ප්‍රමාණයක් බෙදා දෙන බවට වූ පොරොන්දුව තවමත් පවතින්නේ ඉටු කළ යුතු මට්ටමේය. එසේම ඇමෙරිකානු හෝ ඉන්දීය පාලකයින් ලංකාවේ මානව අයිතීන් පිළිබදව දක්වන අවංක උනන්දුවක් නිසා යුද අපරාධ පරීක්ෂණ ඉදිරියට ගන්නේ යයි සිතීමද බොළද කමකි. නමුත් ඇමරිකාවට සහ ඉන්දියාවට පසුගිය ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය නම් විශාල හිසරදයක් වී තිබු බව පැහැදිලිය. සැබවින්ම දැන් වෙනස් වෙමින් පවතින්නේ එයයි. වත්මන් ආණ්ඩුව දැන් ලංකාව යළිත් රාජ්‍ය තාන්ත්‍රිකව වොෂින්ටන්-නව දිල්ලි අක්ෂය සමග මනාව බද්ධ කරමින් තිබේ. ලංකාව දැන් නව-ලිබරල් ගෝලීය ක්‍රමය සමග මනාව ආබද්ධ වෙමින් තිබේ. මානව අයිතීන් කවුන්සිලයේ යෝජනාව යට යන්නේ මෙම වෙනස සමගිනි. ඉදිරියේදී දෙමළ නායකත්වයට අමෙරිකාවත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත් උපදෙස් දෙනු ඇත්තේ කොළඹ ආණ්ඩුව සමග කතා කොට ප්‍රශ්න විසදා ගන්නා ලෙසය. තව දුරටත් අන්තර්ජාතික සහයෝගය මත රදා පැවතීමට දෙමළ දේශපාලනයට එතරම් ඉඩක් නොලැබෙනු ඇත.

නමුත් ඔවුන් මුහුණ දෙන උභතෝකෝටිකය මෙයයි. ජනවාර්ගික ගැටලුව විසදීම සදහා වත්මන් ආණ්ඩුව හෝ ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවක් හෝ ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කළ හැකිද? විශේෂයෙන්ම බාහිර තෙරපුමක් නොමැති තත්වයක් තුළ එය අපේක්ෂා කළ හැකිද? වත්මන් ආණ්ඩුවේ දුෂ්ටිවාදී හැඩ ගැසීම් කෙරෙහි විශාල බලයක් හිමි කරගෙන සිටින හෙළ උරුමය වැනි ජාතිවාදී කොටස් එවැන්නකට ඉඩ දෙනු ඇතිද? නව ජනාධිපතිවරයා පසුගිය නිදහස් දින උළෙලේදී ‘උතුරේ සහ දකුණ සිත් යා කළ යුතු යයි’ නිවේදනය කිරීමට හරියටම දින දෙකකට පෙර හමුදාවට පොලිස් බලතල පැවරීමේ ගැසට් නිවේදනයට අත්සන් කළේය. ඔහු එසේ කලේ දෛනික පුරුද්දකට යයි පැහැදිලි කළ නීති විශාරදයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට පත් විය. ඉන් පසුව අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු රදවා ගත හැකි කාලය පැය 48 දක්වා දීර්ඝ කරන ගැසට් නිවේදනයද සුපුරුදු පරිදි දෛනික පුරුද්දකට මෙන් එළි දැක්විණ. සිවිල් සමාජය විසිල් ගසා උත්කර්ෂයට නැංවූ තොරතුරු දැන ගැනීමේ පනත තුළ ඉතාම ප්‍රවේශමෙන් වාණිජ කටයුතු පිළිබද තොරතුරු සගවා තැබීමේ ‘නිදහස’ අඩංගු කෙරිණ. මේ අද දින ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කෙරී ඇති ආකාරයයි.

ඉතින් දෙමල ප්‍රභූ නායකත්වය දකුණේ ආණ්ඩුව සමග සහයෝගී ප්‍රවේශයකින් ක්‍රමික ප්‍රතිසස්කරණ දිනා ගන්නට යන්නේ දකුණේ ඊනියා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසස්කරන න්‍යාය පත්‍රය තුළ  උතුරට අදාළ කිසිදු යෝජනාවක් අන්තර්ගත නොවී තිබෙන වාතාවරණයක් තුළය. දෙමල ප්‍රභූ නායකත්වය -විශේෂයෙන්ම සම්පන්තන් සහ සුමන්තිරන්- දකුණේ ආදරයට පත්‍ර වීමට සාපේක්ෂව දෙමළ පුවත්පත් තුළ නිරන්තර හෙලා දැකීම්වලට ලක්වීමට පටන් ගෙන ඇත. ඔවුන් නිදහස් දින උළෙලට සහභාගී වීමේ වැරදි දේශපාලන තීරණය ගැනීමෙන් නොනැවතුනි. සුමන්තිරන් මංගල සමරවීර අමාත්‍යවරයා සමග එක්සත් ජාතීන්ගේ යෝජනාව කල් දමා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමටද සහභාගී විය.

උතුරු පළාත් සභාව විසින් ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුව ඇති බව ලෝක අවධානයට ලක් කරන්නේ දකුණට (දේශපාලන කේවල් කිරීම සදහා) යම් පණිවිඩයක් දීමට යයි කීම එතරම් නිවැරදි තේරුම් කිරීමක් නොවේ. දෙමළ දේශපාලනය යනු තනි සම ජාතිය ප්‍රපංචයක් නොවේ. දකුණේ ජනප්‍රිය තේරුම් කිරීම් තුල දෙමළ සන්ධානයේ මතය ලෙස භාර ගන්නේ සම්පන්තන්-සුමන්තිරන් දෙදෙනාගේ මතයයි. නමුත් ‘ගෝලීය දෙමළ රාජ්‍යය’ දෙස සුභවාදිව බලන අනන්ති සශිදරන් වැන්නන්ද, ගජන් පොන්නම්බලම් වැනි උග්‍ර ජාතිකවාදින්ද, දෙමළ ජාතික ජනතා පෙරමුණ වැනි කොටස්ද (TNPF), සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි ගෝලීය දෙමළ රාජ්‍යය සමග අනුගත නොවූ නමුත් දෙමළ සන්ධානයේ ප්‍රභූ නායකත්වයේ උපාය මාර්ගික ප්‍රවේශය පිළි නොගත් පිරිස්ද, මාවෙයි සේනාධිරාජා සහ විග්නේශ්වරන් වැනි සාපේක්ෂව මධ්‍යස්ත නමුත් ජනප්‍රියවාදී නායකයන්ද උතුරේ දෙමළ දේශපාලනය තුල ක්‍රියාකාරීව සිටි. උතුරු පළාත් සභාවේ යෝජනාව මගින් පණිවිඩයක් දී ඇත්තේ දකුණට නොව දෙමළ සන්ධානයේ වත්මන් නායකත්වයටය. එකී පණිවිඩය නම් ඔවුන් අනුයන දකුණේ ආණ්ඩුව සමග වූ කොන්දේසි විරහිත ප්‍රභූ සන්ධානවාදය උතුරේ ජනයා (ඔවුනගේ නියෝජන ආයතනය ලෙස පළාත් සභාව) තව දුරටත් පිලි නොගන්නා බවය. මෙකී යෝජනාව තේරුම් ගත යුත්තේ දකුණේ දුෂ්ටියකින් නොව උතුරේ දෙමළ දේශපාලනයේ අභ්‍යන්තර ගතිකයන් පිළිබද විශ්ලේෂණයක් ඔස්සේය. එසේම ඔවුන් දැන් මුහුණ දෙමින් සිටින නව දේශපාලන උභතෝකෝටිකයට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසය.

sumi

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment