මෛත‍්‍රී පාලනය යටතේ සිවිල් සමාජයේ උපාය මාර්ගය කුමක් විය යුතුද?

Mar 23rd, 2015 | By | Category: LEAD NEWS, දේශපාලන

දේශපාලනයේදී උපාය මාර්ගය යනු කිසියම් නිශ්චිත පරමාර්ථයක් සාක්ෂාත් කරගනු පිණිස දීර්ඝ කාලයක් තිස්සේ ප‍‍්‍රවේශම් සහගත ලෙස ක‍්‍රියාවට නගනු ලබන සැලසුමක් හෝ ක‍්‍රමවේදයක් වන අතර උපක‍්‍ර‍්‍රමය යනු සුවිශේෂී අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කොට ක‍්‍රියාවේ යොදන කෙටි කාලීන ක‍්‍රියාවක් හෝ ක‍්‍රමවේදයකි. කිසියම් උපායමාර්ගික පරමාර්ථයක් සාක්ෂාත් කරගැනීම පිණිස විවිධ උපක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට සිදුවේ. එහිදී යොදා ගන්නා ඕනෑම උපක‍්‍රමික එළැඹුමක් උපායමාර්ගික පරමාර්ථයට සේවය කළ යුතු අතර එයට දෙවැනි විය යුතුය. නැත්නම් උපක‍්‍රමය උපායමාර්ගයෙහි හරහට සිටී. සරලව කිවහොත් වලිගය වැනිය යුත්තේ බල්ලා විසින් වන අතර වලිගය විසින් බල්ලා නැටවීම සිදුවිය නොයුතුය.

2006 අගභාගය වන විට ශ‍‍්‍රී ලංකා රාජ්‍යයේ උපායමාර්ගික පරමාර්ථය වූයේ උතුරේ දෙමළ ජාතික ව්‍යාපාරය සමග අභිමුඛ වී මිලිටරිමය ලෙස එය පරාජය කිරීමයි. තම උපායමාර්ගික පරමාර්ථය එලෙස හඳුනා ගත් පසුව සියලූ උපක‍්‍රම තෝරන ලද්දේ එයට සාපේක්ෂව වන අතර අන්තර්ජාතික මානව හිමිකම් නීති සහ මානවවාදී නීති පිළිපදිමින් කටයුතු කිරීම වැනි සිවිල් සමාජය විසින් අනුදැන වදාළ උපක‍්‍රම තම ප‍‍්‍රධාන උපාය මාර්ගයට බාධාකාරී බව කල්පනා කොට යටපත් කර දැමීමට රාජ්‍යය විසින් කටයුතු කරන ලද්දේය. මෙය වනාහි ඇමරිකා එක්සත් ජනපදය විසින් අනුගමනය කරන ලද ඊනියා ත‍‍්‍රස්තවාදයට එරෙහි ලෝක යුද්ධය නැමැති උපාය මාර්ගයේම දිගුවකි.

2008 දී බරක් ඔබාමා ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වීමත් සමගම එතෙක් ඉහළට ගිය ඔන්චිල්ලාව පහළට ගමන් කිරීම ඇරැුඹිණි. ඇමරිකාවේ උපායමාර්ගික එළැඹුම වෙනස් වූ අතර එහි රස්නය ලංකාවට ද දැනෙන්නට විය. මෙය අවසන් වූයේ 2015 දී රාජපක්ෂ රෙජීමය පරාජය වී මහින්ද රාජපක්ෂ මහතා මාගම්පුර රාජධානියේ මැදමුලනට පසු බැසීමත් සමගය. දැන් බලයට පත්ව ඇත්තේ බහුපාක්ෂික ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදී සන්ධානයක සහය ලැබූ ජනාධිපතිවරයෙකු වන අතර තවත් මාස හයකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු බලයට පත්වීමට නියමිත වන්නේ ප‍‍්‍රජාතන්තවාදී ප‍‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑමට එකඟව සිටින බහුපාක්ෂික ජාතික සමගි සන්ධාන ආණ්ඩුවකි. එම ආණ්ඩුවේ ප‍‍්‍රකාශකයන් විවිධ අදහස් පළ කළ ද එම ආණ්ඩුවේ උපායමාර්ගික පරමාර්ථය වන්නේ ජාත්‍යන්තර ප‍‍්‍රජාවේ බලවත් රටවල් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමයි. එබැවින් ආණ්ඩුව විසින් අනුගමනය කරන විවිධ උපක‍්‍රම එකී උපායමාර්ගික එළැඹුමට අනනුකූල නොවිය යුතුය.

මෙම තත්ත්වය පිළිබඳ සංයුක්ත උදාහරණයක් දැන් සලකා බලමු. මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුකූලව ලංකාවේ නීති සහ ආයතන පද්ධතිය ප‍්‍රතිසංවිධානය කොට එම අයිතිවාසිකම් ලංකාවේ පුරවැසියන්ට ලැබෙන බව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්, යුද සමයේ සිදුවූ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානවවාදී නීති කඩකිරීම් සම්බන්ධව දේශීය අධිකරණ සහ යාන්ත‍්‍රණ භාවිතා කරමින් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවත් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ කටයුතු භාර ඇමැතිවරයා වශයෙන් මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වන සයිද් රාද් අල් හුසේන් වෙත ආණ්ඩුව වෙනුවෙන් පොරොන්දුවක් දී ඇත.

මංගල සමරවීර යනු මහින්ද රාජපක්ෂ පාලනය ගොඩනැංවීමට තීරණාත්මක මෙහෙයක් කිරීමෙන් අනතුරුව 2006 වසරේදී එහි මානව හිමිකම් ප‍්‍රතිපත්තිය විවේචනය කිරීම නිසා ආණ්ඩුවෙන් ඉවතට විසිවූ පුද්ගලයෙකි. ඉන් අනතුරුව ඔහු විපක්ෂය සමග එක්වී කටයුතු කළ අතර වාමාංශික පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන එක්සත් ජාතික පක්ෂය සමග එක සටන් පෙරමුණකට ගෙන එ්මට සැලකිය යුතු වැඩකොටසක් කළේය. ‘නිදහසේ වේදිකාව’ (2009), ‘එ්කාධිපති වියරුවට එරෙහි ජනතා ව්‍යාපාරය’ (2010) සහ සමගි බලවේගය (2013) වැනි වාමංශික පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන සමග එක්සත් ජාතික පක්ෂය එක් කොට ගොඩනගන ලද පුළුල් බහුජන පෙරමුණු ගොඩනැගීමට ද මංගල සමරවීර උපස්ථම්භක විය. 2013 දී කොළඹ පැවති පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සමගාමීව යුද සමයේ සිදුවූ අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් නීති කඩකිරීම් පිළිබඳව මූර්තිමත් කෙරෙන මානව හිමිකම් දින උළෙලක් ‘සමගි බලවේගය’ විසින් සැලසුම් කළ විට එය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන ‘සිරිකොත’ මන්දිරය තුළ පැවැත්වීමට පවා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ මංගල සමරවීර මහතාය. අද ශ‍්‍රී ලංකා රජය විදේශයන්හිදී නියෝජනය කරන්නේ එ් මංගල සමරවීරය.

මංගල සමරවීර විදේශ ඇමැතිවරයාගේ ප‍්‍රකාශයෙන් මූර්තිමත් වන මේ මොහොත වනාහි පසුගිය වසර ගණනාවක් තිස්සේ අසීරු කොන්දේසි මත අප විසින් ආරක්ෂා කරගෙන ආ වටිනාකම් පද්ධතියකට ආණ්ඩුවේ සහ එයට පිටුබලය දෙන ජන බලවේගයේ පිළිගැනීම ලැබුණු මොහොතයි. එ් පිළිබඳව සිවිල් සමාජයේ අපි නිහතමානීව ආඩම්බර විය යුතුය.

පසුගිය ආණ්ඩුව එකී සාරධර්ම පිළිකෙව් කරන විට සහ එ් සඳහා ක‍්‍රියා කිරීමට දේශීය වශයෙන් පැවැති ඉඩකඩ අවුරන විට අපට ඉතිරි වූයේ ක‍්‍රියාමාර්ග දෙකකි. එකක් ප‍්‍රතිසංස්කරණවලට පක්ෂපාතී ජන බලවේගයක් ගොඩනගමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජාතිවාදී විරෝධී විපක්ෂය සමග එක්ව දේශීය වශයෙන් අරගල කිරීමයි. අනෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ අවකාශයන්හි සැරිසරමින් මානව හිමිකම් පිළිබඳ තම ජාත්‍යන්තර බැඳීම් සහ වගකීම් ඉටු කරන ලෙස ලංකාවේ ආණ්ඩුව වෙත ජාත්‍යන්තර පීඩනයක් එල්ල කිරීමට මැදිහත් වීමයි. ජීවිත තර්ජන, අවලාද සහ මඩගැසීම් මධ්‍යයේ සිදුකරන ලද මෙම අඛණ්ඩ අරගලයන්ගේ ද දායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් හෙවත් මෛත‍්‍රී පාලනයක් ඇති වී ඇති අතර, එකී පාලනය තම උපායමාර්ගික පරමාර්ථය පැරැණි රෙජීමයෙන් වෙනස් බව පෙන්වීමට විශාල වෑයමක් දරමින් සිටී.

මානව හිමිකම් කවුසින්ලය විසින් 2012, 2013 සහ 2014 යන වසරවල පිට පිටම යෝජනා සම්මත කරගනිමින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලද්දේ ප‍්‍රතිසන්ධාන සහ වගවීම සහතික කරන ලෙසයි. එ් සඳහා ආණ්ඩුවේ එල්එල්ආර්සී යෝජනාවේ නිර්දේශ ක‍්‍රියාවට නගන ලෙස සහ යුද සමයේ සිදුවූ මානවාදී සහ මානව හිමිකම් නීති කඩකිරීම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එ් සම්බන්ධයෙන් කටයුතු කිරීම එවකට පැවැති රාජපක්ෂ රෙජීමය දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළේය. පිළිගත හැකි දේශීය යාන්ත‍්‍රණයක් නොමැති එවැනි තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙස මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය කටයුතු කළාය. සිවිල් සමාජයේ අපිද එ් අනුව යමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියෙමු. එ් අනුව ශ‍්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට මානව හිමිකම් කවුන්සිලය විසින් යෝජනාවක් සම්මත කරගෙන මහකොමසාරිස් කාර්යාලයට එ් සඳහා බලය පවරන ලදී. එම පරීක්ෂණයේ ප‍්‍රතිඵල සමග මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ වාර්තාව 2015 මාර්තු මස පවත්වනු ලබන මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ අවස්ථාවේ බලයට පැමිණි නව ආණ්ඩුවේ ඉල්ලීම වූයේ එකී වාර්තාව ප‍්‍රසිද්ධ කිරීම සහ ලංකාව පිළිබඳව සඳහන් කරමින් පවත්වන විවාදයක් වේ නම් එය 2015 සැප්තැම්බර් මස පවත්වන 30 වන සැසිවාරය තෙක් කල් දමන ලෙසය. මෙහිදී සිවිල් සමාජයේ අපිද වාර්තාව පිළිබඳ විවාදය සැප්තැම්බර් දක්වා කල් තැබීමට එකඟ වූයෙමු.

ආණ්ඩුව වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීම ධනාත්මකව සලකා බැලූ මහ කොමසාරිස්වරයා ‘එකම එක වතාවකට පමණක්’ මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීම මාස හයකින් කල් දමන ලෙස තමාගෙන් ඉල්ලා සිටින්නැයි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් විසින් එ්කමතිකව සම්මත කළ යෝජනාවකට අනුව වාර්තාව පළ කිරීම මාස හයකින් කල් තබන ලෙස මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින ලදී. එ් අනුව ලංකාවේ නව ආණ්ඩුව රාජ්‍ය තාන්ත‍්‍රික පෙරමුණේ වැදගත් ජයග‍්‍රහණයක් ලබා ඇත.

තම උපායමාර්ගික පරමාර්ථය සහ ආණ්ඩුවේ එළැඹුම සමපාතව ඇති මේ අවස්ථාවේ උපක‍්‍රමික කාර්යභාරය යුත්තේ එම එළැඹුම කෙරෙහි සංවර්ධනාත්මක සහයෝගය පළ කරමින් ක‍්‍රියාවලිය තුළ සිවිල් සමාජ සංවිධානයන්හි දායකත්වය වර්ධනය කිරීම සඳහා ක‍්‍රියාකාරී වෙමින් තම අවකාශය පුළුල් කරගැනීමට ක‍්‍රියා කිරීම බව අපගේ අදහසයි.

| සුදර්ශන ගුණවර්ධන

fr`1

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment