යාපනයෙන් ඇසුණු කාන්තා හඩ

Mar 13th, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

සිවිල් සංවිධාන සහ කාන්තා සංවිධාන ගණනාවක සහභාගීත්වය ඇතිව රයිට්ස් නව් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ කාන්තා දින සැමරුම් උළෙලක් මාර්තු 4-5 දෙදින තුළ යාපනයේ ප‍්‍රාසාංගික කලා සඳහා වූ කේන්ද්‍රයේදී පවත්වන ලදී. මෙම උළෙල නම් කොට තිබුණේ ‘ශ‍්‍රී ලාංකීය කාන්තාව සැමරීම’ නමිනි. රටේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් කාන්තා ක‍්‍රියාකාරිනියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම උළෙල සඳහා සහභාගී වූහ. මෙම අවස්ථාවේදී කාන්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් වෙත ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ සංදේශයක් කාන්තා ක‍්‍රියාකාරිනියන් විසින් සම්මත කරගත් අතර එම සංදේශය අපි මෙවර ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහය වෙතින් ඔබ වෙත ගෙන එන්නෙමු.

2015 මාර්තු 5 වන දින ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් කාන්තා ක‍්‍රියාකාරීනියන් සියයකට ආසන්න පිරිසක් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා යාපනයේදී මුණ ගැසුණාහ. රයිට්ස් නව් – ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සාමූහිකය විසින් සංවිධානය කළ මෙම උළෙලෙහි අරමුණ වූයේ කාන්තා දිනය සැමරීම සහ එකිනෙකා මුණ ගැසීමට, ආචාර කිරීමට සහ ජීවිත කාලීන මිත‍්‍රත්වයන් එකිනෙකා අතර වර්ධනය කරගැනීමට අවස්ථාවක් සංවිධානය කිරීමය. ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් ලෙස ස්වකීය පොදු අභිලාෂයන් හා සාමූහික ඉරණම සම්බන්ධයෙන් වූ තමන්ගේ අත්දැකීම් සහ අපේක්ෂාවන් බෙදාහදා ගැනීම සඳහා ස්වකීය සාමූහික අරමුණු මුදුන් පත් කරගැනීම වෙනුවෙන් එකට වැඩ කිරීමේ ජීවගුණය සහිතව මාතර, මහනුවර, කෑගල්ල, ගාල්ල, මන්නාරම, කිලිනොච්චි, යාපනය, මඩකලපුව, වවුනියාව සහ කොළඹ යන ප‍්‍රදේශවලින් කාන්තාවෝ සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ පිරිස් බහුවිධ ප‍්‍රජාවන් සහ ජනවර්ගයන්ගේ නියෝජනයකින් සංයුක්ත විය. තේමා හතරක් පිළිබඳ සහභාගී වූවෝ සාකච්ඡා කළහ. දේශපාලනය සහ පොදු ජීවිතය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය, ස්ත‍්‍රී – පුරුෂභාවය මත පදනම් වූ හිංසනය, කාන්තාවන් ආර්ථිකමය ලෙස සවිබලගැන්වීම, ප‍්‍රතිසන්ධානය සහ සංක‍්‍රමණීය යුක්තිය යනු එකී තේමාවන්ය.
ක්ෂණික පියවර ගැනීම සඳහා මෙම සංදේශය කාන්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් වෙත යොමු කිරීමට යාපනයේදී එක්රැස් වූ ක‍්‍රියාකාරීන් එකඟ වූහ.
සහභාගී වූ කාන්තාවෝ පහත කරුණු ඒකමතිකව අනුමත කළහ.

1. විවිධ භූගෝලීය සහ සමාජ සන්දර්භයන්ට අයත් කාන්තාවන් ඒකරාශී කරන මෙබඳු අවස්ථාවන් පොදුවේ පොහොසත් ජාතික සංවාදයක් පෝෂණය කිරීමෙහිලා සහ නිශ්චිතව ශ‍්‍රී ලාංකීය කාන්තාවන්ට යහපත් ජීවිතයක් සහිත අනාගතයක් තහවුරු කිරීමෙහිලා දක්වන වැදගත්කම පිළිබඳව එකඟතාව පළවිය.

2. වාර්ගික, භූගෝලීය, ආගමික සහ සංස්කෘතික බෙදීම් ඉක්මවා ගිය පොදු ප‍්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කාන්තාවන් සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමේ වැදගත්කම සහ එය පුද්ගලික හා ජාතික ප‍්‍රතිසන්ධානය ශක්තිමත් කරන ආකාරය පිළිබඳ එකඟතාව පළවිය.

3. 2015 ජනවාරි මස ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විසින් සහ දින සියයේ වැඩපිළිවෙළ විසින් විවෘත වී තිබෙන අවස්ථාවේ කවුළුව කාන්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් විසින් තම ඡුන්දදායක කොට්ඨාශයේ, එනම් ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩනැගීම සඳහා වූ නැවුම් උත්සාහයන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳ එකඟතාව පළවිය.

4. රට පුරා ජීවත් වන කාන්තාවන් මුහුණදෙන අත්දැකීම් වාර්ගික, ආගමික, සංස්කෘතික සහ සමාජ යථාර්ථයන් අනුව වෙනස් වූවද ඔවුන් අතර වූ වෙනස්කම්වලට වඩා සමානතා බහුලය. මෙය එකට වැඩ කිරීම සඳහා කාන්තාවන් යොමු කිරීමෙහිලා බලපාන තීරණාත්මක සාධකයකි.

5. ප‍්‍රතිසන්ධානයේ හේතුඵල දාමය සඳහා භාෂාව ඓන්ද්‍රීය ලෙස බලපායි. පොදු භාෂාවකින් තොරව සන්නිවේදනය අසීරුවන බවට වූ පැහැදිලි සත්‍යය කාන්තාවන්ට අභිමුඛ විය. සන්නිවේදනයෙන් තොරව අනෙකාගේ තත්ත්වය අවබෝධ කරගැනීම කළ නොහැක. අනෙකාගේ තත්ත්වය අවබෝධ කරගැනීමකින් තොරව සහකම්පනයක් ඇති වන්නේ නැත. සහකම්පනයකින් තොරව ප‍්‍රතිසන්ධානය සාක්ෂාත් කරගත නොහැක.

6. ආචාරධාර්මික, ගැටුම් කෙරෙහි සංවේදී සහ සංවර්ධන සංවේදී වාර්තාකරණය සඳහා මාධ්‍යවේදීන් පුහුණු කිරීම ධනාත්මක සන්නිවේදනය සඳහා සහ ප‍්‍රජාවන් අතර අනවබෝධය වැළැක්වීම සඳහා වැදගත් වන්නේය.

පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් ක්ෂණික සහ හදිසි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ කාන්තාවන් පාර්ලිමේන්තුව සහ වෙනත් නියෝජතායතනවල සිටින ප‍්‍රජාතාන්ත‍්‍රීය ලෙස තෝරාපත් කරගනු ලැබූ ස්වකීය නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටී.

1. දේශපාලන සහ පොදු ජීවිතය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය

  • පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා කෝටා ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා වූ ප‍්‍රවර්ධක කටයුතු සක‍්‍රීයව සිදු කිරීම. කාන්තාවන් සඳහා වූ වෙන් වූ නියෝජන ක‍්‍රමවේද දැනට පවතින තැන්වල ඒවා සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා සහ දේශපාලන පක්ෂ තුළ වූ මූල්‍යමය සහ සමාජ බාධක ඉවත් කිරීම හරහා ඵලදායී ලෙස එකී ක‍්‍රමවේද බලාත්මක කරගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රවර්ධක කටයුතු සිදුකිරීම.

  • දේශපාලනයට ප‍්‍රවේශවීම සඳහා කාන්තාවන්ට ආරක්ෂිත (හිංසනයෙන් ආරක්ෂාව) වූත් ගෞරවණීය වූත් (අපහාසයට ලක්කිරීම සහ කාන්තාවන් ලිංගිකව ඉලක්ක කරගැනීම ඉවත් කිරීම) පරිසරයක් සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ ක‍්‍රමය තුළ, සමාජය තුුළ සහ සංස්කෘතිය තුළ ඉලක්කගත අවබෝධය වර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කිරීම වෙනුවෙන් අවශ්‍ය කෙරෙන ප‍්‍රවර්ධක කටයුතු සිදුකිරීම.

  • වෙනත් රටවල කාන්තාවන් විසින් ඉටු කොට තිබෙන වැදගත් භූමිකාවන් සහ දායකත්වයන් පිළිබඳව සහ ඒ අනුව ලංකාවේ සිදුකළ හැකි දේ පිළිබඳ අවබෝධය ඉහළ නැංවීම. අදාළ පක්ෂ වල කාන්තා සාමාජිකයින් සඳහා අවස්ථා සහ නාම යෝජනා ලබාදීමේ වැදගත්කම දේශපාලන පක්ෂවලට ඒත්තු ගැන්වීම.

  • කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය පුළුල් වීම ඒ ඒ ප‍්‍රජාවන් තුළ කාන්තාවන්ගේ තත්ත්වය දියුණු කිරීමේ ඵලදායී ආකාරයක් වන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධය දියුණු කිරීම.

  • දේශපාලනයට පිවිසීමේදී කාන්තාවන්ට මුහුණදීමට සිදුවන මූල්‍යමය බාධා ඉවත් කිරීම.

  • දේශපාලනයට සහ පොදු ජීවිතයට සහභාගීවීමට අදාළ ආත්ම විශ්වාසය සහ ශක්‍යතාව වර්ධනය වන ලෙස කාන්තාවන් සඳහා අවශ්‍ය නායකත්ව පුහුණුව සහ ශක්‍යතා සංවර්ධන පුහුණුව සැපයීම.

  • ජාතික ප‍්‍රශ්න පිළිබඳ වූ උනන්දුව සහ අදහස් දැක්වීම සම්බන්ධව කාන්තාවන් තුළ තිබෙන ආත්ම විශ්වාසය වර්ධනය වන ආකාරයේ විධිමත් ඉගෙනුම් වැඩසටහන් ස්ථාපිත කිරීම.

  • ජාතික, පළාත්බද සහ දිස්ත‍්‍රික් මට්ටම්වල කාන්තා කොමිෂන් සභාවල බහුවිධ වාර්ගික හා ආංශික සහභාගීත්වය තහවුරු කිරීම.

2. ස්ත‍්‍රී පුරුෂභාවය මත පදනම් වූ හිංසනය

  • ස්ත‍්‍රී පුරුෂභාවය මත පදනම් වූ හිංසනය, එහි මූලයන්, එහි වින්දිතයන්ට දේශීය හා අන්තර්ජාතික තලයේ තිබෙන ප‍්‍රතිකර්ම යාන්ත‍්‍රණයන් පිළිබඳ ජනඅවබෝධය වැඩි දියුණු කිරීම.

  • සිදුවීම් වඩා පුළුල් ලෙස වාර්තා කිරීම ධෛර්යමත් කිරීම සඳහා වින්දිතයන්ට මුහුණදීමට සිදුවන අපහාසයන් ඉවත් කිරීමේ වැදගත්කම පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම.

  • තමාට ලැබෙන ආරක්ෂාව පිළිබඳ කාන්තාවන් තුළ වූ විශ්වාසය ගොඩනැගෙන ආකාරයට සහ වරදට යොමු විය හැකි පුද්ගලයින් අධෛර්යයමත් වන ආකාරයට වේගවත් විමර්ශන හා නෛතික ප‍්‍රතිකර්ම යාන්ත‍්‍රණයක් සහතික කිරීම.

  • ස්ත‍්‍රී පුරුෂභාවය මත පදනම් වූ හිංසනයන් ආමන්ත‍්‍රණය කිරීම සඳහා වූ රාජ්‍ය යාන්ත‍්‍රණයන් ශක්තිමත් කිරීම. පොලිස් ස්ථානවල කාන්තා නිලධාරිනියන්ගෙන් යුක්ත පැමිණිලි මේස සංඛ්‍යාව වැඩි කිරීම, සිදුවීම් වාර්තා කරගැනීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් පුහුණු කිරීම, පොලිස් නිලධාරීන් සහ ස්ත‍්‍රී පුරුෂභාවය මත පදනම් වූ හිංසාකාරී ක‍්‍රියා සම්බන්ධ ප‍්‍රතිචාර යාන්ත‍්‍රණයන් හා සම්බන්ධ වන්නා වූ රාජ්‍ය නිලධාරීන් සඳහා දෙමළ භාෂා පුහුණුව ලබාදීම.

3. කාන්තාවන් ආර්ථිකමය ලෙස සවිබල ගැන්වීම

  • රටේ විවිධ ප‍්‍රදේශවල ක්ෂුද්‍ර පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ට ඔවුන් උගත් පාඩම් සහ හොඳම භාවිතාවන් බෙදාහදා ගැනීම සඳහා හුවමාරු වැඩසටහන් සක‍්‍රීයව ප‍්‍රවර්ධනය කිරීම.

  • රටේ විවිධ ප‍්‍රදේශවල කාන්තා ව්‍යවසායිකාවන්ට ජාලකරණ සහ වෙළඳපොළ අවස්ථා සමගාමීන්ට අර්පණය කිරීමේ වැදගත්කම ඒත්තු ගැන්වීම. මෙය අදාළ කාන්තාවන්ගේ පෞද්ගලික ජීවනාලියේ අභිවෘද්ධියට හේතු වනු ඇති අතර විවිධ ප‍්‍රජාවන්ට අයත් සාමාජිකයින් අතර සහයෝගීතාව ගොඩනැගීම, ඔවුන් අතර විශ්වාසය සහ සුහදතාව ගොඩනැගීම මෙන්ම අවසන් වශයෙන් ප‍්‍රතිසන්ධානය ශක්තිමත් කිරීමද කෙරෙහි බලපානු ඇත. මෙම ක‍්‍රියාවලිය තනි තනි මුල් පිරීම්වලින් ආරම්භ විය හැකි අතර ක‍්‍රමානුකූලව එය විධිමත් සහ ව්‍යුහාත්මක රාජ්‍ය අනුග‍්‍රහය සහිත යාන්ත‍්‍රණයන් ඇතිවීම දක්වා වර්ධනය විය හැක.

  •  ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය හැකියාවන්, වෙළඳපොළ අවස්ථා සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන් වෙත විශේෂඥ පුහුණුව ලබාදීම වැඩි දියුණු කිරීම.

  • හානියට ලක් වූ කාන්තා සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් සහ ආබාධවලින් පෙලෙන කාන්තාවන් වෙත වන්දි ලබාදීම.

4. ප‍්‍රතිසන්ධානය සහ සංක‍්‍රමණීය යුක්තිය

  • පාර්ලිමේන්තුව ඇතුළු අනෙකුත් දේශපාලන නියෝජිතායතනවලට ප‍්‍රජාතාන්ත‍්‍රිකව ඡුන්දයෙන් තේරී පත් වූ කාන්තා නියෝජිතයින්ද ඇතුළු සියලූම ප‍්‍රජාවන්ට අයත් දේශපාලන නායකයින් විසින් ජාතික ප‍්‍රතිසන්ධානය පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථිර දේශපාලන විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳ තම තමන්ගේ ප‍්‍රජාවන් තුළ සහ ඡන්දදායක කොට්ඨාශවල ජන අවබෝධය ඉහළ නැංවීමට කටයුතු කිරීම.

  • සිංහල කථා කරන ප‍්‍රජාවන් තුළ දෙමළ භාෂාව ඉගෙනීම ප‍්‍රවර්ධනය කිරීම, දෙමළ භාෂාව කථා කරන ප‍්‍රජාවන් තුළ සිංහල භාෂාව ඉගෙන ගැනීම ප‍්‍රවර්ධනය කිරීම සහ ඉංග‍්‍රීසි භාෂාව සියලූ ප‍්‍රජාවන් අතර සම්බන්ධීකරණ භාෂාව ලෙස ප‍්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රෛභාෂා ප‍්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා වූ උත්සාහයන් ශක්තිමත් කිරීම.

    විශේෂිත වාර්ගික ප‍්‍රජාවන්ට මුහුණ දීමට සිදුවි තිබෙන දුක්ගැනිවිලි සෑම අවස්ථාවකදීම ජාතික වැදගත්කමක් සහිත ප‍්‍රශ්න ලෙස හඳුනාගැනීම. මේ අනුව ඒ ඒ ප‍්‍රජාවන් හා සම්බන්ධ ක්ෂණික ප‍්‍රශ්න හතරක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒවා නම් –
1. උතුරු පළාතේ දෙමළ ජනතාව, ස්ථිර දේශපාලන විසඳුමක් ඇති කිරීමෙහිලා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසි ලෙස පහත කී කරුණු සම්බන්ධ ක්ෂණික ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී. නීත්‍යනුකූල හිමිකරුවන් වෙත ඉඩම් හා ඉඩම් හිමිකම් නිසි ලෙස භාරදීම, දේශපාලන රැඳවියන් සම්බන්ධ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කිරීම, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට වින්දිතයින් පිළිබඳ තොරතුරු සහ ඔවුන්ගේ ඉරණම කුමක්ද යන්න ගැන තොරතුරු ලබාදීමට ක‍්‍රියාකිරීම, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට වන්දි ලබාදීම, රටේ උතුරු නැගෙනහිර පළාත් සිවිල් පාලනයක් වෙත සංක‍්‍රමණය වීමේ ක‍්‍රියාවලිය වේගවත් කිරීම.

2. වතු අංශයේ දෙමළ ජනතාවගේ සමාජ සහ ආර්ථික දුක්ගැනිවිලි අරභයා දේශපාලන නායකත්වය වෙතින් නිසි ක‍්‍රියාමාර්ග ගැනීම.

3. මෑතකාලීනව අලූත්ගමදී ඇති වූ සිදුවීම්වල ප‍්‍රතිඵල ලෙස හානියට පත්වූ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයින්ට සිදු වූ හානි පිළිබඳ විමර්ශනය කිරීම, වන්දි ලබාදීම සහ සහන සැපයීම, එසේම එබඳු සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වූ ක‍්‍රියාමාර්ග ගැනීම.

4. සුලූතර ප‍්‍රජාවන් සම්බන්ධයෙන් සිංහල ප‍්‍රජාව තුළ තිබෙන සැක සංකා සහ ගැටලූ ආමන්ත‍්‍රණය කිරීම.

a1

a2

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment