ජිනීවා: ඊයේ අද සහ හෙට

Mar 5th, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරය මේ දවස්වල පැවැත්වෙමින් තිබේ. යුද්ධ කාලය තුළ ශී‍්‍ර ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත්වීමට නියමිතව තිබුණේ මෙම සැසිවාරයටය. කෙසේ වෙතත් නව ආණ්ඩුව මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ක‍්‍රියා කිරීම සඳහා තමාට කාලය ලබාදෙන ලෙස කළ ඉල්ලීම සලකා බලා අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා කල් දමා තිබේ. මෙතෙක් කල් මෙරට දේශපාලන සංවාදය තුළ ‘මාතෘකා’ බවට පත්වී තිබුණේ ජනාධිපතිවරණය හා ඒ ආශ‍්‍රිත චලනයන්ය. මානව හිමිකම් කවුන්සිලයට ලංකාව පිළිබඳ ඉදිරිපත් වන වාර්තාව පිළිබඳ පුවත කරළියට ඒමත් සමඟ එම සංවාදය යුද අපරාධ විමර්ශනය නමැති මාතෘකාව වෙත වේගයෙන් විතැන් වෙනු ඇතැයි අපේක්ෂා කළ හැක. 2015 මාර්තු මස 04දා වී එෆ්.එම්. නාලිකාවේ විකාශය වූ, මාධ්‍යවේදී ශාන් විජේතුංග විසින් මෙහෙයවන ලද ‘සිද්ධමුල්ල’ සංවාදාත්මක වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් කළේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විමර්ශනය පිළිබඳ මාතෘකාවයි. රයිට්ස් නව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන එම වැඩසටහනේ සම්පත් දායකයෙක් ලෙස සහභාගී වූ අතර එහිදී ඔහු දැක්වූ අදහස් ආශ‍්‍රයෙන් සම්පාදනය කළ මෙම ලිපිය අප සමබිම ඉරිදා සංග‍්‍රහය වෙතින් ගෙන එන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විමර්ශනයේ පසුබිම පිළිබඳ මතකය අලූත් කරගැනීම ඉදිරියේදී මේ පිළිබඳ රට තුළ ඇතිවන සංවාදය සඳහා වැදගත් වන බැවිනි.

සුදර්ශන ගුණවර්ධන

ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඕනෑම රාජ්‍යයක් බැඳෙන්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය පිළිගැනීම මගිනි. මෙම ප‍්‍රඥප්තිය මූලධර්ම කිහිපයකින් සංයුක්තය. ඒ ඒ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය පිළිගැනීම මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් තම තමන්ගේ රටවල් තුළ ක‍්‍රියාත්මක කිරීමට සාමාජික රාජ්‍යයන් දක්වන බැඳීම මෙම මූලධර්මවලට අයත් වන්නේය. මානව හිමිකම් කවුන්සිලය යනු සාමාජික රටවල මානව හිමිකම් තත්වයන් සම්බන්ධව ක‍්‍රියා කිරීම සඳහා තිබෙන ආයතනයයි. මෙම ආයතනය තෝරා පත් කරගන්නේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල ඡන්දයෙනි. එලෙස ඡුන්දයෙන් තේරී පත්වන රටවල් 49ක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරයි. මේ අනුව මානව හිමිකම් කවුන්සිලය යනු යම්කිසි කුමන්ත‍්‍රණකරුවෙක් විසින් දුෂ්ට අරමුණෙන් ඇටවූ ආයතනික ව්‍යුහයක් නොව ශ‍්‍රී ලංකාවද සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයකි.

බැන් කී මූන්ට දුන් පොරොන්දුව

මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ‍්‍රී ලංකාවේ නම සුලභ ලෙස ඈඳීම පටන් ගත්තේ 2009දී මෙරට සිවිල් යුද්ධය අවසාන වීමත් සමඟය. යුද්ධය අවසාන කාලයේ විශාල මනුෂ්‍ය ඝාතනයක් රට තුළ සිදු විය. යුද්ධය තුළ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන්හි යෙදුණු බවට ශ‍්‍රී ලංකා රජයට මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් එරෙහිව චෝදනා එල්ල විය. මෙම පසුබිම තුළ යුද්ධය නිමා වී කෙටි කාලයක් තුළ එනම් 2009 මැයි 27දා ලංකාව පිළිබඳ යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් විය. ත‍්‍රස්තවාදය අවසන් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයට ප‍්‍රශංසා කළ එකී යෝජනාව කල් පවතින සාමයක් ඇති කිරීම සඳහා වාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම ඇතුළු ප‍්‍රතිසංස්කරණ සිදුකොට ලංකාව ඉදිරියට ගමන් කළ යුතු බව යෝජනා කළේය. මෙය මානව හිමිකම් කවුන්සිලයේ බහුතර ඡන්දයෙන් සම්මත විය. එවකට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත ලෙස ක‍්‍රියා කළ දයාන් ජයතිලක මෙම යෝජනාව හැඳින්වූයේ ‘‘ශ‍්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත‍්‍රික ජයග‍්‍රහණයක්’’ ලෙසය.

මේ අතර යුද්ධය අවසන් වූ පසු එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් ශී‍්‍ර ලංකාවේ සංචාරයක නියුක්ත විය. එම සංචාරය අවසානයේ බැන් කී මූන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළහ. එම ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් ලංකා ආණ්ඩුව
1. යුද්ධයෙන් අවතැන්වූවන් කඩිනමින් පදිංචි කරන බවටත්,
2. මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවත්,
3. යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් හඳුන්වා දෙන බවටත්,
ප‍්‍රකාශ කළේය.

කඩ වූ පොරොන්දු සහ එල්ල වූ ප‍්‍රතිචාර

කෙසේ වූවද එතැන් පටන් උදා වූ කාලය තුළ තමා ජාත්‍යන්තර වශයෙන් ලබාදුන් පොරොන්දු සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව ක‍්‍රියා කළේ මන්දෝත්සාහී ස්වභාවයකිනි. මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා යැයි උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම පත් කරනු ලැබූ අතර එම කොමිසම සීමිත ප‍්‍රතිසංස්කරණ කීපයක් නිර්දේශ ලෙස ඇතුළත් කරනු ලැබූ වාර්තාවක් 2011දී ප‍්‍රකාශයට පත් කළේය. මෙම කොමිසමේ සීමිත නිර්දේශ පවා ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළේ නැත. ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙනවා වෙනුවට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම තහනම් කිරීම බඳු ප‍්‍රකෝපකාරී යෝජනා ගෙනෙමින් ආණ්ඩුව ක‍්‍රියා කළේ වාර්ගික වශයෙන් පක්ෂපාතී ආකාරයකටය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 2012දී එක්සත් ජනපදයේ අනුග‍්‍රාහකත්වයෙන් මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කෙරිණ. එම යෝජනාව මගින් ප‍්‍රකාශ කළේ එල්.එල්.ආර්.සී. කොමිසමේ නිර්දේශ ලංකා ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළ යුතු බවත්, යුද සමයේ සිදුවූ ජාත්‍යන්තර මානුෂවාදී නීති උල්ලංඝනයන් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය. මෙම යෝජනාවට ශ‍්‍රී ලංකාව ස්වකීය විරෝධය පළ කළේය. එම විරෝධය නොතකා මානව හිමිකම් කවුන්සිලයේ රටවල් බහුතරය මෙම යෝජනාව සම්මත කළේය. කැපී පෙනෙන කරුණ වූයේ 2009 මැයි මාසයේදී ලංකාවට පක්ෂව බහුතරයක් රටවල් ඡන්දය දුන්නත් එම තත්ත්වය 2012 වනවිට වෙනස් වී තිබීමයි. මෙසේ බහුතරයක් රටවල ස්ථාවරයන් වෙනස්වීමට බලපෑ ප‍්‍රධාන හේතුව වූයේ තමා ජාත්‍යන්තර වශයෙන් ලබා දුන් ප‍්‍රතිඥා නොතකා ශ‍්‍රී ලංකා රජය ක‍්‍රියා කිරීමය.

2012 සම්මත වූ ඉහත යෝජනා සම්මතය ශ‍්‍රී ලංකා ආණ්ඩුව නොතකා හළ අතර 2013 වර්ෂයේදීද ඒ හා සමාන යෝජනා සම්මතයක් නැවත වතාවක් මානව හිමිකම් කවුන්සිලයේ බහුතරයක් සාමාජිකයින් විසින් සම්මත කරන ලදී. මේ සියලූ යෝජනාවන්ට ලංකා ආණ්ඩුව දැක්වූ ප‍්‍රතිචාරය වූයේ ඒවාට තමා විරුද්ධ බව ප‍්‍රකාශ කිරීමයි. යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා දේශීය යාන්ත‍්‍රණයක් ඇති කිරීම රජය දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළේය.

2014 වර්ෂයේදී ශී‍්‍ර ලංකාව පිළිබඳ තරමක දැඩි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරියේ සම්මත වන්නේ ඒ අනුවය. මෙම යෝජනාව සඳහන් කළේ අදාළ මානව හිමිකම් කඩවීමේ චෝදනා පිළිබඳ පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් ලංකා ආණ්ඩුව විසින් සිදුකළ යුතු බවත්, එසේ කරන තුරු ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඒ සම්බන්ධයෙන් පැවැත්විය යුතු බවත්ය. මෙම ජාත්‍යන්තර පරීක්ෂණය පැවැත්වීම මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට භාර දෙනු ලැබීය. මේ අනුව ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ජාත්‍යන්තර විමර්ශනයක් ක‍්‍රියාත්මක කරන ලද අතර මෙම මාර්තු මස මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ එකී පරීක්ෂණයේ වාර්තාවයි.

ජාත්‍යන්තර විමර්ශනය ඒකපාර්ශවිකද?

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයක් ප‍්‍රකාශ කළ පසු ලංකා රජය සිදුකළේ සුපුරුදු පරිදි එයට සිය විරෝධය පළ කිරීමය. එම විමර්ශන කණ්ඩායමේ නිලධාරීන්ට ලංකාවට ඒම සඳහාවත් ලංකා ආණ්ඩුව අවස්ථාව දුන්නේ නැත. ලංකාවේ පුරවැසියන් එම විමර්ශන කණ්ඩායම ඉදිරියේ සාක්ෂි දීම වැළැක්වීම සඳහා ලංකා රජය විවිධ බලපෑම් සිදුකළ අතර මෙම විමර්ශනයට මොනම ආකාරයක හෝ සහයෝගයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලදී.

එහි ප‍්‍රතිඵලය වූයේ මෙම විමර්ශනය එක්තරා විදිහකට ඒක පාර්ශ්වීය ස්වභාවයක් ගැනීමයි. මෙම තත්ත්වය සාමාන්‍ය උසාවියක ඇසෙන නඩුවක් ආශ‍්‍රයෙන් පැහැදිලි කර ගත හැක. නඩුවක පාර්ශ්ව දෙකක් සිටින අතර එක් පාර්ශ්වයක් ‘තමා උසාවිය පිළි නොගන්නා’ බව ප‍්‍රකාශ කොට උසාවිය ඉදිරියට පැමිණීම ප‍්‍රතික්ෂේප කරන්නේ යැයි සිතමු. ඔහු එසේ ප‍්‍රකාශ කළා කියා උසාවියේ වැඩ කටයුතු නතර වන්නේ නැත. මන්ද උසාවියට එහි අධිකාරී බලය ලැබී තිබෙන්නේ යම් පිළිගත් නීති සම්මතයක් තුළින් වන නිසාය. සිදුවන එකම දේ උසාවියට පැමිණීම ප‍්‍රතික්ෂේප කරන පාර්ශ්වය නැතිව ඒකපාර්ශ්වීයව නඩුව ඇසීමය. එහි අවාසිය තිබෙන්නේ එලෙස උසාවිය ඉදිරියට ඒම ප‍්‍රතික්ෂේප කරන පාර්ශ්වයටමය. තමාට සැඟවීමට කිසිවක් නැතිනම් විමර්ශනයකට සහභාගී වීමෙහිලා බිය විය යුතු නැත. විමර්ශනයට සහය නොදැක්වීමෙන් එනයින්ම පෙනී යන්නේ සැඟවීමට දෙයක් තිබෙන බවයි. විමර්ශනයට සහභාගී නොවීම නිසා තමාගේ පැත්තෙන් ඉදිරිපත් කිරීමට තිබෙන කරුණු ඉදිරිපත් කිරීමට අදාළ පාර්ශ්වයට නොහැකි වන අතර එහි අවාසිය එම පාර්ශ්වයටමය.

මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය විසින් දියත් කළ ජාත්‍යන්තර විමර්ශනය මගින් විමර්ශනයට ලක් කෙරුණේ ලංකා ආණ්ඩුව යුද්ධය කිරීම නිවැරදිද නැද්ද යන්න නොවේ. යුද්ධයකදී අනුගමනය කළ යුතු රීති හා සම්ප‍්‍රදායන් ජාත්‍යන්තර නීතිය තුළ ඇත. විවාදයට ලක් වී තිබෙන කරුණ වන්නේ ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය එම යුද්ධය තුළ එකී ජාත්‍යන්තර මානුෂවාදී නීති උල්ලංඝනය කළේද යන්නයි. මේ ප‍්‍රශ්නය පිළිබඳ තමාට උපදෙස්දීම සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් විසින් 2011දී මර්සූකී දරුස්මාන්ගේ මූලිකත්වයෙන් පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුව ස්වකීය වාර්තාව මගින් කියා සිටියේ මානුෂවාදී නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට කරුණු පහක් මත සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට කරුණු හයක් මත චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි පවතින බවයි. මෙම චෝදනා ව්‍යාජ ඒවා නම් ලංකා රජය කළ යුතුව තිබුණේ නොබියව එබඳු විමර්ශනයකට ඉදිරිපත් වී ස්වකීය නිර්දෝෂීභාවය ලෝකයා ඉදිරියේ සනාථ කිරීමය. අඩු තරමින් එකී චෝදනා පිළිබඳ පිළිගත හැකි ස්වාධීන පරීක්ෂණයක් දේශීය මට්ටමෙන් පැවැත්වීමය. ඒ වෙනුවට රජය කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට, දරුස්මාන්ට, බැන් කී මූන්ට හා තමාට අභිමුඛ වන සියලූම විදේශීය නාමධාරීන්ට බැණ වදිමින්, ඒකපාර්ශ්වීයව සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් කාලය ගත කිරීමය. ජාත්‍යන්තර විමර්ශන වාර්තාව යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එම අත්තනෝමතික හැසිරීමට ලෝක පරිමාණයෙන් පැමිණි ප‍්‍රතික‍්‍රියාවය. ජාත්‍යන්තර විමර්ශනයේ යම් ඒකපාර්ශ්වීය ස්වභාවයක් තිබුණා නම් ඒ සඳහා වග කිව යුත්තේ කරුණු දැක්වීමට තමාට දුන් අවස්ථාව ප‍්‍රතික්ෂේප කළ එවකට තිබූ මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රයයි.

අළුත් ආණ්ඩුවේ ප‍්‍රතිඥාව

ඉදිරිපත් වී තිබෙන මානව හිමිකම් චෝදනා සම්බන්ධව පිළිගත හැකි දේශීය විමර්ශනයක් පවත්වන බවට මේ වනවිට අලූත බලයට පත් ආණ්ඩුව ප‍්‍රකාශ කොට තිබේ. මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ලංකාව පිළිබඳ වාර්තාව කල් දැමීමට ජාත්‍යන්තර ප‍්‍රජාව එකඟ වී තිබෙන්නේ එම ප‍්‍රතිඥාව මත පදනම්වය. ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැමිණියේ තම රට තුළ වූ සිදුවීම් පිළිබඳ විධිමත් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ලංකාව අසමත් වූ නිසාය. ජාත්‍යන්තර විමර්ශනය ‘අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්’ හෝ වෙනත් එවැනි දුෂ්ට දෙයක් ලෙස හෙළා දැකීමට පෙර සියලූදෙනා අවබෝධ කරගත යුතු සත්‍යය එයයි.

ස්වාධීන දේශීය පරීක්ෂණයක් පවත්වා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයා බලා වගකිව යුත්තන් යුක්තිය ඉදිරියට ගෙන ඒමේ ‘අවස්ථාවක් ’ ලංකා ආණ්ඩුවට නැවත වතාවක් ලැබී තිබේ. මේ අවස්ථාව ලංකාව විසින් යොදාගන්නා ආකාරය මත ජාත්‍යන්තර විමර්ශනයේ ප‍්‍රතිඵල ලංකාවට බලපාන ආකාරය රැඳී පවතී. රාජ්‍යයේ ස්වෛරීභාවය පිළිබඳ ඇත්තටම හැඟීමක් තිබේ නම් කළ යුතු දේ වන්නේ රට තුළ වූ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සැබෑ අව්‍යාජ විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධව යුක්තිය ඉටු කිරීමට තමා සූදානම් බව ලෝකය ඉදිරියේ ඔප්පු කොට පෙන්වීමය. එසේ සිදු නොකොට ජාත්‍යන්තර විමර්ශනයට එරෙහිව වාචාල ලෙස කෑ ගැසුවා කියා රාජ්‍යයේ ස්වෛරීභාවයට සිදුවන අබ මල් රොනක සෙතක් නම් නොමැත්තේය.

fff

 

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Comment