19 වන සංශෝධනය අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට ප‍්‍රවේශයක්

May 1st, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

|ආචාර්ය රොහාන් එදිරිසිංහ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කොට තිබූ ‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ පිළිබඳ මහජන සංවාදයේදී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, මහාචාර්ය ඒ.එච්.නවරත්න බණ්ඩාර, ආචාර්ය රොහාන් එදිරිසිංහ, විජයානන්ද ජයවීර 19 වන සංශෝධනයේ විවිධ පැතිකඩ පිළිබඳ දෙසුම් පැවැත්වූහ. මේ එහිදී ආචාර්ය රොහාන් එදිරිසිංහ දැක්වූ අදහස් ආශ‍්‍රයෙන් සකස් කළ සටහනකි.

19 වන සංශෝධනය නිවැරදිව වටහා ගැනීමට නම් එය තාවකාලික පියවරක් ලෙස අප හඳුනාගත යුතුය. මෙම සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සෑහීමකට පත්විය නොහැක. මන්ද යත් එමඟින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් සිදු නොවන බැවිනි. දැනට ඉදිරිපත් වී තිබෙන ස්වභාවයෙන් 19 වන සංශෝධනය ඉදිරිපත් වීම කෙරෙහි බලපෑ සාධක ගණනාවක් තිබේ. පාර්ලිමේන්තුවේ තිබෙන දේශපාලන බලතුලනය සහ දැනට උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය මෙන්ම 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් මූලධාර්මික වගන්ති ජනමත විචාරණයකින් තොරව සංශෝධනය කළ නොහැකි වීම එකී සාධක වේ.

නව රජය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අදියර දෙකක ප‍්‍රවේශයකි. ඒ අනුව මුලින්ම 19 වන සංශෝධනය සම්මත කොට ජනාධිපති ධූරයේ බලතල අඩු කරනු ලැබේ. දෙවනුව එළැඹෙන මහා මැතිවරණයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් අපේක්ෂා කරන බලවේග ලබන ජයග‍්‍රහණය මත පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ගමන් කරනු ලැබේ. ආණ්ඩුවේ උපාය මාර්ගය බවට පෙනී යන්නේ එකී ප‍්‍රවේශයයි. මේ නිසා 19 වන සංශෝධනය ගැන කෙරෙන ඕනෑම කථා බහකදී එම දෙවන දීර්ඝකාලීන අරමුණ කිසිසේත් අමතක නොකළ යුතුය. 19 වන සංශෝධනය සහිතව හෝ වේවා, එය රහිතව හෝ වේවා 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පදනමින්ම දෝෂසහගත වූවකි. එය සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් මගින් විස්ථාපනය කළ යුතුව පවතී.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක යහපත් – අයහපත්භාවය තක්සේරු කිරීමේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවාදය නමැති න්‍යාය යොදාගනු ලැබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවාදී න්‍යායේ ප‍්‍රධාන ප‍්‍රස්තූතයන් ත‍්‍රිත්වයකි.

1. ආණ්ඩුවේ විවිධ ආයතන අතර බලතල බෙදී යන ආකාරය පිළිබඳ රාමුවක් ඇති කිරීම. එනම් ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය ආදී ආයතනවල බලතල රාමුව නිශ්චය කිරීම. ලංකාව තුළ මෙම සංකල්පනය එතරම් නුහුරු වූවක් නොවේ.

2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බහුතරයේ අධිකාරීත්වයෙන් පුද්ගලයා සහ සුලූතරය ආරක්ෂා කළ යුතුය. බහුතරය ඇතැම්විට පුද්ගලයින්ට සහ සුලූතරයන්ට අගතිදායක තීරණ ගත හැක. මෙහිදී සුලූතරය යනු හුදෙක් වාර්ගික හෝ ආගමික සුලූතරයන් පමණක් නොවේ. බහුතර අදහසට වඩා වෙනස් අදහස් දරන අයද මින් අදහස් වේ. මෙබඳු පිරිස් බහුතරවාදයෙන් ආරක්ෂා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් කළ යුතුය. මෙම සංකල්පනය ලංකාවට ආගන්තුක එකක් වන අතර 1978 ව්‍යවස්ථාව මෙන්ම 1972 ව්‍යවස්ථාවද මේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට දුර්වලය.

3. ඇතැම් මූලික වටිනාකම් සහ මූලධර්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතුය. මෙකී වටිනාකම් රටේ සියලූ ආයතන හා පුරවැසියන් නෛතික වශයෙන් බැඳීමකට ලක් කරයි. මෙය ‘90 ගණන්වල සිට ප‍්‍රචලිත වූ අදහසකි. 1996 සම්මත කළ දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ සම්බන්ධව ගත් කල්හි ඉතාම ප‍්‍රගතිශීලී ව්‍යවස්ථාවකි. එහි පළමු වගන්තිය දකුණු අප‍්‍රිකාව යනු ප‍්‍රති-වර්ගවාදය, ස්ත‍්‍රීපුරුෂභාවය මත වෙනස්කම් කිරීමට තිබෙන විරෝධය, නීතියේ ආධිපත්‍යය, බහු පක්ෂ දේශපාලනය, වගවීම හා ප‍්‍රතිචාරාත්මකවීම (responsiveness) යන වටිනාකම් මත පදනම් වූ ජනරජයක් ලෙස හඳුන්වයි. එහි දෙවන වගන්තිය දක්වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උත්තරීතර බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි ඕනෑම නියමයක් හෝ ක‍්‍රියාවක් බල රහිත වන බවත්ය. රාජ්‍ය අංශය වේවා පුද්ගලික අංශය වේවා රටේ සියලූම පුරවැසියන් මෙකී වටිනාකම් වලින් ඒ අනුව බැඳීමට ලක්වෙති. මෙයද ලංකාවට ආගන්තුක සංකල්පයකි.

ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයකදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවාදයේ මෙකී මූලධර්ම අන්තර්ග‍්‍රහණය කරගැනීමට උත්සාහ කළ යුතුය. දැනට 19 වන සංශෝධනය සම්පාදනය කරන විද්වතුන්ගේ අදහස වී තිබෙන්නේ පවතින දේශපාලන තත්වයන් තුළ එවැනි ගැඹුරු පරිවර්තනයක් කිරීම අසීරු බවත් මහමැතිවරණයෙන් පසු එලැඹෙන නව දේශපාලන තත්වය තුළ එබඳු වෙනස්කම් කෙරෙහි යොමු විය හැකි බවත්ය. 19 වන සංශෝධනය යනු ඒ නිසා පවතින දේශපාලන යථාර්ථයන්ට අනුව සම්පාදිත ව්‍යවස්ථා සංශෝධනයක් බව වටහා ගැනීම අතිශය වැදගත්ය. මෙය අවසානය නොව පියවර දෙකකින් යුක්ත ක‍්‍රියාවලියක ආරම්භය පමණි.

19 වන සංශෝධනය මගින් 17 වන සංශෝධනය නැවත පණ ගැන්වීමට උත්සාහ කොට තිබේ. එහිදී පැරණි 17 වන සංශෝධනයේ තිබූ ඇතැම් ප‍්‍රායෝගික ගැටලූ මග හරවා ගැනීමට වෑයම් කොට ඇත. නිදසුනක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යසවස්ථාදායක සභාවට යමෙක් නම් නොකළහොත් ගත හැකි ක‍්‍රියාමාර්ග කවරේද ආදිය ගැන එහි ප‍්‍රතිපාදන පවතී. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය බෙහෙවින් පුළුල්ය. අග‍්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා එකතු වී නම් කරන සාමාජිකයින්ට අමතරව පාර්ලිමේන්තුවේ සුලූ පක්ෂ විසින් ඒකාබද්ධව නම් කරන සාමාජිකයෙක් සඳහා ද එහි සාමාජිකත්වය පවතී. ස්වාධීන කොමිෂන් සභා විසින් සැලකිය යුතු තරමේ නිදහස් හා ස්වාධීන ව්‍යුහයක් ස්ථාපිත කරනු ලැබේ. නිදර්ශන ලෙස 17 වන සංශෝධනය ඉදිරිපත්වීමට පෙර ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කිරීමේ අසීමිත අභිමතයක් ජනාධිපතිවරයා සතු විය. එහෙත් මෙකී සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා අදාළ පත්කිරීම් කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මතය. මෙය අධිකරණ ස්වාධීනත්වය හා සෘජුව සබැඳි කරුණකි. පොලිස් කොමිෂම, මැතිවරණ කොමිෂම, මානව හිමිකම් කොමිෂම හා රාජ්‍ය සේවා කොමිෂමට අමතරව වෙනත් කොමිසන් සභා විශාල සංඛ්‍යාවක් ද අලූතින් හඳුන්වා දී තිබෙන අතර එය 17 වන සංශෝධනයට වඩා ඉදිරියට යාමකි. එය සාධනීය තත්වයකි.
එහෙත් මේවායේ සීමාවන් ඇති බවද මතක තබා ගත යුතුය. නිදසුන් ලෙස ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ඉවත් කිරීම සම්බන්ධ ප‍්‍රශ්නය ගත හැක. එම බලය තිබෙන්නේ කාටද? එම ඉවත් කිරීමේ පටිපාටිය සාධාරණ එකක් කරන්නේ කෙසේද? මෙබඳු ප‍්‍රශ්න මෙහිදී සලකා බලා නැත. මෙය ආරම්භයක් පමණක් බවත් මෙතැනින් එහාට ගමන් කළ යුතු බවත් පවසන්නේ ඒ නිසාය.

d19

Recent Posts

Tags: , , ,

One Comment to “19 වන සංශෝධනය අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට ප‍්‍රවේශයක්”

Leave a Comment