අඩු තීව‍්‍රතා විප්ලවයක්ද? අපායට ඉන්ටර්වල්ද?

Feb 27th, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

සිවිල් සමාජ උපාය මාර්ගික එළැඹුම ගැන තවදුරටත්..

යෝජිත තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි කෙටුම්පත පිළිබඳව සිවිල් සමාජ සංවිධානයන්හි අදහස් ලබා ගැනීම සදහා වූ සාකච්ඡාව පෙබරවාරි 24 වනදා රාජ්‍ය පරිපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍රික පාලනය පිළිබඳ අමාත්‍ය කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත කැඳවා තිබූ අතර එම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ උදන් ප‍්‍රනාන්දු විසිනි. එහිදී ජයම්පති වික‍්‍රමරත්න විසින් නව ව්‍යවස්ථා සංශෝධන අනුව තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස සැලකෙන බවට කරුණු ඉදිරිපත් කළ අතර ජේ.සී වැලිඅමුණ විසින් රටේ මන්ත‍්‍රීවරයෙකුට යම් තොරතුරක් ලබා ගත හැකි වේද එම තොරතුරුම එම මන්ත‍්‍රීවරයා පත්කළ ජනතාවටද ලබා ගත හැකි විය යුතු බව දැක්වීය. මෙම සාකච්ඡාවේදී දැනට ඉදිරිපත් වී ඇති තොරතුරු දැන ගැනීමේ පනතේ කෙටුම්පත සභාවට ඉදිරිපත් කෙරුණ අතර ඒ පිළිබදව විවේචන සහ අදහස් ලබා ගන්නා ලදි. මෙහිදී පාක්‍යසෝති සරවනමුත්තු, රුකී ප‍්‍රනාන්දු, චන්ද්‍රා ජයරත්න, සවිත‍්‍රි ගුණසේකර, මාරියෝ ගෝමස්, ආර්.එම්.බී.සේනානායක වැනි සිවිල් සමාජය නියෝජනය කරන විශාල පිරිසක් සිය අදහස් දක්වනු දක්නට ලැබිණ.

එදිනම සවස 5.30ට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී Mr.President  නමින් සාකච්ඡාවක් පැවැති අතර එහිදී ප‍්‍රධාන දේශනය පවත්වන ලද්දේ උපුල් ශාන්ත සන්නස්ගල විසිනි. ශිරාල් ලක්තිලක සහ සුදර්ශන ගුණවර්ධන සංවාද මණ්ඩපයට දායකවීම සඳහා ඇරයුම් ලැබ සහභාගී වූහ. එහි සාකච්ඡාවට ගැනුනේ අධික බලයක් සහිත ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීමේ මිනිස් ආශාව මෙන්ම එහි ආර්ථික සහ සමාජ විද්‍යාත්මක පදනමයි.

එදින සන්ධ්‍යාවේ ‘පුරවැසි බලය’ සංවිධානයේ ක‍්‍රියාධරයන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හමුවක් සහ සංවාදයක් අගමැති කාර්යාලය වන අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පසුදින එනම් පෙබරවාරි 25 වන දින කොළඹ නව නගර ශාලාවේදී ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙලේ අර්ධ වාර පරීක්ෂණය පැවැත්වූයේ ‘පුරවැසි බලය’ විසිනි. මෙහිදී පාර්ලිමේන්තු බලය තවමත් ජනතාව විසින් තීරණය කර නොමැති තත්ත්වයක් තුළදී පවා මේ ආණ්ඩුව විසින් ගෙන ඇති සාධනීය ප‍්‍රවේශයන් ගැන මෙන්ම ආණ්ඩුවේ සමහර ක‍්‍රියාකාරීත්වයන් පිළිබද විවේචනයන්ද එල්ල වනු දක්නට ලැබිණ. එදින රාත‍්‍රියේ ජාතික රූපවානියේ සුදර්ශන මෙහෙයවන ‘සුළගට පසුව’ දේශපාලන සාකච්ඡාවට මහින්ද අමරවීර, රංජන් රාමනායක සහ ලාල් කාන්ත සහභාගී වී සිටිනු දකින්නට ලැබිණ.

අළුත් ආණ්ඩුවේ එසෙත් නැතිනම් යහපාලන ආණ්ඩුවේ දින දෙකක සිදුවීම් කිහිපයක් මෙසේ දැක්වූයේ මේ මොහොතේ රට වෙනස් වී ඇති බව දකින්නට කැමැති කෙනෙකුට එය එසේ යැයි පෙන්වීමටය.

කරූ ජයසූරිය වටා ආණ්ඩුවේ පනතක් පිළිබද අදහස් දැක්වීමට වාඩි වී සිටි බොහෝ දෙනෙකු පසුගිය රෙජීමය යටතේ හඳුන්වනු ලැබුවේ දේශද්‍රෝහීන් වශයෙනි. ශ‍්‍රී ලංකා පදනම විසින් ජනාධිපතිධූරය විවේචනයට ලක් කෙරෙන ඉහත දැක්වූ වැනි සංවාදයක් එවැනි කථිකයන් පිරිසක් සමග එම ස්ථානයෙහි සූදානම් කිරීම පසුගිය රෙජීමය යටතේ සිතා ගත නොහැකි සිදුවීමක් වනු ඇත. පුරවැසි බලය විසින් පැවැත්වූ ආණ්ඩුවට විවේචනාත්මක සහයෝගයක් දක්වන රැුස්වීම වැනි රැස්වීමක් හෝ ජාතික රූපවාහිනියේ විපක්ෂයේ දේශපාලකයන්ද ඇතුළත්ව කෙරෙන විවේචනාත්මක සාකච්ඡාවක් පසුගිය කාලයේ පැවැතිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජාතිවාදයට විරුද්ධ, විකල්ප එසේත් නැතිනම් විසම්මුතික අදහස් සමාජ ගත කිරීමට දිගින් දිගටම අසීරු උත්සාහයක් දැරූ පිරිසක් වශයෙන් දැන් එවැනි අදහස් ප‍්‍රකාශවීමට නිර්මාණය වෙමින් පවතින අවකාශය පිළිබද අපට ඇත්තේ සතුටකි. දැන් සිවිල් සමාජය වශයෙන් අපට මාවත් දෙකක් ඇත. එක්කෝ තවදුරටත් බාහිර සතුරෙකු පෙන්වමින් නහයෙන් අඩමින් පැත්තකට (පිට රටකට) වී සිටිමයි. නැතහොත් මේ ලබාගත් අවකාශය වඩා නිර්මාණශිලී ලෙස භාවිතා කරමින් රටේ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය වඩා සක‍්‍රීය කිරීමයි. ජනවාරි 08 වනදා සිදු වූ වෙනස නිර්මාල් රංජිත්ට අනුව අඩු තීව‍්‍රතාවයකින් යුක්ත විප්ලවයකි. එය විමල් වීරවංශට අනුව අපායට ඉන්ටර්වල් ලැබුණු මොහොතකි. ඒ කෙසේ වෙතත් අඩුම තරමේ රට වෙනස් කරගනිමින්, සෑම දෙයකටම නව අර්ථකතන ලබා දිය හැකි මේ මොහොතේ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය යනු කුමක්ද යන්න අප විසින් නැවත අර්ථකතනය කර ගත යුතුය.

|ප්‍රබෝධ රත්නායක

wwiimmaalll

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment