‘සමගි’ ය තවමත් වලංගුද?

May 1st, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

‘‘බණ්ඩාරනායක මහත්තයා 1956දී ප‍්‍රගතිශීලීව ජාතික ප‍්‍රශ්නය විසදීම සදහා ජනතාව පෙළ ගස්වනකොට, දෙමළ නායකයින් සමග සාකච්ඡා කරනකොට කැරැල්ල මතු වුණේ පන්සල ඇතුළෙන්. අද මහින්ද රාජපක්ෂ පන්සලට මුවාවෙලා ඒ බණ්ඩාරනායක දේශපාලනයේ උරුමය ඉදිරියට ගෙනයාමට උත්සාහ කරමින් සිටින මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට විශාල අනතුරක් ඇතිවෙන ආකාරයෙන් වැඩ කරමින් ඉන්නවා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග‍්‍රහණයත්, රටේ ජනතාවගේ ජයග‍්‍රහණයත් රැකගැනීම සදහා ජනතාව වීදි බසින්න ඕනෙ කාලය ඇවිල්ලා’’

ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ඉහත කී අදහස් දක්වන ලද්දේ පසුගිය අපේ‍්‍රල් 01 වනදා සමගි බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. සමගි බලවේගයේ කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන, අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා වූ කමිටුවේ කැඳවුම්කරු සුන්දරන් මහේන්ද්‍රන්, ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි, නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිනී නිමල්කා ප‍්‍රනාන්දු, පරිසරවේදී තිලක් කාරියවසම් සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඞී ගමගේ සහභාගී වී සිටියහ. මාධ්‍ය හමුව කැඳවා තිබුණේ 19 වන සංශෝධනය ඉදිරිපත් කිරීම සහ ඒ සමඟ රට තුළ ගොඩ නැගෙමින් තිබෙන දේශපාලන වාතාවරණය පිළිබඳ සමගි බලවේගය නියෝජනය කරන සංවිධානවල අදහස් ඉදිරිපත් කිරීම සදහාය.

මාධ්‍ය හමුව ආරම්භ කරමින් නීතිඥ සුදර්ශන ගුණවර්ධන පෙන්වා දුන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ඇති වූ දේශපාලන වෙනස සදහා සමගි බලවේගයට අයත් සංවිධානවල ක‍්‍රියාකාරීත්වය දායකත්වය දැක්වූ බවයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් දහයක් පදනම් කරගෙන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන ඒකාබද්ධව ඇති කරගත් සමගි බලවේගය ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව සමාජ මතයක් ගොඩනැගීම සදහා සක‍්‍රීයව ක‍්‍රියා කළ බව ඔහු පැහැදිලි කළේය. මේ වනවිට 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට ඇත. මෙමගින් විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොවූවත් ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ විෂයෙහි වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙය හැදින්විය හැකි බව ඔහු පැවසීය. ජනාධිපතිධූරයේ බලතල කප්පාදු කිරීම, ස්වාධීන කොමිෂන් සභා තහවුරු කොට රාජ්‍ය පාලනයේ ප‍්‍රජාතාන්ත‍්‍රික සන්ධාරය ශක්තිමත් කිරීම, ස්වාධීන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් පිහිටුවීම සහ මූලික අයිතිවාසිකමක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිගැනීම 19 වන සංශෝධනය මගින් යෝජිත සාධනීය ප‍්‍රතිසංස්කරණයෝය.

ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මෙහිදී පෙන්වා දුන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි කලින් කී ඇතැමුන් දැන් ඊට සිය විරෝධය පළකරමින් සිටින බවයි. ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ විට අගමැතිවරයා ඒකාධිපතියෙක් වනු ඇතැයි එම පිරිස් ඉදිරිපත් කරන තර්කය සම්පූර්ණ ව්‍යාජයක් බව පැවැසූ ඔහු සදහන් කළේ අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට වගකියන නිසා ඔහු අත ඒකාධිපති බලයක් ඒකරාශී නොවන බවයි. 19 වන සංශෝධනය තුළ ප‍්‍රජාතාන්ත‍්‍රීය වෙනස්කම් පිළිබද ජනතා අපේක්ෂා අන්තර්ගත වී තිබෙන බව දැක්වූ හෙතෙම සුළු පිරිසකගේ වුවමනාව මත එය ආපසු හැරවීමට ඉඩදිය නොහැකි බව ප‍්‍රකාශ කළේය.

නිදහසේ වේදිකාවේ සම කැදවුම්කාරිනී නිමල්කා ප‍්‍රනාන්දු ස්වකීය අවධානය ජාතිවාදී බලවේග නැවත හිස ඔසවමින් තිබීම කෙරෙහි යොමු කළාය. රටේ දේශපාලන සංස්කෘතිය පිරිහීම කෙරෙහි බලපෑ මූලික හේතුව විධායක ජනාධිපති ක‍්‍රමය බව දැක්වූ ඇය එය අහෝසි කිරීම සදහා ජනවරමක් ලැබී තිබෙන බවත්, ඒ ගැන විවාදයක් තිබිය නොහැකි බවත් සදහන් කළාය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුවිය යුත්තේ එම ජනතා අභිලාෂය මුදුන්පත් වන ආකාරයෙන් මිස සුළු දේශපාලකයින් පිරිසකගේ ආත්මාර්ථකාමී වුවමනාව අනුව නොවේ. ප‍්‍රගතිශීලී බලවේග ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ තුළින් යහපාලනය ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටිද්දී ප‍්‍රතිගාමී බලවේග එයට එරෙහිව හිස ඔසවමින් සිටී. ‘ඡුන්දයෙන් බැරි නම් ගහලා හෝ බලය ගත යුතු’ යැයි ඔවුහු වහසි බස් දොඩමින් සිටිති. ජනතා ජයග‍්‍රහණය රැකගැනීම සදහා මෙම ප‍්‍රතිගාමී බලවේගය පරාජය කළ යුතුව ඇත.

පරිසරවේදී තිලක් කාරියවසම් අදහස් දක්වමින් ජාතිවාදය අවුස්සමින් ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට දියත් වී තිබෙන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට පරාජිත බලවේග විසින් දරන උත්සාහය විවේචනයට ලක් කළේය. උතුරේ දෙමළ ජනතාවට ඔවුන් පදිංචි වී සිටි ඉඩම් නැවත භාරදීම ජාතිවාදී බලවේගවල විවේචනයට හසු වී තිබේ. සහෝදර දෙමළ ජනතාවට ඉඩම් ලැබීමට විරුද්ධ වන කිසිවෙක් වරාය නගරයේ නාමයෙන් අක්කර ගණන් ඉඩම් චීනයට පවරාදීම ප‍්‍රශ්න නොකරන්නේ මන්දැයි ඔහු ප‍්‍රශ්න කළේය.

මාධ්‍යවේදී ෆ්‍රෙඞී ගමගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස යෝජිත ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය මගින් පිළිගෙන තිබීම ප‍්‍රශංසාවට ලක් කළේය. එය මාධ්‍ය ක‍්‍රියාකාරීන් විසින් දිගින් දිගටම ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීමකි. වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සදහා රාජපක්ෂ රජය රු.35,000ක අධික ගාස්තුවක් අය කළ බව පෙන්වා දුන් ඔහු එය මාධ්‍යවේදීන් දුර්මුඛ කිරීමේ අභිප‍්‍රායෙන් පනවන ලද නීතියක් බවත්, එහි සංශෝධනයක් ඇති විය යුතු බවත් පෙන්වා දුන්නේය. එසේම පසුගිය කාලයේ ජීවිත තර්ජන හේතුවෙන් රට හැරගිය මාධ්‍යවේදීන් නැවත ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවටද ඔහු ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයෙන් පසු මේ ගත වෙමින් තිබෙන්නේ සංක‍්‍රමණීය කාලයකි. මහින්ද රාජපක්ෂ බලයෙන් පහවූවත් ඔහු විසින් නියෝජනය කළ සිංහල ජාතිවාදී මතවාදය තවමත් ශක්තිමත්ව සමාජය තුළ පවතී. මේ මොහොතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවේ යොදවමින් සිටින ලිබරල් බලවේග සහ බලයෙන් පහ වූ එම ජාතිවාදී බලවේග අතර පවතින්නේ බල අරගලයකි. මාධ්‍ය හමුවේදී ඉදිරිපත් වූ පොදු අදහස වූයේ මෙම සංකීර්ණ දේශපාලන වටපිටාව තුළ ආණ්ඩුවේ යහපත් යෝජනාවලට සහයෝගය ලබාදීමත් ජාතිවාදී බලවේග විසින් එකී ප‍්‍රතිසංස්කරණ අඩපණ කිරීමට තිබෙන අවධානමට එරෙහිව සටන් කිරීමත් සිවිල් සමාජය සතු ප‍්‍රධාන කාර්යයක් බවයි.

356

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment