දූෂිත නොවන ක‍්‍රමයක් හදන්න පුලූවන් කියන විශ්වාසය තහවුරු කිරීමේ අභියෝගය

Mar 27th, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් මාර්තු 23 සහ 24 දෙදින ඉන්දියාවේ නව දිල්ලියේ ඉන්දියානු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

මෙම සම්මේලන්යේ ප‍්‍රධාන අමුත්තා වූයේ ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා තුමාය.

මෙම සම්මේලනය අමතා කථා කිරීමට ආරාධනා ලැබුවන් අතර පසුගිය පෙබරවාරි මාසයේ නව දිල්ලි ප‍්‍රාන්ත සභාවේ බලයට පැමිණි ආම් ආද්මි පක්ෂයෙන් හෙවත් පොදු ජනයාගේ පක්ෂයෙන් තරග කොට ජය ලබා ප‍්‍රාන්ත සභාවේ නියෝජ්‍ය මහ ඇමැති පදවිය දරන මනීෂ් සිසෝඩියාද විය. දේශපාලනයට එක්වීමට පෙර මාධ්‍යවේදියකු වශයෙන් ක‍්‍රියා කළ මනීෂ් වර්තමාන දිල්ලි මහ ඇමැති අර්වින්ද් කේ රිවාල්ගේ නායකත්වයෙන් යුතු දූෂණ විරෝධී ව්‍යාපාරයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකු විය.

එම සම්මේලනය අමතා මනීෂ් සිසෝඩියා කළ කථාවේ සිංහල පරිවර්තනයක් මෙවර අපි ‘සමබිම’ පාඨකයන් වෙත ගෙන එන්නේ නව සමාජයක් ගොඩනැගීමට වෙහෙසෙන දේශපාලන ක‍්‍රියාකාරීන්ට සහ සමාජ ක‍්‍රියාකාරීන්ට එම කථාව ආශ්වාදජනක විය හැකි බැවිනි.

මනීෂ් සිසෝඩියා

ආම් ආද්මි පක්ෂය ලෙස අපි දැන් දිල්ලි ආණ්ඩුවේ බලය ලබාගෙන තිබෙනවා. ආම් ආද්මි පක්ෂය අලූත් පක්ෂයක්. 2011 අවුරුද්දේ ඉන්දියාවේ වංචා හා දූෂණ විරෝධී උද්ඝෝෂණ මාලාවක් ඇති වුණා. ලෝක්පාල් පනත නම් වූ දූෂණ විරෝධී පනත සම්මත කරන ලෙස ඉල්ලලයි මේ උද්ඝෝෂණ ඇති වුණේ. ඒ නීතිය තවමත් සම්මත වෙලා නෑ. ඒත් ඒ ඉල්ලීම ඉදිරිපත් කළ මහජන ව්‍යාපාරය දැන් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

‘ආම් ආද්මි’ කියන වචනයේ අදහස ‘සාමාන්‍ය මිනිසා’ යන්නයි. එනම් මෙය සාමාන්‍ය මිනිසුන්ගේ පක්ෂයක්. අපි ඒ වනවිට පැවැති දූෂිත සංස්ථාපිතයට අභියෝග කළා. මේ දූෂිත ක‍්‍රමය තුළ වැඩ කෙරුණේ අන්තිම අත්තනෝමතික විදිහට. උදාහරණයක් විදිහට යම් දේශපාලකයෙක් පිටරට ගියාම ඔහු එහි දකින හොදයි කියලා ඔහුට හිතෙන දෙයක් කිසිම සැලකිල්ලක් නැතිව ඉන්දියාවට ඇවිත් අටවනවා. ඒක ගැලපෙනවද නැද්ද කියන එක ගැන සෙවීමක් බැලීමක් කරන්නේ නැහැ. අපි පොරොන්දු වුණා අපි දේශපාලනය කරන්නේ නැහැ කියලා. ‘දේශපාලනය කරනවා’ වෙනුවට ‘දේශපාලන වෙනස් කරන්න’ අපි ප‍්‍රතිඥා දුන්නා. ඒ වගේම අපේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයින්ගේ පිරිසිදුකම ගැන අපි පොරොන්දුවක් දුන්නා. යම් චෝදනාවකට ලක්වී තිබෙන, එහෙම නැතිනම් දූෂිත හෝ අපරාධයකට සම්බන්ධ වූ කිසිම කෙනෙක්ට අපි අපේ පක්ෂයේ අපේක්ෂකත්වය දෙන්නේ නෑ කියලා අපි ප‍්‍රතිඥා දුන්නා. අපි මේ දූෂිත ක‍්‍රමයටම අභියෝග කළා. ඒ නිසා අපේ පක්ෂය මේ දූෂිත ක‍්‍රමය නිසා පීඩාවට පත්වී සිටි ජනයාගේ වේදනාව තුළින් මතු වූ පක්ෂයක් ලෙස හ`දුන්වා දෙන්න පුලූවන්.

2013දී අපි අපගේ පළමු මැතිවරණය සදහා තරග කළා. දිල්ලියේ ආසන 70න් ආසන 28ක් අපි දිනාගත්තා. ඒත් බහුතරය ලබාගැනීමට නම් ආසන 36ක් අවශ්‍යයයි. කොංග‍්‍රසයට ආසන 8ක් සහ භාරතීය ජනතා පක්ෂයට තවත් ආසන ප‍්‍රමාණයක් ලැබී තිබුණා. අපි සුලූතර ආණ්ඩුවක් ලෙස දවස් 48ක් වැඩ කළා. ඊට පස්සේ අපි ඉල්ලා අස්වුණා. මොකද හුදෙක් ආණ්ඩුව පවත්වාගැනීම සදහා ප‍්‍රතිපත්තිමය කාරණා කැප කිරීමට අපට පුලූවන්කම තිබුණේ නැහැ. දූෂණ විරෝධී ව්‍යාපාරය තුළ අපි ලබාදී තිබූ පොරොන්දු අත් හැරීමට අප සූදානම් වූයේ නැහැ. ඉන්පසු මෑතකදී තිබූ මැතිවරණයේදී දිල්ලියේ ජනතාව අපිට වැඩි බලයක් ලබා දුන්නා.

ප‍්‍රාන්ත ආණ්ඩුවක් ලෙස අපි මුහුණ දී සිටින අභියෝග ගැන මම විස්තරයක් කරන්න කැමතියි. අප මුහුණදෙන විශාලම අභියෝගය නම් වංචා සහ දූෂණ ක‍්‍රියාවලට තිබෙන බලය. මුලූ මහත් ක‍්‍රමයම දූෂිත භාවිතාවන්ගෙන් පිරී ගිහින්. ජනතාව පවා මේවාට හුරු වෙලා. වංචා දූෂණවලට විරුද්ධව අවංකව වැඩ කරන දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන නායකත්වයක් තියෙන්න පුලූවන් කියා ජනතාව තුළ පවා තිබෙන්නේ අවිශ්වාසයක්. ඕනෑ තරම් පක්ෂ බලයට ඇවිත් තිබෙනවා. බලයෙන් පහ වෙලා තියෙනවා. ගොඩක් වෙනස්කම් අපි ඉතිහාසය තුළ දැකලා තිබෙනවා. ඒත් වංචා දූෂණවල වෙනසක් වුනේ නැහැ. මිනිස්සු කල්පනා කරන්නේ ඒ විදිහට. ඒ නිසා ලොකුම අභියෝගය තමයි වංචා දූෂණ නතර කරන්න පුලූවන්, දූෂිත නොවන ක‍්‍රමයක් හදන්න පුලූවන් කියන විශ්වාසය ජනතාව තුළ ගොඩනැගීම. අපි හිතනවා අපි එක්ක වැඩ කරද්දී ඒ විශ්වාසය උඩ වැඩ කරන්න මහජනයා තුළ පුරුද්දක් ඇති වේවි කියලා. ‘අපි බලමු තව කොච්චර කාලයක් ඔහොම කරයිද’ කියලා හිතනවා වෙනුවට අදූෂිත ක‍්‍රමයක් හදන්න පුලූවන් කියන විශ්වාසය ජනතාව තුළ තහවුරු කරන්න අපි කරන වැඩ ඇතුලේ අපිට පුලූවන්කම ලැබේවි කියලා අපි සිතනවා.

දිල්ලිය සම්බන්ධයෙන් ගත්තම පරිපාලනයේ සංකීර්ණතා රාශියක් තිබෙනවා. ඉන්දියාවේ බලය බෙදීමේ ක‍්‍රමය ඇතුලේ මධ්‍යම ආණ්ඩුවට තිබෙන බලතල, කලාපීය ආණ්ඩුවලට තිබෙන බලතල, පලාත් පාලන ආයතනවලට තිබෙන බලතල ආදී විභේදනයක් තිබෙනවා. මේක තරමක් සංකීර්ණයි. ඒ හන්දා එක මත එක පතිත වීම් සමහරවිට හටගන්න පුලූවන්. ප‍්‍රාදේශීය ආණ්ඩුවලට සමහර බලතල තිබෙනවා. අපි ඒ බලතල උඩ වැඩ කරගෙන යනවා. ඒත් අපි බලය ගත්තේ හුදෙක් ඒ වැඩකරගෙන යන්න නෙමෙයි. මම කලින් කීවා වගේ අපි බලය ගත්තේ ජනතාවගේ යම් දේශපාලන අභිලාෂයක් මත. ජනතාවගේ වේදනාව හුදෙක් අවංක ආණ්ඩුවක් පත් වූ පමණින් නතර වෙන්නෙ නැහැ. හොරකම් කරන්නේ නැති, අල්ලස් ගන්නේ නැති දේශපාලනඥයින් බලයට පත්වූ පමණින් මිනිසුන්ගේ වේදනාවන් නැති වෙන්නෙ නැහැ. ආණ්ඩුකරණයේ සමස්ථ ක‍්‍රමය වෙනස් වෙන්න ඕනේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දැනට තිබෙන අදහස ජනතාවගෙන් දුරස්ථ වූ එකක්. ඡුන්දය දෙන එකට විතරක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සීමා වෙලා. ජනතාව ඡන්දය දීලා ආණ්ඩු පත්කරනවා. ඊට පස්සේ ඉතිරි වැඩ කරන එක දේශපාලකයින්ට භාර දෙනවා. ජනතාවගෙන් අදහස් විමසීම් කරද්දී ‘අපි ඔයාලාට ඡන්දය දුන්නනෙ, ඇයි දැන් අපෙන් අහන්නෙ’ කියලා කියනවා. අය වැය සම්පාදනය කරද්දී, වෙනත් ඒ වගේ ප‍්‍රතිපත්තිමය කාරණා සැලසුම් කරද්දී මහජනයා වෙත ගියාම, මහජනයාගෙන් අදහස් හා ඉල්ලීම් විමසුවාම ඒ නිසා සමහර අය හිනා වෙනවා.මොකද ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් තිබීම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා අර්ථ දක්වලා තියෙන්නේ. මෙන්න මේ අදහස වෙනස් කරන එක අපි මුහුන දෙන අභියෝගයක්. සමස්ත ආණ්ඩුකරණ රටාවෙම වෙනසක් නොකර අපි අපේක්ෂා කරන දේ සාක්ෂාත් කරගන්න බැහැ.

ඉතින් මේක කරන්න යද්දී ප‍්‍රාදේශීය ආණ්ඩුවක කාලය කෙටි කාලීන හා දීර්ඝ කාලීන අරමුණු අතර බෙදන්නෙ කොහොමද කියන එක එක්තරා විදිහක අභියෝගයක්. මම උදේ අටට වගේ වැඩ පටන් ගන්නවා. මිනිස්සු විශාල සංඛ්‍යාවලින් මාව හම්බෙන්න එනවා. ඒ අයගෙන් සීයට අනූවක්ම ඉදිරිපත් කරන්නේ තමන්ගේ දෛනික ජීවිතයේදී මුහුණ දෙන්න වෙලා තිබෙන ප‍්‍රශ්න. ඉතින් කාර්ය මණ්ඩලයට සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය මේ ප‍්‍රශ්නවලට යොමු කරන්න වෙනවා. මේ සියයට අනූවක් වන ප‍්‍රශ්න කියන්නේ දූෂිත ක‍්‍රමයක නිෂ්පාදිත, දූෂිත ක‍්‍රමයක ප‍්‍රතිඵල, මිනිසුන්ගේ මේ දෛනික දුක්ගැනිවිලි ගැනම අවධානය යොමු කරන්න පටන් ගත්තොත් ඒකට පැය විසිහතරම වැඩ කළත් මදි. ඒ තරම් දුක් ගැනිවිලි ඉදිරිපත් වෙනවා. කොහොම වුණත් අභියෝගය තමයි මේක කරන එක. මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ගොඩක් දේවල් ලියලා තියෙනවා. විවිධ විවේචන ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් ඒ කීව දේවල් ක‍්‍රියාත්මක කරන්න වෙනවා. ඒක එක්තරා විදිහක අභියෝගයක්. මම හිතනවා මගේ කාර්යය ඒ අභියෝගය භාර ගැනීම කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ නිකම්ම නිකම් ඡන්දය දෙන එක නෙමෙයි. වසර පහකට පාරක් තමුන්ගේ රජු ඡුන්දය දී පත් කරන එක නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අර්ථයක් ලැබෙන්නේ පුරවැසි ක‍්‍රියාකාරීත්වයක් තිබෙනවා නම් පමණයි. ඉතින් අපි අපේ උපරිමයෙන් උත්සාහ කරනවා ඒ අදහස යථාර්ථයක් කරන්න.

ind

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment