බොරදිය පොකුණ චිත්‍රපටය කියවීම

Mar 24th, 2015 | By | Category: LEAD NEWS, පුවත්, සාහිත්‍ය

සත්‍යජිත් මායිටිපේ අධ්‍යක්ෂණය කරන ලද බොරදිය පොකුණ (Scent fo the Lotus Pond) චිත්‍රපටය පෙබරවාරි මස 14 වනදා සිට ලාංකේය පේ‍්‍රක්ෂකාගාරය වෙතට සමීප වීම ශ‍්‍රී ලාංකේය සිනමාව වෙත සුබවාදී බලාපොරොත්තු එකතු කිරීමකි.

වාරණය
බොරදිය පොකුණ චිත්‍රපටය ජාතික චිත‍්‍රපට සංවර්ධන අරමුදලේ ණය ආධාර මත සහ පුද්ගලිකව විශාල මුදලක් ආයෝජනයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටයකි. 2001 වර්ෂයේදී රූපගත කළ 2003 වර්ෂයේ නිෂ්පාදිත බොරදිය පොකුණ චිත‍්‍රපටය 2004 වර්ෂයේ සිට 2010 වර්ෂය තෙක් වූ වසර 06 ක දීර්ඝ කාලයක් රැඟු‍ම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලා සිටීමට සිදුවිය.

තේමාව
චිත‍්‍රපටයේ මතුපිට තලය තුළ විවෘත ආර්ථිකය, නිදහස් වෙළඳ කලාපය හා යුද්ධය හා බද්ධ වූ සෙබළ ජීවිත හමුවේ. බෞද්ධ ජාතක කතාවේ එන අතීත කතාව, වර්තමාන කතාව හා පූර්වාපර සන්ධි ගැලපීම අනුව චිත‍්‍රපටය ආකෘතිගත කර ඇත. ‘1973 රජයේ පාසල ගිරිබාව’ යන සිරස්තලය සමඟ ආරම්භ වන චිත‍්‍රපටය ‘1996 වෙළඳ කලාපය’ අතීත කතාව ලෙසත් ඉන් වසර 06 කට පසු 2002 වර්තමාන කතාව ලෙසත් පූර්වාපර සන්ධි ගැලපීමකින් ඉදිරිපත් කර ඇත. චිත‍්‍රපටයේ ‘පූර්විකාව’ ගෙන එන්නේ එහි ආරම්භක දර්ශනය තුළින් නිරූපිත ගිරිබාව රජයේ පාසලේ දර්ශනය තුළිනි. එ් ගෝතමීගේ අතීත කතාවයි. චිත‍්‍රපටය අවසාන වන්නේ ද අතීතයේ මෙන්ම වර්තමානයේ ද ගෝතමීලා, සුවිනීතලා මෙන්ම මංගලා ද නැවත නැවත හමුවන බව ඉඟි කරමිනි.

බොරදිය පොකුණ ප‍්‍රශ්න කරන්නේ සංස්කෘතික සීමා මායිම්වලින් එපිටට ගිය තේමාවකි. මනුෂ්‍ය සන්තානයේ ගැඹුරින් පැන නඟින මොහොතින් මොහොත ඉපදි ඉපදී ගලා යන බලාපොරොත්තුවේත්, සන්තාපයේත් මුසුවකි. ‘හිමි – අහිමි’ පිළිබඳ කතාන්දරයකි. රාගය – විරාගය, කඳුල – සිනහව, ආදරය, මාතෘත්වය ලබා ගැනීමේ, හඹා යෑමේ නොනිත් ආශාවේ කතාන්දරයකි. ඒ නම් මනුෂ්‍ය ජීවිතයයි.

අධ්‍යක්ෂවරයා කරන විවරණය අනුව චිත‍්‍රපටයේ තේමාව බෞද්ධ උපමා කතාවක් Buddhist Parable) ඇසුරෙන් ගොඩනඟන ලද්දකි. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත වන ගෝතමී, මංගලා හා සුවිනීතා බෞද්ධ දර්ශනයේ එන අත්ථකිලමතානු, කාමසුඛල්ලියානු හා මධ්‍යම ප‍්‍රතිපදාවේ සංකේතාත්මක නියෝජනයකි. එහෙත් එම චරිත නිරූපණය රූල් ගසා සීමා ලකුණු කළ නොහැක.

බොරදිය පොකුණ ”ස්ති‍්‍රය” පිළිබද අව්‍යාජ කියවීමකි. ප‍්‍රධාන චරිත වන ගෝතමී හා මංගලා ද්විත්ව ප‍්‍රතිපක්ෂ (Biíry Opposition) ඇසුරෙන් කියවිය හැක.

සුවිනීතා මෙහි මැද මාවතයි. ගැමි සාම්ප‍්‍රදායික ආදර්ශමත් කාන්තා චරිතයයි. චිත‍්‍රපටයේ සුරංජිත් (විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වරක් ප‍්‍රකාශ කරන්නේ ‘ඔයා වගේ (මංගලා) ලස්සන, එයා වගේ (විශ්වවිද්‍යාල පෙම්වතිය) ඉගෙන ගත්තු, සුවිනීතා අක්කා වගේ හැදිච්ච’ කෙනෙක් හා විවාහ වීමට බලාපොරොත්තු වන බවයි. පොදු තාරුණ්‍යයේ සිහිනය සමඟ ‘ගෝතමී’ ස්ථානගත නොවේ.

චිත‍්‍රපටයේ ඇතුළත් විනෝද ගමනේ තරුණ තරුණියන් කෙළිදෙළින් හැසිරෙද්දී ප‍්‍රතික්ෂේප වන ඇය, ඇයව පැහැරගත් අවස්ථාවේ පවාදූෂණය කිරීමටවත් තෝරා ගැනීමට ලක්වන්නේ නැත. ගෝතමී තම දරුවා සොයා යන අවස්ථාවේ සමාජ සේවා නිලධාරිනිය ‘පේ‍්‍රම සම්බන්ධයක් තිබුණද?’ යැයි අසන විට ඇය පවසන්නේ ‘ඔව්’ ‘නෑ’ යනුවෙනි. ගෝතමී විපුලට පෙම් කළ ද, විපුල ඇයට පෙම් කරන්නේ නැත. ගෝතමී විපුල ලවා ඇයව දූෂණය කරගත්තා මිස විපුලට ඇය අවශ්‍ය නැත. එය එතරම්ම සරල වුවද, ‘සුදු’ පරදා ‘කළු’ ජය ගැනීමේ ආශාව, ‘ප‍්‍රතික්ෂේප’ වීම පරදවා ‘පිළිගැනීම්’ ලැබීමේ ආශාව ආදී වශයෙන් වන නොනිත් ආශාවන්ගේ කූටප්ප‍්‍රාප්ති නිමේෂය ගෝතමී විපුල හා රමණය නොවේද? එය හුදු ලිංගික එකතුවීමකට වඩා ‘හිමි අහිමි’ පිළිබඳ සංකේතාත්මක නිරූපණයකි. දරාගත නොහැකි ආශාවේ කූටප‍්‍රාප්තියයි. චරිතයන්ගේ අභ්‍යන්තර මනෝභාවයේ ප‍්‍රකාශනයයි.

‘ගෝතමී’ නිරන්තරයෙන් ඇය හා සටන් කරයි. ඇයට දිනන්නට අවශ්‍යය. ඒ වෙනුවෙන් ඕනෑම අවධානමක් ඇයට ගත හැකිය. ඒ පිළිබඳ ඉඟි චිත‍්‍රපටය පුරාම ඉදිරිපත් කර ඇත. ඇඟළුම් කම්හලේ පාලිකාව ඇයට බැණ වැදීම වෙනුවෙන් ඇය දක්වන්නේ සාහසික ප‍්‍රතික‍්‍රියාවකි. ඇය එම අවධානම ද ගනී. ඇය ඇගේ නවාතැනේ සිටින හොඳම යෙහෙළියකගේ පෙම්වතා වෙත ආසක්ත වන්නේ එ් අවධානම තුළ සිටය. ජීවිතය පුරා අහිමිවීම් හා ප‍්‍රතික්ෂේප වීම් තුළ ඇයට අවශ්‍ය වන්නේ ‘සුපිරි හිමිකර ගැනීමකි’.

මෙහි එන ලිංගික දර්ශනය අත්‍යන්තයෙන්ම චිත‍්‍රපටයේ ප‍්‍රකාශනය හා බැඳී ඇත. එය ගිරිබාව රජයේ පාසලේ සිටම ප‍්‍රතික්ෂේප වූ ගෝතමීගේ කතාවේ පුපුරා යාමය. ජීවිතයේ යථා ස්වභාවය මෙයට නොවේද?

ගෝතමී තුළ පවත්නා හිමිකර ගැනීමේ දරාගත නොහැකි බලවත් ආශාව පෙන්වන සංකේත සමුදායකි. විපුලගේ ඡායාරූපය, විපුල වෙත ලිපි රැගෙන යාම, විපුලගේ යැයි සිතමින් ලේන්සුව තමා සතුකර ගැනීමේ සිට විපුල හා ලිංගික හැසිරීමත්, විපුල හිමිකර ගැනීමේ තුරුම්පුව ලෙස තම කුස කලලය (ගැබ් ගැනීම) භාවිත කිරීමත් එයට නිදසුනකි. මංගලා වෙත එවැනි අවශ්‍යතාවයක් නොමැත. මංගලා විපුලට ටවුමෙ සේල් එකකින් බාල වර්ගයේ කමිසයක් තෝරා ගනිද්දී ගෝතමී තෝරා ගන්නේ සාප්පුවකින් ගන්නා මිල අධික කමිසයකි.

ප‍්‍රශ්නවලින් පලා යෑම සඳහා මැදපෙරදිග ගෘහ සේවයට යෑම, මැදි වයසේ දික්කසාද වූ ඩෙස්මන්ඞ් වැන්නකු විවාහයට තෝරා ගැනීම, ඩල්සි දරුවා වෙනුවෙන් නඩත්තු ඉල්ලීම, මාතෘත්වය නැවත අහිමි වීම ආදී සිදුවීම්, අත්දැකීම් හා කාලය ගෝතමීගේ චරිතය ද අසහනකාරී, පීඩිත තත්ත්වයෙන් මිදී පරිණත බවට පත්කරයි. ඇය ජීවිතය දෙස බලාපොරොත්තු සහගතව බලයි.

මංගලා තම කාමී ජීවිතය තුළ ”සතුට” අහිමි කර ගෙන ඇත. මැද මාවතේ සුවිනීතා පමණක් තමන්ට රිසි වූ තැන හිමි කර ගෙන ඇත. ත‍්‍රීවිලයක් හිමි, සරම් අදින, නගරයෙන් දුර බැහැර, ගැමි මිනිසකු හා විවාහ වී නාසි වයසට පුතකු ද ලබා සිටී.එහෙත් නැවත නැවතත් ගෝතමීලා මංගලාලා මෙන්ම සුවිනීතලා ද අප සමග ජීවත් වෙයි, අප පසු කර යයි.

චරිත නිරූපණය
චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වන ‘ගෝතමී’ අතිශය අව්‍යාජ හා සංකීර්ණ මනෝභාවයන් ප‍්‍රකට කිරීමකි. නිදහස් වෙළඳ කලාපයේ තරුණිය පිළිබඳ මනා නිරීක්ෂණයකින්, ඉතා සියුම් ලෙසත්, පරිපූර්ණ ලෙසත් භාවමය කම්පනයන් ඇතිකරන ලෙසත් තම ගවේෂය තුළ එම ඉදිරිපත් කිරීමට කෞෂල්‍යා ප‍්‍රනාන්දු සමත් වී ඇත. එය සිංහල සිනමාවේ අභියෝගාත්මක ස්ථීර චරිත නිරූපණයන් අතරට එකතු වනු ඇත.

සංකේත
සමස්ත චිත‍්‍රපටය පුරා එන සංකේත එහි යටි පෙළ දර්ශනය ශක්තිමත් කරයි. ගමන් ගන්නා දුම්රිය, ඉදුණු කරවිල ගෙඩිය, හේන් ගිනි තැබීම්, නියඟයෙන් ඉරිතැලී ගිය වැව, මුහුද, පූසා ආදිය ඉන් කිහිපයකි.
මෙම දෘශ්‍යමය සංකේත මෙන්ම ශ‍්‍රව්‍ය සංකේත ද චිත‍්‍රපටයේ ප‍්‍රකාශනය ඉතා සියුම් ලෙස පෝෂණය කරයි. චිත්‍රපටය තුළ අනවශ්‍ය එකදු දෙබසක් නොමැත. සෑම දෙබසක් තුළම යටි පෙළක් ඇත. නිදසුනක් ලෙස මංගලා තම අතීතය ගෝතමීට කියන විට සේවිකාව අසන්නේ ”ඔක්කොම ඉදුල් භාජන සෝදලා ඉවරයි… තව ඇතුළෙ තියෙනවද නෝනා…” කියාය.

විපුල හා ලිංගිකව එකතු වීමේදී අපට ඇසෙන කුවේණී ගීතය අවසානයේ නැවත විපුල දරුවා පිළිබද විමසන්නට පැමිණෙන මොහොතේ යළිත් ඇසෙන්නට සලස්වයි. පන්සල හා පල්ලිය ඇසුරෙන් පෝෂිත නාද රටා ද මනා හික්මීමකින් භාවිත කොට ඇත. කවි ගායනා මෙන්ම ගීත ද චිත‍්‍රපටයේ තේමාව හා මනාව ගැලපෙන ලෙස පුරුද්දා ඇත. එ් කිසිවක් ප්‍රේක්ෂකයාට විශේෂයෙන් නොඇසේ. සමස්තය එකට බද්ධ වී ඇත.

‘හිමි අහිමි’ පිළිබඳ බොරදිය පොකුණ චිත්‍රපටය ගෙන එන දාර්ශනික එළඹුම, බලාපොරොත්තු, රාගය, ආයාචනය, ප‍්‍රචණ්ඩත්වය තුළින් අවසානයේ දරා සිටීම, පරිත්‍යාගය හා පිළිගැනීම් තෙක් වූ සමාධියක් වෙත ගමන් කරයි.
බොරදිය පොකුණ ලාංකේය සිනමාව වෙත ජීවිතය පිළිබඳ සිනමාත්මක භාවනාවක් ගෙනවිත් හමාරය. එය විඳගැනීම පේ‍්‍රක්ෂකයන්ට භාරය.

|සමන්තිකා ප‍්‍රියදර්ශනී

bdp

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment