විධායක ජනාධිපති ක්‍රමය අස්සෙ හැංගෙන්නෙ කවුද?

Mar 20th, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

පුරවැසි බලය, ප‍්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සහ රයිට්ස් නව් යන සංවිධාන ඒකාබද්ධව විසින් කැඳවූ පුවත්පත් සාකච්ඡාවක් මාර්තු 19 වන දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විණ. මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ ජේ.සී.වැලිඅමුණ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය සහ කලාකරුවන් වන ජයතිලක කම්මැල්ලවීර, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ යන මහත්වරු සහභාගී වූහ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳ සමාලෝචනයක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.

19 වන සංශෝධනය මඟින් සිවිල් සමාජය කාලයක් තිස්සේ ඉදිරිපත් කොට තිබූ ඇතැම් යෝජනා පිළිගෙන තිබීම මෙම මාධ්‍ය හමුවේදී ඇගයීමට ලක්විය. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජනාධිපතිගේ ධූර කාලය අඩු කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබූ අභිමතානුසාරී බලය සීමා කිරීම එවැනි වැදගත් යෝජනා ලෙස ප‍්‍රශංසාවට ලක්වූයේය.

එහෙත් 19 වන සංශෝධනය මඟින් මීට කලින් ප‍්‍රතිඥා දී තිබූ ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් සිදුවන්නේ නැත. මාධ්‍ය හමුවට සහභාගී වූ සියලූදෙනා මෙම ප‍්‍රශ්නය මතු කළහ. යෝජිත සංශෝධනය අනුව රජයේ මෙන්ම ආණ්ඩුවේ ද ප‍්‍රධානියා වන්නේ ජනාධිපතිවරයාය. නීතිඥ ජේ.සී. වැලිඅමුණ පෙන්වා දුන් පරිදි පසුගිය ජනාධිපතිවරණ ජනවරමේ පදනම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට දුන් ප්‍රතිඥාවයි. මෙය දින සියයේ වැඩපිළිවෙළ මඟින් ප්‍රකාශිතව පිලිගනු ලැබූ මූලික ප‍්‍රතිපත්තියකි. ඔහු පෙන්වා දුන් ලෙස අගමැතිගේ උපදෙස් වලින් බැඳීමට ලක් නොවන, රජයේ මෙන්ම ආණ්ඩුවේ ද ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපති ක‍්‍රමයක් යනු නැවත විධායක ජනාධිපති ක‍්‍රමය වෙත යාමකි. සැබෑ යහපාලනයක් ඇතිවීම සඳහා ආණ්ඩුවේ ප්‍රධානියා බවට අග‍්‍රාමාත්‍යවරයා පත්විය යුතු බවට ඔහු කරුණු දැක්වීය.

පුරවැසි බලය කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ පෙන්වා දුන්නේ යෝජිත සංශෝධනය මගින් සිවිල් සමාජය අපේක්ෂා කළ ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමයේ හරයාත්මක වෙනස්කමක් සිදු නොවන බවයි. දින සියයක් තුළ ජනාධිපති ක‍්‍ර‍්‍රමය අහෝසි කිරීම කළ නොහැකි වී නම් අවම වශයෙන් එය අහෝසි කිරීම සඳහා වූ මූලික පියවර එමගින් ගත යුතුව තිබූ බවට ඔහු කරුණු දැක්වීය.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරණ ජනවරම අනුව කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ සිටින පක්ෂවලට බල කිරීම සිවිල් සමාජය විසින් කළ යුතු බවයි. විධායක ජනාධිපති ක‍්‍රමය නිසා සියලූම පක්ෂ බැට කෑ බවත්, විශේෂයෙන් පසුගිය කාලයේ ඉන් වැඩිපුරම බැට කෑවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඔහු පෙන්වා දුන්නේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධ මූලධාර්මික විරෝධයක් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තුළ නොපවතින බව පෙන්වා දුන් කථිකයෝ යම් ‘සුලූ පිරිසකගේ’ බලපෑම නිසා එකී ප්‍රතිඥාව ඉටු නොවී පවතින බවට සඳහන් කළහ. එම සුලූ පිරිස දැනට ප‍්‍රසිද්ධියේ ඉදිරියට පැමිණ නැත. ඉදිරියේ දී ඔවුන් ප‍්‍රසිද්ධියේ අදහස් පළ කරන්නේ නම් නම් ගම් සහිතව ඔවුන් හෙළිදරවු කිරීමට ක්‍රියා කරන බව මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙනා ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ජනාධිපති ක‍්‍රමය සම්බන්ධ ප්‍රශ්නය ගැන මතවාද දෙකක් තිබූ බව රහසක් නොවේ. ජාතික හෙළ උරුමය ආදී පිරිස් යෝජනා කළේ විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතික බලතල අඩු කිරීමක් විනා එය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් නොවේ. අනිත් අතට සිවිල් සමාජය ජනාධිපති ක‍්‍රමයේ පූර්ණ වෙනසක් ඉල්ලා සිටියේය. මෙම මතභේදය ජනාධිපතිවරණ කාලයේ එළියට ගත්තේ නැත. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සමගියේ නාමයෙන් මෙම මූලධාර්මික මතභේදය සාකච්ඡාවට ගැනීමෙන් සියලූදෙනා අඩු වැඩි වශයෙන් වැළකී සිටියහ.

දැන් එම මතභේදය විවෘත තලයට පැමිණ ඇත. යෝජිත 19 වන සංශෝධන කෙටුම්පත අනුව ජයග‍්‍රහණය කොට තිබෙන්නේ සිවිල් සමාජයේ මතය නොව ජාතික හෙළ උරුමයේ මතවාදයයි. එනම් සංශෝධිත විධායක ජනාධිපති ක‍්‍රමයක් පිළිබඳ අදහසයි. සමගියේ නාමයෙන් යටපත් කොට තිබූ දේශපාලන මතභේද විවෘත වේදිකාවේ සාකච්ඡාවට ගත යුතු මොහොත ඒ අනුව එළැඹෙමින් තිබේ. විධායක ජනාධිපති ක‍්‍රමය ගැන සමාජය තුළ පසුගිය කාලයේ ගොඩනැගුණු විරෝධයට සාධාරණය ඉටු කළ හැක්කේ එම ප්‍රශ්නය විවෘතව සාකච්ඡාවට ගැනීම තුළින් පමණි.

වැඩිදුර ඡායාරෑප මෙතනින් බලන්න

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment